රටක් රැවටූ ‘නාවුක’ හොර දොස්තර නෝනා | සිළුමිණ

රටක් රැවටූ ‘නාවුක’ හොර දොස්තර නෝනා

ය නාවික හමුදාවේ හිටපු නිලධාරිණියකි. 29 හැවිරිදි වියේ පසුවු ඇය රූමත් යුවතියක් වුවාය. ඕ මාතර පාලටුව ප්‍රදේශයේ පදිංචිව සිටියාය. මෙකී යුවතිය සිවු දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දැරිවියයි. කුඩා කාලයේ සිටම ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ මෙම තරුණිය මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ආදි සිසුවියකි. ඇයගේ පියා නාවික හමුදාවේ වෛද්‍ය බළකායේ සේවය කොට විශ්‍රාම ලැබු අයෙකි. කුඩා කාලයේ සිටම මෙකී තරුණියට වෛද්‍යවරියක් වීමේ සිහිනයක් පැවතුණි. ඒනිසාවෙන් ඇය විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටියාය. කෙසේවුවද ඇයට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු මදි වීම නිසා ඇයගේ සිහිනය බොඳවී ගියාය. එහෙත් ඇය වෛද්‍යවරියක් වීමේ සිහිනය අත්නොහැරියාය.

 

මේ කාලය තුළ නාවික හමුදා සාමාජිකයන්ගේ දරුවන් වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනිමේ විශේෂ අවස්ථාවක් පැවතුණි. නාවික හමුදාව මඟින් මෙකී පාඨමාලාව සඳහා නාවික සාමාජිකයන්ගේ දරුවන් තෝරාගෙන ඔවුන්ගේ නම් අදාළ වෛද්‍ය පීඨවලට යොමුකරනු ලැබීය. වර්තමානයේ මෙවැනි දරුවන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් වි අදාළ පාඨමාලා හැදෑරිය හැකිය.

මාධ්‍ය නිලධාරිනියක් ලෙස නාවික හමුදාවට එක් වු මෙම තරුණිය ද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා නාවික හමුදාව මඟින් තෝරාගෙන තිබුණි. ඇයගේ නම කරාපිටිය වෛද්‍ය පීඨය සඳහා නාවික හමුදාව මඟින් යොමු කොට තිබුණි. ඇය වෛද්‍ය උපාධිය හැදෑරුවද ඇයට නාවික හමුදාව මඟින් මාසිකව වැටුප් ගෙවනු ලැබීය.

කරාපිටිය වෛද්‍ය පීඨයේ 2012/2013 අධ්‍යයන වර්ෂයේ 35 ශිෂ්‍ය කණ්ඩායමට මෙකී තරුණියද ඇතුළත්ව සිටියාය. එහෙත් ඇයට මෙකී වෛද්‍යවේදි පාඨමාලාව හැදෑරීම එතරම් පහසු කටයුත්තක් නොවීය. මේ නිසා ඇය 36 ශිෂ්‍ය කණ්ඩායම සමඟ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු කරගෙන ගියාය. ඇය 2014 වර්ෂයේ දී වෛද්‍ය විභාගයට පෙනී සිටිය යුතු වුවත් අවස්ථා දෙකකදී වෛද්‍ය සහතික ඉදිරිපත් කොට වෛද්‍ය විභාගය සඳහා පෙනී නොසිටියාය. වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාවේ කාලය වසර 05කි. පළමු අධ්‍යයන වර්ෂයේ විභාගයක් නොපැවැත්වෙන අතර මෙකී වෛද්‍ය සිසුවිය 2015 වර්ෂයේ ජුලි මස පළමු වරට දෙවැනි වෛද්‍ය විභාගය සඳහා පෙනී සිටියාය. එවකට ඇය කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. ඇය එම විභාගයෙන් අසමත් වූවාය.

මෙකී විභාගයේ විභාග ප්‍රතිඵල ලේඛනය පිටු 05කින් යුක්ත වන අතර 05 වැනි පිටුවේ අසමත් සිසු සිසුවියන්ගේ නම් සඳහන්ව තිබුණි. මෙකී සිසුවියගේ නම සඳහන්ව තිබුණේ අසමත් ලේඛනයේය. පීඨාධිපතිවරයාගේ අනුමැතිය සහිතව විභාගය සමත් වෛද්‍ය සිසු සිසුවියන්ගේ විභාග ප්‍රතිඵල ලේඛනයක් විශ්වවිද්‍යාල සනාතන සභාවට යැවීම සඳහා සකස්කොට කොට තිබුණි. විභාග සමත් වෛද්‍ය සිසු සිසුවියන්ගේ ප්‍රතිඵල ලේඛනය පිටු 04කින් යුතු අතර එම පිටුවල මෙම වෛද්‍ය සිසුවියගේ නම සඳහන් ව නොතිබුණි. කෙසේවුවද විභාග ප්‍රතිඵල ලේඛනයේ තුන්වැනි පිටුවේ අංක 100 යටතේ මෙකී සිසුවියගේ නම විභාග අංකය සඳහන් කොට ඇය විභාගයෙන් සමත් බවට ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කොට තිබුණි. විභාග සමත් සිසු සිසුවියන්ගේ නම් මෙහි සඳහන් කොට තිබුණි. විභාග ප්‍රතිඵල සඳහන් තුන්වැනි පිටුව ව්‍යාජ ලෙස සකස්කොට තිබුණි.

දෙවැනි වෛද්‍ය විභාගය අසමත් වූ විට තුන්වැනි වසරේ ඉගෙනුම ලැබීමට අවස්ථාව නොලැබෙන අතර එහෙත් මෙකී වෛද්‍ය සිසුවියට කාගේ හෝ අනුහසින් ඒ සඳහා ඉඩකඩ ලැබී තිබුණි.

ඒ විතරක් නොව මෙකී තරුණිය විසින් එම්. බී. බී. එස් දෙවැනි වෛද්‍ය විභාගයෙන් සමත් බවට අදාළ ව්‍යාජ විභාග ප්‍රතිඵල සහතිකය නාවික හමුදා මුලස්ථානයට ලබාදීමට ද කටයුතු කළාය. රුහුණු විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ එවකට එහි සිටි පීඨාධිපතිවරයාගේ සහ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකධිකාරිවරියගේ නම හා අනු අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණි. නිල මුද්‍රාවන්ද ව්‍යාජ ලෙස සකස්කොට යොදා තිබු අතර එම ප්‍රතිඵල ලේඛනය නාවික හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කොට තිබුණි.

නාවික හමුදාවේ ස්වෙච්ඡා බළගණයේ ස්වෙච්ඡා නිලධාරිනියක් ලෙස කටයුතු කළ මෙකී වෛද්‍ය සිසුවියට විභාගය සමත්වීම නිසා ස්වෙච්ඡා බළගණයේ මාධ්‍ය නිලධාරිනියක් ලෙස ස්ථිර වීමට ද වාසනාව උදා විය. මේ අතර ඇය සුපුරුදු පරිදි වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියක් ලෙස තවදුරටත් ඉගෙනුම ලබමින් සිටියාය.

ඒ විතරක් නොව සායනික පරික්ෂණවලට ද සහභාගි වූවාය. තුන්වැනි වසරේ විභාගය සඳහා ඇතුළත් වන අත්සන් ලේඛනයේ මෙකී වෛද්‍ය සිසුවියගේ නමද සටහන්ව තිබුණි. 2016 වර්ෂයේ දි දෙසැම්බර් මස පැවති තෙවන වෛද්‍ය විද්‍යා පරික්ෂණයට ද ඇය පෙනී සිටියාය. එම විභාගයෙන් ද ඇය අසමත් වුවා ය.

මේ අතර කරාපිටිය වෛද්‍ය පිඨය මඟින් විභාග ප්‍රතිඵල ලේඛනවල මුල්පිටපත් පරික්ෂා කරනු ලැබීය. එහිදී මෙකී සිසුවිය දෙවැනි වෛද්‍ය විභාගයෙන් අසමත් බවට අනාවරණය විය. මේ පිළිබඳ කරාපිටිය වෛද්‍ය පිඨයේ එවකට සිටි නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරිය මේ ප්‍රතිඵල පිළිබඳ නාවික හමුදා මුලස්ථානයෙන් විමසීමට කටයුතු කළාය.

එහිදි නාවික හමුදා මුලස්ථානය මඟින් මෙකී වෛද්‍ය සිසුවිය විසින් නාවික හමුදාව වෙත යොමුකොට තිබු ව්‍යාජ ප්‍රතිඵල ලේඛනය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරිය වෙත යොමු කෙරිණි. පසුව කරාපිටිය වෛද්‍ය පීඨය මඟින් මෙකී වෛද්‍ය සිසුවියගේ ශිෂ්‍ය භාවය අහෝසි කරනු ලැබීය. 2018 වර්ෂයේ දි නාවික හමුදා මුලස්ථානය මඟින් මෙකී තරුණියගේ වැඩ තහනම් කොට පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය. මේ අතර කරාපිටිය වෛද්‍ය පිඨය මඟින් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර ඒ කමිටුව මඟින් ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරිය වැඩ තහනමකට ලක් කළාය. පසුව ඇය තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනු ලැබීය. ඒ විතරක් නොව කම්කරු උසාවියේ දී නඩුවක් පැවරිමට ඇය කටයුතු කළාය. මේ අතර වෛද්‍ය සිසුවිය විසින්ද තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත.

මේ අතර වෛද්‍ය පීඨයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරිය මේ සම්බන්ධව ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත 2018 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදින පැමිණිලි කළාය. විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් වසර දෙකහමාරක් තිස්සේ මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරනු ලැබීය.

විභාග ප්‍රතිඵල හා අත්සන් සඳහන්ව තිබු පරිගණකය පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට පොලිසිය මඟින් කටයුතු කරනු ලැබීය. රස පරික්ෂක වාර්තාවට අනුව 2015 වර්ෂයේ විභාග ප්‍රතිඵල සඳහන් දත්ත මකා දමා ඇති අතර දත්තවලින් කොටසක් යළි ප්‍රතිජනනය කරගැනීමට හැකිවී ඇත. ඒ විතරක් නොව මෙකී පරිගණකය තනි පුද්ගලයකු විසින් භාවිත කොට ඇති බව රස පරික්ෂණ වාර්තාව අනුව අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි. ඒ විතරක් නොව සැකකාරිය නාවික හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කරනු ලැබු විභාග ප්‍රතිඵල ලේඛණය අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවනු ලැබීය. රජයේ රස පරික්ෂකවරයා වාර්තා කොට ඇත්තේ එකී විභාග ප්‍රතිඵල ලේඛනයේ අත්සන් එවකට සිටි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ හා නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරියගේ අත්සන් නොවන බවය.

පොලිසිය විසින් සැකකාර වෛද්‍ය සිසුවියගෙන්ද කිහිප වතාවක් සාක්ෂි සටහන් කරගනු ලැබීය.

රස පරික්ෂණ වාර්තා ලැබීමෙන් පසු යළිත් සැකකාරියගෙන් පොලිසිය විසින් කට උත්තරයක් සටහන් කරගෙන ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

මෙකී සැකකාරියගේ විවාහ මංගල උත්සවය ඉකුත් ජූලි මස 26 වැනි දින තිබූ අතර ඉන් දින කිහිපයකට පසු ඇයට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වූවාය.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාරිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරිර ඇප මත පසුව මුදාහරින ලදී.

පොලිසිය විසින් මේ පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරගෙන යති. ගාල්ල පොලිස් අධිකාරි මයුර පෙරේරාගේ උපදෙස් මත විශේෂ අපරාධ ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.එස් .එල් නරංගොඩ, පොලිස් පරික්ෂක ජයසිරි ගමගේ, උප පොලිස් පරික්ෂක උදයකාන්ත යන නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

Comments