රබර් වගේ ඇදෙන රබර් වගාවේ ප්‍රශ්න | සිළුමිණ

රබර් වගේ ඇදෙන රබර් වගාවේ ප්‍රශ්න

සෘජු හා වක්‍රව මෙරට රබර් කර්මාන්තය තුළ නියැළෙන පිරිස ලක්ෂ තුනකට ආසන්න ය. රබර් සහ රබර් ආශ්‍රිත අපනයන සමාගම් 100කට වැඩි ප්‍රමාණයක් ඇති අතර මෙම ආයතනවල (BOI සහ BOI නොවන) සේවය කරන පිරිස 50,000ක් පමණ වේ.

 

බාධක රැසක් මැද ගෙවී ගිය පසුගිය වසරේ රබර් නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1 කි. 2025 වන විට එය ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)අදහස් කරයි.

මේ සඳහා උසස් තත්ත්වයේ රබර් නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා රබර් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් සඳහා හොරණ ප්‍රදේශයේ යෝජිත කර්මාන්ත කලාපය ඉක්මනින් යථාර්ථයක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව EDB සභාපති සුරේෂ් ඩ් අල්විස් පවසයි.

" පසුගිය වසර කිහිපය තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා අපනයන ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් EDB විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණා.

රබර් ආශ්‍රිත නිෂ්පා­දන..

ඒ අනුව ISO 14001 සහ 50001 තත්ත්ව සහතික ලබා ගැනීමට අපනයන සමාගම්වලට සහාය වීම, මැලේසියාවේ සහ එක්සත් රාජධානියේ තාක්ෂණික පුහුණු වැඩසටහන් සඳහා අපනයන සමාගම්වලට සහභාගී වීමට අවස්ථාව ලබා දීම, ජර්මනියේ සහ තුර්කියේ වෙළෙඳ ප්‍රදර්ශන සඳහා අවශ්‍ය වූ කරුණු සෙවීමේ මෙහෙයුම් සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යැවීම, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය සහ වැවිලි අමාත්‍යාංශය සමඟ එක්ව දිස්ත්‍රික්ක කිහිපයක රබර් වතුවල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නියමු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් රබර් පර්යේෂණ ආයතනය ටයර් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රසායනාගාරයක් ස්ථාපිත කිරීම එම පියවරයන්ගෙන් කිහිපයකි.

තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් රබර් නිෂ්පාදනයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති ලෝකයේ ප්‍රධාන රබර් නිෂ්පාදනය කරන රටවල් ලෙස පිළිගැනෙන පසුබිමක ශ්‍රී ලංකාවත් උසස් තත්ත්වයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යම් ප්‍රසිද්ධියක් දරනවා.

2020 වසරේ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 78,206ක්. අමු රබර් අපනයනයෙන් දළ වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 30ක් උපයා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ලෝකයේ ක්‍රේප් රබර් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම රටක්. 2020 වසරේදී රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් මිලියන 786ක් උපයා ඇති අතර ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 425ක් ම උපයා තිබෙන්නේ ටයර් ආශ්‍රිත නිෂ්පාදන වලින්.

ඒ වගේම ගෝලීය ගන ටයර් වෙළෙඳපොළේ 30% කට ආසන්න කොටසක් ශ්‍රී ලංකාව සතු අතර ජාත්‍යන්තරව පිළිගත් සමාගම් 10 කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළෙඳ නාම යටතේ ඒවා නිෂ්පාදනය කර අපනයනය කරනවා. Continental, Camso, Solideal, GRI, DSI, Orions, Solimax... එවැනි ප්‍රධාන වෙළෙඳ නාම කිහිපයක්.

කෙසේ වෙතත් COVID වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන වෛද්‍ය රබර් අත්වැසුම් සඳහා විශාල ඉල්ලුමක් ඇති වුණා. පසුගිය වසරේ රබර් අත්වැසුම් අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 250ක ආදායමක් උපයා තිබෙනවා. විශේෂයෙන් මේ පසුබිම තුළ වෛද්‍ය අත්වැසුම් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉතින් රබර් ප්‍රති අපනයනයට අවශ්‍ය කර්මාන්ත පුරවරය පිළිබඳ සංකල්පය BOI එක හරහා ඉක්මනින් ක්‍රියාත්මක වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එවිට high quality රබර් නිෂ්පාදන සමඟ මීට වඩා පුළුල් ලෙස ලෝක වෙළෙඳ පොළට යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වනවා"

කෙසේ වෙතත් රබර් කර්මාන්තයේ උන්නතිය උදෙසා රටක් ලෙස ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගේ සහ අපනයනකරුවන් ගේ සංගමය ( Sri Lanka Association Of Manufacturers and Exporters Of Rubber Products) හෙවත් SLAMERP අධ්‍යක්ෂ ජනරාල්

රොහාන් මාසකෝරාළ දැක්වූයේ මෙවැනි අදහසකි.

"SLAMERP කියන්නේ රබර් ක්ෂේත්‍රයේ අගය වැඩි කරන්නන්. මේ හැමෝම නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් වගේම රටට ඩොලර් උපයන අපනයනකරුවන්.

CAMSO LOADSTAR, TRELLEBORG,

LALAN RUBBERS, GLOBAL RUBBER INDUSTRIES, DSI, Michelin වගේ ටයර් සහ ගන ටයර් නිපදවන දැවැන්ත සමාගම්වල සිට ග්ලවුස් ඇතුළු විශේෂිත රබර් නිෂ්පාදනවල යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ අනයනකරුවන් දක්වා සෑම කෙනෙකුම අප සංගමයේ සාමාජිකයන්. මේ කර්මාන්තකරුවන්ගේ උනන්දුව සහ ජාත්‍යන්තරයේ ඔවුන් සොයා ගන්නා වෙළෙඳපොළ උඩ තමයි යම් පමණකට හෝ මේ කර්මාන්තයේ වර්ධනය රැඳී තිබෙන්නේ. රටට ඩොලර් උපයන්නේ.

කියන්න කනගාටුයි EDB එක හැරෙන්නට මේ රටේ රබර් කර්මාන්තය හා බැඳුණු අනෙක් සෑම ආයතනයක්ම මේ වෙනකොට පවතින්නේ ඉතාමත් නිද්‍රාශීලී තත්ත්වයේ.

රටේ රබර් කර්මාන්තයක් පවතින්නේ රබර් වගාවත් එක්ක. රබර් වතු සම්බන්ධව ප්‍රධාන වගකීම පැවරෙන්නේ රජයට. රබර් වවන සහ නිෂ්පාදනය කරන රටවලින්, ඵලදායිතාව අතින් ලෝකයේ අඩුම තැනකට වැටිලා තිබෙන්නේ ශ්‍රී ලංකාව. මැලේසියාව හෝ තායිලන්තයේ ගන්න ප්‍රමාණයෙන් 25-30%ක් අතර ප්‍රමාණයක් තමයි අපේ රටේ රබර් වතුවලින් කිරි ගන්නේ. මේ ඉතා අඩු ඵලදායිතාවක්. රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය... වගේ රාජ්‍ය ආයතන ගණනාවක් තිබිය දී, අපේ රටේ රබර් වගා කරුවන්ට අවශ්‍ය නිසි උපදෙස්, දැනුම සහ සහයෝගිතාව ලැබෙන්නේ නැහැ. මේ සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් සමඟ ඔවුන්ගේ නිසි සබඳතාවකුත් නැහැ. ඉතින්, රබර් වගාකරුවන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලැබෙන්නේ නැතුව කොහොමද ඵලදායිතාව නංවන්නේ. අලුත් ගස් සිටුවීම, තිබෙන ගස් සංවර්ධනය කිරීම... මේ දේවල් අඛණ්ඩව සිදු විය යුතුයි. නමුත් පැවති කිසිදු රජයක් ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගෙන රබර් වගාව දියුණු කළේ නැහැ. 1876 දී බ්‍රිතාන්‍යයන් තමයි බ්‍රසීලයෙන් ගෙනැවිත් ශ්‍රී ලංකාවේ රබර් පැළ කළේ. දකුණු ආසියාවේ ප්‍රථම රබර් පර්යේෂණ ආයතනය ඔවුන් පිහිටෙව්වේත් ශ්‍රී ලංකාවේ. අපේ රබර් ඇට අරන් ගිහින් පැළ කර ගත්තු මියන්මාරය අද ලෝක වෙළෙඳපොළේ රබර් සැපයුමේ ඉහළම තැනක ඉන්නවා. අපි රබර් වගාකරුවන් විදියට පල්ලටම බැහැපු රටක් වෙලා.

වසරකට මෙට්‍රික් ටොන් 140,000ක් රබර් අස්වනු ලැබුණු රටක දැන් ලැබෙන්නේ හරියටම ඉන් අඩයි. ඒකෙන් කියන්නේ, රටේ කරන්න පුළුවන් දෙයක් කරලා නැහැ කියන එකයි. මෙහෙ රබර් නිෂ්පාදනය වැඩි වෙනවා නම් තමයි, අපිට ආයෝජකයන් ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ. ඉන්න අය ප්‍රසාරණය කර ගන්න පුළුවන් වෙන්නේ.

නව ආයෝජකයන් ව්‍යාපාර ආරම්භ කරන කොට බලනවා, වැඩියෙන්ම රබර් නිෂ්පාදනය කරන රටවල් මොනවද කියා. එතැනට ගිහින් තමයි, මේ අයගේ කර්මාන්තශාලා ප්‍රසාරණය කරන්නේ. ඒක ලංකාවට අභියෝගයක්. රබර් ගස් නිසා තමයි, ලංකාවට කර්මාන්තයක් ඇති වී තිබෙන්නේ. ඒක තේරුම් අරන් රබර් කර්මාන්තය යහපත් තැනකට ගේන්න රජය පියවර ගත යුතුයි. ප්‍රති අපනයනය කරලත් අපිට පුළුවන් විදේශ විනිමය උපයන්න. ප්‍රතිඅපනය කියන්නෙත් විදේශ විනිමය උපයන හොඳ මාර්ගයක්. නමුත් රටක් හැටියට තිබෙන ප්‍රශ්නය තමයි, අවශ්‍ය මූලිකම සම්පත තියාගෙන ඒකෙන් ප්‍රයෝජන නොගන්න එක. අපනයනකරුවන් හැටියට අපිට අවශ්‍ය රබර්වලින් 50% ක් වත් අද අපිට මේ රටෙන් ගන්න බැහැ. 50%ක රබර් අවශ්‍යතාව මැලේසියාව, තායිලන්තය වගේ රටවලින් ආනයනය කරන්න වෙලා තිබෙනවා.

අපේ රටේත් රබර් මිල තීරණය වන්නේ, ලෝක වෙළෙඳපොළ. ගෙවන මිල ගණන් සම්බන්ධයෙන් රජය අපිට බල කළාට වැඩක් නැහැ. මැලේසියානු රබර් ඔක්ෂන් එක තමයි, මේ කලාපයේ රබර් වෙළෙඳපොළ විදියට පිළිගන්නේ. ඔවුන් හොඳ මිලක් ගෙවනවා නම් අපිටත් පුළුවන් ගොවියාට හොඳ මිලක් දෙන්න. ඊට පිටින් ගිහින් වැඩි මිල ගණන් ගෙවලා ලෝක වෙළෙඳපොළත් එක්ක තරග කරන්න අපිට බැහැ. රජයට කරන්න තියෙන්නේ ගෙවන මිල ගණන් සම්බන්ධයෙන් බල කරනවට වඩා නිද්‍රාශීලී රාජ්‍ය ආයතන ටික අවදි කරවලා, high quality සහ වැඩි රබර් කිරි අස්වැන්නක් ලබා ගන්න රබර් වගා කරුවන්ට උදව් කරන එක.

දේශපාලකයෝ රබර් වෙළෙඳපොළට ඇඟිලි ගහන්න ආවොත් නිෂ්පාදකයෝ තමන්ගේ කර්මාන්ත ටික වහලා දාලා රටවල් ඇරලා යාවි. ඉන්න ආයෝජකයන් ටික දෙනාත් රට ඇරලා යන්න යාවි.

අපි රබර් වගාවෙන් හොඳ ඵලදායිතාවක් ගන්න පුළුවන් නම්, අපනයනකරුවන්ට පුළුවන් හොඳ අගය (value added) එකතු කිරීම් වලට යන්න. ශ්‍රී ලංකාවෙන්ම රබර් අවශ්‍යතාව සම්පූර්ණ කරගෙන ශුද්ධ ලාභය වැඩි කර ගන්න.

රබර් වගාවේ උන්නතිය සහ අපනයන ඉලක්ක වෙනුවෙන් 2017 වසරේ රබර් 'මාස්ටර් ප්ලෑන්' එකක් ප්‍රකාශයට පත් කළා. අද ඒවා ලේඛනවලට විතරක් සීමා වෙලා. ඒ masterplan එකට අනුව වැඩ කළා නම් අපේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 8ක්.

පහුගිය අවුරුදු හතරක් තිස්සේ පැවති සහ පවතින රජයෙන් අප ඉල්ලා හිටියා රබර් කර්මාන්තය සඳහා මේ රටට එන ආයෝජකයන් වෙනුවෙන් economic zone එකක් ඇතිකර දෙන්න කියලා. අපේ දේශීය අපනයනකරුවෝ මේ වන විට ඩොලර් මිලියන සියයකට එහා වෙන්කර තිබෙනවා; ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් රජය සහ BOI ආයතනය තවමත් අසමත් වී තිබෙනවා හරි තැනක Rubber Zoneන් එකක් හදා දෙන්න. කතාව විතරක් වැඩක් නැහැ.

සැපයුම් ජාලයේ අගය වැඩි කිරීම තමයි අපනයන ක්ෂේත්‍රයේ එකම රහස. ඝන ටයර් වගේ ලෝකයේ ඉහළ අගයක් ඇති නිෂ්පාදන තව තවත් පුළුල් කරන්න නම් දැන්වත් රබර් කර්මාන්තය සඳහා රජය දැඩි අවධානයක් යොමු කළ යුතුයි"

 


 

Comments