රුචි­රගේ C සමා­ර්ථය A වුණ හැටි | සිළුමිණ

රුචි­රගේ C සමා­ර්ථය A වුණ හැටි

මහ­නු­වර ධර්ම­රාජ විදු­හලේ රුචිර නිසංග අබේ­ව­ර්ධන හා ඔහුගේ වෙනස් වු ප්‍රති­ඵල ලේඛන
මහ­නු­වර ධර්ම­රාජ විදු­හලේ රුචිර නිසංග අබේ­ව­ර්ධන හා ඔහුගේ වෙනස් වු ප්‍රති­ඵල ලේඛන

පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම උගස් පෙළ විභාගයයි. එය කොතරම් තරඟකාරි විභාගයක්ද යත් උසස් පෙළට පෙනි සිටින ලක්ෂ 4 කට පමණ ආසන්න අපේක්ෂකයන්ගෙන් සරසවි වරම් හිමි වන්නේ 43,000 කට ආසන්න සිසු පිරිසකට පමණි. විෂය ධාරා 5 ක් ඔත්සේ පැවැත්වෙන උසස් පෙළ විභාගය අතිශයින්ම තරගකාරි හා ජිවිතයේ තීරණාත්මක කඩ ඉමක් වන්නේ එක් දශමයකින් හෝ අනාගතය තීරණය කිරීමේ හැකියාව පවතින නිසාය.

 

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය ඉසෙඩ් අගයකින් ප්‍රකාශ කරන්නේ මේ තීරණාත්මක හා තරගකාරි බව නිසාවෙනි. දශම ලකුණක එහා මෙහා වීමෙන් යමකුට සරසවි අහිමි වන්නට ද, ඔහුගේ අනාගත අපේක්ෂාවන් සියල්ල කණ පිට හැරෙන්නටද හේතු වෙයි. විභාග දෙපාර්තමේන්තුව නැවත සමීක්ෂණ අයැදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේද අපේක්ෂකයන්ට කිසිදු අසාධාරණයක් නොවන්නටය. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හරහා යම් අපේක්ෂකයකුගේ ප්‍රතිඵලයක් බොහෝ සෙයින් වෙනස් වුවහොත්, එනම් C ලකුණක් A වුවහොත් ? දශමස්ථානය පවා ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන එවන් අවස්ථාවක ඒ වෙනස සුළු යැයි සාධාරණීකරණය කිරීමට හැකිවේද?

2020 වසරේ උසස් පෙළ විභාගය පැවැතියේ මහා ව්‍යසනයක් වූ කොවිඩ් වසංගතයේ දරුණුතම අවධියේය. විභාගය එක් අවස්ථාවක් පමණක් නොව අවස්ථා දෙකකදීම කල් ගියේය. සිසුන්ටගේ පාසල් කටයුතු සියල්ල අඩපණ විය. පිළිතුරු පත්‍ර පරික්ෂාවද සිදුවූයේ ඒ ගුරුවරුන්ගේ දැඩි කැපවීම මධ්‍යයේ බව පැවැසිය යුතුමය. මේ සියලු අවස්ථාවන්හිදි විභාග දෙපාර්තමේන්තුව මුහුණ දුන්නේ විභාග ඉතිහාසයේ අත් නොවිඳි දැඩි අභියෝග ගොන්නකටය. අභියෝග මධ්‍යයේ වුවද සිසුන්ගේ ප්‍රතිඵල නියමිත කාලයේදි ලබා දෙන්නට විභාග දෙපාර්තමේන්තුව සමත් වුවද, අන් සෑම වසරකදි මෙන්ම මේ වසරේදීද නැවත සමීක්ෂණ සඳහා 48,000 කට ආසන්න පිරිසක් අයැදුම්පත් යොමු කර තිබුණි. මහනුවර ධර්මරාජ විදුහලේ දක්ෂ සිසුවකු වූ රුචිර නිසංග අබේවර්ධන ද ඉන් කෙනෙකි.

රුචිරට නැවත සමික්ෂණ හරහා සිදුවූයේ අපූරු වෙනසකි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රුචිර උසස් පෙළ විභාගයට පෙනි සිටියේ ගණිත අංශයෙනි. ඒ පළමුවර 2019 වසරේදිය. ඒ අවස්ථාවේදි ඔහුට රසායන විද්‍යාවට A සාමාර්ථය්‍යක්ද, භෞතික විද්‍යා විෂයට B සාමාර්ථ්‍යයක්ද සංයුක්ත ගණිතය විෂයට C සාමාර්ථයක්ද ලැබුණි. මේ නිසා තමන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු නිසාවෙන් යළිත් වරත් 2020 වසරේදි ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. ඒ අවස්ථාවේදි ඔහුට රසායන විද්‍යා හා භෞතික විද්‍යා විෂයන්ට A සමාර්ථ්‍යයක් ලැබුණුද සංයුක්ත ගණිතයට ලැබුණේ C සාමාර්ථයකි. එය ඔහු අපේක්ෂා නොකළ දෙයකි.

“ විශ්වවිද්‍යාල ඇය­ැදුම් කිරීමට සිදුවන නිසා මම මේ සාමාර්ථ­්‍යයෙන් විශ්වවිද්‍යාලයට ඇයදුම් කළා. මට පළමු ලකුණට ලැබුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලය. නමුත් මම හොඳින් සංයුක්ත ගණිත විෂයයට පිළිතුරු ලබා දුන්නා . මේ නිසා මට ලැබුණු ප්‍රතිඵලය ගැන සෑහීමට පත්වන්න බැරි වුණා. මේ නිසා මම නැවත සමීක්ෂණයට ඒ විෂය යොමු කළා. ඒ අනුව මට ලැබුණු C ප්‍රතිඵලය A දක්වා වෙනස් වුණා. ......“රුචිර පවසයි.

රුචිරට කලින් සංයුක්ත ගණිත විෂයට C සාමාර්ථ්‍යයක් ලැබීම නිසා ඔහු ලැබී ඉසෙඩ් ලකුණ 2.0084 කි. දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමවලදි ඔහු 68 වැනි ස්ථානයේ සිටියේය. දිවයිනේ ශ්‍රේණිගත කිරීමෙන් 966 ස්ථානයටත් පත්ව තිබුණි. එහෙත් C සාමාර්ථ්‍යය A සාමාර්ථ­්‍යයක් දක්වා වෙනස් වීම ඔහුගේ කඩඉම් තීරණය වූයේ මේ ආකාරයෙනි. නව ඉසෙඩ් ලකුණ 2.5538ක් දක්වා ද, ශ්‍රේණිගත කිරීම් පිළිවෙළින් 68 ස්ථානය 12 දක්වාත්, 966 ස්ථානය 124 දක්වාත් වෙනස් වී තිබුණි.

“මේ ප්‍රතිඵලය අනුව මට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාව හිමි වෙනවා....“රුචිරගේ පියා ලලිත් අතුල අබේවර්ධනය. මව මාලනි අබේවර්ධනය. ඔවුහු වෘත්තියෙන් ගුරුවරුය. ඔහුගේ සහෝදරියද මේ වන විට විශ්වවිද්‍යාල සිසුවියකි.

මෙවර නැවත සම්ක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් 48,000කට අධික ප්‍රමාණයකින් 293 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස්වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි. නැවත සමික්ෂණයේදි යම් යම් ප්‍රතිඵල සුළු වශයෙන් වෙනස්කම් සිදුවුවද මෙසේ විශාල වෙනසක් සිදුවූයේ ඇයි? “විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. ඒ දඬුවම් කිරීමට වඩා ඉදිරියේදි සිදුවිය හැකි වැරදි අවම කිරීමටයි. සෑම විටම දරුවන්ට අසාධාරණයක් නොවන තැනටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ. නැවත සමීක්ෂණ කිරීම් සිදු කරන්නෙත් එවැනි වැරදි අවම කිරීමටයි. සියලු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරිම් කරන්නේ මිනිසුන් අතින්. ඒ වගේම පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගතය හමුවේ තමයි, මේ ගුරුවරු සිය කැමැත්තෙන්ම සහභාගි වී මේ පිළිතුරු පත්‍ර ඇගැයිම් කටයුතු සිදු කළේ. රටේ පැවැති වාතාවරණය හමුවේ මේ කටයුතු සිදුවුණේ බාධා රැසක් මධ්‍යයේයි. ඒ නිසා යම් යම් වැරදි අතපසුවිම් සිදුවිය හැකියි. එය නැවත සමීක්ෂණ කටයුතු හරහා නිවැරදි කිරීම අපේ යුතුකමක්. ඒත් මෙවැනි ලොකු වෙනසක් සිදුවන්නේ කලාතුරකින්.

 

මේ අවස්ථාවේ සිදුව ඇත්තේ තාක්ෂණික දෝෂයක්.....“ ඒ විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේනය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි සාමාන්‍යයෙන් නැවත සමීක්ෂණ සඳහා යොමු කරන පිළිතුරු පත් පරික්ෂකවරු දෙදෙනෙකු අතින් නැවත පරීක්ෂාවට ලක් වෙයි. මුලින්ම පිළිතුරු පත්‍ර නැවත පරික්ෂාවට යොමු කරන්නේ ප්‍රධාන පරික්ෂකවරයෙක්ය. ඔහු අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වෙයි. දෙවැනුවට එම පිළිතුරු පත්‍රයම නැවත පරික්ෂාවට යොමු කරන්නේ අතිරේක ප්‍රධාන පරික්ෂකවරයකුය. ඔහු පිළිතුරු පත්‍ර ඇගැයීම් මණ්ඩලයේ ප්‍රධානියෙකි. මේ දෙදෙනාම වෙන වෙනම නැවත ඇගයීමක් සිදු කරන අතර අවසානයේ දෙදෙනාම තමන් හඳුනාගත් වැරදි එක්ව සාකච්ඡාවට ලක් කර අවසන් ලකුණ දෙදෙනාගේම තීරණයෙන් සකස් කෙරෙයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන අන්දමට මෙවර නැවත සමීක්ෂණයේදී වෙනස්කම් සිදුව ඇත්තේ 0.6% ක සුළු ප්‍රතිශතයකි. එවැනි වෙනස්කම් සිදුවූ අයට නැවත වතාවක් නිවැරදි ප්‍රතිඵලය අනුව විශ්වවිද්‍යාලයට නැවත ඇයැදුම් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉඩ ලබා දී ඇත. මේ අනුව ඉදිරි දිනයකදී රුචිරට ඉංජිනේරු විද්‍යාව සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඇයැදුම් කිරීමට අවස්ථාව සැලසෙයි.

 

Comments