වසර 25 කින් සැබෑ වූ ගුරු වැටුප් චක්‍ර­ලේ­ඛය | සිළුමිණ

වසර 25 කින් සැබෑ වූ ගුරු වැටුප් චක්‍ර­ලේ­ඛය

කොවිඩ් වසංගතයෙන් අනතුරුව වසර දෙකක් පුරාවට කඩින් කඩ විවෘත කෙරුණු පාසල් සියල්ල යළි යථා තත්ත්වයට පත් වන්නේ හෙටින් අනතුරුවය. මේ වන විටත් පාසල් සියල්ල විවෘත වුවද සිසුන් පාසල්වලට ගෙන්වා ගත්තේ කොටස් වශයෙනි. ඒ අතර වසර 25 කට පසු එළඹුණු නව වසරේ සිට පාසල් ගුරු විදුහල්පතිවරුන්ට ද වඩාත් සතුටුදායක කාලයක් උදා වී ඇත්තේ ය. ඒ පසුගියදා වසර 25 ක් පුරාවට ඇඳුණු ගුරු වැටුප් අරගලය නිමාවීමේ සතුටුදායක පුවත ය. දැන් සියල්ලෝම සතුටිනි. පාසල් ද යළි යථා තත්ත්වයට පත්ව ඇත්තේය. කොවිඩ් හේතුවෙන් දරුවන්ගේ අඩපණ වූ පාසල්වැඩ කටයුතු යළි පණ ගැන්වීමේ වගකීම ඉටු කරන්නට සියල්ලෝම සූදානම්ය.

මෙය දින 120 පුරාවට මෙවර පැවැති ඉතිහාසයේ දිගුම හා වැඩිම සහභාගිත්වයක් පෙන්වූ ගුරු අරගලය බව වෘත්තිය සමිතිවල අදහසයි. 1997 සිට 2001 දක්වාවූ සෑම රජයකටම ගුරු වැටුප් ප්‍රශ්නය ඉදිරිපත් වුවද නිසි විසදුම් ලැබුණේ නැත. ඒ සඳහා කොමිසම් කිහිපයක්ද පත් වූ නොරහසකි.

විමලධර්ම ඒකනායක කොමිසම, පි.බි කරුණාරත්න වැටුප් කොමිසම, ක්ලැරිස්ටන් නානායක්කාර කොමිසම, මුන්ඩිගල කමිටුව හා 2006 බි. සි. පෙරේරා වැටුප් විෂමතා විසදීමේ කොමිසම ඒ අතර ප්‍රධානය. බී. සී. පෙරේරා කොමිසම මඟින් ගුරු වැටුප් නොවිසදීම නිසා සාලිය මැතිව් හා ලයනල් ප්‍රනාන්දු කොමිසම සුබෝධනි වැටුප් කොමිසම්ද පසුව පත්විය.

ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා ඇමැති අනු කාරක සභා තුනක්ද විටින් විට පත්විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමයේ කරු ජයසූරියගේ සභාපතිත්වයෙන්ද, අනතුරුව හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්ද තවත් අනු කමිටුවක් පත්වූ අතර වත්මන් රජය පත් කළේ ඇමැති ඩලස් අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් යුතු ඇමැති අනුකාරක සභාවය. මෙම අනු කමිටුව මඟින් නිර්දේශ වූයේ 2018 රනුක්ගේ ඉදිරිපත් කළ වැටුප් යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව දින 120 ක් පුරාවට පැවැති වැටුප් අරගලය නිමාව දකිමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියෙන් ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්විය.

වමේ සිට, අධ්‍යා­පන වෘත්ති­ක­යින්ගේ සංග­මයේ සභා­පති උල­පනේ සුමං­ගල හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ ලේකම් යල්වෙල පඤ්ඤා­සේ­කර හිමි, අධ්‍යා­පන ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන, අධ්‍යා­පන ලේකම් ජ්‍යේෂ්ඨ මහා­චාර්ය කපිල සි. පෙරේ­රා, පොදු ජන අධ්‍යා­පන සේවා සංග­මයේ සභා­ප­තිනි වසන්තා හඳ­පා­න්ගොඩ, , ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං, ලංකා ගුරු සේවා සංග­මයේ ප්‍රධාන ලේකම් මහින්ද ජය­සිංහ සහ  ලංකා ප්‍රගති ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් මයුර සේනා­නා­යක

ඒ අනුව රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය පසුගියදා නිකුත් කළ අතර, ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිවූ මෙම චක්‍රලේඛය මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙයි.

 

දායක වු සැමට ස්තූතියි - අධ්‍යාපන ලේකම්

“ වසර 24 ක් පුරාවට ඇඳි ගිය මේ ගුරු වැටුප් අරගලය විසඳීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා, අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සම්බන්ධ වුණා. චක්‍රලේඛය නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, වැටුප් හා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු විශාල පිරිසක් කටයුතු කළා. මහ භාණ්ඩාගාරය විශාල කැපවීමකින් කටයුතු කළා. මේ වන විට ගුරු වැටුප් වැඩි කිරිමේ චක්‍රලේඛය නිකුත් කර අවසන්. මෙය යුහුසුළුව ඉටු කිරිමට මහන්සි වූ සැමට ස්තූතියි....“ ඒ අධ්‍යාපන ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සි. පෙරේරාය.

 

මුදල් ඇමැති සාකච්ඡාවට ආවේ මුදල් සොයා ගෙනයි- සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය

“ගුරු විදුහල්පතිවරුගේ සමගිය මීට ශක්තියක් වුණා. කිසිදු දේශපාලන භේදයක් තිබුණේ නැහැ. මුදල් ඇමැතිවරයා අපිත් සමඟ සාකච්ඡාවකට ආවේ මුදල් සොයාගෙනයි. මේ නිසා මම ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අතපසු වූ පාසල් වැඩ කඩිනමින් ඉටු කරන්න කියා. අත්‍යාවශ්‍ය දේකට හැර නිවාඩු නොගන්න. දරුවන්ගේ ඉගැන්විම්වලට ප්‍රමුඛතාව දෙන්න. රටේ දෙමවුපියන් ඉන්නේ දැඩි මූල්‍යමය අර්බුදයකින්. ඒ නිසා පාසලේ යම් යම් දේට මුදල් ඉල්ලීමෙන් වළකින්නයැයි අපි ඉල්ලා සිටිනවා. රජයෙනුත් අපි ඉල්ලා සිටින්නේ පාසල් නඩත්තු කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා....“ ඒ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමියන්ය.

 

පිළිගත හැකි විසඳුමක් ලැබුණා -අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය

“අපි තීරණාත්මක අරගලයක් පසුගිය කාලයේ සිදු කළා. සම්පූර්ණ වැටුප් විෂමතාව මෙමඟින් ඉවත් නොවුණත් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් වුණා. රටේ පවතින වාතාවරණය හමුවේ රජය ගත් මේ පියවරට ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඉදිරියට අපි රාජ්‍ය සේවයත් සමඟ එකතු වී 6/2006 චක්‍රලේඛය හරහා ඇති වූ වැටුප් විෂමතාවන්ට විසඳුම් ඉල්ලා සටන් කරනවා. හෙට සියලු පාසල් යළි විවෘතයි. ඒත් පාසල් විවෘත කිරීමේදි මූලික අවශ්‍යතා හෝ ලබා දී පාසල් විවෘත කරන්නට කටයුතු යෙදුවා නම් හොඳයි. අද කොවිඩ් හමුවේ රට සිටින්නේ ඉතා භයානක තැනක. පාසල් පද්ධතිය සෞඛ්‍ය අධික්ෂණයෙන් ඉවත් නොකළ යුතුයි. ...“ ඒ අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමිය.

 

අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන්න- ලංකා ගුරු සංගමය

“ රාජ්‍ය පරිපාලන අමාත­්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කළත් එය යවා ඇත්තේ ආයතන ප්‍රධානීන්ට පමණයි. නමුත් වැටුප් සකස් කිරීමට උපදෙස් ලබා දිය යුත්තේ කලාප අධ්‍යාපන කාර්යාලවලටයි. එම උපදෙස් ලබා දීම කඩිනමින් සිදු කළ යුතු බව මගේ අදහසයි. අපි බලාපොරොත්තු වෙනවා, ජනවාරි වැටුපේ සිට මෙම වැඩි කිරීම් ලැබෙයි කියා. හෙට දින පාසල් යළි විවෘත කිරීමේදි දරුවන්ට අවශ්‍ය මුඛ ආවරණ සියල්ල නොමිලේ හෝ ලබා දීමට රජය කටයුතු කළ යුතුයි. දරුවන්ටගේ ප්‍රවාහන ගැටලු විසදීමට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැඟිය යුතුයි.....“ ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිංය.

 

ඉතිහාසයේ වූ වැරුද්ද නිවැරදි කළා - පොදු ජන අධ්‍යාපන සේවා සංගමය

“ ඉතිහාසයේ වු වැරැද්ද නිවැරදි කළේ මේ රජයයි. ගුරු සේවයේ 3 සිට 1 දක්වා ගුරුවරයකුගේ වැටුප රුපියල් 4100 සිට 11,000 දක්වා වැඩි වෙනවා. ගුරු වැටුප් වැඩි වීමට අමතරව රුපියල් 5000 ක දීමනාවකුත් ලැබෙනවා. එසේම ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා සංශෝධනය කරන්නත් ඉදිරියේදි කටයුතු යොදා තියෙනවා.

තුනෙන් දෙකකටත් වඩා ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීගෙන එන විට රාජ්‍ය නොවන සංවිධාන පාරට බැහැලා මහ විකාරරූපි අරගලයක් කළා. සමහරුන්ට විවිධ පටු දේශපාලන අරමුණු තිබුණා.

අපිට රජය ගැන විස්වාසයක් තිබුණා. ජනාධිපති, අගමැති මෙන්ම මුදල් ඇමැතිතුමාටද වැටුප් විෂමතා විසදීමේ ගෞරවය හිමිවිය යුතුයි....“ඒ පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ය‍.

 

වැටුප් විෂමතා තුනෙන් එකක් විසඳුවා - ලංකා ප්‍රගති ගුරු සංගමය

“ අපි ඉල්ලුවේ සුබෝධනී වාර්තාව. එහෙත් ඇමැති අනු කමිටු යෝජනාවට අපි එකඟ වුණා. වැටුප් විෂමතා තුනෙන් එකක් විසඳුවා. සුබවාදි ප්‍රවේශයකින් වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය කටයුතු කිරීම ගැන ස්තූතියි. නමුත් ඉදිරියේදි විසඳා ගැනීමට තවත් වැටුප් ප්‍රශ්න තියෙනවා. දක්ෂ ගුරුවරයකු බිහි කිරීමට නම් ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි. ස්ථාන මාරුවීම්, විදුහල්පති ව්‍යවස්ථාවේ පැවැති අඩුපාඩු ගුරු උපදේශක සේවයේ ගැටලු ඉදිරියේදි විසඳුම් ලැබිය යුතුයි....“ ඒ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර සේනාන­ායකය.

 

පසුගිය රජයන් විසඳුම් දුන්නේ නැහැ - ලංකා ගුරු සේවා සංගමය

“වසර 25 ක සටනක් පසුගිය කාලයේ ජයග්‍රහණය කරන්න අපිට හැකිවුණා. පසුගිය රජයන් මීට විසඳුම් නොදී කල්මරමින් පසුවුණා. ඒත් පසුගිය කාලයේ අපේ සටන නිසා මීට විසඳුමක් නොදී සිටීමට රජයට නොහැකි වුණා. අපේ වැටුප් විෂමතාව සම්පූර්ණයෙන්ම විසඳුණේ නැහැ. තව තුනෙන් දෙකක් විසඳීමට තියෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයෙන් හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබීම ගැන සතුටුයි....“ ඒ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහය.

හෙට දින සිට කොවිඩ් පරදා අලුත් පාසල් ගමනක ආරම්භයක් සනිටුහන් කරන්නේය.

 

Comments