සජිත්ට පෙර රනිල් පෙරට | සිළුමිණ

සජිත්ට පෙර රනිල් පෙරට

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සිදුවීමත් සමඟම පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ උණුසුම් කතාබස් සිදුවිය.

 

පසුගිය 04 වැනිදා උදෑසන ජංගම දුරකතනවලට මාධ්‍ය ආයතනවලින් ලැබුණු කෙටි පණිවිඩයකින් කියවුණේ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බවයි.

ඊට පෙර දින ඉරිදා දෙල්කඳ පොළේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා අමාත්‍යවරුන් විවේචනය කිරීම නිසා සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා පළ විය.

03 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් බරපතළ ලෙස දෝෂාරෝපණය එල්ල වූ බව ද වාර්තා වේ.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කර එය විපක්ෂයේ වේදිකාවකට පාර කැපීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙවැනි තීරණ ගත යුතුව තිබුණේ මීට කලින් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර තිබුණි.

මෙරට හරිත කෘෂිකර්මයට එක්සත් ජාතීන්ගේ පැසසුම්

 

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතර පසුගිය (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

කන්නි විග්නරාජා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් හතකින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව, රටවල් 165 ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇතැයි විග්නරාජා පෙන්වා දුන්නාය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑම්වලට විසඳුම් සොයන අතරතුර, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. ඒ වෙනුවෙන් "දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය" සහ "ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකාය" ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම් නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

අගමැතිගේ සාගර ආර්ථිකය යළි පණ ගැන්විය යුතුයි

 

මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ නව වසරේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරුණේ පසුගිය 03 වැනි සඳුදා පෙරවරුවේය.

අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩලයට අමතරව අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූර හොබවන කැබිනට් අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව වසරට සියලුම දෙනා වෙනුවෙන් සුබ පැතුම් එක් කළ මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා කියා සිටියේ 2021 වසරේ අභියෝග ජයගන්නාක් මෙන් 2022 වසරේදී ද අභියෝගවලට සාර්ථකව මුහුණදීමට අදිටන් කළ යුතුයි කියාය.

සෞඛ්‍ය අංශයෙන් හා ආර්ථිකයෙන් මතු වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරය සහ ඉදිරියේ දී මුහුණදිය යුතු ආකාරය අංගොඩ උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද පැහැදිලි කළහ.

විශේෂයෙන් ම 2012 වසරට පෙර සාගර ආර්ථිකයක් කේන්ද්‍ර කර ගනිමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ගෙන ගිය සංවර්ධන හා ආර්ථික වැඩසටහන යළි පණගැන්වීම යුගයේ අවශ්‍යතාවක් බව ද මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද විසින් පෙන්වා දෙන ලදී.

2015 ට පෙර ක්‍රියාත්මක වුණු ආර්ථික වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කළහොත් කොවිඩ් ලෝක වසංගතයෙන් වැටී තිබෙන ආර්ථිකයට ද හොඳ පිළිතුරක් ලැබෙනු ඇති බවට විද්වතුන් රැසකගේ ම මතය වී තිබෙන බව ද මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමීණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඩුබායි එක්ස්පෝවල දී ජී.ඇල්. - ප්‍රසන්න කරපු දේ

 

ඩුබායි එක්ස්පෝ තාක්ෂණය ශ්‍රී ලංකා දිනය ආවරණය කිරීම සඳහා මෙරට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙරට මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගිය සතියේ ඩුබායි බලා පිටත් විය.

ප්‍රදර්ශනය ශ්‍රී ලංකා දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ය.

මෙම මාධ්‍යවේදීන් කණ්ඩායම සහ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ගොස් සිටි විදේශ අමාත්‍යවරයා, ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අතර හමුවක් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේසිංහගේ නිල නිවසේ සංවිධානය කර තිබුණි.

නමුත් නියමිත වේලාවට එහි පැමිණෙන්නට මාධ්‍යවේදී කණ්ඩායමට නොහැකි විය. ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්ව මාධ්‍යවේදීන් පැමිණෙන තෙක් රැඳී සිටි අමාත්‍යවරුන් අතර වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා විය.

මධුර විතානගේ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් "ලංකාවට ඉහළින් බලනකොට මුළු ලංකාවම එකම නිල් තණ නිල්ලක් වගේ. ඩුබායිවලට ඉහළින් බලනකොට කොන්ක්‍රීට් වනාන්තරයක්. සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න ඕනේ කරන හැම සම්පතක්ම අපේ රටේ තියෙනවා."

 

වසර 35 කට පසුව දිනේෂ් හෙළි කළ රහස.

 

"ඒක ඇත්ත. අපිට පුළුවන් අපේ රටේ සංචාරක කර්මාන්තය මීට වඩා දියුණු කරන්න. ඒකට තමයි අපි මේ මේතරම් මහන්සි වෙන්නේ." ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය.

මේ කතාබහ අතරතුර මාධ්‍යවේදීන් කණ්ඩායම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නිල නිවසට පැමිණියහ.

"මට හිතෙන්නෙ අපි අපේ රටේ තියෙන සම්පත්වලින් නිසි ප්‍රයෝජනය අරගෙන නැහැ." මධුර විතානගේ නැවතත් කීය.

"මන්ත්‍රිතුමා හරි. අපිට අපේ ජල සම්පත කෙරේ මීට වැඩි අවධානය යොමු කරන්න පුළුවන්. මුහුදු සම්පත් ගැන අවදානය යොමු කරන්න පුළුවන්." ජී.එල්. පීරිස් ඇමතිවරයා කීවේය.

"සාම්ප්‍රදායික මාර්ගවල නොසිට නවොත්පාදන ලෝකයකට ගමන් කිරීම ගැන අපි මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනේ." ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද කීය.

"මේ වෙනකොටත් කුරුඳු, තේ, පොල්, රබර් වගේ අපනයන බෝගවලට අගය එකතු කරලා අපනයනය කිරීම සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා." ජී.එල්. පීරිස් ඇමතිවරයා කීවේය.

ඩුබායිහි දී මාධ්‍යවේදියකුට සිදු වූ අකරතැබ්බයකට වහාම ප්‍රසන්න, ජී.එල්. යන අමාත්‍යවරු මැදිහත්වී ගැටලුව විසඳූහ.

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන, පසුගිය බදාදා විශේෂ කටයුත්තක් සඳහා කෝට්ටේ නාග විහාරයට පැමිණියේ, මාලඹේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමෙන් අනතුරුවය. මුල්ගල තැබීමේ අවස්ථාවේ පැමිණ සිටි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අවස්ථාවක් නොලැබුණ ද, සිය කතාවේදී, කොළඹ ඉතිහාසයේ, පෘතුගීසින්ට එරෙහි මුල්ලේරියාව සටන ගැනත්, වානේ සංස්ථාව පිහිටුවීමේ අවස්ථාව ගැනත් විශේෂයෙන් සඳහන් කළේය.

එම උත්සව වේදිකාවේ දී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සහ විමල් වීරවංශ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් එකිනෙකා කතාකරමින් සිටිනුද දක්නට ලැබිණි.

උත්සවය අවසාන වනවාත් සමඟ ම දිනේෂ්, කඩිමුඩියේ කෝට්ටේ නාග විහාරයට පැමිණීම මාධ්‍ය දැනසිටියේ ද නැත. එහෙත් මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මෙන් ම මහජන එක්සත් පෙරමුණේ නායකයන් කිහිප දෙනෙක් ද ඒ වන විටත් එහි පැමිණ සිටියහ.

"දැන් නාග විහාරයේ ඉන්න නිසා මම කියන්නෙ, 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ වෙලාවෙ මේ භුමියේ වෙච්ච දෙයක්. මේක කියන්න ඇසින් දුටු සාක්ෂියක් අද ජීවතුන් අතර නෑ."

"ඉන්දු - ලංකා ගිවිසුමට විරුද්ධ වුණා කියලා, එදා නාරාහේන්පිට අභයාරාමයේ දී, වෙඩි තියලා, තරුණයෝ දෙන්නෙකුත් මරලා, ඒ නායක හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න ආපු පොලිස් අධිකාරිට මම කිව්වා, මේක පන්සලක් සපත්තු ගලවලා එන්න කියලා. ඊට පස්සෙ අත්අඩංගුවට ගන්නෙ නාග විහාරයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො කියලා කිව්ව නිසා, මම ගීතාංජන ගුණවර්ධනත් එක්ක, නාග විහාරයට ඇවිත්, සෝභිත හාමුදුරුවන්ව මගේ වාහනයේ නග්ගගෙන, ඇඳිරි නීතිය මැද්දෙ, කහතුඩුවේ විශ්වාසවන්ත පන්සලකට එක්කන් ගියා."

"කොළඹ ඉතිහාසය කියන කොට, පෘතුගීසි, ලන්දේසි ගැන කියනවා මිසක් මේ සටන් ඉතිහාසය කියන්න කෙනෙක් නෑ, කොළඹ සංවර්ධන කමිටුවේ දී මම මේක අත්දැකලා තියෙනවා"

කොළඹ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ද වන යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

 

රන්ජන් බලන්න සජිත් වැලිකඩ යයි.

 

වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ සුව දුක් විමසීමට සජිත් පසුගිය දා බන්ධනාගාරයට ගියේය. රන්ජන් හමුවූ සජිත් නැවත පැමිණියේ ඔහු නිදහස් කරගැනීම සඳහා නව අරගලයක් ආරම්භ කරන බවට සහතික වෙමිනි.

"රන්ජන් නිදහස් කරගන්න අපි කැපවෙනවා. මම රජයෙන් අවස්ථා කිහිපයකදීම නිදහස දෙන්න කියලා ඉල්ලුවා. ලිඛිතව දුන්නා. ඒවා ක්‍රියාත්මක කරලා නෑ. ඒ නිසා අපි පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු එකතු කරගෙන අලුත් අරගලයක් ආරම්භ කරනවා" සජිත් සහතිකයක් දුන්නේය.

අලුත් අවුරුද්දේ දී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වූයේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමටය. රටේ ඇතිවී තිබෙන අර්බුද සඳහා සමගි ජන බලවේගයේ විසඳුම් ඇතුළත් මූලික ප්‍රතිපත්ති රාමුවක් ලෙස පක්ෂයේ දැක්ම සකස් කිරීමේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. කබීර්, ඉරාන්, හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු ඒ සඳහා නායකත්වය දෙති.

 

අන්තරේ කැඳවුම්කරුගෙන් ඉමිතියාස්ට ඇමතුමක්.

 

රටේ දැන් පවතින අර්බුදයට දේශපාලන පක්ෂවලට ඇති විසඳුම් ගැන එකම වේදිකාවක සාකච්ඡා කිරීම සඳහා වන සංවාදයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. සමගි ජන බලවේගය නියෝජනය කරමින් එයට සහභාගීවීමට නියමිතව සිටියේ ඉමිතියාස් බාකීර් මාකීර් මන්ත්‍රීවරයාය.

සිකුරාදා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබිය දී බ්‍රස්පතින්දා සවස ඉමිතියාස්ට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගෙන් ඇමතුමක් ලැබුණි.

"හෙට සාකච්ඡාව තියන්න වෙන්නේ නෑ. ඒක අවලංගු කරන්න වෙලා තියෙනවා" වසන්ත කීවේය.

"ඇයි ඒ" ඉමිතියාස් ඇසුවේය.

"හෙට අනිද්දා ආණ්ඩුවක් හදන්න ඉන්න ජනතා විමුක්ති පෙරමුණ වගේම දැන් ආණ්ඩු කරන පොදුජන පෙරමුණත් තමන්ගේ නියෝජිතයෝ නම් කරලා එවලා නෑ. ජනතා විමුක්ති පෙරමුණ අද උදේ කතා කරලා අනික් පක්ෂවලින් එන්නේ කවුද කියලා ඇහුවා. ඒත් තවම ඒ අයගේ ප්‍රතිචාරයක් නෑ. දැන් ටෙලිපෝන් ආන්සර් කරන්නේත් නෑ. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසමුත් මේ ගැන කමිටුවකට දාල තීරණයක් අරගෙන කියන්නම් කිව්වා. ඒත් ඒ අයත් තවම ප්‍රතිචාරයක් දක්වලා නෑ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි, සිරිතුංග ජයසූරියගේ පක්ෂයයි, සමගි ජන බලවේගයයි විතරයි එන බව සහතික කළේ. එහෙම සාකච්ඡාවකට එන්න, තියෙන ප්‍රශ්නවලට උත්තර තියෙන්න ඕන. ඒ වගේම ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති ගැන ඔබතුමන්ලාට විශ්වාසයක් තියෙන නිසා තමයි එන්න කැමැති වෙලා තියෙන්නේ" අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉමිතියාස්ට ලැබුණේ එවැනි පිළිතුරකි.

 

වජිර දර ළිපේ ආප්ප කයි.

 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය දිනවල පුරාවට බද්දේගම, අම්බලන්ගොඩ සහ ගාල්ල මැතිවරණ කොට්ඨාසවල සංචාරය කරමින් එ.ජා.ප. ක්‍රියාකාරීන් මෙන් ම පාක්ෂිකයන් මුණ ගැසී පක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඔවුන් දැනුම්වත් කළේය.

මේ සංචාරය අතරතුර බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ වදුරඹ ප්‍රදේශයේ කුඩා වෙළඳසලකට වජිර ගොඩවිය. වෙ‍ෙළඳසල් හිමියා සිතුවේ එතුමා එළියේ සිට කතාකර පිටව යනු ඇති බවය. එහෙත් වෙ‍ෙළඳසල් හිමියා මවිතයට පත්කරමින් වජිර ඔහුගේ වෙ‍ෙළඳසල ඇතුළටම ගියේය.

විවිධ ආහාරපාන සහ බඩු භාණ්ඩවලින් සමන්විත එම වෙ‍ෙළඳසලේ එක් පැත්තක සිලින්ඩරය නැති හිස් ගෑස් ළිපක් දිස්විය. තවත් පැත්තක කාන්තාවක් දර ළිපක ආප්ප පුච්චයි. ආප්පයක් අතට ගත් වජිර එය අනුභව කරන ගමන් වෙ‍ෙළඳසල් හිමියා සමඟ කතාබස් කරමින් ව්‍යාපාරය පවත්වාගෙන යාම පිළිබඳව විමසා සිටියේය.

"අනේ සර්, කඩේට එන අය ඉල්ලන තේ එක දෙන්න විදිහක් නැහැ, කිරිපිටි නැහැ, සීනී නැහැ, වතුර ටිකක් උණු කරගන්න, ආප්පයක් පුච්චගන්න ආරක්ෂිත ගෑස් නැහැ. හැමතැනම ගෑස් ටැංකි පුපුරනවා. අපි පාවිච්චි කළ ගෑස් ටැංකිය තමයි අර පැත්තක අයින් කර තිබෙන්නේ. කොයි වෙලාවේ පුපුරා යයි ද දන්නේ නැහැ. ඉතින් මර බියෙන් ජීවත් වෙන්න බැරි නිසා ගෑස් ටැංකිය ගලවලා පැත්තක තියලා දර ළිපක් හදාගෙන ආප්ප පුච්චනවා“ යැයි වෙ‍ෙළඳසල් හිමියා දුක්බරව පැවසීය.

"ඔව්, හැමතැනම ගෑස් ළිප් පිපිරෙනවා. ඉතින් මොකද්ද කරන්නේ? අපේ කාලයේ මෙහෙම වුණේ නැහැ. කොයිකටත් දර ළිප හොඳයි. දර ළිප් පුපුරන්නේ නැහැනේ." යැයි ප්‍රකාශ කරමින් වජිර එම ස්ථානයෙන් පිටත් වුණේ අම්බලන්ගොඩ අලුත්වල ප්‍රදේශයේ මළ ගෙදරකට සහභාගී වීමටය.

 

රනිල්ගේ නිවසේ සිදුවුණේ මොනවාද?

 

පසුගිය 03 වැනි සඳුදා සිය නිවසේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් දුන්නේය. නායකයා ඔවුන්ගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුව යළි 18 දා කැඳවීම හා ඉන් පසුව පැවැත්වෙන ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙනි. ජනාධිපතිවරයාගේ කතාවට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටිය යුතු බැවින් එය කලින් කළ යුතු බව නායකයාගේ අදහස විය. ස.ජ.බ. මෙන් ම දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් සමඟ කතා කළ නායකයා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. අනෙක් පිරිසගෙන් ඔහුට ඒ සම්බන්ධයෙන් ලැබී තිබුණේ ධනාත්මක ප්‍රතිචාරයකි.

"දැන් බිස්නස් කමිටි එක නෑ. ඒ නිසා අපිට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලන්න වෙන්නේ 18 වැනිදා පාර්ලිමේන්තුව රැස් වෙලා ජනාධිපති කතා කරලා ගියාට පස්සෙයි. එතකොට ආණ්ඩුව ඒ සතියේ ආණ්ඩුවේ වැඩසටහන් සකස් කරලා අවසන් නිසා අපිට විවාදය ඒ සතියේ ගන්න ලැබෙන්නේ නෑ. හැබැයි අපි දැන්ම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න කියලා මේ ඉල්ලීම දැනුම් දුන්නොත් අපිට පාර්ලිමේන්තුව කැඳවන මුල් සතියේම කල් තැබීමේ විවාදය ගන්න පුළුවන්." නායකයා දීර්ඝ ලෙස සැමට පැහැදිලි කර දුන්නේය.

විපක්ෂයේ පක්ෂ ක්‍රියාකාරීන් ඊට එකඟතාව පළ කිරීමෙන් පසු එ.ජා.ප. නායක දුරකතන ඇමතුමක් ගත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධනටය. එහිදී විපක්ෂයට එම සතියේම ජනාධිපතිගේ කතාව ගැන සභාව කල් තැබීමේ විවාදයක් අවශ්‍ය බව නායකයා, සභානායකට කීවේය. එසේම පක්ෂ නායක රැස්වීමක් කැඳවීමේ අවශ්‍යතාව ද දැන්වීය. සභානායකගේ පිළිතුර වූවේ එය කථානායකගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලෙසය.

ඔහුගේ පිළිතුරින් වහා ක්‍රියාත්මක වූ එ.ජා.ප. නායක රනිල් කථානායකට හා සභානායකට යැවීම සඳහා ලිපි දෙකක් සැකසීය. ඉකුත් 03 දා සැකසූ එම ලිපි දෙක නායකයා විසින් 05 දා කථානායක හා සභානායක කාර්යාල වෙත යැවීය. ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ ක්‍රියාකාරීන් හා නිලධාරීන් නායකයා මුණ ගැසුණේ කොළඹ 05 වෙනි පටුමගෙහි පිහිටි ඒ රනිල්ගේ නිවසේදීය.

"ජනාධිපතිතුමාගේ කතාවට, කල් තැබීමේ විවාදයක් ඉල්ලලා නායකතුමා ලියුමක් යැව්වාට පස්සේ ඒ රාජකාරිය කලින්ම කරන්න බැරි වෙච්ච කණ්ඩායම් දැන් මේ ඉල්ලීම වෙන තැනකට ගෙනි යන්න හදනවා." රංගේ තමන්ට ලද තොරතුරක් හෙළි කළේය.

"එයාලා කියන්නේ ආණ්ඩුවේ වුවමනාවට කරන්න හදනවා කියලායි. නමුත් නායකතුමා එදා විපක්ෂ නායකවෙලා ඉන්නකොටත් සැසිවාරය අවසන් කරපු වෙලාවල්වල දී මෙහෙම ලියුම් යවලා තියෙනවා කියලා ඒ අය දන්නේ නැහැනේ." වජිර කීවේ සිනාසෙමිනි.

"මම මේ ලියුම යැව්වේ කාගෙවත් වුවමනාවට හෝ කාවවත් අපහසුතාවට පත් කරන්න නොවෙයි. ඉක්මනින් විවාදය ගන්නයි මට ඕන වුණේ. විවාදය ඉක්මනින් ගන්න එකේ වාසිය විපක්ෂයට මිසක් ආණ්ඩුවට නොවෙයි. මොකද ආණ්ඩුව තමන්ගේ සතියේ වැඩසටහන් සැලසුම් කරලා ඉදිරිපත් කළොත් අපිට කලින් මේ විවාදය ගන්න බැරි වෙනවා. උණුසුම ගියාට පස්සේ විවාදයක් අරන් වැඩක් නැහැනේ." නායකයා කීවේ උපේක්ෂාවෙනි.

 

ජාතීන් අතර සමගියට නාමල් පාර කපයි

 

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ එක්ව එළඹෙන ශීත ඍතු ඔලිම්පික් උලෙළෙහි සමාරම්භයට දින ගණනය ආරම්භ කිරීම හා ඒ සඳහා ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා පසුගිය (05) වැනි දින කොළඹ පෝර්ට් සිටි හිදී පැවති වැඩසටහනට සහභාගීවෙමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ "ලොවම වඩාත් අවධානයෙන් බලා සිටින ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් වන එළඹෙන XXIV ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය 2022 වසරේ පෙබරවාරි 4 වැනි දින බීජිං හිදී ආරම්භ වීමට නියමිතය.

2022 ශීත ඍතු ඔලිම්පික් උලෙළෙහි සමාරම්භක උත්සවය උත්සවාකාරයෙන් දිගහැරෙන අයුරු නැරඹීම සඳහා ජනතා සහභාගීත්වයෙන් යුත් සජීවී විකාශන වැඩසටහනක් පෙබරවාරි 04 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක උලෙළ ශ්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ සන්ධිස්ථානයක් වන අතර එය ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම සඳහා හේතු වනු ඇත.

Comments