සින­මා­වට 75 යි සංස්ථා­වට 50යි | සිළුමිණ

සින­මා­වට 75 යි සංස්ථා­වට 50යි

මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය ලෙස 1948 ජනවාරි 21 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ප්‍රදර්ශනය කෙරුණු අතර, එය චිත්‍රකලා මුවිටෝන් වෙනුවෙන් එම්.එස්. නායගම්ගේ නිෂ්පාදනයක් විය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ජෝතිශ් සිං නම් ඉන්දියානුවෙකි.

 

මෙම චිත්‍රපටය එකල මිනර්වා නාට්‍ය සමාගම ලෙසින් ප්‍රකට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ඉන්දියාවට ගොස් සම්පූර්ණයෙන් ම ඉන්දියානු චිත්‍රාගාරයක නිපද වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ රුක්මණී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී

බඹරු ඇවිත්

ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, පීටර් පීරිස්, බර්ට්‍රම් ප්‍රනාන්දු, ජෙමිණි කාන්තා ප‍්‍රමුඛ නළුනිළි රැසක් රංගනයෙන් දායක විය. එදා සිට ප්‍රදර්ශනය කෙරුණු මුල්කාලීන චිත්‍රපට ඉන්දියානු ආකෘතියෙන් තැනුණු ඒවා විය. මේ කාලයේදී සිනමා සමාගම් තුනක් ස්ථාපිතව පැවති අතර, ක්‍රමක්‍රමයෙන් සිනමාව ඔවුන්ට නතු විය. ඒ ගුණරත්නම් පවුලට අයත් සිනමාස් සමාගම, ගාඩ්නර් පවුලට අයත් සිලොන් තියටර්ස් සමාගම සහ කාදර් පවුලට අයත් සිනමා එනටර්ටේයින්මන්ට් සමාගමට ය.

නවසිය හැත්තෑ දෙක වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ වනතෙක්, ඒ අතර කාලය තුළ සිනමා කර්මාන්න්තයේ ස්ථාවර වූ මෙම සමාගම් කිහිපය ඉන්දියානු චිත්‍රපට ගෙන්වීමෙන් විශාල මුදලක් උපයාගත් අතර, මෙරට තුළ ජනප්‍රිය සිනමා සංස්කෘතියක් බිහි කිරීමටද ඔවුන් දායක විය. සිනමාවේ මෙම අවධිය වූ කලී ජාතික රාජ්‍ය කර්මාන්ත නියාමනය සඳහා මැදිහත් වීමට ප්‍රථමව බිහි වූ ප්‍රාථමික විවෘත වෙළෙඳපළ මාදිලියක් විය. පසුව මෙම වෙළඳ සමාගම් තුනේ ඒකාධිකාරයට බලපෑම් සහගත ලෙස මුහුණ දීමට හැටේ දශකය වන විට විවිධ පාර්ශ්වයන් සක්‍රීය ලෙස මැදිහත් විය. සිනමාවට කිසියම් දේශීය මුහුණුවරක් ලැබුණේ නම් ඒ 1950 දශකයෙන් පසුව බව කිව හැකිය. ඊට දේශීය ආයෝජකයන්ගේ සිනමා ආගමනය කිසියම් දුරකට බලපා තිබුණි.

නවසිය හැත්තෑව දශකය ආරම්භයේ දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සිනමා කර්මාන්තය රාජ්‍ය සුබසාධන ආකෘතිය තුළ ස්ථාපිත කළේය. ඒ අනුව 1971 අංක 45 දරන පනතින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත් වූ යේ ඩී.බී නිහාල්සිංහය. 1972 සිට 1977 දක්වා කාලය ලංකාවේ සිනමා කර්මාන්තයට අදාළ ඉතා තීරණාත්මක රෙගුලාසි බොහොමයක් හඳුන්වා දුන් කාලයකි. මෙමඟින් චිත්‍රපටකරණයට අදාළ කොන්දේසි ගණනාවක ස්ථාපිත වූ අතර, සංවෘත චිත්‍රපට කර්මාන්තය සශ්‍රීකව පවත්වාගෙන යාමේ අපේක්ෂාව පෙරදැරිව චිත්‍රපට බෙදාහැරීම සහ ආනයනය මුල්කරගෙන රෙගුලාසි බොහොමයක් සැකසුණු අතර, දේශීය චිත්‍රපට සඳහා සීයට හැටපහක තිර කාලයක් වෙන් කෙරිණි. විදෙස් චිත්‍රපට ආනයනයට සීමා පැනවිණ. මෙම කාල පරිච්ඡේදය ඇතැමුන් හඳුන්වන්නේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසය.

එලෙස කතානාද චිත්‍රපටිවලින් ඇරඹි ලාංකේය සිනමාවට ජනවාරි 21 වැනිදාට වසර හැත්තෑපහක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර පනහක් සපිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම්ව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී ප්‍රසාද් කලුපහන කියා සිටියේ ලංකේය කතානාද සිනමාවට මේ වසරේ වසර 75ක් සහ චිත්‍රපටි සංස්ථාවට වසර 50 පිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සිනමාවේ උන්නතිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවයි.

මෙම සංස්කෘතික උලළේ මුල්ම අංගය ලෙස මෙරට සිනමාවේ එදා සිට අද දක්වා සන්ධිස්ථානයන් සලකුණු කළ චිත්‍රපට හතක් එළඹෙන 10 වැනිදා සිට 16 වැනිදා දක්වා සවස 05ට ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඒ අනුව ජනවාරි 10 වැනිදා සඳුදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ “ගොළුහදවත”, 11 වැනිදා අඟහරුවාදා ආචාර්ය තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ “විරාගය”, 12 වැනිදා බදාදා වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ “වල්මත් වූවෝ”, 13 වැනිදා බ්‍රහස්පතින්දා එච්.ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ “සිකුරුලියා”, 14 වැනිදා සිකුරාදා ආචාර්ය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ “ගැහැනු ළමයි”, 15 වැනිදා සෙනසුරාදා ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ “සුද්දීලාගේ කතාව (මෙය සංරක්ෂිත පිටපතකින් ප්‍රදර්ශනය කිරීම විශේෂය)” චිත්‍රපට උලළේ අවසාන චිත්‍රපටිය ලෙස 16 වැනිදා ඉරිදා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ “බඹරු ඇවිත්” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

සුද්දිලාගේ කතාව

අනතරුව ලංකේය සිනමාවට වසර 75ක් සපිරෙන ජනවාරි 21 වැනිදා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් සැමරුම් උලෙළක් තරංගනී ශාලාවේ දී පැවැත්වේ. එදින 75 වසරක සිනමාව තේමා කොටගත් සමරු දේශනය ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී විසින් පවත්වනු ලබන අතර, වසර පනහක චිත්‍රපට සංස්ථා ඉතිහාසය සහ එහි ගමන්මඟ තේමා කොටගත් දේශනයක් චිත්‍රපට සංස්ථාව බිහිවීමේදී එහි මුල්ම සේවක මණ්ඩලයේ සිටි කළමනාකාරවරයකු වූ ප්‍රවිණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ විසින් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව සිනමාවට හැත්තෑපස්වසරක් පිරීම නිමිත්තෙන් එක් සමරු මුද්දරයක් සහ චිත්‍රපටි සංස්ථාවට වසර 50 පිරිම නිමිත්තේන් තවත් සමුරු මුද්දරයක් වශයෙන් සමරු මුද්දර දෙකක් තැපැල් දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් නිකුත් කිරීමට නියමිතය. එසේම ලංකේය සිනමාවට සුවිශේෂී දායකත්වයක් දක්වපු කලාකරුවකු මෙහිදී ඇගයීමට ලක්කෙරන අතර මෙවර ඒ සඳහා සිනමාවේ කිවිඳිය ලෙස නම් දැරූ ආචාර්ය සුමිත්‍රා පීරිස් කලාකාරිනිය සම්භාවනාවට පාත්‍ර වේ. එමෙන්ම ජ්‍යේෂ්ඨ කලාකරුවන් 25 දෙනකුට මෙහිදී විශ්‍රාම වැටුප් ප්‍රදානයන් ලබාදීමට නියමිතය.

මේ වනවිට එලෙස ජිවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් හිමිවන ජ්‍යේෂ්ඨ කලාකරුවන් ගණන 167 කි. මීට අමතරව එදින පැරණි චිත්‍රපටවල ඇතැම් දර්ශන සජීවීව රඟදැක්වෙන අතර, සිනමා ග්‍රන්ථ හතරක් එළිදැක්වීමට ද නියමිතය.

ඒ අනුව චිත්‍රප‌ට සඟරාව විශේෂ කලාපය, පශ්චාත් නූතන සිනමාව - කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි, සිංහලයේ මහා සිනමා වංශය (2 වන කාණ්ඩය) ආතර් යූ. අමරසේන, සිනමාව පිළිබඳ විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය එළිදක්වනු ඇති. එසේම ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ ජාතික චිත්‍රපට සංස්ථා සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නවක සිනමාකරුවන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදුවේ.

ගොළුහදවත

මෙම උලෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රකාශ කර සිටියේ දේශීය සිනමාව පිළිබඳ පෙරටත් වඩා අවධානය යොමුවිය යුතු කාල පරිච්ඡේදයකට එළඹ ඇති බවයි. දේශීය නිෂ්පාදකයාද රැකගනිමින් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට චිත්‍රපට සංස්ථාව මහා පිටිවහලක් වූ බවත් පසුකාලීනව එහි තිබූ ශක්තිය පිරිහී ගිය බවත් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගෙන ඇති අවස්ථාවක එය නැවත යාවත්කාලීන කර සිනමාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක කියා සිටියේ “සිනමාවට වසර 75 සපිරෙන විට සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට පාත්‍රව තිබීම සිනමාවේ ඉදිරිගමන සම්බන්ධයෙන් සතුටුවිය හැකි තත්ත්වයක් බවයි.” මෙම සැමරුම් උලෙළට සමගාමීව සරසවි චිත්‍රාගාරය තුළද වැඩසටහන් කීපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සරස්වතී පූජාව පැවැත්වීම, සරසවි චිත්‍රාගාරයේ කෞතුකාගාරය විවෘත කිරීම, දෙබස් පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම ආදියයි.

මීට අමතරව සිනමාවේ 75 වන සංවත්සරයට සමගාමීව සිනමා ප්‍රේක්ෂක ප්‍රවර්ධන වැඩමුළු කිහිපයක් දීප ව්‍යාපත්ව සිදු කිරීමටත්, සිනමා අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව චිත්‍රපට තිරරචනය, සිනමා රංගනය, කැමරාකරණය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමටද චිත්‍රපට සංස්ථාව විසින් කටයුතු සූදානම් කර ඇත.

Comments