සුසිල් එදත් අදත් නළු­වෙක් | සිළුමිණ

සුසිල් එදත් අදත් නළු­වෙක්

ජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රට කලඹන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැති තනතුර අහිමි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ 47 වැනි වගන්තියේ 2 උපවගන්තියේ ‘අ‘ අනුව ජනාධිපතිවරයාට හිමිවන නීත්‍යනුකූල බලතල අනුවය. සුසිල්ට අනුව එය දෙල්කඳ පොළේදී මිලදි ගත් ස්විප් ටිකට්ටුවක් ඇදීමක් වුවත්, රජයක වගකිව යුතු ඇමැතිවරයෙක් වශයෙන් හිදිමින් සිය සාමුහික වගකීම් පැහැර හැරීම සුළුපටු සිදුවීමක් නොවන බව දේශපාලන විචාරකයෝද සඳහන් කරති.

හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ මේ කතාව පළමු කැබිනට් රැස්වීමේදීම දැඩි දෝෂ දර්ශනයට ලක්වන විට ඔහු රාජ්‍ය ඇමැති තනතුරේ වසරකුත් මාස හතරක් ගත කර තිබුණි. 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 12 ක් ලැබුණු අතර එයින් 11 වැනි ස්ථානයට පත්වුයේ සුසිල් ය. අනතුරුව සුසිල්ට රාජ්‍ය ඇමැති ඇමැතිකම ලැබුණද බලාපොරොත්තුව සිට ඇත්තේ කැබිනට් ඇමැති ධුරයකි. ගෙවුණු මස සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරන සුසිල් පවසන්නේ තමන්ව ‍ෙජ්‍යඨත්වය අනුව නොසලකා හැර ඇති බවත් තමන්ට නිසි තැන ලබා දී නොමැති බවත්ය.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ සුසිල් 1992 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ නීතිවේදී උපාධිය ලබා ගන්නටය. 1984 දී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු බවට ඔහු පත්වෙයි. දේශපාලන ගමන් මඟට පිවිසෙන්නේ 1991 වසරේදීය.

ඔහු 1991 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වන අතර, 1993 දී බස්නාහිර පළාත් සභාවටපත් වන්නේය. අනතුරව චන්ද්‍රිකා බණ්ඩාරනායන සමයේ බස්නාහිර මහ ඇමති හා බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය.

2000 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4 වැනි පාර්ලිමේන්තුවට පිවිසෙන ඔහු එදා සිටම ඇමැතිවරයකු වශයෙන් ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ කටයුතු කළ බව පවසන්නේ ය. ඔහු 2004 ජනවාරි සිට 2015 අගෝස්තු 14 දින දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමත් සමඟ පක්ෂයේ මහ ලේකම් විය. 2004 අප්‍රේල් සිට 2005 නොවැම්බර් අතර කෙටි කාලයේදි විදුලි බල හා බලශක්ති ඇමැති විය.

2005 සිට මහින්ද රාජපක්ෂ රජයේ අධ්‍යාපන ඇමැතිවරයා වූ ඔහුගේ කාලයේ සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන්ට විවිධ චෝදනා එල්ල විය. පෙළපොත් නිසි කලට නොලැබීම් සම්බන්ධ හඬ නැඟීම්ද පැවැතිණි. 2010 සිට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති ද, 2013 ජනවාරි පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති ද ඔහු විය.

2015 මහ මැතිවරණ වකවානුවේදි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති හා මහ ලේකම් සුසිල් අතර ගිවිසුමක් සම්බන්ධ ආන්දෝලනය කාටත් නොරහසකි. එවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් වූයේ සුසිල්ය. මෙම මහ මැතිවරණයේදි මහ ලේකම්වරයා ඩබල් ගේම් නොව ට්‍රිබල් ගේම් ගසන බවටද පක්ෂයේ බොහෝ අයගේ චෝදනා විය. තමන් ප්‍රතිපත්ති ගරුක යැයි කියන සුසිල් 2015 මැතිවරණ සමයේදි කළ පාවාදීමක් කාටත් අමතක නැත. 2015 අගෝස්තු මැතිවරණයේ සතියකට පෙර එවකට ජනාධිපතිවරයා විසින් මහ ලේකම් තනතුරින් සුසිල්ව ඉවත් කර පත් කළේ විශ්වා වාර්ණපාල මහ ලේකම් ලෙස පත් කරමිනි. නමුත් සුසිල් ගේම අත් හළේ නැත. ඔහු පත්කිරීම නිත්‍යානුකූල නොවන බව පවසමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු වාරණ නියෝගයක් ගත්තේය. මහ ලේකම් අර්බුදය නිසාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු සකස් කිරීමේ ගැටලු මතු විය. එවකට මැතිවරණ කොමසාරිස් හමු වූ සුසිල්ද ප්‍රකාශ කළේ තමන් තවමත් නිත්‍යානුකූල මහ ලේකම්වරයා හෙයින් ජාතික ලැයිස්තුව තමන් සකසන බවත්ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ තමන්ට වුවමනා මන්ත්‍රීවරුන් නම් නිත්‍යානුකූල අයිතියකින් තොරව ඇතුළත් කළේ සුසිල් ය. මුල් ලැයිස්තුවෙන් ඉවත් කළ නම් පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුගේ නම් ඊට ඇතුළත් කර මැතිවරණ කොමසාරිස්ට යැවූයේ සුසිල් ප්‍රේමජයන්තය. ඊට සහයෝගය මෛත්‍රිපාල සිරිසේනගෙන්ද ලැබුණි. මෙසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ අදහස් නොවිමසා සුසිල් ජාතික ලැයිස්තුව නම් කිරිමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළේය. ඒ සුසිල්ගේ මන්ත්‍රිවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව අවලංගු කරන ලෙසය. මැතිවරණ කොමසාරිස්, සුසිල් හා විශ්වා ඇතුළු 45 දෙනෙක් එහි වග උත්තරකරුවන් කර තිබුණි. එහෙත් ඔහු අද පවසන්නේ සුපිරිසිදු දේශපාලනයක්ය. මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ප්‍රේමජයන්ත තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා බවට පත්වූයේ ඉන් අනතුරුවය.

අතීතයෙන් බිඳක්

ජනාධිපතිවරයකු සතු බලතල අනුව ඇමැති තනතුරින් පහ කළ මෙවැනි අවස්ථා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විරල සිදුවිම් නොවේ. 1977 න් පසු කාල වකවානුවේ එවැනි අවස්ථාවන් මුලින්ම හමු වන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේදීය. ඉන්දියානු සාම හමුදාව මෙරටට එවීම වෙනුවෙන් එදා තිම්පු නුවර පැවැති සාකච්ඡාවල සම්මුතිය අනුව රැඩිකල් ආකල්ප දැරූ සිරිල් මැතිව් වැනි දේශපාලනඥයන්ට ආණ්ඩුවෙන් ඉවත් වන තැනට කරුණු සැලසුණි. ඒ අනුව හිටපු ජනපතිගේ සමීපතම සගයකු වූ සිරිල් මැතිව් දැරූ ඇමැති තනතුර වහාම ඉවත් කෙරිණි.

1977 වසරේ ජේ. ආර්. රජයේ පළමු අයවැය විවාදයේදී එම්. ඩී. එච්. ජයවර්ධන විසින් අයවැයේ අඩුපාඩු විවේචනය කරන්නට විය. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ලෙස හිඳිමින් ආණ්ඩුවෙහි වැරදි අඩුපාඩු විවේචනය කිරීම සාමුහික වගකිම් පැහැර හැරීමක් මෙන්ම එය වගකිව යුතු රජයේ ඇමැතිවරයකුගේ කාර්යයෙන් පිට පැනීමක් විය. එම ඍජු කතාබහ හේතුවෙන් ජයවර්ධන අමාත්‍ය ධුරයෙන් ‍නෙරපන්නට එදා ජේ.ආර්. ආණ්ඩුව තීරණය කළේය.

ඉන් අනතුරුව හිටපු ජනපති ජේ. ආර්. සමයේ ඇමැතිවරයකු වූ ගාමිණි ජයසූරිය අස් කළාට වඩා සිදුවූයේ ඉල්ලා අස් වීමකි. 1987 ජුලි 27 දා සභා සම්මත වූ ඉන්දු - ලංකා පනතට විරෝධය දක්‌වා ඔහු අස් කරන්නට පෙර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය. දීර්ඝ කාලයක් මුදල් ඇමැති තනතුරේ කටයුතු කළ මුදල් ඇමැතිවරයකු වූ රොනි ද මැල් සිය අවසන් අයවැයේදි එය විවේචනය කළ නිසා ඇමැති තනතුරින් නෙරපූයේද සිය වගකීම් පැහැර හළ නිසාවනි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යුගයේ හිටපු ඇමැතිවරුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක හා ජි. එම්. ප්‍රේමචන්ද්‍ර 1992-93 අතර කාලයේදි එවකට රජයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම නිසා ඔවුන්ව නෙරපීමට පක්ෂ කාත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කළේය. ඉන් අනතුරුව ඒ තීරණයට විරුද්ධව ඔවුහු අධිකරණයේ පිහිට පැතීය. කෙසේ වුවත් අධිකරණයෙන්ද තීන්දු වූයේ ඔවුන් ඉවත් කළ යුතු බවකි.

ඉන් අනතුරුව එළඹෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරණතුංග යුගයයි. ඒ වන විට පැවැති රජයේ හිටපු වරාය ඇමැතිවරයෙකු වූ රවුෆ් හකීම් ඇමැති තනතුරින් නෙරපා හැරීමට තීන්දු වන්නේ ඔහු ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කළ නිසාවෙනි. 2007 පෙබරවාරි මස මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිව සිටි සමයේ අයවැය යෝජනාවට විරුද්ධව ගෙන ගිය වැඩපිළිවෙළ නිසා එවකට වරාය ගුවන් සේවා ඇමැතිව සිටි මංගල සමරවීර, ජාතික උරුම පිළිබඳ ඇමැතිව සිටි අනුර බණ්ඩාරනායක, වරාය සංවර්ධන ඇමැතිව සිටි ශ්‍රීපති සූරියආරච්චි යන තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළේය. යළිත් ඇමැති තනතුරින් පහකළ සිදුවීම් වාර්තා වන්නේ 2015 යහපාලන රජය සමයේදී ය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මඟින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ 2017 අගෝස්තු මාසයේ දී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔහු දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබුණි. ඒ හම්බන්තොට වරාය අනූනව අවුරුද්දක් සඳහා චීනයට බදු දීමට ආණ්ඩුව ගත් තීන්දුව ඔහු පාර්ලිමේන්තුවේදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මඟින්ද දැඩි විවේචනයට ලක් කර තිබීමය. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරායගේ සමයේ හිටපු ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුව ඇමැති තනතුරින් නෙරපූයේය.

පසුගියදා සුසිල් සිය අමාත්‍යාංශයෙන් යළි ගියේ රෝද තුනෙනි. එහෙත් ඔහු යළි උසාවි ගියේ රෝද හතරෙන් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදි ඔහු පවසා තිබුණේ තමන්ට වාහනයක් නැතත් උසාවි රැකියාවෙන් පසු වාහනයක් මිලදී ගන්නා බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දුන්නද අවුරුදු විසි ගණනක් ප්‍රබල ඇමැතිවරයකු ව සිටි ඔහුට වාහනයක් මිලදි ගන්නට නොහැකි වූයේ මන්ද? නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ වුවමනාව තමන්ට ඇති බව ඔහු කියන්නේය. අලුත් ගමනක් යාමට සිය පක්ෂයේ සිට කළ නොහැකි නම් මහත්මයකු ලෙස පක්ෂයෙන් ඉවත්ව ඒ ගමන යාමට පෞරුෂයක් ඔහුට තිබිය යුතුයි.

Comments