ළමා මෙහෙ­කාර සේව­යට තිත | සිළුමිණ

ළමා මෙහෙ­කාර සේව­යට තිත

මෙරට ළමා ශ්‍රමය පිළිබඳව නවමු කතිකාවක් ආරම්භ වී තිබේ. ඊට ආසන්නතම වශයෙන් බලපෑ සිද්ධියක් වූයේ යහපාලන රජයේ අමාත්‍යවරයකුව සිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධියයි. මේ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කළ වත්මන් රජය දෙදහස් දහය වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හඳුන්වා දුන් අන්තරායකාරී රැකියා ක්ෂේත්‍ර පනස් එක තවදුරටත් පුළුල් කරමින් එම රැකියා ලැයිස්තුව හැත්තෑ එකක් දක්වා වැඩි කළේය. එහිදී ගෘහ සේවය ද ඊට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබීම විශේෂය.

 

වයස අවුරුදු දහසයට අඩු දරුවන් ළමා ශ්‍රමයේ යෙදවීමත්, අවුරුදු දහඅටට අඩු තරුණ අය අන්තරායකාරි රැකියාවන්වල යෙදවීමත් තහනම් කරමින් ක්‍රියාත්මක ළමා ශ්‍රමය පිටු දැකීමේ කම්කරු දෙපාර්තමේන්තු කාර්යභාරය සුවිශේෂි එකක් වේ. ඉන් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් ලෙස දෙහහස් දහය වසරේ හඳුන්වාදු න් අතිවිශේෂ ගැසට් පත්‍රය සැලකිය හැකිය. ඉන් අන්තරායකාරී රැකියා ක්ෂේත්‍ර පනස් එකක් හඳුන්වා දෙමින් අන්තරායකාරී රැකියා නියෝග නීතිගත කිරීමට කටයුතු කළ අතර 2021.11.18 දිනැති අංක 2254/ 35 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම රැකියා ලැයිස්තුව අන්තරායකර රැකියා ක්ෂේත්‍ර 71 ත් දක්වා පුළුල් කරමින් 2021 අංක 01 දරන අන්තරායකාරි රැකියා නියෝග පැනවීම එම ප්‍රයත්නයේ තවත් සුවිශේෂී කඩඉමක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දෙයි.

ඒ අනුව මින් ඉදිරියට ගෘහස්ථ සේවය ඇතුළු මස්/මාළු/ලුණු ආශ්‍රිත රැකියා, පළිබෝධ නාශක රසායන ද්‍රව්‍ය ගිණි කෙළි ආශ්‍රිත රැකියා, මත්පැන්/දුම්කොළ,ආශ්‍රිත රැකියා,රබර්/ සම් පදම් කිරීම අශ්‍රිත රැකියා,යන්ත්‍ර සූත්‍ර/ වරාය ආශ්‍රිත රැකියා, පතල්/ගල්කොරි/වැලි,උළු,ගඩොල්/හුණුගල් ආශ්‍රිත රැකියා, වානේ/වීදුුරු/ඛනිජ ද්‍රව්‍ය/ පිත්තල වැඩ ආශ්‍රිත රැකියා, ඉදිකිරීම්/වැඩබිම් ආශ්‍රිත රැකියා, ප්‍රවාහන/සංචාරක ආශ්‍රිත රැකියා, ගස් නැඟීම හා කැපීම/දර කැපීම, දර එකතු කිරීම ආශ්‍රිත රැකියා, සන්නද්ධ ගැටුම්/ආරක්ෂක සේවා ආශ්‍රිත රැකියා, කැළි කසළ, මළාපවහනය ආශ්‍රිත රැකියා, රෙදි නිමි ඇඳුම් ආශ්‍රිත රැකියා, ජලය ආශ්‍රිත රැකියා, විදුලිය ආශ්‍රිත රැකියා, රූපලාවණ්‍ය‍ය, සෞඛ්‍ය, ශෝභාගාර ආශ්‍රිත රැකියා, වෛද්‍ය /ඉලෙක්ට්‍රෝනික උපකරණ ආශ්‍රිත රැකියා, රඟදැක්වීම් ආශ්‍රිත රැකියා, ආහාර පිළියෙල කිරීම ආශ්‍රිත රැකියා, මෘත ශරීරාගාර ආශ්‍රිත රැකියා සහ තරුණ අයකුගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට හානිදායක වෙනත් රැකියා කිරීම තහනම් වේ. මින් මුළුමනින්ම පාහේ දරුවා ශ්‍රමිකයකු කිරීමේ ඉඩ අහුරා තිබීම විශේෂය.

ලංකාවේ ව්‍යවස්‌ථාපිත නීති අනුව 1956 අංක 47 දරන ස්‌ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනතේ ළමයා යනු අවුරුදු දහහතරට අඩු තැනැත්තෙකි. අයාල ආඥ පනතට අනුව වයස අවුරුදු දහසයට අඩු තැනැත්තෙකි. ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරි පනතට අනුව එය අවුරුදු දහඅටට අඩු ලෙස (ළමා හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ළමයෙකු යනු අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු වශයෙන් හඳුන්වා දී ඇත.) ද දැක් වේ. මෙම වයස් සීමාව දණ්‌ඩ නීති සංග්‍රහය තුළ අවස්‌ථානුකූලව වෙනස්‌ වේ. වයස අවුරුදු දහඅට දක්‌වා දරුවකුගේ කායික වර්ධනය සිදු වේ. මෙලෙස වර්ධනය වන දරුවකු රැකියාවල යෙදවීම බරපතල වරදක්‌ බව පෙනේ. ඉන් දරුවකුගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය අවම කරන අතර, ඔහුට තරම් නොවන වැඩවල යෙදීම බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරයි. මෙම තත්ත්වය පිළිබඳ දැනට දශක කිහිපයකට පෙර සිටම ලෝක මට්ටමින් අවධානය යොමු කර තිබේ.

ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය ලෙස 2002 වර්ෂයේ ජුනි 12 වැනිදා ප්‍රකාශයට පත් කළේය. ලොව පුරා වර්ධනය වෙමින් පවතින මෙම සමාජ ව්‍යසනය මුළුමනින්ම තුරන් කිරීම මෙහි අරමුණ වේ.

ළමා ශ්‍රමය පිළිබඳ ජාත්‍යන්තර නීති හා සම්මුතීන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී 1973 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 138 දරන අවම වයස්‌ සම්මුතිය හා 1999 අංක 182 දරන අතිශයින් අනර්ථකාරී ළමා මෙහෙකාර සම්මුතිය ප්‍රමුඛ වේ. 1989 එක්‌සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ සඳහන් වන ප්‍රධාන නිර්ණායකයන් අතර පැවැත්මේ අයිතිය, සංවර්ධනය වීමේ අයිතිය, ආරක්‍ෂා වීමේ අයිතිය, සහභාගිත්වයේ අයිතිය, ළමා මෙහෙකාර සේවයේ යෙදවීම මඟින් සූරාකෑම්වලට ලක්‌ වීමෙන් වැළැකීමේ අයිතිය හා අධ්‍යාපනය ලැබීමේ අයිතිය දැක්වේ.

ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රම අපයෝජනය සම්බන්ධයෙන් 2016 දී පවත්වන ලද අවසාන සමීක්ෂණය අනුව වයස අවුරුදු 5-17 අතරළමුන්ගෙන් සියයට එකක්(1.0% ක්) එනම් 43,343ක් ළමා ශ්‍රමිකයන් බව හෙළිවිය. මීට ප්‍රථම 2008-09 දී සිදු කරන ලද සමීක්ෂණය අනුව ළමා ශ්‍රමිකයන්ගේ අනුපාතය 2.5% විය. ඒ අනුව මෙරට ළමා ශ්‍රමිකයන් ගේ පැහැදිලි අඩුවීමක් එම කාලය තුළ පෙන්නුම් කරයි.

මෙම සමික්ෂණයේදී ඇස්තමේන්තුගත ළමුන් සංඛ්‍යාව වූ හළිස් පන්ලක්ෂ හැත්තෑඑක්දාහයෙන් 4,571,000 න්, එක්ලක්ෂ තුන්දාස් හතසීයක් 103,700 ක් එනම් සියයට දෙකයි දශම තුනක් (2.3%) අවම වශයෙන් පැය හතක් වැඩ කර තිබුණි. මෙම සම්මුඛ පරීක්ෂණයට දින කිහිපයකට පෙර මෙම ළමුන්ගෙන් හතළිස් තුන්දාස් හත්සීයක් (43,700 - 0.1%) ශ්‍රමිකයන් ලෙස කටයුතු කළ අතර ඉන් තිස්නවදාහක් (39,000 - 0.9%) අන්තරායකර ශ්‍රම ක්‍රියාකාරකම්වල නිරතව සිටියේය. ළමා ශ්‍රමිකයන්ගේ අනුපාතය ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ පදිංචිය අනුව වෙනස් වේ. ළමා ශ්‍රමයේ යෙදෙන පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය කාන්තාවන්ට (0.5%) වඩා තරමක් වැඩි (1.4%) ය. වයස වැඩි වන විට ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය ද ඉහළ යයි. ඒ අනුව අවුරුදු 15-17 වැඩිම වයස් කාණ්ඩයේ ප්‍රතිශතය සියයට තුනයි දශම හතක් (3.7%) විය. අවුරුදු 12-14 අතර වයස් කාණ්ඩයේ ප්‍රතිශතය සියයට බිංදුවයි දශම එකක්(0.1%) විය. අවුරුදු 5-11 අතර වයස් කාණ්ඩයේ ප්‍රතිශතය සියයට බිංදුවයි දශම පහක්(0.5%) විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වසර නම්කර ඇත්තේ ජාත්‍යන්තර ළමා ශ්‍රමය තුරන් කිරීමේ වර්ෂය ලෙස බවත් 2025 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කරන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි. එහි මූලාරම්භයක් ලෙස මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය තුළදී ළමා ශ්‍රමය තුරන් කිරීමට අදාළ පනත් හතරක් සංශෝධනය කළ බවත් ඒ අනුව ස්ත්‍රීන් තරුණ ප්‍රජාව, ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත, අවම වේතන (ඉන්දියානු කම්කරු) පනත, සාප්පු හා කාර්යාලයීය සේවකයන් සහ වේතනය පිළිබඳ පනත, කර්මාන්තශාලා පනත මේ අයුරින් සංශෝධනයට ලක්ව ඇති අතර එහිදී මෙතෙක් පැවති වයස අවුරුදු දහතරට වැඩි දරුවන් රැකියාවේ යෙදවීමේ වයස අවුරුදු දහසය දක්වා ඉහළ දමා නීතියක් බවට පත්කර ඇත. නව පනත අනුව දහඅටට අඩු කිසිම අයකු මින් ඉදිරියට ගෘහසේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී අප ඉතාම හොඳ තත්ත්වයක සිටින බව හෙතෙම පවසයි.

මේ පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම සඳහා බාලදක්ෂිකා ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමකට පැමිණි බවත් ඒ අනුව ඔවුන්ට ළමා ශ්‍රමය තුරන් කිරීමට සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වී ලබාගත හැකි පදක්කමක් හඳුන්වා දුන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මින් සමාජයට මේ පණිවිඩය ගෙනයාම හා ළමයි දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරේ. එසේම මැලිබන් බිස්කට් ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට පැමිණි අතර එමඟින් රැකියා සඳහා ළමයින් යොමුවන සමාජ පසුබිම බිම කෙරෙහි අවධානය යොමු කරයි. ඒ අනුව වසරකට ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල්වල ළමයින් පනස් දෙනකු තෝරාගෙන ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරයි. එමඟින් දැනට ශ්‍රී ලංකාවේ පාසල් නොයන පාසල් වයසේ පසුවන දරුවන් 2% පාසල් අධ්‍යාපනයට යොමු කිරීම අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ කෙටි චිත්‍රපට තරගයක් පැවැත්වූ බවත් ඒවා ප්‍රධන රූපවාහිනී මාධ්‍ය මඟින් ඉදිරියේදී පෙන්වීමට කටයුතු කරන අතර මේ සඳහා තේමා ගීතයක් හඳුන්වා දී ඇත. මීට අමතරව වාර්තා වැඩසටහන් මඟින්ද ඉදිරියේදී මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.ලෝක සම්මුතීන් සමඟ ශ්‍රී ලංකාව ද බැඳී පවතින බැවින් ළමා ශ්‍රමිකයන් වැඩිවශයෙන් සිටියදී මෙරටට ආධාර ලැබීමේදී එය ගැටලු සහගත වන බවත් එබැවින් එය රටේ ආර්ථිකයට ද බලපාන කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ස්‌ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත අනුව පාසල ආරම්භ වීමට පෙර හෝ පාසල අවසන් වීමෙන් පසුව දෙමව්පියන්, භාරකරුවන්, පවුලේ සාමාජිකයන් විසින් සිදු කරනු ලබන සැහැල්ලු කෘෂිකාර්මික වැඩ, උද්‍යාන කටයුතු ඒ හා සමාන වැඩවල හෝ රජයේ යම් ආයතනයක අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක තාක්‍ෂණික අධ්‍යාපනයක්‌ හෝ වෙනත් පුහුණුවක්‌ ලබා දෙන්නා වූ පාසලක හෝ ආයතනයක හැර වෙනත් කිසිදු අවස්‌ථාවක දී අවුරුදු 14 ට අඩු ළමයෙකු කිසිදු රැකියාවක සේවයේ යෙදවීම තහනම්ය. කම්කරු දෙපාර්තමේන්තුව කාලයක්‌ තිස්‌සේ සිදුකරන ලද විද්‍යාත්මක හා විශේෂඥ පර්යේෂණවලින් පසුව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට හා ආරක්‍ෂාවට හානිකර රැකියා 51 ක්‌ අන්තරායකාරි රැකියා බවට හඳුනාගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කොමසාරිස් ඒ.එම්.ජී.එන් දීප්ති සුමනසේන පවසයි.

2021 ජනවාරි මාසයේ ළමයා සහ තරුණයාගේ වයස සංශෝධනය වූ නිසා දහසයට වැඩි දහ අටට අඩු වයසේ තරුණ දරුවන්ට රැකියාවල නියුතු විය හැකි වුවද කායිකව හා මානසිකව අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පෑ හැකි රැකියා ක්ෂේත්‍ර හැත්තෑ එකක යෙදවීම හෝ යෙදීම තහනම් වේ. එය පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට බලාත්මක කර තිබේ.

ක්ෂණික ඇමතුම් අංක 1929 යටතේ සාමාන්‍යයෙන් වසරකට 150 ත් 200ත් අතර පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන අතර ඉන් ළමා ශ්‍රමිකයන් පිළිබඳව වාර්තා වන්නේ දහයකට අඩු සංඛ්‍යාවක් බව ඕ පෙන්වා දෙයි.

2021 ජනවාරී මාසයේ සිට බලාත්මක කෙරුණු පනත අනුව අනිවාර්ය අධ්‍යාපන පනත යටතේ අනිවාර්යයෙන්ම දරුවකු වයස අවුරුදු 16 වනතුරු අධ්‍යාපනය ලැබිය යුතු වේ. මේ සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් ලැබුණ විට එහි වගකීම පැවරෙන්නේ කම්කරු අමාත්‍යාංශයට බවත්, වයස අවුරුදු 18 අඩු දරුවකු දෙමාපියන් විසින් හෝ ඥාතින් විසින් හෝ බාරකාරත්වය යටතේ දරුවා හදාවඩා ගන්නා අයකු විසින් හෝ කිසියම් සේවයකට ලබා දෙන්නේ නම් එකී පාර්ශ්වයට විරුද්ධව 308 දරන කෘෘරත්වය පනත යටතේ කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකා දර්ශිකා කුමාරි රණසිංහ පෙන්වා දෙයි.

 

Comments