
මවුපියන් දරුවන්ගේ ලෝකයේ මිහිපිට දෙවියන් ය. ඒ දෙවියනුත් දොවොලත් දරුවන්ගේ හිස මතට කඩා වැටේ නම් ඒ අවනඩුව කියන්නේ කාටද? දෙවියන් පවා උදහස් වන, පිය සෙනෙහසට පමණක් නොව මිනිසත්කමට ද නිගාදුන් පියකු පිළිබඳ කතාවක් ඉකුත් 2 වැනිදා හැටන් කුඩාගම ගම්මානයෙන් අසන්නට ලැබිණි.
පියා විසින් නිවෙස අසල පිහිටි වෙළෙඳසැලකට යවනු ලැබූ දරුවන් ඔහු විසින් ගෙනඑන ලෙස පැවසූ දේට අමතරව දර මිටියක් ද ගෙන ඒම ගැන උරණ වීමෙන් දරුවන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇත. වයස අවුරුදු 7ක ගැහැනු දරුවකු සහ වයස අවුරුද 6ක පිරිමි දරුවකු වන එම දරුවන් දෙදෙනා නිරුවත් කර නිවෙසේ ඉදිරිපිට ගසක රෙදිපටිවලින් කිටි කිටියේ බැඳ දමා ඇති ඒ නරුම පියා, ඒ නොදරුවන්ගේ සිරුරුවල මිරිස් කුඩු ඉලීමෙන් හෝ තම කෝපය සංසිඳවා ගෙන නැත. අමානුෂික ලෙස නොදරුවන්ට පහර දී ඇත. එයින් සම පුපුරා ඒ තුවාලවලට මිරිස් සැර කාවදිද්දී අහිංසක දරුවන් දෙදෙනා විලාප දෙමින් හඬා වැටෙන්නට වූහ. එහෙත් ඔවුන්ගේ ඒ වේදනාව නොදැනෙන තරමට ඒ නරුම පියා මත්පැනින් අධික ලෙස මත්වී සිටියේය. කුඩාගම ජනපදයේ සමගි මාවතේ නිවෙසක සිදුවෙමින් තිබූ ඒ කුරිරු සිදුවීම පිළිබඳ ගම්වාසීන් දැනගන්නේ නොදරුවන්ගේ විලාපයත් හැඬීමත් නිසාය. ඒ වන විටත් හෙම්බත් වී සිටි දරුවන් දෙදෙනා නරුම පියාගේ වධබන්ධනයෙන් මුදවා ගනු ලබන්නේ ගම්වාසීන් විසිනි.
![]() |
පියා දරුවන් දෙදෙනා නිරුවතින් ගසක බැද තිබූ අයුරු |
සිය දරුවන්ට එසේ අමානුෂික ලෙස දඬුවම් කළ එම පියා හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන තිස්හය හැවිරිදි මුත්තයියා විජේකුමාර් ය. සිවුදරු පියකු වන ඔහුට ගැහැනු දරුවන් තිදෙනකු සහ එක් පිරිමි දරුවෙකි. වැඩිමහල් ගැහැනු දරුවාට වයස අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවන් දෙදෙනා පිළිවෙළින් අවුරුදු 8ක් සහ 7කි. බාල පුතුට වයස අවුරුදු 6කි. ඒ අතරින් ඉහත කී දඬුවමට ලක්ව තිබුණේ වයස අවුරුදු හතේ අක්කාත් අවුරුදු හයේ මල්ලීත්ය. දරුවන්ට වධහිංසා කළ පියා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊට පසුදින (3දා)අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
නිතර බීමතින් පසුවන මුත්තයියා, සිය බිරියට සහ දරුවන්ට නිතර පහර දෙන බවත් වරක් බිරියට පහරදී අතක් කඩා දැමීම නිසා ඇයට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවූ බවත් වාර්තා වේ. ඔහු කෙතරම් අමානුෂිකද යැයි කිවහොත් බිරියට සහ දරුවන්ට පහර දෙන විට නිවෙසේ දොර වසා යකඩ පොල්ලක් ද හිරකර දොර විවර කරගැනීමට නොහැකි ලෙස සිරකරගෙන පහර දෙන බව ද ගම්වැසියෝ පවසති. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම බිරියට සහ දරුවන්ට පහර දීම සහ අමානුෂික වධහිංසාවලට ලක්කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් පොලිසිය මැදිහත් වී සැකකරුට දැඩි ලෙස අවවාද කර සමථයකට පත් කර ඇති බවත් පොලිසියෙන් වාර්තා වේ.
සැමියාගේ තාඩන පීඩන ඉවසාගත නොහැකි නිසාම බිරිය ඔහුගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ද ගොනුකර ඇත. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන ඔවුන් පදිංචි නිවෙස ද අඩුපහසුකම්වලින් යුතු එකක් වන අතර දරුවන්ට පියාගෙන් විඳීමට සිදුව ඇති ගැහැට ඒ සියල්ලට වඩා ඛේදනීය වේ. වරක් මුත්තයියා දියණියකට පහර දී ඇය අසල ළිඳකට දමා ඇති අතර ඇය බේරාගෙන ඇත්තේ ද ගම්වැසියන් විසිනි. බොහෝ අවස්ථාවල මේ දරුවන් කුසගින්නේ පසුවන අතර ඔවුන්ගේ කුසගිනි නිවන්නේ ද අසල්වැසියන්ය.
එසේ වුවද මේ නපුරු පියාට තමා සිදුකළ දේ ගැන තැවීමක් හෝ වේදනාවක් නැත.
“මම වැඩ ඉවර වෙලා එනකොට කෙනෙක් ඇවිත් කිව්වා ඔයාගේ ළමයා දර හොරකම් කළා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා මිරිස් කුඩුටිකක් දාලා කිව්වා මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියලා. ගැහුවේ නැහැ, හොරකමක් කරපු නිසා මිරිස් කුඩු ගෑවා. අපි ඉතින් කුණු අතුගාන අයනේ, අපි කොහොමත් බොනවා."
![]() |
පියා දරුවන් දෙදෙනා නිරුවතින් බැද තිබූ ගස
|
ඔහු එසේ කීවද හදවතක් ඇති අයකුට නම් තමාගේ ලෙයින් බිහිවූ නොදරුවන්ට එවැනි කුරිරු දඬුවමක් දිය නොහැකිය.
“කලින් දවසේ මට රුපියල් 2,000ක් දීලා කිව්වා, ඒක වියදම් කළොත් මරණවා කියලා. මම ඒක වියදම් කළේ නෑ. සිද්ධිය වු දවසේ පල්ලියට දෙන්න කියලා රුපියල් 200ක් දුන්නා. මම ඒක දරුවන්ට දුන්නේ කෑමට යමක් ගේන්න කියලා. කෑම අරන් එනගමන් පුතා වෙළෙඳසැලෙන් දරමිටියකුත් අරන් ඇවිත් සල්ලි නොදී. ඒකට තමයි මෙහෙම ගැහුවේ."
දරුවන්ගේ මව පැවසුවේ කම්පාවෙනි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල්.හෙට්ටිවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. වද හිංසාවට ලක් වූ දරුවන් දෙදෙනා සහ මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ අතර, ඔවුන් තවදුරටත් දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. නිවෙසේ සිටින දියණියන් දෙදෙනාගේ භාරකාරත්වය ගැනීමට කිසිවකු නැති බැවින් ලබන 24 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා ළමා නිවාස භාරයේ රඳවා තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.