කූට වෙළෙඳුන් ගැන වගකිවයුත්තන්ගේ අවධානයටයි | සිළුමිණ

කූට වෙළෙඳුන් ගැන වගකිවයුත්තන්ගේ අවධානයටයි

කොරෝනා වසංගතය සමස්ත රටවැසියාට දායාද කළ අගතීන්හි ප්‍රතිඵල දැන් දැන් ලැබෙමින් තිබෙන බව පෙනේ. භාණ්ඩ මිල ගැන අද ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇති ප්‍රධානතම මාතෘකාවක් වී තිබේ. විශේෂයෙන්ම භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ හෝ මහජනතාව භාවිතයට ගන්නා සෑම භාණ්ඩයකම පාහේ මිලක් නියම කරමින් සඳහන් කර ඇති බව ඕනෑම භාණ්ඩයක් පරීක්ෂාවේදී දැකගන්නට ලැබේ. එහෙත් සමස්ත රටපුරා සිටින කොරෝනාව, වසන්තයක් කරගත් නැතිනම් ගරානාවක් කරගත් කූට වෙළෙඳුන් මේ දිනවල ජනතාව තව තවත් පීඩනයට පත්කරන තුප්පහි වෙළෙඳාමක ද නිරත වේ.

සාමාන්‍ය යෙන් භාණ්ඩයක නියම කර තිබෙන මිලට එම භාණ්ඩය මිලදී ගැනීම සාමාන්‍ය පිළිවෙත වුවත් මේ දිනවල ඇතැම් කූට වෙළෙඳුන් භාණ්ඩයේ නියම කර ඇති මිලට භාණ්ඩ නොවිකුණා තම හිතූමතේට භාණ්ඩ විකුණමින් සිටී.

විශේෂයෙන් ටින් කෑම, ඇසුරුම් භාණ්ඩ, විදුලි බල්බ මෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය ද ඔවුහු එසේ ජනතාව පීඩාවට පත්කරමින් වෙළෙඳාම් කරයි.

සමස්ත රටවැසියා ඉතාම අසරණව දිවි ගෙවනා මෙවන් යුගයක කූට ආකාරයෙන් මුදල් කොල්ල කන මෙකී ‘තක්කඩියන්’ පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය.

පාරිභෝගික අධිකාරිය මෙන්ම මිල පාලන දෙපාර්තමේන්තු බලධරයිනි, වහා මේ ගැන සොයා බලන්න. පීඩාවට පත්ව සිටින මහජනයා වෙනුවෙන් කිසියම් හෝ සහනයක් සැලසීමට කටයුතු කිරීම වගකිවයුතු ආයතනවල සැමගේ යුතුකම බව ද අවධාරණය කරමු.

රංජිත් සමරසේකර 
හම්බන්තොට

Comments