
ජාතික නිදහස යනු දේශයේ පැවැත්ම උදෙසා ජනතාව පෙළ ගැස්වීම ය. සියයට අසූවක් වූ බෞද්ධ ජනතාව යළි නැඟී සිටි දේශයට වින කරන අධිරාජ්‍යවාදීන් පන්නා හැර නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනඟන්නට යැයි හෙතෙම ආනන්දයේ දරුවන්ගෙන් ඉල්ලා සිටියේ ගෙයක් ගෙයක් පාසා ගොස් මෙම පණිවිඩය ප්‍රචලිත කරන්නට ය. මෙකී කථා පුවත සිය ජීවන සටහනෙහි සඳහන් කරන ඇන්.ඇම්. මෙසේ පවසයි.
“සැහැල්ලුවෙන් කාලය ගතවන ක්‍රීඩා ලෝකය හා විදේශීය මානසිකත්වයෙන් සිරවී සිටි මා ජාතික හැඟුමින් පිරි නව ලෝකයකට තල්ලු වී ගියේ මේ නිසා ය. ශාන්ත තෝමස් විදුහලේ ගත කළ අවසාන වසරේදී ජී.බී. ඒකනායක පියනමගේ චාටු බසින් මෝහනයට පත් මා මටත් නොදැනීම කිතු දහමට ඇදී යන්නට විය. එහෙත් අන්තිම මොහොතේ මට ඉන් ගැලවී ගත හැකි වූයේ දැඩි විපිළිසර බවකින් යුත් මගේ දෙමාපියන් මා මුදාගත් හෙයිනි.
ආනන්දයේ පරිසරය මා හැඩ ගස්වනසුලු විය. බෞද්ධකමේ සැබෑ ඇත්ත මට එහිදී වැටහෙන්නට විය. මේ දක්වාම පවුලේ අය සමඟ පන්සල් යාම, ගාථා කීම, පහන් දැල්වීම වූයේ සිරිතකට පමණි. එහෙත් ජීවිතයේ මුල් වරට ආනන්ද මෛත්‍රේය වැනි ගුරු දෙවිවරුන්ගේ මාර්ග උපදේශකත්වය යටතේ බෞද්ධ දර්ශනය මා තුළ වූ මානසික හැඟීම් පුළුල් කළේ ය. බෞද්ධ ධර්මයේ මගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද යාමට සිදුවිය. මේ නිසා ආනන්දයේදී බොහෝ පෝය දිනවල අටසිල් සමාදන් වීම සිදුවූවක් විය.
මිෂනාරි අධ්‍යාපනය දේශපාලනයෙන් තොරවූවක් මෙන් ම ජාතික විරෝධී වූවක් ද විය. එය මතුපිටින් නොපෙනුණත් සැඟවී තිබුණකි. ආනන්දය වැනි ආයතනයක පැවැතියේ ඊට වෙනස් වාතාවරණයක් වන අතර වෙනස් ක්‍රියාදාමයක් ද විය. ආනන්දයේදී රට තුළ ජනතාවට සිදුවන හැම දේකම බලපෑම දැකගත හැකි විය. ශාන්ත තෝමස් වැනි ආයතනයකදී මේ කිසිවක් නොසලකා හැරුණ අතර එදිනෙදා ජීවිතයේදී මුහුණපාන කලබැගෑනි ගැන එය විනිර්මුක්ත විය. මෙකල පැවති සෑම මිෂනාරි පාසලකම ස්වභාවය මෙබඳු යයි මම සිතමි.
ජාතික හැඟුමින් පුබුදා ලූ මේ තත්ත්වය ජීවිතයේ භාරදූර පැත්තකට මා යොමු කළේ ය. ආනන්දය සෙමින් මා හැඩ ගස්සමින් සිටියේ ය. හැම සාකච්ඡාවක් ම හැම තර්කයක් ම මගේ විඥානය සසල කිරීමට හැකි විය. වැඩි කලක් යාමට පෙර අළු යට සැඟවුණු මෙම ගිනි පුපුර මෙළවී ගිනි ජාලාවක් විය. විදේශීය ආධිපත්‍යය ඇති කළ අසාධාරණ හා වරප්‍රසාද බොහොමයක් විනාශ වෙතැයි මට දැනුණි.”
ආනන්දයෙන් ලද ශික්ෂණය නිහතමානී බව තුළින් රටක් ගොඩනඟන්නට උරදුන් මිනිසකුගේ අතීතාවර්ජනය අප හෙළි කළේ සමාජ යථාර්ථය මිනිසකු උත්තමභාවයට පත් කරවන්නක් වන හෙයිනි.
ප්‍රාථමික පාසල් සමයේ ශාන්ත තෝමස් විදුහලේදී භාෂා අංශයෙන් ඇන්.ඇම්. උගත්තේ ග්‍රීක් හා ලතින් භාෂාවන් ය. එහෙත් ආනන්දයේ පරභාෂා පිටුදැක තුබූ නිසා ඔහුට ඉගෙන ගන්නට වූයේ සිංහල භාෂාවය. තරගකාරී අධ්‍යාපන රටාවක් වූ එකල සිංහල බොදු දහම සුරක්ෂිත කොට ඉදිරි පරපුරට එම දායාදය සකස්කර දෙන්නට විදුහල්පති කුලරත්න මහතා පියවර ගෙන තිබුණි. ඔහු භාෂා කීපයක විද්වතකු වුව ද තම පාසල් දරුවන්ට දෙමාපිය සෙනහස, ගුරුවරුනට ගරු සත්කාර දැක්වීම ප්‍රගුණ කළා පමණක් නොව සිංහල ඉතිහාසයේ ප්‍රෞඪත්වය ද තම පාසල් ළමයින්ට ඉගැන්වීමට සුදුසු ගුරු මණ්ඩලයක් සකස් කර තිබුණි.
නෝන්ජලයකු නොවී ආඩම්බර කාරයකු ලෙස ඇන්.ඇම්. වැලඳ ගත්තේ උපන් හපන්කම් යළි ප්‍රමුදිත වන්නට පටන් ගති.
ආනන්දයේ බුදු මැදුර ඉදිරියේ අනිකුත් සහෝදර ශිෂ්‍යයන් හා එක්ව වැඳ නමස්කාර කොට දුවගන යද්දී බුදු මැදුර ඇතුළත සිට භාවනා කරමින් තමන් දිනක් පුරා කළ කී දේ සිහිපත් කරන්නට ආනන්ද මෛත්‍රේය හිමියන් කෙරෙන් ලද උපදෙස් ඔහු පිළිපැදී ය.
පරණ ජවය ශක්තිමත්ව නැඟී පෙරට එන්ට පටන් ගති. මෝදර මහගෙදර සිට මරදානේ ආනන්දයට ඒමට ට්‍රොලි බස් තිබිණ. ශත 5 ක් ගෙවා ආනන්දයට ඔහු ආවේ එක් දිනක් පමණි. ඒ ට්‍රොලි බස්වල ස්වරූපය දැක ගැනීමට ය. විදුලි රැහැන් සමඟ ගැටෙනා ට්‍රොලි බස් රියෙනි. ඇතැම්විට ගිනි පුපුරු නැගේ.
උදේ පාන්දර බඩ කට පුරා බත් පංගුවක් කෑවත් තම පුතාට අමතර වියදමක් දීම ඒබ්‍රහම් පෙරේරාගේ සිරිතක් විය. එය හේතුකාරක වූ තවත් සිදුවීමක් වූයේ කලින් සිටි පන්තියේදී නොව ආනන්දයේදී තම දරුවාගේ අමුතු වෙනස්කම් විද්‍යමාන වීමෙනි. පාසලට යන්නේ දෙමාපියන්ට වන්දනා කරමිනි. හදවතින් නැඟෙන ඒ බිලිඳු හඬ දෙමාපිය දෑස් කඳුළින් පිරවූ ඔවුහු තම දරුවාට ආශිර්වාද කළහ.
පනම් අටක් නැත්නම් සත පණහක් දවල් කඩචෝරු කෑමට තාත්තා දීම පුරුදු වී තිබුණත් ඇන්.ඇම්. පාසලට පැමිණෙන සහෝදර ශිෂ්‍යයන් අතුරෙන් ඇතැම්හු උදේට කිසිදු අහරක් නොගෙන එන බව ඇන්.ඇම්. දැන සිටියේ ය. එහෙත් තමන්ගේ අග හිඟකම් කීමට ඔවුන් අකමැති වුවත් බොහොම යාප්පුවෙන් කතිකා කොට දිළිඳු සගයකුට තාත්තා දුන් පනම් අට දී ඉක්මනට මොනවා හරි ගන්න යැයි ඇන්.ඇම්. කීවේ සතුටක් එතුළින් මතු වෙමින් තිබියදීය.
“හැතැප්ම දෙක තුනක් පයින් යාම මට ලොකු සතුටක්. මම ආනන්ද මෛත්‍රේය හාමුදුරුවො කීව දාන පාරමිතාවට එක්කහු වුණා” ඔහු මරදාන ආනන්ද විදුහලේ සිට මෝදර තම නිවහනට යන තුරු තනිවම සිනහවෙමින් දින චරියාව ආවර්ජනය කළේ ය.
බාලදක්ෂයකු ලෙස ඇන්.ඇම්. කළ මෙහෙවර පාසලට අතිශය මෙහෙයක් වන බව දැනගත් විදුහල්පති කුලරත්න මහතා පාසලේ ශිෂ්‍ය නායක කමට ඔහු තෝරා ගත්තේ ය. අවුරුදු ගණනක් මුළුල්ලේ දිගටම පරාජය වෙමින් තිබූ ආනන්ද ක්‍රිකට් පිල පළමුවරට ජයග්‍රහණය කළේ 1925 වසරේදී කණ්ඩායමේ නායක ඇන්.ඇම්. ගේ කැපවීම තුළිනි.
ශිෂ්‍ය නේවාසිකාගාරයේ කලබලකාරී දෙතුන් දෙනෙකු සිටි අයුරු එහෙන් මෙහෙන් ඇසෙන කථාවලින් ඇන්.ඇම්. ට දැනගන්නට ලැබිණ. ඒ මෙරට සමාජ වාදයට අකුරු කියවූ බොරලුගොඩ රාලහාමිගේ පුතුන් දෙදෙනා ය. එක් අයකු පිලිප් ගුණවර්ධන ය. දෙවැන්නා රොබට් ගුණවර්ධනය. පිලිප් තරමක කල්පනාකාරී වුවත් රොබට් ඊට වඩා කලබලකාරයකු විය.
ආනන්දයේ නේවාසිකාගාරය ඒ වනවිට ශිෂ්‍යයන් තුළ තරමක නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි. ආහාරපාන සකසන්නා තම හිතුමතයෙන් නේවාසික ශිෂ්‍යයනට ලබාදෙන ආහාර කමකට නැතැයි රොබට් ගුණවර්ධන සමඟ කියන්නට පටන්ගෙන තිබිණ.
ගුරු මණ්ඩලය හදිසියේ රැස් වුණේ නේවාසිකාගාර ශිෂ්‍ය නායකයකු පත්කර ගැනීමට ය. ශිෂ්‍යයන්ගේ වැඩි කැමැත්තෙන් එය සිදු කළ යුතු බවට විදුහල්පති කුලරත්න මහතා තීරණය කළේ ය.
“රොබට්! රොබට්! රොබට් ගුණවර්ධන යයි සිසුහු මහ හඬ නැඟූහ. එදා හවස් වරුවේ නේවාසිකාගාර ශිෂ්‍ය උපදේශක රොබට්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීය.
“මල්ලිල මම කියන දේ අහන්න. ප්‍රශ්නයක් තිබේ නම් මට කියන්න.” “අපි සල්ලි ගෙවලා” මේ බෝඩිමේ ඉන්නෙ. කන්න දෙනව තමයි ඒත් අපිට කන්න බැහැ. වතුරයි බතුයි විතරයි අපි කන්නෙ. ලුණු රස, මිරිස් රස කවදාවත් නෑ.
“මල්ලිල ළඟ සල්ලි භාගෙ කීයක් විතර තියනවද”
“සත පණහක්, හැටක් විතර”
“එක්කෙනාගෙන් ශත දෙකයි ගෙවන්න පුළුවන්”
“හරි අයියෙ හරි”
“එහෙම නම් අද රෑ කෑම මේසෙට ආවම කවුරුත් කනව එහෙම නෙමෙයි”
“එතකොට හෙට පාන්දර මාච් පාස්ට් එකට බඩගින්නෙ යන්න පුළුවන්ද අයියෙ”
“සද්ද නැතිව ඉන්නකො. බඩ පිරෙන්න ඉඳියාප්පයි, උණු මාළු හොඳියි, සීනි සම්බෝලයි මරිය කඩෙන් මම අරගෙන එන්නම්. මරිය කඩේ මේ ළඟයි. එතන ඉන්න කටකාර අම්මන්ඩි කොස්ගම අපේ මහ ගෙදරත් හිටිය. මම ඒකට ප්ලෑනක් හදාගනයි ආවෙ.“
රොබට් තම පළමු වෙඩි මුරය දියත් කළේ ය. දිනක් පුරා ආහාර වර්ජනය කළ ආනන්ද ශිෂ්‍ය නිවාසයේ සිටි දරුවන් එදිනත් ආහාර වර්ජනය කළේ ය. පළමු වරට ආනන්ද විද්‍යාල වැඩ වර්ජනය සාර්ථකව නිමාවට පත් වූයේ රොබට් ගුණවර්ධනගේ ක්‍රියා කලාපයෙනි.
ඇන්.ඇම්. සිය සුමිතුරු පිලිප් සමඟ කථිකාවතකට එළැඹියේය. ආනන්දය හැරදා ඔවුන් දෙදෙනා උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා එතෙරට ගමන් කළහ.
“අපි රටක් හදමු. එම රට ගොඩ නැඟෙන්නේ ආනන්දයත් එක්ක. රොබට් අපිට උදව් කරාවි.”
******************
ආනන්දයේ අනික් සිසුන් අභිභවමින් අමුතුම ගමන් මඟකට අවතීර්ණ වූ ඇන්.ඇම්. විවිධ අංශයන්හි දස්කම් දක්වන්නට විය. මෙරට නිපදවූ පළමු සිංහල චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම සඳහා මෙරටට පැමිණ සිටි බෙංගාලි ජාතික ‘ගුප්ත’ නම් අධ්‍යක්ෂවරයාගේ ආරාධනයෙන් සිනමා නළුවකු බවට පත් ඇන්.ඇම්. ට ගාස්තුව ලෙස රුපියල් 100ක මුදලක් ලැබිණ. කාලය අනුව රු. 100/- යනු අති විශාල මුදලකි.
ඉගෙනුම අතරතුරදී ලද මේ මුදල ඔහු තම මෑණියන් වූ ජොතානා පෙරේරාට දෙත්ම තම දරුවා එසේ මෙසේ කෙනෙකු නොවන බව දැන ගත්තේය. ‘රාජකීය වික්‍රමය’චිත්‍රපටය හදිසියේ අතර මග නතර විය. එසේ නොවූයේ නම් කඩවුණු පොරොන්දුව මෙරට පළමු චිත්‍රපටය ලෙසින් ඉතිහාසයට එක්වන්නට ඉඩ නොතබා ඇන්.ඇම්. චරිත රංගනයක යෙදුණු රාජකීය වික්‍රමය ගැන කාහටත් කතා කරන්නට ඉඩ සැලසෙනු නිසැකය.
ඇන්.ඇම්. දැඩි අභියෝගවලට මුහුණ දුන් කෙනෙකු විය. ආනන්දයෙන් ලද ශික්ෂණය නිසා අනිකුත් දඟයන්ට ඉහළින් සිටි ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ යුනිවර්සිටි කොලීජියේ උපාධි අපේක්ෂකයකු බවට පත්ව සිටියදී තම පාඨමාලාව භාර මහාචාර්ය බී.ජේ. තෝමස් මදුරාසියට ගියෙන් ඇන්.ඇම්. ට විභාගය අත ළඟ තිබියදී අතරමං වන්නට විය. ඇන්.ඇම්. සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයන්නට විදෙස් ගතවිය. ඒ එංගලන්තයටය. එහෙත් තම පියා සතු ධනය එතරම් නොවුවද අරපිරිමැස්ම හොඳින් ප්‍රගුණ කර සිටි ඔහු මස් මාළු කෑමෙන් වැළකී පාන් කෑලි කීපයක්, එළවළු හා කිරි බෝතලයක් පමණක් දෛනික ආහාර වේලට එක්කර වියහියදම් අඩුකරගති. ඉගෙනුම ඔහුට විනෝදාංශයක් විය.
ඔහු තම ජන්ම භූමියේ වසන අන්ත අසරණ දුක්ඛිත ජීවිත ගතකරන සමාජයේ එක් සාමාජිකයකුව සිටීම එයට හේතු කාරණ වූවකි. කෙසේ හෝ තම දේශයේ දුකට පත් ජනතාවට තමන්ගෙන් ඉටුවිය යුතු බරපතළ මෙහෙයක් ඇති බව තරුණ වියේදීම පැළ පදියම් වූ ඉෂ්ඨාර්ථයක් විය. එම අරමුණු දිනාගන්නට නම් පළමුව ඒ සඳහා සුදුසු අධ්‍යාපනික වට පිටාවක් සකස් කර ගත යුතු බව වැටහෙන්නට විය.
විසිවැනි සියවසේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආර්ථික විද්‍යාඥයා වූ හැරල්ඩ් ලැස්සි, ඇන්.ඇම්. ගේ ගුරු මාර්ග උපදේශකයා විය. තම ලාංකික ශිෂ්‍යයා යන ගමන් මඟ ඔහු දැනගෙන සිටියෙන් නියමිත ආකාරයට උපදෙස් දෙන්නට විය. ඇතැම් අවස්ථාවලදී මේ අලුත් ගෝලයා තමා ද අභිභවනය කරමින් ආර්ථික විද්‍යා න්‍යායන් සමඟ පොර බදන අයුරු ඔහුට දැනෙනන්ට විය. වයස අවුරුදු 24දී ඇන්.ඇම්. ලන්ඩන් ‘ස්කූල් ඔෆ් ඉකොනමිස්ට්’ විශ්වවිද්‍යාලයෙන් අර්ථශාස්ත්‍රය පිළිබඳව බී.එස්.සී ගෞරව උපාධිය හිමි කර ගත්තේය. තවත් වසර දෙකක් ඉක්ම ගොස් 1931දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය (PhD) උපාධිය ලබා ගති.
මේ කාලය වන විට අප රටේ පැවති මතයක් වූයේ රජයේ ඉහළම තනතුරක් ලෙස සැලකූ සිවිල් සේවයට ඇතුළත් පුද්ගලයකු තම පවුලේ සිටී නම් එය මුළු පරම්පරාවටම අති විශාල ජනතා පිළිගැනීමක් වන බවය. ඒ අනුව ඇන්.ඇම්. ගේ පවුලේ අයට ද ඇන්.ඇම්. සිවිල් සේවා විභාගයට පෙනී සිටියොත් නිසැකවම එය ද ජයගනු ඇතැයි සිතා කෙසේ හෝ සිවිල් සේවා විභාගයට ඉදිරිපත් වන්නැයි බල කරන්නට විය.
මෙය කෙසේවත් කළ නොහැකි යැයි ඇන්.ඇම්. කල්පනා කළේ අධිරාජ්‍යයට ගැති සේවකයකු වීමට ඔහු සිත කෙසේවත් නොනැමෙන හෙයිනි. එහෙත් නොවිඳිනා දුක් විඳ තම අධ්‍යාපන කටයුතු සඳහා අති විශාල මුදලක් වියදම් කොට ඔවුන් කරන පරිත්‍යාගය ඉවත හෙළිය නොහැකියයි අවසානයේ දී ඇන්.ඇම්. සිතා ගත්තේය.
පරීක්ෂණ මණ්ඩලයට පෙනී සිටි ඇන්.ඇම්. ට ලැබුණේ මෙවන් පිළිතුරකි. “ඔබ කොතරම් දක්ෂයකු වුවත් සිවිල් සේවයට ඔබ තෝරා ගත නොහැකියි. ඔබ උග්‍ර වාමාංශිකයකු බව බ්‍රිතාන්‍ය රහස් පොලිසිය අපට වාර්තා කර තිබෙනවා.”
එතැනින් ලැබුණු පිළිතුරින් ඔහු සසල වූවා නොව තවත් ධෛර්යමත්ව වමේ ව්‍යාපාරයේ නිරත විය. ඉගෙන ගන්නා අතරතුරදී තම ජන්ම භූමිය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට මුළු කාලයම යොදවන්නට තීරණය කළේය. මෙරට වමේ ව්‍යාපාරය මුලින්ම ඇරඹුණේ ලන්ඩන්හිදීය. එවකට එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි ලාංකික ශිෂ්‍ය එකමුතුවක් වූ ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රබල නායක වූ ඇන්.ඇම්. සමඟ සිටි පිරිස අතර පසු කල ලංකා විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වූ බ්‍රිටෝ මුතුනායගම්, ඉන්දීය ආරක්ෂක ලේකම් වූ ක්‍රිෂ්ණමෙනන්, ඩී.එස්. සිල්වා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඩබ්.ඒ. ද සිල්වා, මහා අධිකරණ නායක ටී.එස්. ප්‍රනාන්දු, දොස්තර එම්.වී.පී. පීරිස්, දොස්තර ඊ.එම්. විජේරාම ආදීහූ වූහ.
ලංකාවට පැමිණ අධිරාජ්‍යවාදීනට එරෙහිව තමන්ගේ මුළු ශක්තියම යොදවන්නට ලාංකික ශිෂ්‍යයෝ තීරණය කළහ. එහෙත් තම පැවැත්ම සඳහා රැකියාවක නිරතවීමේ අවශ්‍යතාව ද සැලකූ ඇන්.ඇම්. කම්කරු කොමසාරිස් ධුරයට ඉදිරිපත් විය. ඇන්. ඇම්.ගේ තනතුර ඇමතිවරයා තහවුරු කළ ද ආණ්ඩුකාරයාගේ අනුමැතිය නොලැබුණේ මාක්ස්වාදී විප්ලවකාරී තරුණ නායකයකු ලෙසට හය අවුරුද්දක් මුළුල්ලේ බ්‍රිතාන්‍ය රහස් පොලිසිය ඇන්.ඇම්. පිළිබඳව සකස්කොට තිබූ වාර්තා සියල්ල ආණ්ඩුකාරයා වෙතට ලැබී තිබුණ හෙයිනි.
ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස පත්වීමත් සමඟ බුද්ධිමත් තරුණ ප්‍රජාව තුළ ජාතික දේශපාලන ගමන්මඟ පැහැදිලි කිරීමට ඇන්.ඇම්. ට ශක්තිය ලැබිණ. ඔහු විශ්වවිද්‍යාලයේ අනෙක් ගුරු භවතුන්ට වඩා කැපී පෙනෙන්නට වූයේ සිසුන්ගේ ආදරය දිනන්නට ඉගෙනුම සමඟ සමාජ යථාර්ථය ද සමීප කළ හෙයිනි.
“මට සර් කියන්න එපා මම නයිට් වරයෙක් නොවේ.” ශිෂ්‍යයෝ ඔහු සමඟ වඩාත් ළෙන්ගතු වන්නට වූහ. ඉදිරියට මේ පැවැත්ම මුළු විශ්වවිද්‍යාලයටම හිසරදයක් වෙතැයි සැලකූ එහි අධිපති මාර්ක්, ඇන්.ඇම්. ගේ පත්වීම ස්ථිර නොකරන ලෙස මහා ලේකම්වරයාට නිර්දේශ කළේය.
ශ්‍රී ලංකාවේ වෘත්තීය අරගලවල ආරම්භය සිදුවූයේ වර්ෂ 1893දී එච්.ඩබ්.කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන් ආරම්භ කළ පන්ති අරගලයෙනි. 1896 දී ලොන්ඩරි කම්කරුවන් ආරම්භ කළ අරගලය අගනුවරට දැනුණ පීඩනයක් විය. 1909 දී මුළු වෙළෙඳ ආර්ථිකය මෙහෙය වූ භාණ්ඩ ප්‍රවාහනයේ එකම සාධකය වූ බරකරත්ත කරුවන්ගේ වර්ජනයට දිනක් තුළ බර කරත්ත කරුවෝ 5000ක් පමණ එක්වූහ. 1912 දී දුම්රිය සේවක වර්ජනය අඩපණ කිරීමට රජය නීති රීති පැනවුවද ජාතික සංගම් කාරයන්ට කළහැකි දෙයක් නොවීය.
(ලබන සතියේ අවසන් කොටස)