සබරගමුවේ උසම චෛත්‍යය හදන කූරගල පුදබිම | සිළුමිණ

සබරගමුවේ උසම චෛත්‍යය හදන කූරගල පුදබිම

කූරගල ඉදි­වෙන සුගත ශාක්‍ය මහා සෑ මළුවේ කොන්ක්‍රීට් ඇති­රීම.
කූරගල ඉදි­වෙන සුගත ශාක්‍ය මහා සෑ මළුවේ කොන්ක්‍රීට් ඇති­රීම.

 

ය මා දුටු පුදුමයකි. විවිධ වයස්වල අපේ මහා සංඝරත්නය, වයස අවුරුදු 65 – 75 මවුවරු පියවරු පමණක් නොව අවුරුදු 10 – 15 දරුවෝ ඒ චෛත්‍ය මළුවේ කොන්ක්‍රීට් අතුරති. යට කම්බි දැලක් තිබුණත් සීරුවෙන් ඒ මත පා තබමින් කොන්ක්‍රීට් බාල්දි දිගටම අතින් අතට යවති.

 

පසුගිය සෙනසුරාදා ඒ කොන්ක්‍රීට් ඇතිරුවේ එසේ මෙසේ චෛත්‍ය මළුවක නොවේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන හා සබරගමුවේ උසම හා ලොකුම චෛත්‍ය ලෙස ඉදිවන කූරගල මහ පුදබිමේ ඉදිවෙන අසිදිසි ශාක්‍ය පුත්‍ර මහා සෑ මළුවේයි.

නෙල්ලි­ගල හාමු­දු­රුවෝ හෙවත් කූර­ගල පුද­බිම නව පිබි­දීමේ නිර්මාතෘ වතු­ර­කු­ඹුරේ ධම්ම­ර­තන හිමි
 

වර්ග අඩි 22,000ක වපසරියක් ඇති මේ මළුවේ කොන්ක්‍රීට් ඇතිරීමට එක්වූ සඟ, වෙද ගුරු, ගොවි, කම්කරු, බාල, තරුණ පිරිස් අපට පෙන්වා දුන්නේ මේ බොදු එකමුතුව ඇත්නම් අපේ රටේ විනාශයට යන තවත් බොදු බිම් රැසක්වුවද යළි පිබිදීමට අපට හැකි වනු ඇති බවයි.

පසුගිය සෙනසුරාදා අප එහි යනවිට රටේ විවිධ පළාත්වල බෞද්ධ ජනතාව යුද හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක නිලධාරිහු 5,000ක් පමණ සෞඛ්‍ය ආරක්ෂිත මේ මහා සෑ මළුවේ කොන්ක්‍රීට් ඇතිරීමට තම ශ්‍රමය පුදකළේ මේ ස්ථානය කෙරෙහි පවතින සුවිශේෂ ශ්‍රද්ධාව නිසාමය.

මේ කූරගල මහා සෑය ඇතුළු කූරගල පුදබිම අක්කර 100කට ආසන්න භූමියක දැන් වේගයෙන් ඉදිවෙමින් පවතී. ඒ සඳහා එතෙර මෙතෙර බෞද්ධ ව්‍යාපාරිකයෝ රටේ සාමාන්‍ය බොදු ජනතාව ශ්‍රමයෙන් ධනයෙන් මෙයට උදව් කරති. දැනට මේ පුණ්‍ය භූමිය පුරා රුපියල් කෝටි 50ක් පමණ වටිනා බෞද්ධ විහාරාරාම සුවිශේෂ ස්ථාන රැසක් ඉදිවෙමින් තිබෙනු අපට දක්නට ලැබුණි.

මේ සියලු දේ සඳහා පූර්ණ අනුශාසකත්වය මඟ පෙන්වීම මෙහෙය වීම කරන්නේ මහනුවර නෙල්ලිගල දී අඩි 75ක් උස චෛත්‍යයක් දින 95කින් ඉදිකළ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ විංසද්වර්ගික කර්මාචාර්ය වතුර කුඹුරේ ධම්මරතන හිමිපාණන්ය.

“අද මේ ස්ථානයේ අවට ගම්වල ජනතාව සහ යුද හමුදාව ආරක්ෂක අංශ 5,000 ක් විතර වැඩ කරනවා. අද මහා සෑ මළුවේ කොන්ක්‍රීට් ඇතිරීමයි සිදුවන්නේ. වර්ග අඩි 22,000ක් විශාල මළුවක මෙම කොන්ක්‍රීට් අතුරනවා. මෙය අසිදිසි ශාක්‍ය සුගත මහා සෑය ලෙස නම් කළ අඩි 130 උස මහා සෑයක්. මේක දිස්ත්‍රික්ක හය හතකට පළාත් 4කට දර්ශනය වනවා. මේ සියලු කටයුතු දැන් සියයට 65ක් විතර අවසන්.” නෙල්ලිගල ලොකු හාමුදුරුවෝ පවසති.

මීට වසර 40කට පෙර අන්‍ය ආගමික කේන්ද්‍රස්ථානයක් බවට මේ කූරගල පත් කිරීමට උත්සාහ දරා ඇත. ඒ අනුව අන්‍ය ආගමික පල්ලි ද මෙහි ඉදිව තිබේ.

බලංගොඩ කල්තොට පාරේ කිලෝමීටර් 23ක් දුර ගිය විට හමුවන තංජන්තැන්න සිට කිලෝමීටර් 3ක් ගිය විට හමුවන කූරගල පුදබිම මෑතදී බිහිවූ බෞද්ධ පුදබිමක් නොවේ.

මේ ප්‍රදේශයේ මෑතකදි කරන ලද කැණීම්වලට අනුව හමුවූ ආදි මානවයාගේ ඇටසැකිල්ල වසර 16,000ක් පැරණි බව එතෙර මෙතෙර පුරාවිද්‍යා පරීක්ෂණ අනුව හෙළිවී තිබේ.

ඒ අනුව බුද්ධ පූර්ව යුගය තෙක් දිවෙන ඉතිහාසයක් සහ බුදුරදුන් ලොව පහළ වීමෙන් පසු බිහිවූ වසර 2600 ක ශාසනික ඉතිහාසයක් කූරගල සතුවීම නිසාම මෙය ඉතා පැරණි පුද බිමක් බවට ස්ථිරය. කූරගල ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටා ඇති මෙම ශුද්ධ භූමිය ඇතුළත තිබෙන ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ශිලා ලේඛන මඟින් මෙම ස්ථානයේ ඓතිහාසික බව මෙන්ම ශාසනික සහ සම්බන්ධතාව ඉතා පැහැදිලිව පෙන්නුම් කර තිබෙන බව පුරාවිද්‍යාඥයෝ පවසති.

සෙල්ලිපි සහිත ලෙන්වලින් හා කටාරම් කොටන ලද ගල්ලෙන් සමූහයෙන් මෙම ස්ථානය එදා මහ රහතන් වැඩ සිටි උතුම් සුවිශේෂී පුණ්‍ය භූමියක් වියයුතුම බව පුරාවිද්‍යාඥයෝ හා මහ සඟරුවන පවසති. තවත් ජන ප්‍රවාදයක් අනුව කූරගල යනු බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට මෙරටට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය කළ ‘දිවා ගුහාව’ වීමට ද ඉඩ ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවයන් පවසන පරිදි ප්ලයිස්ටොසීන අවධිය එනම් නියන්ඩතාල් මානවයා සිටි අවධියේ පටන් මෙහි විහාරාරාම තිබී ඇත. ඒ අනුව වසර 5,000කට පෙර මෙහි ස්ථිර මිනිස් වාස තිබූ බවට ද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ විහාරාරාම සංකීර්ණයක් තිබූ බවට ද පුරාවිද්‍යා තොරතුරු හෙළි වී තිබේ. මෙහි ඇති ශිලා ලේඛන 3ක් හා බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා තලයක් අනුව මෙම ස්ථානයේ අතීතයේ මහ රහතන් වහන්සේ හා මහ සඟරුවන වැඩ සිටි බෞද්ධ ආගමික පුදබිමක් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු කරන බවද මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

‘කූරගල යළි පිබිදීම’ ආරම්භ වූයේ පසුගිය වසරේ පෙබරවාරි හතරවැනිදාය. කූරගල යළි පිබිදීමේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි එදා කූරගල පැරණි ස්තූපයට වැඩම කරන අවස්ථාවේ දඹ ගහක් යට ගිමන් හරින අවස්ථාවේ මෙම ස්ථානයේ යළි ප්‍රතිනිර්මාණය කළ යුතුය යන අදහස උන්වහන්සේගේ සිතේ පහළ වී ඇත.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සිය­ල්ලෝම කූර­ගල මහා පින්බිමේ ශ්‍රම­දා­නයේ.

ඒ අනුව උන්වහන්සේ 2021 මාර්තු 28 දින කූරගල යළි පිබිදීමේ කටයුතු ලේක්වුස් ආයතනයෙන් පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ඇතිව ආරම්භ කළහ.

මේ කටයුතු සියල්ල කරගෙන යන්නේ ධම්මරතන හාමුදුරුවොත් කොටපොළ අමිත හිමියනුත් ‘කන්ටේනරයක්’ තම ආවාස ගෙය කර ගනිමින් රටේ බෞද්ධ ජනතාවගේ ධනය ශ්‍රමය හා කැපවීම මත රජයේත් ආරක්ෂක අංශවලත් පූර්ණ සහාය ඇතිවය. මීට මාස 10කට පමණ පෙර ආරම්භ වූ කූරගල නව පිබිදීම පිළිබඳව කූරගල සියලු කටයුතු ක්‍රියාශීලීව මෙහෙයවන වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසන්නේ දැන් මෙහි වැඩකටයුතු සියයට 65ක් පමණ අවසන් බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ මෙහි තිබූ අනවසර ගොඩනැඟිලිවලින් සියයට 50ක් ඉවත් කළා. ඊට පසුව දැන් මේ යළි පිබිදීමේ කටයුතුවලටත් එතුමාත් රජයත් උදව් කරනවා. විශේෂයෙන් යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට නිතරම උදව් කරනවා. මෙරට වසර 1200කට පසු පන්සලක තිබිය යුතු සියලු පූජනීය ස්ථාන මෙහි අක්කර 100ක් තුළ ඉදිවෙනවා. එය සුවිශේෂී අවස්ථාවක්. ඒ අනුව හම්බන්තොට වරායට නැවක් පැමිණි විට මුලින්ම පෙනෙන ලෙස මෙහි ඉදිවන මහා සෑය අසිදිසි ශාක්‍ය සුගත මහා සෑය ලෙස නම් කර තිබෙනවා. එහි වැඩ කටයුතු වලින් සියයට 70ක් විතර දැන් අවසන්. මෙහි එක පැත්තක මේ ශාක්‍ය සුගත මහා සෑය ඉදිවෙනවා. තවත් පැත්තක 3,000කට බණ අහන්න පුළුවන් දම්සභා මණ්ඩපයක් ඉදි වෙනවා. අඩි 135 උස බුද්ධ ප්‍රතිමාවක්, සංඝාවාසය, සුගන්ධ කුටි, සුමන සමන් දෙවියන්ගේ පිළිරුවක්, දැවැන්ත පියගැට පෙළක් සිංහරුවක් සහිතව ඉදි වෙනවා.

කූරගල වැව හා ජල තටාකයක් ඉදිවෙනවා. ඒ අනුව මෙම ස්ථානයේ දැන් අලුත් ඉදිකිරීම් 40කට වැඩි ප්‍රමාණයක් එකවර නිර්මාණය වෙනවා. 450කට අධික පිරිසක් මෙහි දිවා රාත්‍රී වැඩ කරනවා.

මෙය වසර 1200කින් පසු ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම සර්ව සම්පූර්ණ විහාරාරාම සංකීර්ණයයි. මේක ඉලක්ක ගත ලෙස අපි මාස 13කින් ඉවර කරනවා. කෙටිම කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉදිවූ දැවැන්තම බෞද්ධ පුදබිම ලෙස කූරගල ඉතිහාස ගත වෙනවා.

අපි එකට නායකත්වය දී වැඩ කටයුතු මෙහෙයවනවා. තව මාස 5කදි මේ සෑම නිර්මාණයක්ම සම්බුද්ධ ශාසනය සතු පුදබිමක් ලෙස සමාජගත කරනවා.”

“මේ මාසේ 16, 17, 18 තෙදින පුරා මේ මහා සෑයේ සුවඳවත්වූ නිධන් වස්තු තැන්පත් කිරීම සිදු වෙනවා. 15 වැනිදා සවස 4.00ට මහා සංඝරත්නය 500 නමක් මේ මළුවට වැඩම කර ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාවක් කරනවා.”

“16 සවස 3.00ට නිල වශයෙන් නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පින්කම ආරම්භ කරනවා. 18 වැනිදා සවස 3.00 දක්වාම අපේ රටේ බෞද්ධ ජනතාවට නිධන් වස්තු තැන්පත් කිරීම් කරන්න පුළුවන්.

ඒ අනුව 16, 17 දිනවල දිවා රාත්‍රී මෙම ස්ථානයේ ඇති චෛත්‍යය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කරන්න පුළුවන්. ඊට සමගාමීව ධර්ම දේශනා මාලාවක් සෙත් පිරිත් අපි පවත්වනවා.”

“මම මේ රටේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ දිනවල හෝ තවත් දිනයක හෝ එකවරක් හේ මේ කූරගල පුදබිමට ඇවිත් යන ලෙසය. මේක ඉදිකරන්න වෙහෙස මහන්සි වන පරිත්‍යාග කරන අයට ඒක ලොකු ධෛර්යයක් වෙයි.” වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ඉල්ලීමක් කරති.

 

සේයාරූ - සුලෝචන ගමගේ

Comments