
ඔමික්‍රෝන් විසින් යම් තිගැස්මක් යළිත් ඇති කරද්දී අප සිටින්නේ 74 වැනි නිදහස අබියස ය. නිදහස ගැන වඩාත් අත්දැකීම් සහිත කාලයක් මුළු ලෝකය ම ගත කළේ ය. නිදහසවත් නිදහසේ සමරන්නට නොහැකි වාතාවරණයක් කොරෝනා විසින් ඇති කළ ද; වසංගතයකට සියල්ල පවරා දෑත් බැඳ බලා සිටිය නොහැකි තරමට ආර්ථිකය ඇතුළු මර්මස්ථාන ගැටලු අප පිරිවරා ගෙන ය. එබැවින් 74 වැනි නිදහස අප සමරන්නේ දහසකුත් එකක් ගැටලු මධ්‍යයේ ය. ඒවා අපට පමණක් පොදු වූ ගැටලු නොවේ. ලෝකය ම දින කිහිපයකින් දණ ගස්වන්නට සමත් වූ පුංචි වයිරසයක අනවරත බලපෑමෙන් වූ අඩපණ කිරීම් ය.
පෘතුගීසින්, ලන්දේසින් හා ඉංග්‍රීසින්ට අර්ධ වශයෙන් යටත් ව තිබී ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 02 වැනිදා සිට ඉංග්‍රීසින්ට මුළුමණින්ම යටත්විජිතයක් වී මෙරට නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. ඒ අනුව අප මේ සමරන්නේ 133 වසරක් යටත්විජිත පාලනයකට නතුව සිට නිදහස ලැබීමේ නිදහසයි. අප සතු සියලු සම්ප්‍රදා සහ සංස්කෘතික හර පද්ධති දැවැන්ත පරිවර්තනයකට ලක් කරන්නට තරම් මෙකී කාලය ප්‍රමාණවත් ය. මේ කාලය ඇතුළත විවිධ නැඟී සිටීම් සිදු වුව ද ඒ මානසිකත්වයේ සජීවි අත්දැකීම ඇත්තේ එකල සහ අද කාල දෙක ම විඳි අතළොස්සක් වන වැඩිහිටි පරම්පරාවට පමණී. අදට ද අප හමුවේ තිබෙන නෂ්ටාවශේෂ අත්දකින විට එදා යටත් විජිත සංස්කෘතියේ බලපෑම කොතෙක්ද යන්න ගැන චිත්‍රයක් මනසේ ඇදේ.
එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි 4 වැනිදා ලංකාවට ලැබුණ නිදහස ඩොමීනියන් නිදහසකි. ඩොමීනියන් නිදහස යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එක්දහස් නවසිය විසිපහේ බැල්ෆර් ප්‍රඥප්තිය නැමැති ප්‍රකාශනය යටතේ බ්‍රිතාන්‍ය යටත් විජිතවලට නිදහස දුන් විශේෂ ක්‍රමවේදයකි. මේ ක්‍රමවේදය යටතේ නිදහස ලබන යම් යටත් විජිතයක් වෙත් ද නිදහස ලැබූ පසුව ද ඒ යටත් විජිතය බ්‍රිතාන්‍ය කිරීටය සමඟ බැඳී සිටී. ඒ අනුව එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි 4 වැනිදායින් පසුවත් ලංකාවේ රැජින වූයේ එංගලන්තයේ මහ රැජින ය. ලංකාවේදී අසන නඩුවක අවසාන ඇපෑල ඉදිරිපත් කරන්නේ එංගලන්තයේ රාජාධිකරණයට ය.
මේ ක්‍රමයට ඩොමීනියන් නිදහස ලැබූ මුල් ම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේ කැනේඩියානු සමූහාණ්ඩුව ය; ඒ, 1867 දී ය. අදටත් කැනඩාවේ මහ රැජින එංගලන්තයේ එලිසබෙත් රැජින ය. ඉන්පසු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නිව් ෆවුන්ඩ්ලන්තය, දකුණු අප්‍රිකාව යන රටවලට ද ඩොමීනියන් නිදහස ලැබිණ. අදටත් මේ රටවල රාජ්‍ය නායකයා එංගලන්තයේ මහ රැජන ය. ඉන්පසු ඉන්දියාව, පකිස්ථානය, ලංකාව යන රටවල් තුනට ද ඩොමීනියන් නිදහස ලැබිණි. පසු කාලයේදී මේ රටවල් තුන ම පූර්ණ නිදහස ඇති ජනරජ බවට පත් විය. ලංකාව පූර්ණ නිදහස සහිත රාජ්‍යයක් බවට පත්වෙන්නේ 1972 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ජනරජ ව්‍යවස්ථාව හරහා ය.
අප දිනාගත් නිදහස රුධිරය හලා දිනාගත් නිදහසක් නොවී ය. ලේ හලන්නට සිදු වූයේ අපට නොව ඉන්දියානුවන්ට ය. ඉන්දියාව හා පකිස්ථානය වෙන් කළ නිසා ඇතිවූ ආගමික ගැටුම් හේතුවෙන් දසලක්ෂයකට අධික පිරිසක් මරණයට පත්විය. සැබවින් ම ලේ හලා දිනාගත් නිදහස වූයේ ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීම වෙනුවෙන් සිදු කළ යුද්ධයයි. අද මෙන් නොව 2009 වසර දක්‌වා මෙරට නිදහස් උලෙළ සමරනු ලැබුවේ දැඩි ආරක්‍ෂක විධිවිධාන මැද බව අමතක නොකළ යුතු ව ඇත. යාපනය අර්ධද්වීපය ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීම උදෙසා භටයන් හා නිලධාරීන් දහස් ගණනක් දිවි පිදුවේ මුළු රට ම ප්‍රභාකරන්ගේ විනාශකාරී ත්‍රස්‌තවාදයට ගොදුරු වී තිබූ අවස්‌ථාවේ ය. වන්නි මෙහෙයුමින් ඒ ත්‍රස්‌තවාදය අවසන් විය. මේ ගෞරවනීය මළවුන් කිසි දිනෙක අමතක කළ නොහැකි ය.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් පැවසුවේ සැබෑ නිදහස හා සාමය උදෙසා තම වර්තමානය හා අනාගතය පුද කළ සෙබළුන් හිරු නඟින විටත් හිරු බසින විටත් සැමරිය යුතු බවයි. 74 වැනි නිදහස සැමරෙද්දී මෙය සිහි කළ යුතු වන්නේ ඒ නිසා ය? තිස්වසරක කුරිරු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂයන් අද අගමැති ය; එදා ආරක්ෂක ලේකම් අද ජනපති ය. එවන් නිදහසක් හිමි වූ රාජ්‍යයක ඊළඟ ඉලක්කය විය යුත්තේ දිළිඳු බවින් තොරවූ තොර ආර්ථික නිදහසක් සහිත ඕනෑ ම රටක් රාජ්‍යයක් සමඟ එකට සිට ගත හැකි ආකාරයේ සෞභාග්‍යයක් මේ සාමය හරහා ඇති කිරීමය. පරගැති ආර්ථික රටාවකින් මිදෙන්නට අවැසි ආර්ථික ම ය උත්පාදන රැසක එළැඹුම දැඩි ගැටලු මධ්‍යයේ වුව ආරම්භ වී තිබේ. දේශීය කෘෂිකාර්මික දියුණුවක් වෙනුවෙන් රජය කටයුතු සම්පාදනය කරමින් සිටියි. යැපුම් ආර්ථිකයෙන් මිදෙන්නට අවැසි පසුබිම ඒ ඔස්සේ නිර්මාණය වෙනු ඇත. කොවිඩ් වසංගතයෙන් බොහෝ දෑ අහිමි ව ගිය ද අප ඒ අහිමි වූ දෑ මතින් නැඟී සිටින්නට වෙර දරන්නේ රටක් වශයෙන් ජාතික ප්‍රතිපත්තියක පිහිටා ය. 74 වැනි නිදහස සමරන මේ මොහොතේ එකී ස්වාධීනත්වය වෙනුවෙන් තැබෙන පියවර ගැන ආඩම්බර විය හැකි ය.
නිදහස ගැන නිදහසේ කතා කරන්නට ලැබෙන හෙටක් වෙනුවෙන් ප්‍රාර්ථනා අභිමුඛ කර ගනිමින් අප නිදහස සමරන්නට එක් වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ය. මිනිසාට නිදහසක් නැති බවත් ඔහු සදා යදම්වලින් බැඳ සිටින බවත් කියන්නේ ලොව ප්‍රබල දේශපාලන විචාරකයකු වන රූසෝ ය.
මිනිසාගේ නිදහස බැඳ දමන මේ යදම් මොනවාද? මිනිසා නිදහස යනුවෙන් අර්ථ දක්වා ගන්නා ලද දෑ ඇත්තට ම නිදහස ද? භෞතික නිදහසක් ගැන කතා කරන බොහෝ තැන්වල අධ්‍යාත්මය ගැන අවධානයක් නැත්තේ ඇයි යන්න දාර්ශනිකයන් බොහෝවිට මතු කරන ප්‍රශ්නයකි. එහෙත් සංස්කෘතිකමය වශයෙන් දියුණු මානවත්වයක් නැති සෑම තැනක ම නිදහස යන්නට දෙන අර්ථකථනය භෞතික ය. ඒ අර්ථකථනය තිබෙනතාක් අප කෙතරම් භෞතික ම ය වශයෙන් නිදහස් වුව ද චින්තන ම ය වහල් බවෙන් යුතු ය. එය භෞතික වහල්භාවයට එහා ගිය වහල් බවකි.
කවර කලෙක වුවද අපගේ අපේක්ෂා සහ ඉලක්ක වෙත ළඟා වීම සඳහා රටක් ලෙස සමාජයක් ලෙස යම් කැප කිරීමක් කළ යුතුය. එය සෑම පුරවැසියකුගේ ම පරම යුතුකමකි. පාලකයන්ට පමණක් සියල්ල පවරා අත පිසදාගෙන සිටිය නොහැකි ය.
සක්‍රීය පුරවැසි සහභාගීත්වයකින්් හරහා සැබෑ නිදහස භුක්ති විඳීමට අපි අදිටන් කර ගත යුත්තෙමු. මේ, ඒ කැපවීම වෙනුවෙන් වගවීමට සිතට ගත යුතු නිදහස් දිනයෙක උදාවයි.