
- බොහෝමයක් පැමිණිලි පළාත් කාර්යාලයට ලැබී නැතිලු: විමර්ශන දිගට ම
- විභාගයෙන් පසුවත් ප්‍රශ්න පත්‍රය පිටකිරීම තහනම්
- වැරදි කර ඇති නිලධාරීන්ට දඬුවම්
කොවිඩ් අභියෝග මැද පැවැති දෙවැනි ශිෂ්‍යත්ව විභාගය නිමාවූයේ පසුගිය 22 වැනිදාය. මාස 6 කට ආසන්න කාලයක් ප්‍රමාද වී පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව අපේක්ෂකයෝ 340,508 දෙනෙක් විභාගයට පෙනි සිටි අතර මධ්‍යස්ථාන 2,943 ක් රට පුරා ක්‍රියාත්මක විය. එයින් විභාග මධ්‍යස්ථාන 99% ක සාර්ථකව විභාගය අවසන් වුවද, මධ්‍යස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් විවිධ චෝදනා මතුවූයේ සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
‘සිංහල ප්‍රශ්න පත්‍රයට දෙමළ පත්‍රයට මාරු වෙලා දීලා‘
‘ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා‘
‘විභාග පත්‍රය විනාඩි 5 ක් ප්‍රමාද වී දීලා, කලින් එකතු කරලා...‘ ඒ චෝදනා අතර කිහිපයකි.
මෙම චෝදනා මතුවූයේ පළාත් අධ්‍යාපන කලාප කිහිපයක පාසල් දෙක තුනකය. හැටන් අධ්‍යාපන කලාපයේ ශාන්ත ගේබ්‍රියෙල් පාසල, මාවනැල්ල බද්දෙවෙල මහ විදුහල, ගල්ගමුව යූ. බි. වන්නිනායක විදුහල, වවුනියාව අධ්‍යාපන කලාපයේ බෝගස්වැව විදුහල, ගාල්ල නාගොඩ රාජකීය විදුහල, මහව තලාපොල වැව පාසල මෙන්ම වැලිමඩ විජය විදුහල ඒ අතර වෙයි. විභාග දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිලි අතර ඒ ඒ ශාලාවල සිදු වී ඇත්තේ විවිධ අසාධාරණතාය.
මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති හැටන් ශාන්ත ගේබ්‍රියෙල් බාලිකා විදුහලේ සිසුවියන් 28 දෙනෙකුට විභාග ශාලාවේ ශාලාධිපතිනිය ඇතුළු විභාග කාර්ය මණ්ඩලයෙන් අසාධාරණ රැසක් සිදුව ඇති බව පවසමින් දෙමවුපියන්ගේ අත්සනින් යුතු ලියවිල්ලක් එදිනම විභාග කොමසාරිස්වරයාට බාර දී ඇතිබව වාර්තා වෙයි. ඔවුන් මතු කළ ප්‍රධාන චෝදනාව වූයේ විභාග ශාලා අංක 7191 දී සිංහල සිසුන්ට දෙමළ මාධ්‍ය පත්‍රයත්, දමිළ සිසුන්ට සිංහල මාධ්‍ය පත්‍රයත් ලබා දී ඇති බවකි. කෙසේ වෙතත් මෙම අවුල ලිහා සිසුන් යළි විභාගය ආරම්භ කරන විට විනාඩි පහක පමණ කාලයක් ගත වී තිබුණද , ගෙවි ගිය ඒ කාලය අමතරව ලබා නොදුන් බවත්, ලියමින් සිටි ප්‍රශ්න පත්‍ර කාලය හමාර වූ සැණින් ඉල්ලා ගත් බවත් කුඩා දරුවෝ චෝදනා කරති.
මෙවර මාස 6 කට ආසන්න කාලයක් විභාග මානසිකත්වයෙන් බලා සිටි සිසුහු විභාගයෙන් පසු මේ ආකාර ආතතියට පත්වීම නුසුදුසුයැයි බොහෝ දෙනාගේ චෝදනාවය. මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අදාළ විභාග ශාලාධිපතිනිය සඳහන් කළේ එම අමතර කාලය සිසුන්ට ලබාදුන් බවකි.
කවුරු නිවැරදිද? යන්න තීරණය වන්නේ අදාළ විමර්ශනයන්ගෙන් අනතුරුවය. “මේ සිදුවීම සම්බන්ධව දෙමවුපියන් හැටන් කලාප කාර්යාලයට පැමිණිලි කර තියෙනවා. නමුත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර නැහැ. මේ සම්බන්ධව හැටන් කලාප කාර්යාලයෙන් මෙන්ම පළාතෙනුත් විමර්ශන සිදු කෙරෙනවා. එම විමර්ශනවලින් අනතුරුවයි, සිසුන්ට යම් අසාධාරණයක් සිදුවී ඇත්ද යන්න අපට පැවැසිය හැක්කේ.....“ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාසය.
පසුගිය 22 වැනිදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තවත් මතභේදාත්මක ගැටලු මතු කළ පාසලක් වූයේ මාවනැල්ල බද්දෙවෙල විදුහලයි. මෙම විභාග චෝදනා සම්බන්ධව අදාළ සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි සිළුමිණට සඳහන් කළේ විභාගයෙන් පසුව ඍජු පැමිණිලි කිසිවක් පළාත් අධ්‍යාපන කාර්යාලයට නොලැබුණු බවත්, දරුවන්ට අදාළ විභාග කටයුතුවලදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඊට සාධාරණයක් ඉටු කිරිම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බවත්ය.
“විභාගයෙන් පසුව අපිට සෘජුව කිසිදු පැමිණිල්ලක් වාර්තා වූයේ නැහැ. මාවනැල්ල අධ්‍යාපන කලාපයටත් එවැනි පැමිණිලි ලැබී නැති බව එම අධ්‍යක්ෂකතුමිය පැවැසුවා. පසුගිය 24 වැනි දින නම නොකියා එක් අයකු පමණක් පැමිණිල්ලක් කර තිබුණා. පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තියෙන්නේ දෙමවුපියන් පස් දෙනෙක් පමණයි. ඒ චෝදනා අතර පවසා තියෙනවා, ලබා දුන් කාලය මදි බව, නියමිත වේලාවට කලින් ප්‍රශ්න පත්‍ර එකතු කළ බව. විභාග දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත අපි අදාළ විමර්ශන කටයුතු සිදු කර ගෙන යනවා. එම වාර්තාව ලැබුණු සැණින් අපිට කියන්න පුළුවන් දරුවන්ට අසාධාරණයක් සිදුවී ඇත්ද යන්න...“ ඒ සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චිය.
අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ ලංකාවේ පවත්වන ලද පාසල් විභාග අතරින් ශිෂ්‍යත්වය අති තරඟකාරි විභාගයක් බවය. මේ වන විට විවිධ සංවිධාන මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. වැලිමඩ විජය විදුහල, නාගොඩ රාජකීය විදුහල හා ගල්ගමුව යු.බී. වන්නිනායක විදුහල්වල පැවැති තත්ත්වය බරපතළ අනතුරු හැඟවීමක් බවයි, ඔවුහු පවසන්නේ.
විභාගය පැවති දින උදෑසන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙක් විභාග මධ්‍යස්ථානය තුළට ඇතුළු වී ඇති බවත්, ඇතැම් ගුරුවරුන් සිරිමාවෝ බණ්ඩාරනායක පාසලේ දරුවන්ට පිළිතුරු කියා දුන් බවත්, එය තමන්ගේ දරුවන්ට සිදු වූ දැඩි අසාධාරණයක් බවත් ගල්ගමුව යු.බී. වන්නිනායක විදුහලේ දෙමවුපියන්ගේ චෝදනාවය. මෙම විභාග මධ්‍යස්ථානය තුළ ගල්ගමුව ප්‍රදේශයේ කෝන්වැව, පාලුව, මාකලානේගම, පාලුකඩවල, ආදී පාසල් කිහිපයකම දරුවන් පෙනී සිටි අතර සිරිමාවෝ බණ්ඩාරනායක පාසලට එරෙහිව අනෙකුත් පාසල්වල දෙමාපියන්ද පෙළ ගැසි සිටියේ මේ අසාධාරණතාවට විරුද්ධවය.
මේ වන විට මේ සිදුවිම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව පමණක් නොව වයඹ පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙයි. “ අපේ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් නොලැබුණත් විභාග දෙපාර්තමේන්තුවේ නියෝගය මත පළාතිනුත්, කලාපයෙනුත් අදාළ විමර්ශන කටයුතු සිදු කර ගෙන යනවා......“ එ් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. එස්. කේ. ජයලත්ය.
විභාග පරික්ෂකවරුන් විභාග අක්‍රමිකතා සිදු කිරීම, විභාග අපේක්ෂකයන්ට පිළිතුරු ලිවීමට අතිරේක කොළ ලබා නොදීම, විභාගයට පිළිතුරු ලිවීමට නිසි කාලයක් ලබා නොදීම මෙන්ම යම් යම් සිසුන්ට උදවු කිරීම බරපතළ විභාග අක්‍රමිකතාය. මේ චෝදනා නඟන්නේද කුඩා දරුවෝය. මෙය ඉදිරියේදි විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ගේ ධෛර්යය හීනවීමක් වේද? ගාල්ල නාගොඩ රාජකීය විදුහලෙන්ද ඇසෙන්නේ එවන් චෝදනාවකි. ඒ පිළිතුරු ලිවීමට නියමිත කාලය ලබා නුදුන් බවකි. මේ පිළිබඳව නාගොඩ පොලීසියටද පැමිණිල්ලක් ගොනු වී ඇත.
“දෙමවුපියන්ගේ මේ චෝදනා සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවේ නියමය පරිදි අපි විමර්ශනයක් සිදු කෙරෙමින් පවතිනවා. සති අන්තය වන විට විමර්ශන කටයුතු අවසන් කළ හැකියි. මේ චෝදනාව එල්ල වූයේ එම පාසලේ විභාග මධ්‍යස්ථානයේ එක කාමරයක පමණයි........“ ඒ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් දිසානායකය.
වවුනියාව බෝගස්වැව සිසුන්ගේ චෝදනාව තවත් බරපතළ එකකි. ඒ විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බවකි. සිදු වී ඇත්තේ විභාගය අවසන් වීමෙන් පසුව කවුරු හෝ සවස 6 ට පමණ මෙම ප්‍රශ්න පත්‍රය සමාජ ජාලාවලට එක්කිරීමකි. මේ සිදුවීම පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් වීරසිංහ පැවැසුවේ යම් පාසලක විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිවරයකු හරහා හෝ මෙය ඡායාරූපගත කර සමාජ ජාලාවලට එක් කර ඇති බවත්, අදාළ පරීක්ෂණවලදි මුලින්ම ඇතුළත් කළ පුද්ගලයාව සොයා ගැනීම කළ යුතු බවත්ය. නමුත් අදාළ කලාපයේ වැරුදි ප්‍රචාරයක් ගොස් ඇත්තේ විභාගයට පෙර ප්‍රශ්න පත්‍රය පිටවු බවත්, එය සම්පූර්ණයෙන්ම වැරැදි බවත්ය. කෙසේ හෝ වවුනියාවේ වූ මේ සිදුවීම ඇඹිලිපිටිය මාධ්‍යවේදියකු හරහා පුවත්පතක පළ වීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවී ඇති බව ඔහු පවසයි. අධ්‍යක්ෂවරයා වැඩි දුටත් පවසන්නේ විභාගයෙන් පසුව වුවද එසේ ප්‍රශ්න පත්‍රය පිට කිරීම දැඩි වරදක් බවය.
වවුනියාවේ සිදුවූ මෙම ආන්දෝලනය හරහා විභාග නිතී කඩකල පුද්ගලයන් සොයා සි. අයි. ඩී විමර්ශනයක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයාද පවසයි.
තව දින කිහිපයකින් මාස ගණනක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය පැවැත්වෙයි. ඒ දරුවෝ කල්ගත වූ විභාගයට මේ වන විට පාඩම් කරන්නේ දැඩි විභාග පීඩනයකිනි. මෙවැනි පුවත් ඒ දරුවන්ගේ මනසට ගෙන දෙන්නේ දැඩි පීඩාවකි. ඒ නිසා වගකිව යුත්තන් ඒ ගැනද කල්පනා කළ යුතුව ඇත. මෙවැනි දේ ඉදිරියට නොවන්නට, වැරැදි කර ඇත්නම් දඩුවම් දීම හා දරුවන්ට අසාධාරණයක් සිදුවී ඇත්නම් සාධාරණයක් ඉටු කිරීම වහා කළ යුතුය.
සේයාරූ සහ පසුබිම් වාර්තා
- කොබෙයිගනේ සමූහ, කුමාරි දිසානායක
- හැටන් සමූහ, චන්දන ජයවීර
- හිනිදුම සමූහ, ප්‍රාර්ථනා ලියනගේ
දරුවන්ට සාධාරණයක් ඉටු කරනවා
- විභාග කොමසාරිස්
මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන, සිළුමිණ කළ විමසීමේදී ලබා දුන්නේ මෙවන් පිළිතුරකි
•ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව මතුවී ඇති මේ චෝදනා සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබුණද? දරුවන්ට අසාධාරණයක් සිදුවි ඇතිනම් ඊට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
“ලංකාවේ විභාග මධ්‍යස්ථාන 2940 ක විභාග රාජකාරි කටයුතු කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සිදුවුණා. ඒ වෙනුවෙන් සියලු නිලධාරින්ට මගේ ස්තුතිය පිරි නමනවා. නමුත් යූ. බි. වන්නිනායක විදුහල, වැලිමඩ විජය විදුහල මෙන්ම නාගොඩ රාජකීය විදුහල සම්බන්ධව පැමිණිලි ලැබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන තුනක් කරගෙන යනවා. අදාළ කලාපයෙන් , පළාතින් හා විභාග දෙපාර්තමේන්තුවෙන්. අසාධාරණයට ලක් වූ පාසල්වල අපේක්ෂකයන්ගේ ප්‍රශ්න පත්‍ර වෙනමම ලබා ගෙන විශේෂ කමිටුවකින් සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා ඒ සියල්ල යළි පරික්ෂා කෙරෙනවා. අනිකුත් ප්‍රශ්න මතුවු මධ්‍යස්ථාන වලත් මේ විමර්ශන කිරීමට සුදානම්. මේ ප්‍රශ්නයේදී යම් දරුවකුට අසාධාරණයක් සිදු වී ඇත්නම් අනිවාර්යෙන්ම ඒ දරුවන්ට සාධාරණයක් ඉටු කරනවා. “
•මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත් ?
“යම් මධ්‍යස්ථානයක ශාලාධිපතිවරයෙකු හෝ විභාග නිරීක්ෂකවරයෙකු වැරැද්දක් සිදු කර ඇත්නම් ඊට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. ඉදිරියේදි කාලය පිළිබඳ ගැටලු ඇති නොවීමට විභාගයට පෙර, අවසන් වීමට පෙර හා අතරමඟ වේලාව දැනුම් දීමට මෙන්ම විභාග රාජකාරි කරන අයගේ හා සිසුන්ගේ ඔරලෝසු එකම වේලාවකට සකස් කිරීම ආදි ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. ...“
•ප්‍රශ්න පත්‍රය පිටවීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා. එය ඇත්තද?
“කිසිසේත් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් සිදුවූයේ නැහැ. සිදුවූයේ විභාගය අවසන් වී යමෙකු එය ඡායාරූපගත කර බෙදා හැරීමයි. සාමාන්‍යයෙන් විභාගය අවසන් වූ පසු විභාග ප්‍රශ්න පත්‍රයේ සියලු හිමිකම් පවතින්නේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට. ඒ නිසා විභාග කොමසාරිස්වරයාගේ අනවසරයෙන් මේ රහස්‍ය දේපළ ප්‍රසිද්ධ කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. මේ නිසා විභාගයෙන් පසුව යම් මධ්‍යස්ථානයක එම ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර සමාජ ජාලා වලට මුදා හැරීමක් සිදුවීද යන්න සොයා බැලීමට සි. අයි. ඩි යට බාර දී තියෙනවා. ඒ වගේම අදාළ පරික්ෂණ කටයුතු කිරීමටද පොලිස්පතිවරයාටද දැනුම් දුන්නා...”