උපා­ධිය ගන්න පෙර වැල්ල­වත්තේ දී ඉර­ණම් ගමන් ගිය මාල­දි­ව­යිනේ අෆ්හම් | Page 3 | සිළුමිණ

උපා­ධිය ගන්න පෙර වැල්ල­වත්තේ දී ඉර­ණම් ගමන් ගිය මාල­දි­ව­යිනේ අෆ්හම්

මර­ණ­යට පත් අෆ්හම් නසීර්
මර­ණ­යට පත් අෆ්හම් නසීර්

 

මාලදිවයින; ශ්‍රී ලංකාවට ආසන්නම දූපත් රාජ්‍යයයි. ඇතැම් මාලදිවයින් ජාතිකයන් අසනීපයක් වූ විට ප්‍රතිකාර ලබා ගැනීමටද පැමිණෙන්නේ සමීපතම රාජ්‍යය වන ශ්‍රී ලංකාවටයි. එසේම බොහෝ මාලදිවයින් ජාතිකයන් අතීතයේ සිටම අධ්‍යාපන කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවට පැමිණෙති. ඒ අතර හිටපු මාලදිවයින් ජනපතිවරුන්ද වේ. හිටපු ජනපති මවුමූන් අබ්දුල් ගයූන් ගාල්ල බොනවිස්ටා පාසලේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ සිප්සතර හැදෑරුවෙකි. තවද ගයූන්ට පසුව ජනපති වූ මොහොමඩ් නසීඩ්ද 1981-82 සමයේ කොළඹ ඔවර්සීස් පෞද්ගලික පාසලේ ඉගෙනුම් කටයුතු කර තිබිණි.

 

මාලදිවයින් ජාතික තරුණයකුගේ මරණයක් පිළිබඳව ඉකුත්දා මෙරටින් වාර්තා විය. ඔහු මෙරට පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් උපාධියක් හැදෑරීම සඳහා පැමිණ සිටි 24 හැවිරිදි අෆ්හම් නසීර් නමැති තරුණයෙකි.

මේ වන විට සියදිවි හානිකර ගැනීමක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි විසින් තීන්දුවක් ලබා දී ඇතත් ඔහුගේ සිරුරෙහි කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ. එම රස පරීක්ෂක වාර්තා අනුව මාස තුනකින් අෆ්හම්ගේ මරණයට නිශ්චිත ලෙසම හේතු වූයේ කුමක්ද යන්න අනාවරණය කරගත හැකි බවකි.

ඉකුත් පස්වැනි සෙනසුරාදා දින සවස 2.30ට පමණ වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දුරකථන ඇමැතුමක් ලැබී ඇත්තේ වැල්ලවත්ත, මුහුදු තීරයට නිරුවත් මළසිරුරක් ගොඩගසා ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ද සිල්වාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රංගන ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට සැණින් එම ස්ථානයට ගියහ.

හිසකෙස් සුදු පැහැති උඩ රැවුල වැවී නිරුවත්ව තිබූ එම මළසිරුර අවුරුදු 60ක්, 70ක් අතර අයකුගේ බවට දිස්විණි. විමර්ශන කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයකු උපපොලිස් පරීක්ෂක රංගනව දැනුවත් කළේ,

“සර්... තව බොඩි එකක් තියෙනවා“ කියායි.

එම සිරුර වූයේ පළමු සිරුර හමුවූ ස්ථානයේ සිට මීටර් 450ක් පමණ ඈතිනි. ඒ වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ මිෂන් ශාලාව ඉදිරිපස පර්ල් බීච් අවන්හලට පිටුපසට වන්නට දුම්රිය මාර්ගයත් වෙරළ තීරයත් අතර කැලෑ රොදකයි.

අනතුරුව උපපොලිස් පරීක්ෂකවරයා විසින් ඒ පිළිබඳවද පරීක්ෂා කොට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කෙරිණි.

අවට සිදුකළ සෝදිසි කිරීම්වලින් එම මරණ පිළිබඳව කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විණි. තරුණ මළසිරුර ආසන්නයෙන් උල් පිහියක් සහ වයර් රහිත කනෙහි පලඳිනා බ්ලූ ටූත් මෙවලමක්ද හමු වූයේ හිස් වතුර බෝතල් කිහිපයක්ද සමඟිනි. බෙල්ලෙහි වූ අඟල් හයක පමණ කැපුමකින් පමණක් මරණයට පත්ව සිටි තරුණයාගේ මළසිරුර සහ වයසක පුද්ගලයාගේ මළසිරුර එදින සවස් යාමයේම ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කළාය.

ඒ අතරේ පොලිස් විමර්ශනවලින් අනාවරණය වූයේ වෙරළට පාවී පැමිණි නිරුවත් මළසිරුර සහ කැපුම් තුවාල ලත් මළසිරුර අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි. කළුබෝවිල රෝහලේ තැන්පත් කළ සිරුර දෙකෙන් වයසක පුද්ගලයාගේ මළසිරුරෙහි සිදුකළ පීසීආර් පරීක්ෂාව අනුව ඔහුට කොවිඩ් 19 ආසාදිත බවටද හෙළි විණි.

පසුදින එනම් හයවැනිදා වැල්ලවත්ත පොලිස් නිලධාරින්ට තොරතුරක් ලැබී තිබුණේ මාලදිවයින් ජාතික තරුණයකුගේ අතුරුදන්වීමක් පිළිබඳවයි. ඒ අනුව වැල්ලවත්තෙන් හමුවූ තරුණ මළසිරුරෙහි ඡායාරූප සහ අතුරුදන් පුද්ගලයාගේ ඡායාරූප තොරතුරුකරුවන් හා හුවමාරු කරගැනිණි. එම මාලදිවයින් ජාතිකයා විසූ ඉසව්ව විමසීමේදී ඔහු දෙහිවල ප්‍රදේශයේ වාසය කළ බවට හෙළි විණි.

අෆ්හම් මර­ණ­යට පත්ව සිටි ස්ථානය පරික්ෂා කළ ගල්කිස්ස
වැඩ­බ­ලන
මහේ­ස්ත්‍රාත් රත්නා ගමගේ ඇතුළු විම­ර්ශන සිදු­කළ පොලිස් නිල­ධා­රින්

හයවැනිදා රාත්‍රියේම වැල්ලවත්ත පොලිස් නිලධාරින් එම මාලදිවයින් ජාතිකයා විසූ ස්ථානයට සොයා ගොස් පරීක්ෂා කළහ. එම පුද්ගලයා විසුවේ නොම්මර 84/1, ඇන්ඩර්සන් පාර, කළුබෝවිල, දෙහිවල ලිපිනයේ නිවෙසකයි. එම ස්ථානයේ තරුණයෝ තිදෙනෙක් විසූහ. ඔවුන් අතුරුදන් පුද්ගලයා සමඟ සමීපව ඇසුරු කළ තිදෙනෙකි. අතුරුදන් වීමට පෙරද ඔවුන් තිදෙනා හා අතුරුදන් තරුණයා එකට කා බී තිබිණි. ඒ අතර සිටි තරුණයන් දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයන්ය. අනෙකා ශ්‍රී ලාංකිකයෙකි. ඔවුනගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අතුරුදන් පුද්ගලයා මාලදිවයින් ජාතික 24 හැවිරිදි අෆ්හම් නසීර් නමැත්තා බව හෙළි විණි.

ඔහු මීට වසර දෙකහමාරකට පමණ පෙරදී මෙරටට පැමිණ තිබුණේ කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් උපාධියක් ලබා ගැනීම සඳහායි. එම තරුණයන් විසින් අෆ්හම්ගේ අතුරුදන් වීම පිළිබඳ පුවත ඒ වන විට සමාජ මාධ්‍යයට ද මුදාහැර තිබිණි. එමඟින් මාලදිවයින් රටේ වැසියන් ද ශ්‍රී ලංකාවේදී මාලදිවයින් ජාතිකයකුගේ අතුරුදන් වීමක් පිළිබඳව පුවත්ද පළ කර තිබිණි.

අෆ්හම් මෙරටදී ඇසුරු කළ මාලදිවයින් ජාතික කාන්තාවක් පිළිබඳව ද ඔහුගේ මිතුරන් තිදෙනාගෙන් තොරතුරු හෙළි විණි. දෙහිවල ප්‍රදේශයේම විසූ ඇය පළමු විවාහයෙන් වෙන්ව සිටි එක්දරු මවකි. ඇය සමඟ අෆ්හම් පසුගිය කාලයේ සමීප ඇසුරක් පවත්වා තිබිණි. මළසිරුරෙහි වූ කමිසය අනුව ඇය නිශ්චිත ලෙසටම එම මළසිරුර අෆ්හම්ගේ බවට තහවුරු කළාය. පොලිසිය මළසිරුරේ ඡායාරූප පෙන්වූ සැණින් ඇය කීවේ,

“සර්... මේ ඇඳ‍ගෙන ඉන්න ටීෂර්ට් එක ගත්තේ මාත් එක්කම ගිහිල්ලා...“ එසේම ඇය එම මළසිරුරේ වූ රිදී පැහැති කර මාලයෙන්ද මරණයට පත්ව සිටින්නේ තමන් ඇසුරු කළ මාලදිවයින් ජාතික අෆ්හම් නසීර් බවට තිර ලෙසටම සනාථ කළාය.

මරණයට පත්වූ දින අෆ්හම් ඇයට එවා තිබූ කෙටි පණිවිඩ කිහිපයක් ගැනත් ඇය පොලිස් නිලධාරින් ඉදිරියේ හෙළි කළාය. ඒ, එක් පණිවිඩයක තිබී ඇත්තේ,

“මම දැන් ඉන්නෙ මුහුද පේන... අහස පේන තැනක...“ යනුවෙනි. ඉන් හෙළි වූයේ ඔහු මරණයට පත්වීමට පෙර සිට ඇත්තේ වැල්ලවත්ත මුහුදු තීරයේ බවයි. තව ද අවට සීසීටීවී පරීක්ෂාවලින්ද පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ අෆ්හම් නමැත්තා මරණයට පත්වූ දින දහවල් කාලයේ දෙහිවල ප්‍රදේශයේ සිට මිනිත්තු 45ක පමණ කාලයක් වැය කරමින් පා ගමනින් වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙන ආකාරයකි.

එසේම එම කාන්තාව අෆ්හම් පිළිබඳව පොලිසියට තව තවත් බොහෝ තොරතුරු හෙළි කරමින් සඳහන් කර තිබුණේ,

“එයාට ලංකාවේ ඉන්න සල්ලි තිබුණේ නෑ... ගෙවල් කුලි ගෙවන්න... ඉගෙන ගන්න සල්ලි නැතිව හිටියේ... හිටපු ගෙදරිනුත් කුලි ගෙවපු නැති නිසා යන්න කියලා තිබුණේ...“ එසේම අෆ්හම් මෑතක සිට මත්පැන් සහ කංසා පානයටද තදින් ඇබ්බැහිව සිටි බවත් ඇයගේ පාපෝච්චාරණවලින් හෙළි වූවාය.

වැල්ලවත්තෙන් හමුවූ තරුණ මළසිරුර මාලදිවයින් ජාතික අෆ්හම් නසීර්ගේ බවට තහවුරු වීමත් සමඟ පොලිසිය, මාලදිවයින් තානාපති කාර්යාලය මඟින් එම මරණය පිළිබඳව මාලදිවයින් රජය දැනුවත් කෙරිණි.

අනතුරුව අෆ්හම්ගේ මරණයේ විමර්ශන සඳහා ඉකුත් 7 වැනිදා මාලදිවයින් රජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහොමඩ් සාහුන් සහ උපපොලිස් පරීක්ෂක හසන් නමැත්තා සමඟ අෆ්හම්ගේ මාපියන්ද මෙරටට පැමිණියේය. මාලදිවයිනේ ඩාල් අටෝලයේ මීධූ දූපතේ උපන් අයකු වන අෆ්හම්ගේ මවුපියන්ද වෙන්ව ජීවත්වන දෙදෙනෙකි. පියා මාලදිවයින් වැසියන්ගේ ප්‍රධානතම වෘත්තියක් වන කිමිදුම් රැකියාවේ නිරත වන්නෙකි. මව ෆාතිමා ෂහීඩා වෙනත් පිරිමියකු හා විවාහ වී සිටින්නීය. ඇය අෆ්හම්ගේ ඉගෙනුම් කටයුතු සඳහා මුල් කාලයේදී වියදම් කර තිබුණාය. ඇය අෆ්හම්ගේ මරණය සැලවීමත් සමඟ මාලදිවයින් පොලිස් නිලධාරින් සමඟ මෙරටට පැමිණියේ දෙවන සැමියාද සමඟිනි.

අෆ්හම්ගේ මරණය පිළිබඳව මාලදිවයින් පොලිසියද විධිමත් පරීක්ෂණයක් සිදුකරයි. ඒ සඳහා මෙරටට පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනා විසින් අෆ්හම්ගේ මරණ පරීක්ෂණය සිදුකරද්දී අවැසි ඡායාරූපද ගෙන තිබිණි.

මාලදිවයිනේ ධරුමවන්ත උසස් පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇති අෆ්හම් තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීම සඳහා මෙරටට පැමිණ ඇත්තේ මීට වසර දෙකහමාරකට පමණ පෙරදියි. එලෙස පැමිණි ඔහු නැවත කිසි දිනෙක මාලදිවයිනට ගොස් නැත. ඔහුට වසරක පමණ කලෙක සිට මවුපිය වැඩිහිටියන්ගෙන් අධ්‍යාපන කටයුතු හෝ ජීවත්වීම සඳහා කිසිදු මුදලක් ලැබී නැත. අනතුරුව ඔහු මෙරට දිවි ගෙවා ඇත්තේ අමතර රැකියාවලට යොමු වෙමිනි. ඒ අතරේ ඉකුත් පෙබරවාරි 6 වැනිදායින් මෙරට රැඳි සිටීමේ අෆ්හම්ගේ වීසා බලපත්‍රයද අවසන් වී තිබිණි. කෙසේ හෝ එක් උපාධියක් අවසන් කොට සිටි අෆ්හම් තවත් උපාධියක් හැදෑරීමට සූදානමින් සිටි තරුණයෙකි.

අෆ්හම් ඒ වන විටත් මත්පැන් සහ කංසා පානය කර සිටි බව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවෙන්ද තහවුරු විණි.

මරණයට පත්වීමට පෙර වැල්ලවත්ත වෙරළ තීරයේ රැඳි සිටියදී අෆ්හම් සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයද අස්ථානගතව තිබී පසුව පොලිසියට හමුවී තිබිණි.

මේ පිළිබඳ විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රිගේ උපදෙස් මත වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රංගන ද සිල්වා ඇතුළු උපපොලිස් පරීක්ෂක රන්දික ද සිල්වා, පොලිස් සැරයන්වරුන් වන 52090 තුෂාර, 36228 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 30862 ධර්මසේන විසින් සිදු කළහ.

 

ඡායාරූප - අෂ්රෆ් ඒ. සමත් දෙහිවල - ගල්කිස්ස විශේෂ

Comments