ලොවක් වටින බිම්ම­ලට කුඩ­ම්මාගේ සැල­කිලි | සිළුමිණ

ලොවක් වටින බිම්ම­ලට කුඩ­ම්මාගේ සැල­කිලි

සූව දශකයේ මැද භාගයේ වෙළෙඳ භෝගයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බිම්මල් වගාව අද වන විට මෙරට ජනතාව අතර ප්‍රචලිත පෝෂණීය ආහාරයක් බවට පත්ව තිබේ. බිම් මල් වගා කරන්නන් ගේ උනන්දුව සහ කැපවීම මත එසේ ඉදිරියට පවත්වාගෙන ආවද, කෘෂි බෝගයක් ලෙස, බිම්මල් වගාව කෙරෙහි වැඩි රාජ්‍ය අවධානයක් යොමුව ඇති බවක් නොපෙනේ.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වන ප්‍රධාන ධාරාවේ භෝග ගනයට නොවැටෙන බැවින්, එහි කුඩා අංශයක් ලෙස පමණක් අවධානය ලැබෙන බිම්මල් වගාව, අද වන විට ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ පා තිබේ. මේ පිළිබඳ විමසීමට අපි බිම්මල් වගාකරුවන් කිහිප දෙනකු මුණගැසුනෙමු.

පිළියන්දල සියඹලාගොඩ, නියුට්‍රිලයින් බිම්මල් ෆාම් හිමිකරුවන් වන උදිත ජයනාත් සහ ධනේශා සිතාරි, එසේ බිම්මල් වගාවේ නියැළෙන තරුණ යුවළකි.

"මම කළේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවක්. කොවිඩ් වසංගතයත් එක්ක සංචාරක ව්‍යාපාරය කඩා වැටුණට පස්සෙයි අපි බිම් මල් වගාව පටන් ගත්තේ. මේ වෙනකොට අපි බොහෝ අය වවන ඇමෙරිකන් ඔයිස්ටර් කියන සුදු බිම් මල්වලට අමතරව, ළා දුඹුරු පැහැති බූතාන් ඔයිස්ටර් සහ රෝස පැහැති පින්ක් ඔයිස්ටර් කියන දෙවර්ගයත් වවනවා.

විශේෂයෙන් පින්ක් ඔයිස්ටර් කියන්නේ, බොහොම මෘදු, රසයෙන් වගේම පෙනුමෙන් ඉතාම ඉහළ බිම්මල් වර්ගයක්. ඇමෙරිකන් ඔයිස්ටර් වගේ මේකේ දිගු කාලයක් මල් පිපෙන්නේ නැහැ. නඩත්තුව වැඩියි. ලාභය අඩුයි. ඒ නිසාම බොහෝ අය භූතාන් සහ පින්ක් ඔයිස්ටර්වලට අත ගහන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මාංශල ගතියෙන් වැඩි, ප්‍රමාණයෙන් විශාල වන ඇබලෝන් සහ milky white කියන තවත් දෙවර්ගයක් අපි අත්හදා බලමින් ඉන්නවා.

රබර් ලී කුඩු, සහල් නිවුඩු, ජිප්සම් සහ අමතර පෝෂක වන සෝයා සහ බඩ ඉරිඟු කුඩු, බිම්මල් වගාවේ ප්‍රධාන මාධ්‍ය. දැන් මේ හැම අමුද්‍රව්‍යකම මිල දෙගුණයකින් වැඩිවෙලා.

විශේෂයෙන් රබර් ලී කුඩු කිලෝ 20ක උරයක් රුපියල් 200ක් දක්වා මිල ඉහළ ගිහින්. ඒත් ගන්න නැහැ. රුපියල් 40 ට තිබූ සහල් නිවුඩු කිලෝව දැන් රුපියල් 100ක්. විශේෂයෙන් රට මැදට යද්දි රබර් ලී කුඩු ප්‍රශ්නය බොහෝ උග්‍ර වෙලා. රුපියල් 400ට තිබූ ගේජ් 20 පොලිතින් බෑග් කිලෝව දැන් රුපියල් 640 ක්. මේ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ රබර් ලී කුඩු නැතිකම ඉදිරියේ දී බිමල් කර්මාන්තයට ලොකු අහිතකර බලපෑමක් ඇති කරයි.

වගා මාධ්‍ය ලෑස්ති කරගෙන බීජ තැන්පත් කරලා, සිසිලස හොඳින් ඇති විශේෂිත අඳුරු ගෘහයක් තුළ අපි මේ බිම්මල් පොට්ස් තැන්පත් කරනවා. කුඩා මැස්සෙකුටවත් රිංගන්න බැරි වෙන්න, අඟලට කොටු හතළිහේ කෘමි ප්‍රතිරෝධී දැල ගහලා, ගෘහය ආරක්ෂා කරනවා. දවසක් ඇර දවසක් ක්ලෝරීන් දාලා බිම සෝදනවා. මීදුම වගේ දවසට තුන් වතාවක් වතුර ස්ප්‍රේ කරනවා. රස්නේ වැඩි නම් වහලේ තෙමනවා. ගෘහය ඇතුළේ තෙත ගෝනි එල්ලනවා. මේ මොනවා කළත්, පායන කාලෙට මල් අඩුයි. මල් තරමක් කහ පැහැ ගැන්වෙනවා.

මේ සියලු දුෂ්කරතා විඳගෙන වුණත් අපි හදන බිම්මල්වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපිට ඕනේ හැමදාම එළවළුවක් විදියට විතරක් අලෙවි කරන එකෙන් ඔබ්බට ගිහින්, බිම්මල්වලින් අගය එකතු කළ වටිනාකමක් ඇති දේ නිෂ්පාදනය කරන්න. හොඳ වෙළෙඳ වටිනාකමක් ඇති බිම්මල් වර්ග පහක් ම හදන හැටි අපි දන්න නිසා, අපිට ඕනේ Value added බිම්මල් පිටරට යවන තැනට දියුණු කර ගන්න. ඒකට අවශ්‍ය දැනුම ගන්න. ඒ තැනට යන්න පාර කිව්වොත් අනිවාර්යෙන් ම අපි දෙන්නා බිම්මල්වලින් විදේශ විනිමය උපයනවා"

කැස්බෑව 'ඩිල්ෂාන් බිම්මල්' හිමිකරු මධුශංඛ දිනේෂ්, වසර 26ක් පුරා බිම්මල් කර්මාන්තයේ නියැළෙන තරුණ ව්‍යවසායකයෙකි. ඔහු නිසා බණ්ඩාරගම අවට පවුල් 30ක් පමණ බිම්මල් වගාවේ නියැළෙන අතර, දිනේෂ් ඔවුන්ගේ බිම්මල් අස්වනු ද මිලදී ගෙන අලෙවි කරයි.

" මම උසස් පෙළින් පස්සේ රැකියා දෙක තුනකටම ගියා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.1995 මම බිම්මල් වවන්න ගත්තා. පැකට් එක රුපියල් 12ට අලෙවි කළේ .දැන් පැකට් එකක් රු.100යි. ගෙවල් දොරවල් හදලා වාහන අරගෙන දරුවන්ට උගන්වලා අවුරුදු 26ක් තිස්සේ මේ සේරම කළේ බිම්මල් වගාවෙන්.

බණ්ඩාරගම අවට ගෙවල් තිහක පමණ මං බිම්මල් වගාව ව්‍යාප්ත කළා. පාන්දර පහමාර වෙද්දි මම ඒ ගෙවල්වලින් බිම්මල් එකතු කරගෙන, උදේ අට නවය වෙද්දී කඩවල්වලට දානවා. අවුරුදු 26ක් තිස්සේ මම මේ බිම්මල් වගාව කරන්නේ අත්දැකීමෙන් පමණයි. මේ කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ රජයේ කිසිදු කෘෂිකර්ම නිලධාරියෙක් අපේ වගාබිම්වලට එන්නේ නැහැ. ඔවුන් යන්නේ දැන හැඳුනුම්කම්වලට විතරයි. අපි ඒ අයව හොයන්න ගියත් රස්තියාදුව විතරයි. ඉතින් අපි දන්නා ආකාරයට මේ වගාව සහ ව්‍යාපාරය කරගෙන යනවා.

එළවළු මිල වැඩි නිසා මේ දිනවල බිම්මල්වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා. නමුත් රබර් ලී කුඩු සපයා ගැනීමේ හිඟයක් ඇති වී තිබෙනවා. අපි රබර් ලී කුඩු කිලෝ 20 උරයක් ගන්නේ රුපියල් 180 කට. එක පොට් එකකින් මාස හතරකට ආසන්න කාලයකදී මල් නෙළා ගන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. ඒ නිසා සෑමවිටම විශාල පොට් ප්‍රමාණයක් සූදානම් කරගෙන සිටිය යුතුයි. ඒ සඳහා රබර් ලී කුඩු, නිවුඩු සහල් ඇතුළු අමුද්‍රව්‍ය යහමින් තිබිය යුතුයි. මෙය දිලීරයක් නිසා එය වර්ධනය වීමට ජලය හැර අමුතුවෙන් පොහොර අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට කරදරයකින් තොරව අමුද්‍රව්‍ය ටික ලබා ගන්න ක්‍රමවේදයක් තිබුණොත් ඇති..."

කළුතර පලාතොට, තාරි කෘෂි නිෂ්පාදන හිමිකරු, ජමින්ද නන්දික ද, කොවීඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් ශ්‍රමිකයෙකි.

" මම සේවය කළේ ඕමානයේ තෙල් සමාගමක. මම එහේ ඉන්න කාලෙත් මගේ පවුලේ අය ගෙදර බිම්මල් වගාව කරගෙන ගියා. දැන් මමත් වගාවට පූර්ණකාලීනව සම්බන්ධ වෙලා. එහෙදී මම ගොඩනඟාගත් සබඳතා අනුව, ඕමානයට බිම්මල් යවන්න දැන් කටයුතු සකසමින් ඉන්නවා. අපි සෑම දිනකම බිම්මල් පැකට් 150-200ත් අතර ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළට සපයනවා.

මට තිබෙන ලොකුම ගැටලුව තමයි, මේ බිම්මල් සාරයේ තිබෙන ඖෂධීය හෝ ගුණාත්මක බව එළියට ගෙන එයින් නව නිපැයුමක් කරන්න තරම් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ගන්න තැනක් අපේ රටේ නැති එක. ඒ වගේ දේකට සහය ලැබෙනවා නම් අපිට බිම්මල්වලින් විදේශ විනිමය උපයන්න අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඇත්තටම මට දැන් පිටරට ගිහින් සල්ලි හොයන්න අවශ්‍ය නැහැ. බිම්මල් වගාවෙන් හොඳින් උපයන්න පුළුවන්. බිම්මල්වලින් විදේශ විනිමය ගේන හැටියි මම කල්පනා කරන්නේ. ඒ නිසා විදේශ විනිමය රටට අවශ්‍ය මේ වගේ කාලෙක අපි වගේ උනන්දුවක් ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් රජය කුමක් හෝ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි"

රජයේ පාර්ශ්වය වෙනුවෙන් මාකඳුර - තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය කෘෂිකර්ම, අධ්‍යක්ෂ, පාලිත රාජපක්ෂගෙන්ද අප මේ පිළිබඳ විමසුවෙමු.

" අපේ රටේ බිම්මල් වගාවට දැන් වසර හතළිහක් පමණ වනවා. පටන් ගත්තට වඩා යම් තැනක ඉන්නවා වුණත් රටක් ලෙස සැලකිය යුතු මට්ටමකට අපේ රටේ බිම්මල් වගාව ඉදිරියට ඇවිත් නැහැ.

ඒකට හේතුව තමයි බිම්මල් වගාවට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය එතරම් නොලැබෙන එක. කොරියාවේ විශ්වවිද්‍යාලවල බිම්මල් අධ්‍යයනය සඳහා වෙනම පාඨමාලා තිබෙනවා. බිම්මල් කර්මාන්තයේ උන්නතියට කොරියන් බිම්මල් කවුන්ස්ලයක් තිබෙනවා. ඉන්දියාවේ ජාතික බිම්මල් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් තිබෙනවා. කොරියාව, චීනය සහ ජපානයේ මිනිසුන් සෑම ආහාර වේලකටම බිම්මල් එක් කර ගන්නවා. චීනුන් බිම්මල් හඳුන්වන්නේ 'Gift of the God...' ලෙසින්. චීනය තමයි ලෝක බිම්මල් අවශ්‍යතාවෙන් පහෙන් එකක් වගා කරන්නේ. නමුත් අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතා කුඩා කොටසකට පමණය, මේ බිම්මල් වගාව දමා තිබෙන්නේ.

අනික අපේ රටේ ජනතාව අතර බිම්මල්වල පෝෂණ ගුණය පිළිබඳ සන්නිවේදනය මදි. ජනතාව අතර මීට වඩා බිම්මල් පිළිබඳ දැනුම බෙදා හැරිය යුතුයි. මාකඳුරේ අප ආයතනයෙන් කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු සෑම ගැටලුවකට විසඳුම් ලබා දෙනවා වගේම බිම්මල් වගාවට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙසත් ක්‍රියාත්මක වෙනවා. අලුත් වර්ග අත්හදා බැලීම, හඳුන්වා දීම අප අංශයෙන් සිදු වන අතර, වගා මාධ්‍ය සම්බන්ධ පර්යේෂණ කටයුතු, වගා ගෘහය සම්බන්ධ සහ බීජ නිෂ්පාදනය සම්බන්ධ පර්යේෂණ කටයුතුත් සිදුවන්නේ මාකඳුරේ අප ආයතනය මගින්.

ඉතින් බිම්මල් වගාව කෙරෙහි උනන්දුවක් ඇති ඕනෑම කෙනකුට අප ආයතනයේ සේවය ලබා ගන්න පුළුවන්. මේ දිනවල පවතින රබර් ලී කුඩු හිඟය බිම්මල් වගාවට බොහෝ සෙයින් බලපා තිබෙන බව ඇත්ත. අනෙක් සැහැල්ලු ලීවලට වඩා, රබර් ලී කුඩුවල කිරි තිබෙන නිසා, එහි ප්‍රෝටීන සහ නයිට්‍රජන් බහුලයි. බිම්මල්වල වැඩීමට ඒ පසුබිම ඉතාමත් හොඳයි. රබර් ලී කුඩු තමයි, බිම්මල් වගාවට හොඳම අමුද්‍රව්‍ය. වෙනත් දේවලට රබර් ලී ගන්නා නිසාත්, බිම්මල් වගාකරුවන් වැඩි වී ඇති නිසාත් තමයි, මේ ගැටලුව ඇති වී තිබෙන්නේ. කොහොම වුණත්, අපේ රටේ බිම්මල් කර්මාන්තයට මීට වඩා වැඩි ඉඩකඩක් දිය යුතුයි කියන එකයි මගේ අදහස..."


 

Comments