
බටහිර වෛද්‍යවරුන් බිහිකරන වෛද්‍ය පීඨ 11ක් දැන් ලංකාවේ ස්ථාපිත වී තිබේ. වෛද්‍ය පීඨයක් ස්ථාපිත කරනු ලබන්නේ එකී වෛද්‍ය පීඨයේ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක පහසුකම් ලබා ගැනීමේ ශක්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුවය. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ට කොළඹ ජාතික රෝහල ද පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුන්ට පේරාදෙණිය ශික්ෂණ රෝහල ද කැලණිය වෛද්‍ය පීඨයේ සිසුන්ට රාගම ශික්ෂණ රෝහල ද ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ට කළුබෝවිල ශික්ෂණ රෝහල ද කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන්ට කරාපිටිය ශික්ෂණ රෝහල ද යනාදි වශයෙන් වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා ශික්ෂණ රෝහල් වෛද්‍ය පීඨ හා අනුබද්ධ වී ඇත.
මෑතකදී ආරම්භ කළ වයඹ, සබරගමුව සහ මොරටුව වෛද්‍ය පීඨ තුනෙන් සබරගමුව වෛද්‍ය පීඨ සිසුන්ට රත්නපුර ශික්ෂණ රෝහලත් මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලත් අනුබද්ධ කර ඇති අතර වයඹ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ කුරුණෑගල ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමිනි.
එහෙත් පසුව එය වෙනස් වී කුරුණෑගල ශික්ෂණ රෝහල වෙනුවට කුලියාපිටිය මූලික රෝහල සමඟ සම්බන්ධ කෙරිණි.
අද වන විට වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නැවතී තිබෙන්නේ දුරදිග නොබලා ගත් මෙම තීන්දු තීරණ නිසාය.
වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා මූලික සාකච්ඡාව පැවැතුණේ 2014 ජූලි 31 වැනිදා ය. එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලට කිලෝ මීටර් 5කට පමණ දුරකින් පිහිටි මල්කඩුවාව ප්‍රදේශයේ අක්කර 20කට ආසන්න භූමි ප්‍රමාණයක් වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වෙන් කිරීමට එකඟත්වය පළ විය. නමුත් 2015 වසරේ සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ අක්කර 28කට ආසන්න භූමි ප්‍රමාණයක් වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වෙන් කෙරිණි. ඒ අනුව වයඹ වෛද්‍ය පීඨයට අනුබද්ධව ශික්ෂණ රෝහලක් ලෙස යෝජනා වූ කුරුණෑගල රෝහලින් බැහැර වී කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස වැඩිදියුණු කර එහි මහාචාර්ය ඒකකයක් පිහිටුවීමට යෝජනා විය. කුලියාපිටිය මූලික රෝහල පිහිටා තිබෙන්නේ ලබුයාය ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙක හමාරකට ආසන්න දුරකිනි. මේ අනුව කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ වෛද්‍ය පීඨය ඉදිවූයේ රුපියල් බිලියන 3.3ක් පමණ මුදල් ප්‍රමාණයක් වැය කරමිනි. කුලියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ගැසට් කළේ 2019 අප්‍රේල් 02 වැනිදා ය. 2019 අගෝස්තු මස 31 වැනි දින මහාචාර්ය ඒකකය සඳහා කුලියාපිටිය රෝහලේ භූමියේ මුල්ගල තබන ලදී. එහෙත් ඉන් ඔබ්බට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. වෛද්‍ය පීඨයකට මහාචාර්ය ඒකකයක් අත්‍යවශ්‍ය වන නමුත් මේ වන තුරු එය ස්ථාපිත නොකිරීමෙන් අසාධාරණයට ලක් වන්නේ වයඹ වෛද්‍ය පීඨයේ සිසුන් ය.
අද වන විට වයඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිස 280 කි. මෙහි ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් ගණන 71කි. දෙවැනි කණ්ඩායමේ සිසුහු 74ක් අධ්‍යාපනය ලබති. තුන්වන ශිෂ්‍ය කණ්ඩාමට සිසුන් 135ක් අයත් වේ. මෙම සිසුන් වසරින් වසර ඉහළ යන විට මහාචාර්ය ඒකකයේ අවශ්‍යතාව දැඩිව දැනෙනු ඇත. මන්ද වෛද්‍ය සිසුන්ගේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු පූර්ණ වශයෙන් සිදු වෙන්නේ මහාචාර්ය ඒකකයේ වන බැවිනි. එහෙත් තවමත් ඒ සඳහා කිසිදු සූදානමක් නැත.
“වෛද්‍ය පීඨ සිසුන්ට ශික්ෂණ රෝහලක් පමණක් තිබිය යුතුයි කියලා අපි කියන්නේ නැහැ. රෝහල් එකක් හෝ දෙකක පුහුණුව ලැබීමට සිදු වෙනවා. ඒ අනුව කුලියාපිටිය සහ කුරුණෑගල රෝහල් දෙකම වෛද්‍ය සිසුන්ගේ පුහුණුව සඳහා ලබා දෙනවා නම් හොඳයි. අපිට වැදගත් වෙන්නේ කුලියාපිටිය ශික්ෂණ රෝහලක් ද නැතිද කියලා නෙමෙයි. කුලියාපිටිය රෝහලේ වෛද්‍ය සිසුන්ට පුහුණුව ලැබීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තිබෙනවාද කියන කාරණාවයි. වෛද්‍ය සිසුන්ගේ පළමුවැනි සහ දෙවැනි අවුරුදුවල අධ්‍යාපනය ලබා දෙන්නේ වෛද්‍ය පීඨයේ දේශන මඟින්. තෙවැනි සහ සිව්වැනි වර්ෂවල රෝහල් තුළ සායනික පුහුණුව සහ දේශන මඟින් අධ්‍යාපනය ලැබෙනවා. පස්වැනි වසර සම්පූර්ණයෙන් ම ගෙවෙන්නේ මහාචාර්ය ඒකකය තුළ. මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදා සිට වයඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යාපනය නැවතිලා තිබෙන්නේ සායනික පුහුණුව නැති නිසා.” යනුවෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් සඳහන් කළේය.
අවසාන වසරේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට මෙන්ම තෙවැනි හා සිව්වැනි වසරේ වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලැබීමට කුලියාපිටිය රෝහලේ ප්‍රමාණවත් තරම් භෞතික සහ මානව සම්පත් තිබිය යුතුය. කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස නම් කෙරුණ ද ඒ හා සම්බන්ධ කිසිදු ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු වී නොමැති වීමෙන් වයඹ වෛද්‍ය පීඨයේ සිසුහු අද අතරමං වී සිටිති.
ලෝකයේ වෛද්‍ය පීඨවල ප්‍රමිතිය හා පිළිගැනීම නිර්ණය කිරීමේ ක්‍රියාවලියක් World Federation of Medical Education මඟින් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ලෝකයේ ප්රමුඛත්වයක් හිමි වී තිබෙන්නේ මෙරට වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියකට සිදු වන නිසා ය. 2024 - 2025 වර්ෂය සඳහා World Federation of Medical Education වෙත තොරතුරු යැවීමට මේ දිනවල කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟිනි. මෙහිදී වයඹ වෛද්‍ය පීඨයට එම පිළිගැනීම අහිමි වීමට ඉඩ තිබේ. ඊට හේතුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් සම්පූර්ණ කිරීමට කුලියාපිටිය රෝහලේ මානව සම්පත්, රෝගින් සංඛ්‍යාව සහ රෝගින්ගේ විවිධත්වය ඇතුළු සියලුම සාධක ප්‍රමාණවත් නැති වීමයි.
“ඇත්තටම වයඹ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට සැලසුම් කළ විදිහට කුරුණෑගල රෝහලට අනුබද්ධව ස්ථාපිත කළා නම් කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. කුරුණෑගල රෝහල කියන්නේ රෝගීන් විශාල වශයෙන් පැමිණෙන රෝහලක්. අනුරාධපුරය, පොළොන්නරුව රෝහල් වගේම කුරුණෑගල රෝහලත් ලොකු රෝහලක්. විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් එහි සේවය කරනවා. තැලසීමියා, පිළිකා වැනි රෝගින් එහි ප්‍රතිකාර ගන්න නිසා රෝගින්ගේ විවිධත්වයකුත් තිබෙනවා. ඒත් කුලියාපිටියේ ඒ දේවල් නැහැ. කුලියාපිටියේ විශේෂ සායනික ප්‍රතිකාර අඩුයි. ඒ නිසා කුලියාපිටිය රෝහලෙන් සායනික පුහුණුව ලබා ගන්නා වෛද්‍ය සිසුන්ගේ උපාධියට ලෝකයේ පිළිගැනීමක් නැතිවෙලා යනවා. එය සිද්ධ වෙන්නේ පාලකයන්ගේ වරදින්. පාලකයන්ගේ අමනෝඥ තීරණවලින් බැට කන්නේ අහිංසක දරුවන්. 2015 පත්වුණු ඇමතිවරුන්ගේ වුවමනාවට වයඹ වෛද්‍ය පීඨය කුලියාපිටියට ගෙනාවා කියමු. ඒත් ඒ වැරැද්ද මේ පාලකයන්ට නිවැරදි කරන්න තිබුණා. මෙය මම දකින්නේ කුමන්ත්‍රණයක් හැටියටයි.” යනුවෙන් පැවසුවේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් ය.
ඔහු එය කුමන්ත්‍රණයක් ලෙස සඳහන් කළේ කුරුණෑගල රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස තිබියදී පළාත්බද රෝහලක් ලෙස පහතට දමා ඇති නිසාය. පළාත්බද රෝහලක් ලෙස පහතට හෙළීමෙන් එම රෝහලේ සේවය කරන අයට ද ගැටලු රැසක් මතු වේ. ඒ මධ්‍යම රජය යටතේ සිටින සේවකයන් වයඹ පළාත් සභාව යටතට පත්වීමෙනි.
“රෝහලක් පහතට හෙළු ප්‍රථම අවස්ථාව හැටියටයි මෙම සිද්ධිය වාර්තා වෙන්නේ. රෝහල් සංවර්ධනය කරලා තත්ත්වයෙන් උසස් කරනවා මිසක් පහතට දමන්නේ නැහැ.” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය ආනන්ද හපුගොඩ ය.
මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවාවන්, රෝගින් සහ වාට්ටු සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබේ. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබියදී එම රෝහල පහතට හෙළීමෙන් සිදු වන්නේ වයඹ වෛද්‍ය පීඨ සිසුන්ට සායනික පුහුණව සඳහා කුරුණෑගල රෝහලට යෑමට ඇති ඉඩකඩ අහුරා දැමීමය.
“2021 අප්‍රේල් 10 වැනිදා අලුත් රෙගුලාසියක් බල ගැන්වුණා වෛද්‍ය වෘත්තියේ අවම ප්‍රමිතිය නිර්ණය කිරීම. මෙය රටේ නීතියක්. අලුත් පනතට අනුව ලංකාවේ සියලුම වෛද්‍ය උපාධි නිර්ණය කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින්. ලංකාවේ වෛද්‍ය උපාධි අධ්‍යයන කටයුතු නිසි පිළිවෙළට සිද්ධ වෙනවා කියලා World Federation of Medical Education එකට අපි ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සේ එහෙ නිලධාරින් ලංකාවට ඇවිත් අපි දුන් තොරතුරු නිවැරදි ද කියලා පරීක්ෂා කරනවා. මෙම නිර්ණායකවල තිබෙනවා වෛද්‍ය ශිෂ්‍යයන් 100ක් සිටින තැනකට රෝගින්ගේ ඇඳන් 700ක් හෝ ඊට වැඩි විය යුතුය, විශේෂඥ වෛද්‍යවරුන් මෙපමණ සංඛ්‍යාවක් සිටිය යුතුය, රසායනාගාර මෙපමණ සංඛ්‍යාවක් තිබිය යුතුය ආදි වශයෙන් මිනුම් දඬු රාශියක්. මෙම දේවල් සම්පූර්ණ වුණේ නැතිනම් අපට ප්‍රතික්ෂේප කරන්න වෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය ආනන්ද හපුගොඩ සඳහන් කළේය.
කුලියාපිටිය රෝහල යොදා ගනිමින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් සම්පූර්ණ නොකළ, වෛද්‍ය උපාධියක් ලබා ගන්නා වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ට ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල්වලින් පශ්චාත් වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ඇති හැකියාව නැති වී යන බව පැහැදිලි කාරණයකි.
ඊටත් වඩා බරපතළ වන්නේ වයඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නැවතී තිබීමය. මන්ද මෙම අධ්‍යයන වර්ෂයට සමගාමීව සෙසු වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ වෛද්‍ය සිසුන්ට ද මෙම කරුණ හේතුවෙන් වෛද්‍යවරුන් ලෙස උපාධිය ලබා ගැනීමට ප්‍රමාද වීමය. සියලුම වෛද්‍ය පීඨවලට එකම අධ්‍යයන වර්ෂයේදී ඇතුළත් වන වෛද්‍ය සිසුන්ගේ අවසන් විභාගයෙන් පසුව පොදු විභාගයකට ද වාඩි විය යුතුය. වෛද්‍ය උපාධිය පිරිනැමෙන්නේ මෙම පොදු පරීක්ෂණය සමත් වීමෙන් අනතුරුවය. එක් වෛද්‍ය පීඨයක ශිෂ්‍ය කණ්ඩායමකගේ අධ්‍යාපන කටයුතු අතරමග නැවතුණහොත් එම අධ්‍යයන වර්ෂයට අයත් සෙසු වෛද්‍ය පීඨවල වෛද්‍ය සිසුන්ට ද එයින් සිදු වන බලපෑම සුළුපටු නැත. වාර්ෂිකව රටට දායාද වන වෛද්‍ය කණ්ඩායමක් එක් වර්ෂයකදී අහිමි වුවහොත් එයින් සිදුවන ජාතික බලපෑම අතිමහත් ය.
වයඹ වෛද්‍ය පීඨ සිසුන් මුහුණපා සිටින ගැටලුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් විමසුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළම බලධාරියා ඔහු වන නිසාය.
“වයඹ වෛද්‍ය පීඨය කුලියාපිටියේ ඉදි කළේ කුලියාපිටිය රෝහල කේන්ද්‍ර කරගෙනයි. වයඹ වෛද්‍ය පීඨයේ පළමුවැනි, දෙවැනි හා තෙවැනි අධ්‍යයන වර්ෂවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ පීඨ සංකීර්ණ සියලු පහසුකම්වලින් සමන්විතයි. මේ වෛද්‍ය පීඨ සංකීර්ණය අපට නැවතත් කුරුණෑගලට රැගෙන යන්න බැහැ. මේ සා විශාල ආයෝජනයක් නැවතත් කරන්න අපට හැකියාවක් නැහැ. ඇත්තටම මෙතන තියෙන්නේ කණ්ඩායම් 2ක් අතර ප්‍රශ්නක්. කට්ටියක් කුලියාපිටියේ රෝහලේ සායනික පුහුණුවට කැමතියි. අනික් කට්ටිය කුරුණෑගල රෝහලේ සායනික පුහුණුවට යෑම අවශ්‍යයි කියනවා. මේ කණ්ඩායම් 2 අතර පොදු එකඟතාවකට එන්න බැරිවෙලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිතුමා කුරුණෑගල හා කුලියාපටිය රෝහල් 2 ම ශික්ෂණ රෝහල් 2ක් ලෙස නම් කරලා වැඩිදියුණු කරන්න කියලා උපදෙස් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මේ බව දැනුම් දී තිබෙන්නේ. තව සතියකින් විතර ගැසට්ටුවක් නිකුත් කරයි. මෙය හැමෝගේම ජයග්‍රහණයක්.” යනුවෙන් මහාචාර්ය සම්පත් අමරතුංග පැහැදිලි කළේය.