කන්තලේ හඬවා අව­සන් ගමන් ගිය කවින්ද්‍යා | Page 2 | සිළුමිණ

කන්තලේ හඬවා අව­සන් ගමන් ගිය කවින්ද්‍යා

මිය­ගිය දැරිය
මිය­ගිය දැරිය

 

15 හැවිරිදි පාසල් දැරියගේ දිවිය අහිමි වීම හා පාසල් හැරගිය 17 හැවිරිදි තරුණයකු මේ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමේ සුලමුල සොයා අපි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පේරමඩුව නම් ගම්මානයට ගියෙමු.

 

පේරමඩුව යනු හුදෙකලාවූ කැලෑවකින් වටවූ කිසිදු පහසුකමක් නැති ගමක් යැයි පවසන්නේ එහිම වැසියන් ය. සියලු ගනුදෙනු සිදුවන්නේ එහි සිටින සීමිත මිනිස් කොට්ඨාසය අතරේ පමණකි. ගැටලුව වී ඇත්තේ පොළොන්නරුව හා කන්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මායිම් ගම්මානයක් වන මේ පේරමඩුව මේ කොට්ඨාස දෙකට බෙදීයෑමෙන් කාගේත් අවධානයෙන් ගිලිහීමයි.

ඕනෑම හදිසි කටයුත්තකට කිලෝමීටර් 18 කට කිට්ටු දුරක් කන්තලේ ට හෝ කිලෝමීටර් 15 ක් ඈත ගෙවා මැදිරිගිරියට යා යුතුය. මේ නගර දෙකටම යා යුත්තේ වන අලින් ගැවසෙන කැලෑරොද පසුකරමින් ය. රාත්‍රි කාලයේ දී හදිසි කරදරයක් වුවහොත් ගම්වැසියන්ට ඇත්තේ උඩ ඉන්නා දෙයියන්ගේ පිහිට පමණි.

මෙවන් පරිසරයක ජීවත්වන 15 හැවිරිදි කාව්‍යා ගමේම පාසැලේ 10 වන වසරේ ඉගෙනුම ලබන්නියකි. පියා මැදිරිගිරියේ පෙදරේරු වැඩකට ගොස් ඇති අතර මව හා නිවසේ සිටිනුයේ මියගිය දැරියත් ඇය ගේ සොයුරියකුත් ය. වැඩිමල් සොයුරිය ගාමන්ට් යන හෙයින් දහවල් කාලයේ නිවසේ රැඳී සිටිනුයේ මව හා මෙම කාවින්දියා පමණකි.

දැරිය ගමට අල්ලපු ගමේ 17 හැවිරිදි පාසල හැරගිය තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන ඇති අතර; සම්බන්ධයට මාස 7 කට වඩා නොවැඩි බවට තොතුරු වාර්තා වෙයි.

කාලය මෙසේ ගලා යද්දී ඉකුත් 1 වෙනිදා හදිසියේම දහවල් 1 ට පමණ තරුණ පෙම්වතා දැරියගේ කාමරයට හොර රහසේ ඇතුළුවී ජනේලයට දමා ඇති දිග ජනෙල් රෙද්දට මුවා වී සිට ඇති අතර ඇය කාමරයට ඇතුළු වනවාත් සමඟ ම පිහියත් රැගෙන ඇය ඉදිරියට පැමිණ ඇති බව ඇය පොලිසියට පවසා ඇත.

“මම මගේ කාමරයේ ඉන්න කොට එළියේ සිටි අම්මා මට කතා කරලා චූටි දුව ගේ පිටිපස්සෙන් කව්රුහරි හොල්මන් කරනවා වගේ දැක්කා යි කිව්වා. පස්සෙ අපි දෙන්නාම ගේ අවට හොඳින් සෝදිසි කර බැලුවා. සැකසහිත කිසි දෙයක් නොතිබූ නිසා ආපහු එන අතරේ අම්මා පපුව මහන්සියි කියලා බිම ටිකක් වාඩිවුණා. මම ගේ ඉස්සර දොරෙන් ඇතුළු වෙලා මගේ කාමරයට යනකොටම කසුන් අයියා පිහියක් අරගෙන ජනෙල් රෙද්දෙන් එළියට ඇවිත් මොකද කියන්නේ මට කැමතිද නැද්ද කියලා ඇහුවා. මම නැහැ කිව්වම තව සැරයක් ඇහුවා; ඒත් මම නැහැ කිව්වා. එතකොටම මගේ බෙල්ලට පිහිය තියලා දෙපාරක්ම ඇද්දා. මම දැඟලුව නිසා ටිකයි කැපුණේ. මම පයින් ගැහුවා. එතකොට එයා වැටිලා ආයෙත් නැගිටලා අතින් මගේ කටවහගෙන ආවේශයෙන් වගේ හැම තැනටම ඇණගෙන ඇණගෙන ගියා. මම දඟලලා කෑගහනකොට පැනලා දිව්වා එච්චරයි මට මතක”

ගමේ කව්රුත් සුදු අක්කා ලෙස අමතන දැරියගේ මව මේ සිදුවීම අප හා විස්තර කළේ මෙලෙස ය.

“ මම ගෙයි මිදුලේ ඉන්නකොට ගේ පිටිපස්සෙන් කවුදෝ ඡායාවක් දැක්කා. චූටි දුවත් මමත් ගේ වටේම හොයලා බැලුවා හෝඩුවාවක් නැති නිසා ගෙදරට එන ගමන් මම ටිකක් ඉඳගෙන මහන්සි ඇරියා. ටික වෙලාවකින් චූටි දුව අම්මේ කියනවා ඇහුණා. මම දුවලා යනකොට කසුන් පැනලා දුවනවා දැක්කා. චූටි දුව කකුල් දෙකෙන් ලේ පෙරාගෙන එළියට ආවා. මම හිතුවෙ නෑ පිහියෙන් ඇනලා කියලා. මම කොල්ලා පිටිපස්සෙන් අල්ලගන්ට කෑගහගෙන දුවලා බැරිවුණ පාර ආපහු ආවා. එතකොට දුව පාපිස්ස ළඟ වැටිලා හිටියා. මොකද වුණේ ඇහුවාම කසුන් අයියා පිහියෙන් ඇන්නා කිව්වා. හොඳටම ලේ ගලනවා. අහල පහල අය සුවසැරියට කතා කළා. අපේ ගම දුරවැඩි නිසාත් ගමන අපහසු නිසාත් ඒක එන්න පැය බාගයක් විතර ගියා. දුව මගෙන් නිතරම ඇහුවා අම්මේ මම මැරෙයිද කියලා” යි ඇය හඬා වැටුණා ය.

මේ අතර සිදුවීමට අදාළ තරුණයා ඔහු ගේ සහෝදරයකු ද සමඟ අග්බෝපුර පොලිසියය භාරවී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දහම්පත් ඉදිරියේ මෙසේ ප්‍රකාශ කර ඇත. “ මාත් කාව්‍යාත් අතර ප්‍රේම සම්බන්ධයක් මේ වනතුරුත් තිබුණා. ළඟකදී එයා ටික ටික මාව මගහරින බව දැනුණා. හොයලා බලනකොට එයාට වෙනත් සම්බන්ධයක් තියෙන බව ආරංචි වුණා.මම මුළු හදවතින්ම එයාට ආදරය කළා. මට මේ වෙනස ඉවසා දරාගන්න බැරි වුණා. එයාට ළඟදී අලුත් දුරකතනයක් ලැබී ඇති බවත් ආරංචි වුණා. මම කීප වතාවක්ම කිව්වා ඒක දුන්න කෙනාට දෙන්න කියලා. එයා ඒක ඇහුවේ නැහැ. මේ ගැන කතාබහ කරගන්න මම ගෙදරට ගියා. ඒ අවස්ථාවේ අපි දෙන්න අතර බහින් බස් වීමක් ඇතිවුණා. මම දුරකතනය කුඩුකරලා දැම්මා; මට මතක එච්චරයි. මම පිස්සුවෙන් වගේ හැසිරුණා. මම කැලයේ හැංගුණා. ජීවිතේ නැතිකර ගන්න හිතලා ඈතින් අලියෙක් එනවා දැකලා ඉස්සරහට ගියා. අලියා මග ඇරලා ගියා. කෝච්චියට පනින්න හිතාගෙන රේල්පාර ළඟට ගියා. එතන ඉන්නකොට මගේ ඥාති සහෝදරයෙක් කෝල් එකක් අරන් කිව්වා කාව්‍යා මැරිලා නැහැ ගෙදර එන්න කියලා. ඊට පස්සේ තමයි මම ගෙදර ගිහින් මෙහෙ ආවේ.”

අප මේ සිදුවීම පිළිබඳව පේරමඩුව ශ්‍රී ජයමංගලාරාම විහාරාධිපති පිළිමතලාවේ ණවිපස්සි නාහිමියන් දරන අදහස් කුමක් දැයි විමසා සිටියා. “ ආර්ථික දුෂ්කරතා වැඩිනිසාම දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ගිලිහෙනවා. මේ හේතුවෙන් ඉක්මනින් හා පහසුවෙන් ම මුදල් හොයන්න පුළුවන් ක්‍රමවලට මිනිස්සු ඇදිලා යනවා. මොනම රැකියා අවස්ථාවක්වත් මේ ගමේ නැහැ. ගමේ වැඩි දෙනෙක් විවාහ දෙකක් තුනක් කර ගත්ත අය. දරුවන් අසරණයි. ආදරය කරුණාව ලැබෙනවා අඩුයි; ඒ නිසා තමයි බාල වයස්කාරයන් අතින් මෙවැනි අපරාධ සිදුවෙන්නේ “

සැකකාර තරුණයා ගේ මව පාරෙ වැඩ කරමින්, කුලී වැඩට යමින් ජීවිතය ගැටගසා ගන්නා තැනැත්තියක් බව ගම්වාසීන් කියයි. පියා තුන්වෙනි විවාහයද කරගෙන නිවසින් ගොස් ඇති අතර මේ තරුණයාද කුලී වැඩ කරමින් ජීවත්වන , වැඩි කලබලයක් නැති අහිංසකයෙක් බවත් ඔවුන්ගේ අදහසයි. කාව්‍යා මෑතක සිට පාසල් අධ්‍යාපනය ගැන උනන්දුවක් නොදැක් වූ බවත් යලට මහට පාසල් යන බවත් දැනගන්නට ලැබුණි. සිද්ධිය සිදුවීමෙන් පසු සුවසැරියෙන් කන්තලේ රෝහල වෙත රැගෙන ආ දැරිය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මැලින්ටන් කොස්තාගෙන් විමසා සිටියදී ඔහු පළ කළේ මෙවන් අදහසකි.

පෙබරවාරි පළවෙනිදා තමයි මේ සිදුවීම වුණේ “රෝහලට ඇතුළත් කරද්දි කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඇයට කොවිඩ් ආසාදිතයෙක් නෙවන බව තහවරු වුණා. කාව්‍යාගේ සිරුරේ කැපුම් තුවාල 9 ක් තිබුණා. බඩට, පිටට පහරවල් එල්ල කර ඇති අතර කකුල්වල හා බෙල්ලේ කැපුම් තුවාල තිබුණා. දැරිය පැය හතරක පමණ සැත්කමකින් පස්සේ වාට්ටුවට දැම්මා. ඉන් පස්සේ කතා කරමින් හොඳින් හිටියා. 3 වෙනිදා රාත්‍රි 9 ටත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා දැරියගේ සුවදුක් බලලා තියෙනවා. ඒ අවස්ථාවෙත් කිසිම අමාරුවක් කියලා නැහැ. හොඳට හිනාවෙලා කතා කරලා තියෙනවා. 4 වෙනිදා පාන්දර තමයි අමාරු වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණ වෛද්‍ය කාර්ය මණ්ඩලය පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය වැනි ආසන්න රෝහල්වලින් දැරියට කෘත්‍රිම ශ්වසන පහසුකම් ලබාදීම සඳහා ඇතුළත් කිරීමට උත්සාහ කළත් ඒවායෙහි ඉඩ පහසුකම් නොමැති බව දැන්වීමෙන් පස්සේ කොළඹට කතා කරලා එහෙන් තමයි දැනුම් දුන්නේ කෑගල්ලේ අවස්ථාව තියෙන බව. කෑගල්ලට යන අතර දඹුල්ලට ආසන්නයේ වෙද්දී දැරිගේ තත්ත්වය බරපතළ බව දැනුණ නිසා දඹුල්ල රෝහලට ඇතුළත් කළා. එහේදී ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි දැරිය මිය ගියේ. දේහයේ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයකු බව තහවුරු වීම නිසා අවසන් කටයුතු දඹුල්ලෙන් කළා.

මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මිය යාමට හේතුව පිහිය ඇණුම් තුවාල බවට වාර්තාවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩිගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකරගේ පූර්ණ අධීක්ෂණයෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.බී.දහම්පත් ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 

Comments