පානීය ජල පාලනේ මෙන්න මේ නිසයි සිදු වුණේ | Page 2 | සිළුමිණ

පානීය ජල පාලනේ මෙන්න මේ නිසයි සිදු වුණේ

 

පානීය ජල බෝතල් සඳහා මෙතෙක් පැවති මිල පාලනය අහෝසි කරමින් ඒ ජල බෝතල් අලෙවි කළ හැකි උපරිම මිල සීමාව ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජල බෝතල් හී නව මිල ගණන් ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අනුව මිලි ලීටර් 500 පානීය ජල බෝතලයක නව මිල රුපියල් 50ක්, ලීටර 1 රුපියල් 70ක්, ලීටර් 1.5 රුපියල් 90ක්, ලීටර් 5 රුපියල් 200ක් ආදී ලෙස සැලකිය යුතු මිල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

එකී මිල සංශෝධනයට පෙර මිලි ලීටර් 500 ජල බෝතලයක් රුපියල් 35කට අලෙවි වූ අතර ලීටර 1 පානීය ජල බෝතලයක් අලෙවි වී තිබුණේ රුපියල් 50 කටය. එමෙන්ම ලීටර් 1.5 පානීය ජල බෝතලයක් රුපියල් 70කට ද ලීටර් 5 රුපියල් 150කට ද ,ලීටර ‍7 රුපියල් 170 ක.ටද අලෙවි වී තිබුණි.

මෙලෙස පානීය ජල බෝතල් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම මිල සීමා හදිසියේම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් වී තිබීම සම්බන්ධව අප පාරිභෝගික සේවා අධිකාරිය වෙතින් විමසා සිටි අතර එහිදී අදහස් දක්වා සිටි ඒ අධිකාරියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති වකවානුවක ජල බෝතල් සඳහා පමණක් පාලන මිලක් ක්‍රියාත්මක වීම ප්‍රායෝගික නොවන බැවින් ඒ ජල බෝතල් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ පාලන මිල සීමා ඉවත් කිරීමට පියවර ගත් බවයි.

ඒ සම්බන්ධව ජල බෝතල් සංගමය ද ඉල්ලීම් කර තිබුණු බව සඳහන් කර සිටි එ් ප්‍රකාශකයා ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන මිල හා ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මෙතෙක් ගැසට් කර තිබුණු උපරිම මිල සීමාවන්ට යටත්ව පානීය ජල බෝතල් අලෙවි කිරීමට අපහසු බව ඒ සංගම් විසින් දිගින් දිගටම පෙන්වා දුන් බව ද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් ඩී සෙනරත් ද මෙහිදී අදහස් දැක්වූ අතර, ඔහු කියා සිටියේ මේ වන විට රටේ සියලුම දේහි මිල අධික වී ඇති බවයි.

ජලය අත්‍යාවශ්‍ය දෙයක් වුව ද බෝතල් කළ ජලය අත්‍යවශ්‍ය දෙයක් නොවන බව ද සඳහන් කළ ඔහු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයකට අනවශ්‍ය ලෙස මිල පාලන ක්‍රියාත්මක කළවිට දේශීයව සිදු කෙරෙන නිෂ්පාදනයන් අඩාළ වන බවත් එවිට නිර්මාණය වන භාණ්ඩ හිඟය මග හැරවීම සඳහා විදේශ රටවලින් අවශ්‍ය තොග ආනයනය කිරීමට සිදුවන බවත් පැහැදිලි කළේය. දැන් ජල බෝතල් නිෂ්පාදනයේදී අවශ්‍ය පොලිතීන් කිලෝවක් අලෙවි වන්නේ රු.610/- ඉක්මවා ගිය මිලකටයි.

එම බෝතල්වලට අවශ්‍ය මූඩි නිෂ්පාදය සඳහා යොදා ගැනෙන ප්ලාස්ටික් කිලෝවක් රු.1460/- ක් පමණ වෙනවා. මේ සියල්ල ගෙන්වන්නේ පිටරටින්.

ඒ අනුව බලන විට පිරිපහදු කළ ජලය කෙසේ වෙතත් සම්පූර්ණ ජල බෝතලයක් නිපදවීමට ඔය කියපු උපරිම මිලට එහා ගිය වියදමක් දරන්නට සිදු වුණා.

අප රට තුළ පිරිසිදු පානීය ජල බෝතල් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා 310ක් ලියාපදිංචි කර තිබෙනවා.

ඒත් දැන් පවතින තත්ත්වය තුළ ක්‍රියාත්මක වන්නේ ඒ කර්මාන්තශාලා අතරෙන් කර්මාන්තශාලා 154 ක් පමණයි.

කෙසේ වුවත් තවමත් මෙම කර්මාන්තය ආශ්‍රිතව 40,000 ක පමණ පිරිසක් සිය ජීවිකාව කර ගෙන යන අතර පසුගිය කාල සීමාවන් තුළ ඔහුන් දැඩි ලෙස දුෂ්කරතාවයන් සඳහා මුහුණ දුන්නා. නමුත් මේ සිදු වූ මිල පාලනය ඉවත්වීම නිසා ඒ පිරිසට යම් සහනයක් රැකවරණයක් ලැබී ඇති බවට මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඊප්සිතා ජයසේකර ද මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී ඇය සඳහන් කරන ලද්දේ මේ වන විට වෙළෙද පොළ හී අලෙවි වනු ලබන සියලුම වර්ගයේ ජල බෝතල් සඳහා ප්‍රමිතිය අනිවාර්ය බවයි. "අපගේ කාර්යභාරය භාණ්ඩ හා සේවාවන්හි මිල පාලනය සඳහා කටයුතු කිරීම නෙවෙයි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරය ප්‍රමිතිය හදන එකයි. ප්‍රමිතිකරණ අංශයෙන් හදන ප්‍රමිතිය පදනම් කරගෙන භාණ්ඩ සහතික කරන අංශයෙන් භාණ්ඩයක් සඳහා එස් එල් එස් ලාංඡනය දෙන්නේ. එස් එල් එස් ලාංඡනය දෙන්න නම් ඒ භාණ්ඩය සඳහා අනිවර්යෙන්ම ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා.

පාරිභෝගිකයන් ජල බෝතල් මිලදී ගන්නා විට එහි මිල ගැන පමණක් නෙවෙයි; එහි ප්‍රමිතිය පිළිබඳ ව ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.

Comments