කටු පොල් තහනම ගැන විද්වත් මත | සිළුමිණ

කටු පොල් තහනම ගැන විද්වත් මත

ඵලදාවෙන් පිරි කටුපොල් වගා බිමක්

කුත් 2021 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය එතෙක් පාම් වගාව හා සම්බන්ධව පැවති ප්‍රතිපත්ති වෙනස් කරමින් පාම් තෙල් ගෙන්වීම හා එම ෙභා්ගය නැවත වගා කිරීම මෙන්ම පැවති වගාව ක්‍රමයෙන් ඉවත් කිරීමටද තීරණය කළේය. මෙම තීරණයට හේතු වූයේ පරිසර අධිකාරිය මඟින් ලබාදුන් වාර්තාව හා පරිසරවේදීන් සහ විවිධ මාධ්‍ය මඟින් මෙම වගාවට එරෙහිව ගෙන යනු ලැබූ ප්‍රචාරක කටයුතුය. කටුපොල් වගා කිරීම මඟින් රටෙහි ජෛව විවිධත්වයට විශාල හානියක් වීම, භූගත ජලයේ අඩුවීමක් සහ එම ජලය දුෂණය වීම, පාම් තෙල් රට වැසියන්ගේ ශරීර සෞඛ්‍යට අයහපත් වීම සහ අහිතකර සමාජ ආර්ථික බලපෑම් ඇති වීම යන කරුණු ඒ අතර විය. මෙකී හේතු නිසා රජය විසින් කටුපොල් වගාව හා සම්බන්ධ වූ ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කළේය. එහෙත් පසුව මෙමඟින් නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම පරිදි මේ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව පවතින කටුපොල් වගාව ඉවත් කිරීමට බලපෑම් එල්ල නොවූ අතර නැවත පැළ රෝපණය කිරීම හෝ වගාව ව්‍යාප්ත කිරීම තහනම් විය. 

මෙම තහනම පිළිබඳ අදහස් දක්වන බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ මෙම ක්‍රියාමාර්ගය විද්‍යාත්මක, ප්‍රායෝගික හා දූරදර්ශී තීන්දුවක් නොවන බවයි. එනිසා ඒ පිළිබඳ විද්‍යාත්මක දත්ත සහ තොරතුරු මත පදනම්ව විමසීම මෙහි අරමුණය.

කටුපොල් වාණිජ්‍ය වගාවක් ලෙස මුල්වරට ආරම්භ කරනු ලැබුවේ ලන්දේසි ජාතිකයන් විසින් 1848 දී ජාවා දූපත්වලදීය. එසේ ඇරඹි කටුපොල් වගාව 1910 වසරේ ස්කොට්ස්මන් විලියම් සහ හෙන්රි ඩර්බි දෙපළ විසින් මැලේසියාවට හඳුන්වා දුන්හ. පසුව වර්ෂ 1968 දී යුරෝපීය ජාතික ජෙරී වේල්ස් නම් වැවිලිකරුවකු විසින් ශ්‍රී ලංකාවට ද කටුපොල් වගාව හඳුන්වා දුන්නේය. ඒ කටුපොල් ගස් 68ක් ‘නාකියාදෙණිය’ වතු යායේ හෙක්ටයාර 0.5ක භූමියක සිටුවමිනි. අනතුරුව ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ආර්ථික ආයු කාලය අවසන් කළ රබර් සහ තේ වගාවන් ඉවත් කර භෝග විවිධාංගීකරණය යන සංකල්පය හරහා කටුපොල් වගාව ව්‍යාප්ත විණි. කටුපොල් වගාව සඳහා දකුණු පළාත තෝරා ගැනීමට විශේෂ හේතුවක් වූයේ ඊට වඩාත් උචිත පාරිසරික තත්ත්වය එනම්, සෙන්ටිග්‍රෙඩ් අංශක 24-32 ක උෂ්ණත්වයක්, මි.මී. 2,500 ට වැඩි වර්ෂාපතනයක් සහ දිනකට පැය පහකට වැඩි සූර්ය එළියක් පැවතීමය.

මෙය ලාබදායි කෘෂි භෝගයක් වූ බැවින් විවිධ සමාගම් මෙම ව්‍යාපාරයට එකතු විය. ඒ අනුව වටවල වැවිලි සමාගම (හෙක්ටයාර 3,392කි), බොගවන්තලාව (හෙක්ටයාර් 202කි), කොටගල (හෙක්ටයාර525කි), ඇල්පිටිය (හෙක්ටයාර1,747කි), අගලවත්ත (හෙක්ටයාර1,333කි), මල්වත්ත නිම්නය (හෙක්ටයාර18කි), හොරණ (හෙක්ටයාර 294කි), කෑගල්ල (හෙක්ටයාර 294කි), කෑගල්ල (හෙක්ටයාර 4299කි) සහ නාඋල සමාගම (හෙක්ටයාර199කි) ඒ අතර විය. පසුව බොගවන්තලාව වැවිලි සමාගම විසින් හෙක්ටයාර 39 ක වතු 13 ක තෙල් පාම් වගා කිරීම සඳහා ලලාන් රබර් පෞද්ගලික සමාගමට උප කොන්ත්‍රාත්තු ලබා දුන්නේය. කටුපොල් සමස්තයක් වශයෙන් හෙක්ටයාර් 10,579ක් පුරා වගා කර ඇත. ආරම්භයේදී ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක තුළ ව්‍යාප්ත කර තිබූ කටුපොල් වගාව පසුව කොළඹ, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත විය. රබර් වගා සහ තේ බිම් ඉවත් කර කටුපොල් වගාව වගාබිම් ආරම්භ කෙරුණේ ඒ අනුවය. පසුව පාම් තෙල් භෝග වගාකරුවන් දිරි ගැන්වීමට 2009 වසරේදී පැවති රජය රෝපණ ද්‍රව්‍ය සාදා ගැනීම සඳහා දෙමුහුම් බීජ ආනයනයට බදු සහන ද, 2016 වසරේදී පැවති රජය විසින් හෙක්ටයාර 20,000 දක්වා කටුපොල් වගාව ඉහළ නැංවීමට අනුමැතිය සහ ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය තාක්‍ෂණ උපදෙස් ලබා දීමට ද ඉදිරිපත් විය. මෙම කටුපොල් වගාවෙන් ලබා ගන්නා අස්වැන්න මඟින් තෙල් නිපදවීම සඳහා කර්මාන්තශාලා දෙකක් ගාල්ල, නාකියාදෙණිය වතුයායේ සහ අගලවත්ත බදුරලියේද ස්ථාපනය කෙරිණි. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ කටු පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර දොළොස්දාහකට ආසන්න විය. ඉහළ ඵලදායීතාව, ශ්‍රමිකයන් අඩුවීම සහ දිනෙන් දින ඉහළ යන ඉල්ලූම මෙම වගාවට නැඹුරුවීමට ඇති ප්‍රධාන සාධක විය.

කටුපොල් වගාවට විරුද්ධව එල්ල වූ ප්‍රධාන විවේචන අතරි එකක් වන පරිසර හානිය පිළිබඳව සලකා බැලීමේදී අප රටේ ප්‍රධාන බෝගය වූ වී වගාව සැලකූ විටද පරිසරයට වන්නේ හානියක් මිස වාසියක් නොවේ. ලොව උණුසුම් කිරීමට දායකවන වායු විමෝචනයේ දී විශාලම දායකත්වය ලැබෙන්නේ ධාන්‍ය බෝගවලිනි. එසේ වුව අප ඉන් ඉවත් වන්නේ නැත. මෙනිසා කිසියම් තීරණයකට එළඹීමේදී ඒ හා බැඳුනු බොහෝ සාධක සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඊට විද්‍යාත්මක හා යථාර්ථවාදී පිළිතුරක් ලබාදිම උචිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදෙයි.

පාම් තෙල් වගාකරන ප්‍රධාන රටක් වන මැලේසියාව පිළිබඳ අවදානය යොමු කිරීමේදී, මෙරටට අවශ්‍ය පාම් තෙල් ඇතුළු එමඟින් සිදු කරන නිෂ්පාදන රාශියක්ම ආනයනය කරයි. මැලේසියාවේ පවතින දේශගුණික තත්ත්වයන් ද අප රටේ තත්ත්වයන්ට බෙහෙවින් සමාන ය. මැලේසියාවේ දළ ජාතික නිෂ්පාදිතයට කෘෂිකර්මයේ දායකත්වය 8.21%කි. ලංකාවේ එය 7.3%කි. මැලේසියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 18%ක් එනම් හෙක්ටයාර් මිලියන 5.9ක් යොදාගෙන ඇත්තේ පාම් තෙල් වගාව සඳහා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ආර්.එස්. ධර්මකීර්ති සඳහන් කරයි. එරට පාම් තෙල් වගාව සම්බන්ධයෙන් ඇති ප්‍රධානම විවේචනය වන්නේ රටේ වන ගහනය ශීඝ්‍රයෙන් අඩුවීමට පාම් තෙල් ව්‍යාප්තිය හේතු වී ඇති බවය. නමුත් මේ පිළිබඳ සත්‍ය කරුණු විමසීමේදී පෙනී යන්නේ එරට භූමි ප්‍රමාණයෙන් 53.3%ක්, එනම් හෙක්ටයාර් මිලියන 18.28ක් තවමත් වනාන්තර වශයෙන් පවතින බවයි. පසුගිය වසර තිහක් වැනි කාලයක් මුළුල්ලේ වැඩි වශයෙන්ම සිදුවී ඇත්තේ එරට වෙනත් වගාවන් යටතේ පැවති භූමි විශාල වශයෙන් පාම් තෙල් සඳහා යොදා ගැනීමයි. වර්ෂ 1990 දී එරට රබර් වගාව යටතේ පැවති භූමි ප්‍රමාණය වූ හෙක්ටයාර් මිලියන 1.8ක්, වර්ෂ 2019 වන විට හෙක්ටයාර් මිලියන 1.084ක් දක්වා අඩු වී ඇති බව ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පාම් තෙල් වගාව ආරම්භ කර මේ වනවිට වසර පනහකටත් වැඩිය. එම වගාව මුලින්ම ආරම්භ කළ නාකියාදෙණිය වතුයාය ආශ්‍රිතව කිසිදු වියළි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැත. කාලගුණ විපර්යාස හේතුවෙන් ලොව පුරා මෙන්ම අපරට තුළ ද දක්නට ලැබෙන ඇතැම් වෙනස්කම්වලින් ව්‍යුක්ත වූ කිසිදු වෙනස්කමක් නාකියාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා නොවන බව රුහුණ විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,කේ.කේ.අයි.යූ. අරුණ කුමාර පෙන්වාදෙයි.

පාම් තෙල් ගසක් වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සැබෑවකි. එසේ වුවද වගාවක් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ භූමි ප්‍රමාණය වශයෙන් සැලකූ විට දිනකට වැයවන ජලය ප්‍රමාණයයි. ඒ අනුව පොල් සඳහා හෙක්ක්ටයාරයකට දිනකට ලීටර් විසිදාස් අටසීයක් වැයවන අතර, රබර් සඳහා තිස්එක්දාස් පන්සීයක් වැය වේ. පාම් ඔයිල් සඳහා එම අගය ලීටර් තිස්හතරදාස් අටසිය හැටකි. එනම් රබර් වගාවට සාපේක්ෂව විශාල වැඩිවීමක් පෙනෙන්නට නැත. පාරිසරික හානිය සම්බන්ධයෙන් නැඟෙන අනෙකුත් විවේචනවල ද සැබෑ තත්වය එලෙසමය. පරිසරය හා බැඳුණු ඇතැම් හිතකර තත්වයන් ද පාම් තෙල් වගාව සම්බන්ධයෙන් ඇතිමුත් ඒ හා කතිකාවක් නැති තරම් ය. උදාහරණයක් වශයෙන් පාම් තෙල් වගාවක ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම (64.5 t CO2/ha/yr), ස්වභාවික වැසි වනාන්තරයක අගයට (42.4 t CO2/ha/yr) වඩා වැඩිය. ප්‍රභාසංශ්ලේෂණ කාර්යක්ෂමතාව වැසි වනාන්තරයක සියයට 1.73ක් වුවද පාම් තෙල් වගාවක එම අගය සියයට 3.18ක් තරම් ඉහළ අගයකි. එසේ හෙයින් ගතයුතු වන්නේ වඩාත් ප්‍රයෝගික තීරණ මිස හුදු ජනප්‍රිය තීරණ නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යයන අංශයේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ගේ අදහසය.

පොල්, රබර් වැනි වෙනත් වැවිලි බෝගවලින් ඉවත් වෙමින් පාම් තෙල් වගාව ව්‍යාප්ත කිරීමට එරට කටයුතු කරන්නේ එමඟින් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකි නිසාය. එරට දළ ජාතික නිෂ්පාදනයට පාම් තෙල්වලින් පමණක් ලැබෙන දායකත්වය සියයට 2.7කි. මැලේසියාව තම පාම් තෙල් නිෂ්පාදනයෙන් 88%ක්ම අපනයනය කරයි. ඉන් මැලේසියානු රුපියල් බිලියන 64.8 ක වාර්ෂික ආදායමක් ඔවුන් උපයා ගන්නා අතර 500,500ක පිරිසකට රැකියා අවස්ථා ලබා දී ඇත. රටක ආර්ථික සංවර්ධනයට එක් භෝගයකින් පමණක් ඒසා විශාල දායකත්වයක් ලබාගත හැකි නම් එය සුවිශේෂී තත්වයකි. 

අප රට මැලේසියාවෙන් පාම් තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය ආනයනය කරන්නේ, ආහාර පිසීමට මෙන්ම ආහාර ආශ්‍රිත සහ වෙනත් කර්මාන්ත සඳහා අවශ්‍ය වන තෙල් ප්‍රමාණයෙන් දේශීයව නිෂ්පාදනය කරගත හැක්කේ 17%ක් තරම් අඩු ප්‍රමාණයක් බැවිනි. ඉතිරි 83%ම ආනයනය මඟින් සපුරා ගැනීමට අපට සිදු වී ඇත. ඒ සඳහා පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන තිස්හතක් වියදම් කිරීමට සිදු විය. රටට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට වැය වූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි වියදමක් ඒ සඳහා දැරීමට සිදු වී ඇත. එලෙස ආනයනය කළ පාම් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එකසිය අසූපහකි. එය වර්ෂ 2000 දී අප ආනයනය කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයක ඉහළ යාමකි. මෙලෙස වැඩි වශයෙන් ආනයනය කිරීමට සිදුවන්නේ වැඩිවන ඉල්ලුම සපුරාලීමට මෙරට පොල් වගාව අසමත් වී ඇති පසුබිමකය. පොල් වගා හෙක්ටයාරයකින් වර්ෂයකට ලබා ගත හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 0.32ක් වන අතර පාම් තෙල් හෙක්ටයාරයකින් තෙල් මෙට්‍රික් ටොන් 3.68 ක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ, ජෛව තාක්ෂණ අධ්‍යයන අංශයේ ආචාර්ය වජිරා බාලසූරිය පෙන්වාදෙයි.

ගෝලීය එළවළු තෙල් පරිභෝජනයෙන් 40% ක ප්‍රමාණයකට දායක වන්නේ කටුපොල් වගාවෙන් ලබා ගන්නා පාම් තෙල්ය. පාම් තෙල් ආහාර පිසීම, බැදීම මෙන්ම වෙනත් ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන ගණනාවක් සැදීමට අමුද්‍රව්‍යයක් වශයෙන් ගෝලීයව භාවිත වන අතර විශේෂයෙන් ආසියාතික රටවල බිලියන තුනකට අධික ජනගහනයක් බහුලව භාවිත කිරීමට නැඹුරු වී ඇත. පාම් තෙල් භෞතිකව වෙනස් කොටස් දෙකකට වෙන් කර ගත හැකි අතර එක් කොටසක් පාම් ඔලීන් 80%ක් ද අනෙක් කොටස පාම් ස්ටියරින් 20%ක් ද වශයෙන් හඳුන්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා අධ්‍යයන අංශයේ, භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් පී. නිශ්ශංක පැහැදිලි කළේය.

මීට අමතරව කටුපොල් ගෙඩියෙහි මදය භාවිත කර පාම් කර්නල් තෙල් ලබා ගන්නා අතර එම තෙල්වල බහුලව ලොරික් අම්ලය ඇති අතර පොල් තෙල්වලට සමානකමක් දක්වයි. පාම් තෙල් කාමර උෂ්ණත්වයේදී ද්‍රවමය අවස්ථාවේ පවතින අතර එහෙයින් ආහාර පිසීම සහ බැදීමට භාවිත වේ. පරිසර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතින පාම් ස්ටියරින් මාගරින්, කොකොවා බටර්, නොයෙකුත් රසකැවිලි සහ බේකරි නිෂ්පාදන කර්මාන්තායේ බහුලව භාවිත වේ. ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්‍ෂණයක ප්‍රතිඵල අනුව දේශීය කෙටි ආහාර නිෂ්පාදකයන් 70%ක්ම තම නිෂ්පාදන සඳහා යොදා ගන්නේ පාම් තෙල් බව හෙතෙම පෙන්වාදෙයි.

පාම් තෙල්වල ඇති සන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය සියයට 50ක් වන නිසා සන්තෘප්ත මේද අම්ල සියයට 90ක් පමණ ඇති පොල් තෙල්වලට වඩා හෘද රෝග ඇති කිරීමේ සම්භාවිතාව අඩුය. පාම් තෙල්වල පෝෂ්‍ය ගුණය සහ යහපත් සෞඛ්‍ය බලපෑම ඉහළ දැමීමට එහි අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණාංග ඇති කැරටිනොයිඩ, ෆිනොලික සහ ටොකොෆොරෝල් යන ජීව රසායනික සංයෝග ඉවහල් වේ. නියමිත ක්‍රමවේදයක් අනුව පිළිසකර නොකළහොත් පොල් තෙල්වල පිළිකාකාරක සංයෝගයක් වන අෆොලටොක්සින් තිබිය හැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණත් පාම් තෙල්වල එම සංයෝගය කිසිසේත්ම අඩංගු නැත. දිලීර මඟින් නිපදවන වෙනත් විවිධ අහිතකර රසායනික සංයෝග ද පොල් තෙල් වල තිබිය හැකි බව කෘෂිකර්ම සහ පර්යේෂණ උපදේශක ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ කටු පොල් වගාව තිරසර වගාවක් ලෙස පවත්වාගෙන යෑමට, වගාව සඳහා යහපත් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. එම ප්‍රතිපත්තිවලට අනිවාර්යයෙන් අඩංගු විය යුතු කරුණු වශයෙන්, වර්ෂාපතනය වසරකට මි.මි 3000 ඉක්ම වු ප්‍රදේශ පමණක් කටුපොල් සඳහා යොදා ගැනීම, අංශක 22 හෝ 40%ට වැඩි බෑවුමක් සහිත ඉඩම්වල වගා නොකිරීම, භූමිය සැකසීමේදී පසට සිදුවන හානිය අවම වන ආකාරයට කිරීම, පවතින වගාව ඉවත් කළ සැණෙකින් පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම, පවතින වගාවේ ආර්ථික ආයු කාලය අවසන් වු පසු පමණක් එම වගාව ගලවා කටුපොල් සඳහා යොදා ගැනීම සහ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම වැනි දේ සඳහන් කළ හැකි බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක නුගවෙල ගේ අදහසයි.

මේ වනවිට පාම් තෙල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දුනීසියානු රජයේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් රට ගැන සිතා මෙම නීතිමය රාමුව පිළිබඳ මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය කටයුතු කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවත් පාම් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

නමුත් කටුපොල් වගාව මධ්‍යම කඳුකරයට ව්‍යාප්ත කිරීම අවදානම්කාරී බව පරිසරවේදීහු පෙන්වා දෙති.




Comments