චණ්ඩින්ටත් වෙට්ටු දැමූ සර් ජෝන් | Page 2 | සිළුමිණ

චණ්ඩින්ටත් වෙට්ටු දැමූ සර් ජෝන්

සර් ජෝන් කොතලාවල 1955දී හේග්හිදී නෙදර්ලන්ත අගමැති විලෙම් ඩ්‍රීස් හමුවූ අවස්ථාවක්

1934 අවුරුද්දේ දී මේ රටේ මැලේරියා වසංගතයක් පැතිර ගියේය. මේ උවදුර පැතිරෙන්නට කලින් සර් ජෝන් කොතලාවල දැඩි සේ ගිලන් වූයේය. වියානාවට ගොස් ප්‍රතිකාර ලබා පැමිණියත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් වූයේ ප්‍රවේසමින් ටික කලක් විවේක ගැනීමටය. එහෙත් කුරුණෑගල ප්‍රදේශය මුළුමනින්ම මැලේරියා උවදුරට භාජනය වීම නිසා ඔහුට විවේක ගැනීමට කිසිම විධියක් නැති විය. තම ඡන්දදායකයන් මැලේරියා වැලඳී මිය යද්දී විවේක ගැනීම නොහොබිනා දෙයකැයි සිතූ ඔහු කුරුණෑගල බලා ගියේය. පුද්ගලිකව ගෙන්ගෙට ගොස් රෝගීන්ට ආහාරපාන දී ඔවුන්ට උවටැන් කළේය. මෙසේ බෙහෙත් දී සංග්‍රහ කළ හැකි වූයේ මාස දෙකක් පමණි. ජෝන් කොතලාවලට ද මැලේරියාව වැලඳුණි. දැඩි සේ රෝගීව රෝහලට ඇතුළු වුවත් සෑහෙන කාලයක් බෙහෙත් ගත් පසුව යන්තම් සුවයට පත්වුණි. ඉන් අලුත් අදහස් රැසක් ලබා කොතලාවල ගම්බද පළාත්වල සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට කටයුතු කළේය. කුරුණෑගල ප්‍රදේශයට අඩුවක්ව පැවැති ආයුර්වේද රෝහලක් ඇරඹීමට මූලික වූයේ මේ සිද්ධියයි. 

මැලේරියා වසංගතය රට පුරා පැතිර ගියේය. දරුණු පෑවිල්ලකින් ගොවිතැන් සියල්ල විනාශ විය. රජය ජනතාවට තවත් බරක් පැටවීය. මෙතෙක් කලක් ජපානයෙන් අඩු මිලට ගෙන්වූ රෙදිපිළි ගෙන්වීම නතර කිරීම එම සිද්ධියයි.

මෙසේ කිරීමට රජය පියවර ගත්තේ ජපානයෙන් ඉතාම අඩු මිලට රෙදි පිළි ගෙන්වීමට හැකි නිසා එංගලන්ත රෙදිපිළි වෙළෙඳාමට පහරක් වැදීමය. මේ අලුත් පියවර නිසා ජනතාවට විඳීමට සිදුව ඇති අපහසුතාව රාජ්‍ය සභාවේදී ප්‍රකාශ කළේය. අඩු තරමින් මේ සීමාව වර්ෂයකටවත් කල් දමන ලෙස ඉල්ලා කොතලාවල ගෙන ආ යෝජනා සම්මත විය.

එහෙත් යෝජනාව ක්‍රියාත්මක කිරීම මහ ලේකම් විසින් අත්හිටුවන ලදී. ඩොනමෝර් නිදහසේ පවත්නා සීමාවන්වලට විරුද්ධ වී එම ක්‍රමය මුලින් උපුටා දැමීමට කටයුතු කිරීමට මෙවැනි අවස්ථාවක කළ හැකි වෙනත් දෙයක් නැති බව කොතලාවලට ප්‍රත්‍යක්ෂ විය.

# # # #

1939 දී පැවැති දෙවැනි ඡන්ද විමසීමෙන් කොතලාවල නිතරගයෙන් මන්ත්‍රී ධුරයට පත්විය. මංමාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමති ධුරයට පත්විය. ඒ වන විට කොතලාවලගේ වයස අවුරුදු තිස් නමයක් විය.

දවසක් දා උදයේ කොතලාවල රත්මලානේ කඳවල නිවසේ ඉස්තෝප්පුවට වී සිටියේය. ඈත සිට ගේ දිහාව බලන මිනිසකු දුටුවේය. මොනවා හෝ වුවමනාවකට පැමිණ සිටින කෙනකු විය යුතුයැයි සිතා ඔහු කැඳවීය. බයෙන් මෙන් ආ මිනිසා,

“ඇමති තුමා මුණ ගැසෙන්න පුළුවන්ද?” යි ඇසීය.

“ මම තමයි ඇමති මොකක්ද වුවමනාව”

“මොනව ඔබතුමා?”

“ ඔව් යකෝ, මම තමයි ඇමති”

අර මිනිසාගේ ඉරියව් වෙනස් විය. කොතලාවල ගේ වේග ස්වරය නිසා තැතිගත් ඔහු ක්ලාන්ත වී බිම වැටුණේය. ටික වේලාවක් ගතවී එහි ආ ඔහු කීවේ, අමුතුම කථාවකි.

“මම ඊයෙ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියා රස්සාවක් හොයාගෙන. මංමාවත් ඇමතිතුමා මුණ ගැහෙන්න. ඇමැතිතුමා වගේ හිටි උස මහත මහත්තයෙක් මට කථා කළා. මම කිව්ව රස්සාවක් හොයා ගන්න ආව කියල. රස්සාවක් දෙන්න මගෙන් රුපියල් එකසිය පනහක් ඉල්ලුවා. මගේ අතේ සල්ලි නොතිබුණ නිසා සල්ලි හොයාගෙන අද උදේ එන්න කියල ඒ මහත්තය මට කිව්ව. කල්වේලා තිබුණ නිසා මම ඇමති තුමාගේ ගේ මේකයි කියල හිතාගෙන ආව.” අර මිනිසාගේ කථාව ඇසූ කොතලාවල විනෝදයට පත්විය.

ඇමතිවරයකු ලෙස පත්ව ආ කොතලාවලගේ කාර්යාලයේ ලේකම් ලෙස සිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. තම අමාත්‍යාංශයේ ලේකම් විය යුත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයකු නොව ලාංකිකයකු යැයි කොතලාවල මහලේකම්වරයාට දැන්වීය. මෙය බරපතළ ප්‍රශ්නයක් වූයෙන් මහලේකම්වරයා එය විසඳීමට ආණ්ඩුකාරවරයාට පැවරීය. ඒ සඳහා කොතලාවල රජගෙදරට කැඳවීය. ලේකම් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතිකයකු සිටීමට විරුද්ධව ඉදිරිපත් කළ හැකි කරුණක් වෙතොත් එය ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරයා කීවේය. “ඔබතුමාගෙ ලේකම් හැටියට ලාංකිකයෙක් පත්කර ගන්නවා නම් මම මගේ ලේකම් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පත්කර ගන්නවට විරුද්ධ නෑ” යන්න කොතලාවල ගේ පිළිතුර විය.

ගතවූයේ දින කීපයකි. කොතලාවලගේ ලේකම් ලෙස ලාංකිකයකු පත්කළේය. මෙකල සිදුවූ එක් රසවත් සිද්ධියක් මෙසේය. 

එක් දිනක් ඩී.එස්. සේනානායකයන් සමඟ කොතලාවල උතුරේ සංචාරයක යෙදුණේය. දෙදෙනා මෝටර් රථ දෙකකින් ගියේය. කාර් දෙකකින් මේ ගමන යාම තේරුමක් නැතැයි අතරමඟදී කී සේනානායකයන් කොතලාවල සමඟ පැමිණි මෝටර් රථය ආපසු කෝච්චියෙන් කොළඹට යවන ලෙස කීවේය. අතරමඟ වූ දුම්රිය පොළකට ගිය කොතලාවල දුම්රිය ස්ථානාධිපතිවරයා දෙස ජනේලයෙන් බැලුවේය.

“කවුද යකෝ ජනේලයෙන් එබෙන්නෙ?”

දුම්රිය ස්ථානාධිපති ඇසීය. එයට පිළිතුරු ලෙස කොතලාවල කී දෙය ඔහුට ඇසුණේ නැත.

“පේන්නෙ නැද්ද මම පත්තරේ බලනව. උඹට ඕනකමක් තිබෙනව නම් ගිහින් වරෙන්” මේ ඇසූ කොතලාවලගේ කෝපය වැඩිවිය. එහෙත් ඩී.එස්. සේනානායකයන් තමා දෙස බලා සිටිනු දැක ආපසු ගියේය. සිද්ධිය පිළිබඳව සේනානායකයන්ට දැන්වීය.

“උඹ ආයෙමත් පලයන්. ගමේ මිනිහෙක් වගේ සිංහලෙන්ම ඒ මිනිහත් එක්ක කථා කරපන්” ඩී.එස්. මෝටර් රථයේ සිට සිංහලෙන්ම කීවේය.

“කාර් එකක් කොළඹට යවන්න තියෙනව. පෝරම කොළයක් දෙනවද?” කොතලාවල නැවත වරක් දුම්රිය ස්ථානාධිපතිගෙන් ඇසීය.

“උදේ පාන්දරම කරදර අරන් ඇවිත්”

කේන්තියට පත් දුම්රිය ස්ථානාධිපතිවරයා පෝර්ම කොළයක් දික් කළේය. එය අතට ගත් කොතලාවල එය පිරවීමට පැන්සලක් ඉල්වීය.

“කෝච්චියෙන් කොළඹට කාර් යවන්න එනවා, අතේ පැන්සලක්වත් නෑ”

කේන්තියෙන් සිටි දුම්රිය ස්ථානාධිපති පැන්සල විසි කළේය. එය අතට ගත් කොතලාවල පෝරම කොළය ඉංග්‍රීසියෙන් පිරවීය. ජේ.ඇල්. කොතලාවල යනුවෙන් අත්සන් යෙදූ හැටි දුටු ස්ථානාධිපතිගේ ඇස් උඩ ගියේය. ඔහුගේ ඇඟිලි තුඩු වේගයෙන් සැලෙන්නට විය. රවුම් පාරෙන් එළියට ආ ඔහු කොතලාවල ඉදිරියේ වැඳ වැටුණේය.

“අනේ හාමුදුරුවනේ මට සමාවෙන්න මට මැලේරියාව බෝ වෙලා. මම කලින් ඔබතුමාට කථා කළ වෙලාවෙ හිටියෙ උණ විකාරයෙන්. මම ඔබතුමාට නින්දාවක් කළේ නෑ.” බැගෑපත් වෙමින් දුම්රිය ස්ථානාධිපති මෙසේ කියන ආකාරය මෝටර් රථය තුළට වී ඩී.එස්. සේනානායකයන් සිනාසෙමින් බලා සිටියේය.

“ජනේලෙ අස්සෙන් උඹ මගේ ෂර්ට් එක විතරයි දැක්කෙ උඹ හිතුවෙ මම රෙදි බැනියම් අඳින කෙනෙක් කියල. රෙදි බැනියම් අඳින අයට උඹල කැමති නෑ. ඇයි ඇඳගෙන ඉන්නෙ බම්බු කලිසමක්නෙ. මම කොළඹට ගියාම උඹේ මැලේරියාව තව වැඩිවේවි.”

ආපසු කොළඹ ආ කොතලාවල දුම්රිය ස්ථානාධිපතිවරයා කොළඹට ගෙන්වා මිනිසුන්ට කරුණාවෙන් කථා කරන ලෙස අවවාද කළේය.

# # # #

කතරගම වන්දනාවේ යන මිනිසුන්ට එදා මාර්ග අපහසුතා නිසා කරදර විඳීමට සිදුවිය. ගමනාගමන ඇමති වශයෙන් කොතලාවල මහතා කටයුතු කරද්දී කතරගම නව සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සිතා ගත්තේ මිනිසුන් විඳින මේ කරදරය නිසාය.

දවසක්දා කතරගම වන්දනාවේ ගිය කොතලාවල ඉක්මනින් පාරේ වැඩ ඉවර කරන බවට භාරයක් විය. මහාමාර්ග සඳහා වාර්ෂිකව මුළු රටටම වෙන් කළ මුදල මුළුමනින්ම මේ සඳහා යෙදූ කොතලාවල ඉක්මනින් මේ වැඩ ඉවරයක් කළේය. පාරේ වැඩ භාරව සිටියේ පිටරට සුදු ඉංජිනේරුවකුටය. නියමිත දිනයට වැඩ නිමාවට පත්විය. මේ සඳහා ලොකු උත්සවයක් ද සංවිධානය කෙරුණි. මෙය කතරගම සිදු වූ ලොකුම කටයුත්තයි. මෙබඳු භාරධූර කටයුත්තක් කරදරයක් නැතිව ඉවර නොවනු ඇතැයි කවුරුන් තුළත් ලොකු බියක් තිබුණි. ඒ පිළිබඳ විවිධ අදහස් කොතලාවලටත් ගලා ආවේය.

කිසිම බාධාවක් නැතිව වැඩ සියල්ල නිම කිරීමට හැකි වූයේ අනුන්ගේ කටකථා ගණනකට නොගන්නා සුදු ඉංජිනේරුවාගේ දක්ෂකම නිසා යයි කොතලාවල කල්පනා කළේය. එදා උත්සවය සඳහා මූලික තැනක් ඉංජිනේරුවාට ද දිය යුතු බව නිගමනය විය. එහෙත් මඟට යනවිට ලැබුණේ කනගාටුදායක ආරංචියකි.

“මැණික් ගඟේ නාන්න ගිය ඉංජිනේරුවා දියේ ගිලිල මැරිලා.” ඒ ආරංචියෙන් කොතලාවලට මෙතෙක් තිබූ දේව විශ්වාස නොසැලකිය යුතු දෙයකිය යන අදහස වෙනස් විය. මොකක් හෝ නොපෙනෙන බලවේගයක් ඇතැයි සිතුණි. මැණික් ගඟේ එදා වතුර අඩියකට වඩා තිබුණේ නැත. මිනිසකු දියේ ගිලී මැරෙන්නට නම් ලොකු දියපාරක් තිබිය යුතුය. මෙයින් තැතිගත් පිරිස මඟ දිගට භාර හාර වෙමින් සැලකිල්ලෙන් ගියහ.

එදා පැවැත්වූ මරණ පරීක්ෂණයෙන් හෙළිවූයේ ඉංජිනේරුවා මැරුණේ මී මැස්මොර සෑදී දිය පාරට හසුවීම නිසා හුස්ම හිරවීමෙන් බවය.

අතරමඟදී ගසක් යටට වී සිටින තාපසයකු දුටු කොතලාවල ඔහු වෙත ගියේය. සාක්කුවට අත දමා රුපියල් දහයේ කොළයක් තාපසයාට දුන්නේය. තාපසයා කොතලාවල සමඟ ළෙන්ගතුව සිනාසුණේය.

“සර්ට මාව අඳුනන්න බැරිද?” තාපසයා ඇසීය. තාපසයා ‘සර්’ යනුවෙන් කළ ආමන්ත්‍රණයෙන් කොතලාවල විස්මයට පත්විය. 

“මට අඳුරන්න තරමක් අමාරුයි.”

“මම සර්ගෙ වත්තෙ වැඩ කරන මිනිහෙක්.”

“තපස් රකින්න කවදද ආවෙ?”

“සෙනඟ වැඩි කාලෙට මිනිස්සු තාපසයන්ට පඬුරු දානවා. මමත් ආවෙ සල්ලි ටිකක් හොයාගන්න.”

කොතලාවල මහ හඬින් සිනාසුණේය. මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් කපටි වැඩ කරනවාදැයි ඔහු සිතීය.

# # # #

ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ ඇමති ලෙස කටයුතු කළ කොතලාවල කඳවල නිවසේ සිට දිනක් මන්ත්‍රණ සභාවට යමින් සිටියේය. ගල්කිස්ස පළාතේ නිතර නිතර මැරවරයන් කරන මැරවරකම් ගැන අසා තිබූ කොතලාවල හැමදාම ගල්කිස්ස පසුකර යන්නේ තරමක සැලකිල්ලෙනි. එදා ගල්කිස්ස හන්දියේ වෙනදාට වඩා අමුතු කලබල බවක් දුටු කොතලාවල තම රථය නතර කළේය.

එක් මිනිහෙක් ගැහැනියකගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයට පහර දෙයි. වට පිට සිටින මිනිස්සු ඒ දෙස බලා සිනාසෙයි. කිසිවකු එය නතර කිරීමට උනන්දු නොවන බව දුටු කොතලාවල ඉදිරියට ගියේය.

“ලැජ්ජ නැද්ද මිනිහො ගෑනියෙකුට ඔය වගේ ගහන්න.”

කොතලාවල ඇසීය.

“මට මගේ ගෑනිට ගහන්න කවුරුන්ගෙන්වත් අවසර ඕන නෑ.” ඒ මිනිසා කීවේය.

මේ අතර පොලිස් රාලහාමි කෙනෙක් මෙතනට දිව ආවේය. රාලහාමිගේ බැටන් පොල්ල ඒ මිනිසා උදුරා ගත්තේය. ගෑනිට තඩිබෑම නතර කළ මිනිසා රාලහාමිගේ කකුල් දෙකට පට පට ගා ගසන්නට විය. ඒ දෙස බලා සිටි මිනිස්සු මහහඬින් අත්පුඩි ගසා සිනාසුණි. කොතලාවල ඉදිරියට පැමිණ චන්ඩියාගේ අතේ වූ බැටන් පොල්ල උදුරා ඔළුවට පහරක් දුනි. චණ්ඩියා මට්ටු කළ කොතලාවල ආපසු ගියේය. මෙය දේශපාලන විරුද්ධවාදීන්ට හොඳ අවස්ථාවක් යයි ඔහු නොසිතුවද එය දුර දිග ගොස් තිබිණ. චණ්ඩියා රෝහලක විසි දවසක් නතර කළ විරුද්ධවාදීහු කොතලාවලට ලේ වැගිරීමක් ගැන චෝදනා කොට නඩු මඟට බැස්සාහ. එහෙත් තොරතුරු විභාග කළ විනිසුරුගේ තීරණය වූයේ එම අවස්ථාවේ කොතලාවල කටයුතු කළ සැටි ප්‍රශංසාත්මක බවය.

තවත් දවසක් දා ගල්කිස්ස හන්දියේ එබඳුම අරගලයක් විය. කොටන් අදින ලොරියක උඩ නැඟ සිටි චණ්ඩි මිනිහෙක් පොලිස් රාලහාමිලා දෙදෙනෙකුට ගසමින් සිටියේය. රාලහාමිලා චණ්ඩියා අල්ලා ගැනීමට එහා මෙහා පනිති. මිනිස්සු පුදුමයෙන් ඒ දෙස බලා සිටිති. අර චණ්ඩි මිනිසා ඒ පළාතේ නම ගිය සොර දෙටුවෙකි. එය දන්නා පොලිස් රාලහාමිලා ද තරමක් භය විය. මේ කලබලය මැදට ගිය කොතලාවල උඩ පැන අර මිනිසාට වැරෙන් පහරක් දුන්නේය. එම පහර ඉවසා සිටිය නොහැකි වූ මැරවරයා බිම වැටිණ. අවස්ථාව බලා සිටි රාලහාමිලා දෙන්නා දිව ආයේ මැවරයාට ගැසීමටය. 

“උඹල මෙච්චරවෙලා හිටිය වගේ පැත්තකට වෙලා හිටපල්ලා. එක පාරක්වත් ගහන්න බෑ තේරුණාද? පොලිසියට ගිහින් මුන්ට නඩු දාපන්.”

එසේ කී කොතලාවල ආපසු හැරී ගියේය. මන්ත්‍රණ සභාවට ගිය ඔහු සුපුරුදු පරිදි වැඩ කළේය. හදිසියේ පැමිණි දුරකථන පණිවුඩයකින් කියවුණේ හවස හයට ගල්කිස්ස හන්දියෙන් පරිස්සමින් යන ලෙසයි. උදේ තිබූ සිද්ධියට පළිගැනීමට සූදානමින් ඇති බව දැක්වීය. මේ ඇසූ කොතලාවල ට ඉවසිය නොහැකි විය. සවස හය වන තුරු සිටීමත් අපහසු විය. අපහසුවෙන් වුවත් වේලාව එනතුරු බලා සිටියේය. හරියටම වේලාවට ගල්කිස්ස හන්දියට ගමන් ගත්තේ කියාපු තැනට සැතපුම් කාලක් පමණ මෙපිටින් රථය නවත්වා තනියම පයින් ගමන් කරමිනි.

ඈත තබාම කොතලාවල එන අයුරු චණ්ඩින් ටික බලා සිටියහ. ඔවුන් සිතුවේ පොලිස් මුරකාවල් සහිතව වේගයෙන් තමන් පසුකර යන රථයක නැඟී කොතලාවල එනවා කියාය. එහෙත් මෙසේ තනිව ඉදිරියට එනු දුටු ඔවුහු කලබල වූහ. හෙමින් හෙමින් පස්සට ගිය ඔවුහු ටික දුරක් ගොස් ආපසු දිවූහ. නියම තැනට වී ටික වේලාවක් බලා සිටි කොතලාවල මහතා විනාඩි දහයක් එහා මෙහා ඇවිද්දේය. චණ්ඩින් ආපසු එන වග නොපෙනුණ හෙයින් කොතලාවල ආපසු රථයට නැඟී කඳවලට ගමන් ගත්තේය.

1946 ඔක්තෝබර් මාසයේ එක් දිනක සිදුවූ සිද්ධියක් කොතලාවල ගේ සිතට කා වැදී ඇත. ඒ වන විට අගනුවර හැම තැනම වැඩවර්ජන ඇරඹී තිබිණ. ඇමති කොතලාවලගේ අමාත්‍යාංශය සම්බන්ධ දෙපාර්තමේන්තුවලට අයත් කම්කරුවන් වැඩි දෙනෙක්ම මෙයට සහභාගි වූහ. ටිකෙන් ටික මේ වර්ජනකාරයන්ගේ දාමරිකකම් වැඩිවන විට රජයත් දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. වර්ජනකාරයෝ ද තවත් කලබල කරමින් මැරවර කටයුතුවල යෙදුනහ. ඒ කාලයේ කොළඹ නගරාධිපතිව සිටියේ ආර්.ඒ. ද මැල්ය. වර්ජනකාරයෝ කොතලාවල කවුද මැල් කවුද කියා හඳුනාගත නොහැකිව මැල්ට හොඳටම පහර දුන්නේය. ඒ අය තමන්ට වැරදීමක් වුණා යයි දැන ගත්තේ මැල් රෝහලට ඇතුළත් කරන තරමට තුවාල සිදු කළ පසුවය.

ඇමති කොතලාවලට මේ සිද්ධිය සැලවීය. මැල්ගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. තමා වෙනුවෙන් පහර කෑ මැල් බලන්නට ඉස්පිරිතාලයට යන්නට කොතලාවල සූදානම් විය. පෞද්ගලික ලේකම් මේ බව දැන දුවගෙන ආවේය. මෙවැනි ආරාවුල් තත්ත්වයකදී එළියට බැසීම අන්තරාදායක බව වටහා දුන් ලේකම්වරයා තම ඉල්ලීමට ඇහුම්කන් දෙන ලෙස වැඳ වැටී ඉල්ලා සිටියේය.

“උඹ මට ආදරයක් තියෙන මිනිහෙක් නම් මේ වගේ බයගුළු කතා කියන්න එපා. මා එක්ක ඉස්පිරිතාලයට යන එකයි හොඳ” යැයි ඇමති කොතලාවල ලේකම්ට කීවේය.

“අනේ සර් මම පවුල්කාරයෙක්. මම ඇවිත් කොහොමද?”

කොතලාවල තමාගේ සාක්කුවේ තිබුණ පිස්තෝලය අතට ගෙන කන්තෝරුවට ඇතුළුවන තැන එල්ලා තිබුණු වීදුරු ගෝලෝවට වෙඩි පහරක් තැබුවේය. ගෝලෝව සුනුවිසුනු විය. සියල්ලෝම භයින් භීතවී සිටියදී රථයට ඇතුළුවී වේගයෙන් ඉදිරියට ගියේය.

කොළඹ කලබල ඇති තැන් කීපයක් බලන්නට ගිය කොතලාවල වරෙක රථය නවතා මිනිසුන් අතරින් ගමන් ගත්තේය. තනිවම ගමන් ගන්නා මේ නිර්භීත පුද්ගලයා ඇමති කොතලාවල බව දුටු සියල්ලෝම විමතියෙන් බලා සිටියහ. එහෙත් මේ අභීත පුද්ගලයා ඇදහිය යුතු විධියේ කෙනෙක් යයි ඔවුහු පුදුමයෙන් බලා සිටියහ. ඉස්පිරිතාලයට ගිය කොතලාවල මැල්ගේ සුවදුක් බලා ආපසු කඳවල වත්තට ආවේය.


ලබන සතියේ තවත් කොටසක්

Comments