
•පිටරට යන රුපියල් කෝටියක් මෙරට ඉතිරි කිරීමට අලුත් වැඩක්
•සුව පහසුව උපරිමව ඇති ගෘහ භාණ්ඩ හදන්නේ අපි
•රාජ්‍ය දැව සංස්ථාව ප්‍රථමවරට කැලෑ හෙක්ටයාර 1000ක් වවයි
•මිල වැඩි වුණත් අපේ ගෘහ භාණ්ඩවල ප්‍රමිතිය උපරිමයි
•දැවවලට කැලෑ වවන සියලුදෙනාට සහන රැසක්
•ප්‍රථමවරට ගස් වවන්න සැලසුම් 2021 ප්‍රගතිය සියයට 117 යි
•ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරවලින් ප්‍රථමවරට ලාබ ලබයි
දැව නැතිව නිවසක් හදා ගැනීම අසීරුය. නමුත් දැව සොයා ගැනීමත් අසීරුය. රාජ්‍ය දැව සංස්ථාව රටේ දැව ගැටලුවට තිරසර විසඳුම් ඉදිරිපත් කරමින් දැන් ලාබ ලබන ආයතනයක් බවට පත්වී ඇත.
දැන් රජය වසරකට මෙරට දැව ගෙන්වීමට රුපියල් කෝටියක් පමණ වැය කරයි. මේ කෝටිය අපේ රටේ තබා ගැනීමට අලුත් වාණිජ වන වගා ඇති කිරීමටත් ගෙවතු වලත් ගොවි බිම්වලත් දැවමය ශාක වැවීමට පැළ බීජ තාක්ෂණික උපදෙස් ලබාදීමට රාජ්‍ය දැව සංස්ථාව කටයුතු කරයි. අපේ රටේ දැව පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනය 1968දි මෙරට පිහිටවූ රාජ්‍ය දැව සංස්ථාවයි. දැව සංස්ථාව වත්මන් පාලනය යටතේ තම ඉලක්ක ජය ගනිමින් ලාභ ලබමින් පවතියි.
මේ පිළිබඳව කරුණු දක්වන රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති උදය සී. වලිසිංහ පවසන්නේ 2021 වසරේ රාජ්‍ය දැව සංස්ථාව සිය ආදායම් ඉලක්කය අබිබවා සියයට 117ක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති උදය සී. වලිසිංහ පවසන්නේ ඉදිරියේදි දැව සඳහා වන වගා කිරීමට මෙරට ප්‍රථමවරට තම ආයතනය කටයුතු කරන බවයි. ඒ සමඟම රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ පවසන්නේ තම දැව සඳහා නිදහස් කළ හැකි වනාන්තර වපසරිය හෙක්ටයාර 1000ක් වැඩි කළහොත් අපි දැව වලින් ස්වයංපෝෂිත වන බවයි.
රාජ්‍ය දැව සංස්ථවේ ඉලක්කය වූ රුපියල් මිලියන 5700ක වන අතර එය 2021 වසරේදී මිලියන 6152ට වඩා වැඩි බවත් රාජ්‍ය දැව සංස්ථාව ලබාගත් ඉහළම වාර්තාගත ආදායම මෙය බවත් සභාපතිවරයා පවසයි.
“2020 වසරේදිත් අපේ ලාභ ප්‍රතිශතය සියයට 57කින් වැඩි වුණා. මම පත්වුණේ 2020 ජනවාරිවල. අපේ සංස්ථාව දැන් ලාභදායී ලෙස ඉදිරියට යනවා.
“අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කරන දැව කඳන් තමයි අලෙවි කරන්නේ. නමුත් 2022 වසරේ අපට නිදහස් කරන තේක්ක ප්‍රමාණය අඩුවෙන බව පවසනවා. ඒ අනුව ඉදිරියේදි අපට අභියෝගයක් තියෙනවා. එයට පිළියමක් ලෙස අපිම වන වගා කරන්න නව වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ඒ අනුව ඉදිරියේදි මෙරට ප්‍රථම වරට දැව සංස්ථාව විසින් මොනරාගල ප්‍රදේශයේ හෙක්ටයාර 1000ක් වාණිජ වන වගා කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ සඳහා අපේ සංස්ථාව තුළ වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කරනවා.” සභාපතිවරයා පවසයි.
“අපේ ලාභ ලබන එක් ක්ෂේත්‍රයක් තමයි ගෘහ භාණ්ඩ නිෂ්පාදනය. අපේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සංකීර්ණ 3ක් තිබෙනවා. බූස්ස, කල්දෙමුල්ල, අම්පාර ඒ තුනයි. මේ සංකීර්ණ 3 පටන් අරන් අවුරුදු 20කට වැඩියි. ඒවා පටන් ගත්ත දවස්වල ඉඳලාම මේ ගෘහ භාණ්ඩ සංකීර්ණ කවදාවත් ලාභ ලැබුවේ නැහැ. සංස්ථාව ලාභ ලැබුවේ දැව අලෙවියෙන් පමණයි.
මම එනකොට සංකීර්ණ තුනේම පාඩුව කෝටි 10ක් විතර වුණා. මම මේ ගැන විශේෂ අවධානයක් යොමු කර ඒවායේ සිදුවන දූෂණ වංචා වළක්වන්න කටයුතු කළා. අලුත් නිලධාරින් ඒවාට යොමු කළා. බූස්සට අලුත් නිලධාරින් දාල අපි ලොකු ලාබයක් ලැබුවා. මෙහිදී පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති උදව් කළා. මේ අනුව අපි දැන් ඉදිරියට යනවා. මේ සඳහා සාමාන්‍යාධිකාරි තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, සේවකයන් හුඟක් උදව් කළා.
ඒ සමඟම විශේෂයෙන් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි විෂය භාර ඇමැති සී.බී. රත්නායක හා රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක යන ඇමැතිවරුන් අමාත්‍යාංශ ලේකම් තුමා ප්‍රමුඛ නිලධාරින් හුඟක් උදව් කළා. ඒ අයට අපි ස්තුති කරනවා.” සභාපතිවරයා පවසයි.
දැව සංස්ථාවේ අතීතය, වර්තමානය ගැන කරුණු දක්වන රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ පවසන්නේ 1968 පිහිටවූ රාජ්‍ය දැව සංස්ථාව දිගටම ලාබ ලැබූ ආයතනයක් බවයි.
පසුගිය වසරේ අපේ සංස්ථාව හුඟක් ලාබ ලැබුවා. එයට ප්‍රධාන හේතුව වුණේ අපේ ඇමැතිතුමා, කැබිනට් පත්‍රිකා විශාල ගණනක් ඉදිරිපත් කරමින් කටයුතු කිරීමයි. මේ අනුව අපේ විෂය බාර ඇමැති සී.බී. රත්නායක ඇමැතිතුමාටත් ලේකම් සෝමරත්න විදාන පතිරණටත් අපි ස්තුතිවන්ත විය යුතුයි.
“පිටරටින් ෆයිනස් දැව ගේනකොට ඒ දැව වලට සෙස් බද්දක් අය කිරීමට තීරණයක් ගත්තා. ඒ නිසා අපේ ෆයිනස් වලට ඉල්ලුම වැඩිවුණා. අපේ රටේ ෆයිනස් හෙක්ටයාර් 6,000ක් තිබෙනවා. ඒක අවුරුදු 18කට විතර ඇති. ඊට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ තිබෙන ෆයිනස් රාජ්‍ය දැව සංස්ථාවට අලෙවි කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා. ඒ සමඟම ආනයනික දැව නියාමන ආයතනයක් ආරම්භ කිරීමට පියවර ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව එම ස්ථානයෙන් අනුමත කරන දැව පමණයි අපේ රටට පිටරටින් ගේන්න පුළුවන්. දැන් එහෙම නැතිව හොර පාරෙන් බාල දැව රටට ගෙනැත් ජනතාව රවටනවා.
රටේ දැව ඉල්ලුම සපිරීම අපේ ආයතනයේ කාර්යභාරය වී තිබෙනවා. අපිට වසරකට දැව ඝන මීටර් ලක්ෂ 16ක් අවශ්‍යයි. මේ ප්‍රමාණයෙන් ලක්ෂ 1 ½ක් හැර සියල්ල අපි දේශීයව සපයා ගන්නවා. ඒ අනුව අපිට දැවවලින් ස්වයංපෝෂිත වීමට අවශ්‍ය වන්නේ දැව ඝන මීටර් ලක්ෂ 1 ½ක් පමණයි. මේ ලක්ෂ 1 ½ මෙරටම නිපදවීමට හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා කළ යුතු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට අපට ලබා දෙන වන වගා ප්‍රමාණය දෙගුණ කිරීමයි. දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව දේශීය වන වගා හෙක්ටයාර 80,000ක් තිබෙනවා. මේ ප්‍රමාණයෙන් වසරකට දැන් දැව සංස්ථාවට දීමට කටයුතු කරනු ලබන්නේ දේශීය වන වගාවලින් හෙක්ටයාර 1,000ක් පමණයි. මෙරට වාණිජ වන වගාවෙන් වසරකට තවත් වැඩිපුර හෙක්ටයාර 1,000ක් ලබා දුන්නොත් හා ගොවි ජනතාව හා ගෙවතුවල දැවමය වන වගා කළොත් අපට දැව වලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන්.
1993 අපේ රටේ දැව ඉල්ලුම ඝන මීටර් ලක්ෂ 11යි. 2022 අපේ ඉල්ලුම ඝන මීටර් ලක්ෂ 17යි. වසර 28කට වැඩිවෙලා තිබෙන දැව ඉල්ලුම සියයට 35ක් පමණයි. වසරකට අපේ දැව ඉල්ලුම වැඩිවෙලා තිබෙන්නේ සියයට 2යි. ඒ සමඟම ලංකාවේ දැව ඉල්ලුම වසරකට වැඩිවී ඇත්තේ දැව ඝන මීටර් 34,000යි. මේ 34,000 ඉල්ලුම සැපිරීම ලංකාවේ තිබෙන වන වගාවලින් ද ගෙවතු සංවර්ධනය මඟින් ද සිදුකළ හැකියි.” යැයි ආචාර්ය රුවන් පතිරණ කියයි.
“ලංකාවේ දැව භාවිතය අනෙක් රටවලට වඩා ඉතා අඩුයි. ලංකාවේ ඒක පුද්ගල දැව භාවිතය ඝන මීටර් 0.08 පමණයි. ඒ අනුව අප රට දැවවලින් ස්වයංපෝෂිත කිරීම වැඩි කලක් නොගොස් කරන්න පුළුවන්. මෙතනද අප සිදු කරන්නේ වාණිජ වන වගා වැඩිපුර ව්‍යාප්ත කිරීමයි.
රාජ්‍ය දැව සංස්ථාව දැව මිලදී ගන්නේ උපරිම ලෙස වැඩුණු පසු පමණයි. ඒ මිලදී ගන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළන වාණිජ දැව වන වගා පමණයි. ඒ අනුව මේ වාණිජ වන වගා කැපීමෙන් පරිසර හානි සිදුවන්නේ නැහැ.”
රාජ්‍ය දැව සංස්ථාව ගෘහ භාණ්ඩ නිපද වුවත් එහි මිල අධිකය. මෙයට හේතුව අපට පහදා දුන් සාමාන්‍යාධිකාරිතුමා පැවසුවේ තම නිපැයුම් රටේ තිබෙන ඉහළම ප්‍රමිතියේ ගෘහ භාණ්ඩ බවයි. “අපි හදන ගෘහ භාණ්ඩවල සනීපාරක්ෂික සුව පහසුව ඉහළින්ම තිබෙනවා. පුටුවක ඉඳගත්විට ඒ පුටුව ශරීරයේ කොටස්වල දිග පළල අනුව පුටුව සකස් විය යුතුයි. එසේ නැතිව අලංකාරය විතරක් නෙමෙයි අපි සිතන්නේ” සාමාන්‍යාධිකාරි නිමල් රුවන් පතිරණ පවසයි.
“අපි හදන්නේ සැප පහසු කල් පවතින ගෘහ භාණ්ඩ. ඉන් ශරීරයට කිසිම අපහසුතා ඇති නොකරන අතර එම ගෘහ භාණ්ඩවල කල් පවතන නිසා පරිසරයට හානියක් වන්නෙත් නැහැ.” ආචාර්ය රුවන් පතිරණ පවසයි.
මේ අනුව බලනවිට දැව සංස්ථාව වැනි ආයතන රටකට අත්‍යවශ්‍ය වේ. නමුත් තිරසර ලෙස ලාබදායී ලෙස කටයුතු කිරීමටත් පාරිසරික සංරක්ෂණය සඳහාත් ඒ ආයතනවල පරිපාලනය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යා යුතුයි. ඒ අරමුණ වත්මන් දැව සංස්ථාව පාලනාධිකාරිය මඟින් ඉටුකරන බව අපට පැහැදැලියි. දැන් විය යුත්තේ එහි සියලුම දෙනා එක්වී ආයතනයේ අභිවෘද්ධියට ඉදිරියටත් කටයුතු කිරීමයි.
සේයාරූ - රොෂාන් පිටිපන