
ඉන්දියාව ලොවට තිළිණ කළ අගනා මිණිකැට කිහිපයකි. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා යනු ඒ අතරින් එක් අමිල මැණිකකි. එතුමා ලොවම දන්නේ සංගීතඥයකු වශයෙනි. එහෙත් එතුමා තවත් බොහෝ අංශවල දස්කම් දැක්වූ සාරගර්භ සුධීමතෙකි.
එතුමා උපත ලැබූයේ 1861දීය. අවසන් සුසුම් හෙළුවේ 1941දීය. ඒ අවුරුදු අසූව තුළ එතුමා ලොව ජනතාවට තිළිණ කළ දේ බොහෝය. එතුමා අති විශිෂ්ට කවියෙකි. ලේඛකයෙකි. කුල වාදයට පහර ගසමින් එතුමා කළ ලේඛන අති විශිෂ්ට බව සඳහන් කළ යුතුමය. එතුමා අතින් නිමවුණු නාට්‍ය පිටපත් බොහෝය. සංගීතයෙහි ලා එතුමා සතු වූ හැකියාව තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනම මාතෘකාවකි.
චිත්‍ර ශිල්පියකු ලෙස තාගෝර්තුමා දැක්වූ දක්ෂතා රැසකි. මේ සියල්ලටම වඩා දාර්ශනිකයකු සහ චින්තකයකු ලෙස තාගෝර්තුමා ඉදිරියෙන් සිටින්නේය.
කෙටියෙන් කියන්නේ නම් සකල කලාවම එක මිටට ගත් ඉතා දුර්ලභ දක්ෂතා සහිත පුද්ගලයකු ලෙස රබීන්ද්‍රනාත් තාගෝර්තුමා හැඳින්විය හැකිය.
තාගෝර්තුමාගේ ඉතිහාස ලේඛන සඳහන් කරන්නේ එතුමා කවි ලිවීම අරඹන්නේ වයස අවුරුදු අට තරම් පැටි වියේදී බවයි. කාව්‍යකරණය, සාහිත්‍යය මෙන්ම කලාව ද එතුමා උපතින් ගෙන ආ දායාද විය.
මුල්කාලීනව එතුමා කළ ඇතැම් නිර්මාණ අන්වර්ත නම්වලින් ලියැවුණු ඒවා වූ අතර ක්‍රමයෙන් තාගෝර් නාමය ඉන්දියාව තුළ ජනප්‍රිය වන්නට විය.
එතුමා අතින් ලියැවුණු ගීතාංජලී මහා කාව්‍යය වෙනුවෙන් එතුමා නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය එතෙක් ආසියාතික රටක පුද්ගලයකුට නොබෙල් ත්‍යාගය පිරි නැමුණු ප්‍රථම අවස්ථාව විය. තාගෝර්තුමා සම්බන්ධයෙන් ලියන්නේ නම් පිටු ගණනාවක් ලිවිය හැකිය. එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ තාගෝර් තුමා සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව ගැන සිහිපත් කිරීමය. කල් යත්ම රබීන්ද්‍රනාත් තාගෝර් යනු කිනම් අන්දමේ පුද්ගලයෙක්දැයි වටහාගත් බොහෝ දෙනා එතුමාගේ අභාසය ලබා ගැනීමට වෑයම් දැරූහ.
ඒ අනුව ලොව බොහෝ රටවල් එතුමාගේ නිර්මාණ ඇගැයූ අතර එතුමාට රටරටවල සංචාරය කරන මෙන් බොහෝ ආරාධනා ද ලැබිණ. ඉතිහාසය පවසන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමා රටවල් තිහක සංචාරය කර ඇති බවයි. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ එතුමා තෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බැවිනි. ඒ 1922, 1928 සහ 1934යන වසරවලදීය. තාගෝර්තුමා ශ්‍රී ලංකාවට දැඩි කැමැත්තක් දැක්වීමට දෙරට අතර පවතින සම සංස්කෘතික සබැඳියාව බෙහෙවින් හේතු විය.
ශ්‍රී ලාංකේය සංගීතයට උත්තර භාරතීය සංගීතය බෙහෙවින් බලපෑ අතර හින්දුස්ථානී රාගධාරී සංගීතය ද සිංහල සංගීතයට මඟ පෙන්වීය. තාගෝර්තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එකී මූලාරම්භය ඔස්සේය. එකල හින්දුස්ථානී සංගීතය පමණක් නොව නර්තනය ද හැදැරීම පිණිස බොහෝ ශ්‍රී ලාංකේය තරුණ තරුණියෝ ඉන්දියාවට ගියහ.
එසේ යෑමට ලැබීම විශේෂ වරප්‍රසාදයක් විය. ඉන්දියාවේ සංගීතය හෝ නර්තනය හදාරා මෙරටට පැමිණෙන පිරිස මෙරට තුළදී විශේෂ ඇගැයීමට ද පාත්‍ර විය.
ඉන්දියානුවන්ට පමණක් නොව භාරතීය සංගීතය හැදැරීමේ ආශාවෙන් පෙළුණූ තවන් බොහෝ දෙනා වෙනුවෙන් රබීන්ද්‍රනාත් තාගෝර්තුමා විසින් 1921 වර්ෂයේදී ඉගෙනුම් සහ කලා මධ්‍යස්ථානයක් ලෙස විශ්ව භාරතී විශ්වවිද්‍යාලය ආරම්භ කර සිටියේය. මෙය අවස්ථාවක් කර ගනිමින් අපේ රටේ ද කලා ළැදි බොහෝ දෙනා එතුමාගේ සෙවනේ අධ්‍යාපනය ලැබූහ.
සිංහල බැලේ නර්තන කලාවේ පුරෝගාමී ප්‍රේමකුමාර එපිටවල මහතා සහ දේශමාන්‍ය චිත්‍රසේන ශූරිහු 1940 දශකයේ මුල භාගයේදී ශාන්ති නිකේතනයේ ශිල්ප හැදෑරූහ.
එසේම එඩ්වින් සමරදිවාකර, සූර්ය ශංකර් මොල්ලිගොඩ, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ලයනල් එදිරිසිංහ සහ ඩබ්. බී. මකුළුලොළුව සහ චිත්‍ර ශිල්පීන් වන සෝමබන්දු සහ ආනන්ද සමරකෝන් වැනි අප රටේ සුපතල කලා ශීල්පීහු ද ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරා ඇත. වර්තමානයේ දී පවා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක කලා ශිල්පීන් සහ ශාස්ත්‍රඥයන් රැසක් රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගේ අභාසය ලබනු දැක ගත හැකිය. තාගෝර්තුමාගේ ගීතාංජලී කෘතිය කිහිපවරක්ම සිංහලට පරිවර්තනය වී ඇත. මෙමගින් පිළිබිඹු කරන්නේ තාගෝර්තුමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව දක්වන ඉමහත් ගෞරවයයි.
මේ ගෞරවයට තාගෝර්තුමා පෙරළා ගෞරව දැක්වූයේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ උන්නතියට බෙහෙවින් අතහිත දෙමිනි. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය පිහිටුවීම එහි උච්චතම අවස්ථාව ලෙසින් දැක්විය හැකිය.
ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණීමට අවස්ථාව නොලැබෙන අයට ඒ හා සමාන වූ අධ්‍යාපනයක් ලංකාවේදීම ලබා ගැනීමට පහසුකම් සැපයීම ශ්‍රී පාලි මණ්ඩපය පිහිටුවීමේ ආසන්නතම අරමුණ සේ දැක්විය හැකිය. එහෙත් පසුව දේශීය අනන්‍ය වූ කලාංග රැසක් විශේෂව හැදෑරීමේ අවස්ථාව ශ්‍රී පාලි මණ්ඩපය විසින් විද්‍යාර්ථීන්ට ලබා දෙනු ලැබීය.
පසුගියදා රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ සියවසක් සම්පූර්ණ වූ අතර, ඒ වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය අනුස්මරණ වැඩසටහන් රැසක් සම්පාදනය කර තිබිණි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ඉහළම අධ්‍යයන වාර්තාව හිමි ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව වෙනුවෙන් රන් පදක්කමක් ද ගුරුදෙව් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා නමින් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ අතර තාගෝර්තුමාගේ පිළිරුවක් ද ශ්‍රී පාලි මණ්ඩප භූමියේ ස්ථාපිත කර තිබිණි.
මේ පිළිරුව ශ්‍රී ලංකාවට ලබා දී තිබුණේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලය විසිනි.
මේ පිළිරුව විවෘත කරන අවස්ථාවට විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ ඇතුළු තවත් සුවිශේෂ පිරිසක් සහභාගී වූහ.
විශ්ව කලා කෙතට මෙන්ම සාහිත්‍ය ධාරාවට අප්‍රමාණ මෙහෙයක් කළ තාගෝර්තුමා 1941 අගෝස්තු මස 7වැනිදා මෙලොවින් සමු ගත්තද එතුමා සිහිකිරීම ඇරඹූ ගෝල පරම්පරාව අඛණ්ඩව දිය වැලක් සේ ඉදිරියට ඇදෙමින් පවතින බව කිව යුතුය.