
යහපාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ හා එම රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී දුම්රිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියේ යහපාලන රජය සමයේ ඇණවුම් කර තිබූ දුම්රිය මැදිරි කට්ටල ගණන එකසිය හැටක් බවත්, මේ වනවිට ඉන් දුම්රිය මැදිරි එකසිය විස්සක් මෙරටට ලැබී ඇති බවත්, එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව හතළිහක් බවත්ය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මේ ප්‍රකාශය විවේචනය කරමින් දුම්රිය සේවා දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සමිති විසින් චෝදනා එල්ල කරමින් කියා සිටියේ මෙම සාකච්ඡාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ජනාධිපතිවරයා නොමඟ යැවීමට කටයුතු කළ බවයි. මෙම විවේචනයත් සමඟ මේ පිළිබඳ විවිධ පුවත් මැවෙන්නට පටන් ගත්තේ ය. මේ ඒ පිළිබඳ තුලනාත්මක ලිපියකි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබූ ප්‍රධාන සැලැස්මට අනුව 2015 වසරේදී ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මැදිරි එකසිය හැටක් සහ දුම්රිය එන්ජින් දහයක් ලබා ගැනීමට තීරණය කර තිබුණි. ඒ කඳුකර නොවන ප්‍රදේශවල සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා එක්කිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ අනුව 2018 වසරේ අදාළ කොන්ත්‍රාත්තුව අත්සන් කෙරිණි. ඒ අනුව වරින්වර දුම්රිය එන්ජින් දහයක් සහ දුම්රිය මැදිරි එකසිය විස්සක් මෙරටට ලැබිණ. එලෙස ලැබුණු එන්ජින් හැම එකක්ම මේ වනවිට කිලෝමීටර් ලක්ෂයක් පමණ ධාවනය කර ඇති බව මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමේදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසීය. මෙම දුම්රිය එන්ජින් දහයෙන් හතක් මේ වනවිට ධාවනයට යොදවා ඇති බවත්, අනෙක් තුන නඩත්තු තත්ත්වයේ පවතින බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.
කෙරොනා උවදුර හේතුවෙන් දුම්රිය මැදිරි ගෙන්වීමේදී ඒවා නිසි ලෙස පරික්ෂා කර මෙරටට ගෙන ඒමට නොහැකි වූ අතර, තිබූ තත්ත්වය මත ඉන්දියාවට ගොස් ඒවා පරික්ෂා කිරීම අවධානම්කාරී කාර්යයක් ද විය. එනිසා ඒවා හී අඩුපාඩු මොනවාද යන්න සෙවීමක් නොකෙරිණ. පසුව එම එන්ජින් හා මැදිරි සංකීර්ණ මෙරටට ලැබුණු පසු එහි ඇති අඩුපාඩු හඳුනා ගැනීමට කටයුතු කළ අතර, එහිදී පෙනීගිය දුර්වලතා අඩුපාඩු යථාතත්වයට පත් කිරීමට කාලයක් ගත විය. අනතුරුව ඒවා පරීක්ෂණ ධාවනය සඳහා යොමු කර ක්‍රමයෙන් භාවිතයට එක්කරමින් තිබුණි.
මෙම ගැටලුව ආරම්භ වූයේ ඒ අතරතුරය. අප මේ සාකච්ඡාව සඳහා සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගත් මොහොතවන විට දුම්රිය මැදිරි හැටතුනක් හා එන්ජින් හයක් ධාවනයට එක්කර තිබුණි. එහිදී ඔහු පැවසූයේ ඉදිරියේදී වෙනත් දුම්රිය සඳහා ද ඉතිරි මැදිරි එක්කිරීමට නියමිත බවයි.
කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් මේ වනවිට දුම්රිය වාර හතළිහක් ආරම්භ කිරීමට නොහැකිව තිබෙන අතර, එය යථාවත් කිරීම සඳහා දුම්රිය නියාමකයින් තිහකගේ පමණ හිඟය පියවා ගැනීම අත්‍යාවශ්‍යතාවක් ව පවතී. එම පුරප්පාඩුව පියවාගෙන මෙම ගමන් වාර හතළිහ ආරම්භ කළ පසු ඉතිරි දුම්රිය මැදිරි හා එන්ජින් එක්කළ හැකි බව සාමන්‍යාධිකාරීවරයා පවසයි.
මේ සමබන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ පැවසූයේ, දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන අවස්ථාවක දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ආනයනය කර ඇති මේ දුම්රිය මැදිරි සියයකට අධික ප්‍රමාණය මේ වනවිට විනාශ මුඛයට යමින් පවතින බවයි. පසුගිය යහපාලන සමයේදී ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වා ඇති මෙම දුම්රිය මැදිරි මෙරටට අවශ්‍ය ප්‍රමිතියට අනුකූලව නොමැති බව හෙතෙම පවසයි.
මාලිගාවත්ත දුම්රිය අංගණයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යාපනය සහ කන්කසන්තුරේ දුම්රිය අංගණවල ද රඳවා ඇති මෙම මැදිරි ඉතා බාල වර්ගයේ තහඩු වර්ගයකින් නිමකර ඇති බව පසවන හෙතෙම ඒවා මේ වනවිට ධාවනය කළ නොහැකි ආකාරයට මළ බැඳී ඇති බවත්, මෙම දුම්රිය මැදිරි කිසිවක් දුම්රිය මාර්ගවල ගමන් කරවිය නොහැකි මට්ටමේ පවතින බව ඔහු සඳහන් කළේය.
මැදිරි වර්ග හතකින් යුතු මෙම මැදිරි එකසිය විස්ස තුළ 3 වන පන්තියේ මැදිරි හතළිස් එකක්, දෙවන පන්තියේ මැදිරි හතළිස් එකක් සහ වායු සමීකරණය කරන ලද මැදිරි තිස්පහක් ද ඇති බව හෙතෙම සඳහන් කරයි. එම තුන් වන පන්තියේ එක් මැදිරියක් සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් 584,240 කි. එනම් රුපියල් නව කෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය එකොළහකි. දෙවන පන්තියේ මැදිරියක් සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 572,254ක් එනම්, රුපියල් මිලියන 3,753කි. වායු සමීකරණය කරන මැදිරියක් සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 801,251ක් වන බව ඔහු පවසයි.
රට තුළ මැදිරි නිෂ්පාදන ක්‍රමවේදයක් සකස් කර තිබුණේ වී නම් එක් මැදිරියක් රුපියල් කෝටි පහකට ආසන්න මුදලකට නිපදවිය හැකි බවත්, කුමන ආණ්ඩුවක් යටතේ මේවා ගෙන්වීමට කටයුතු කළ ද දුම්රිය දෙපාර්තමේන්තුවට අනවශ්‍ය මොහොතක ඉතා වැඩි මිලකට මෙම මැදිරි ගෙන්වීමෙන් ජනතාව තවතවත් ණයකරුවන් කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්නගෙන් සිළුමිණ කළ විමසීමේදී කියා සිටියේ “ජනාධිපතිතුමන් විසින් කැඳවා තිබු ප්‍රවාහන අමාත්‍යංශ ප්‍රගති සමාලෝචනයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් ගරු ජනාධිපතිතුමන් නොමඟ යැවීමට කටයුතු කළ බවයි. පසුගිය රජය යටතේ ආනයනය කළ මැදිරි එකසිය හැටෙන් එකසිය විස්සක් මේ වනවිට ලැබී ඇති බවත්; ඒවායේ අඩුපාඩු ඇති බව දිගින් දිගටම වගකිවයුතු සියලු පාර්ශ්ව දැනුම්වත් කළ බවත්; ඒ කිසිවක් ගණනකට නොගෙන ඉතිරි මැදිරිත් ගෙන් වූ බවත්, මේ වනවිට ඒවා ධාවනය කළ නොහැකි මට්ටමේ පවතින බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ මැදිරි එකසිය විස්සෙන් මැදිරි හතළික් ධාවනයට එක්කර ඇති බව පැවසුව ද මේ වනවිට ධාවනය සඳහා එක්කර ඇත්තේ මැදිරි තිස් එකක් බවත්; ඒ අනුව යාල් දේවී දුම්රිය දෙකට මැදිරි දහය බැගින් මැදිරි විස්සක් එක්කර ඇති අතර, හික්කඩුව දුම්රියට මැදිරි එකොළහක් එක්කර ඇත. M-11 පන්තියේ එන්ජින් දහයක් ගෙන්වා තිබුණද ඉන් ධාවනයේ යොදවා ඇත්තේ එන්ජින් තුනක් පමණක් බවත්; එන්ජින් හතක් ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බවත්, මේ වනවිට එම එන්ජින් අදාළ අංගණවල ගාල්කර ඇති බව ඉතා වගකීමෙන් පවසන බව සභාපතිවරයා, හැකිනම් මෙම එන්ජි හත ධාවනය කර පෙන්වන ලෙස තමන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට අභියෝග කරන බවද පැවසීය.
මේ වනවිට ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම පහ(1.5)ක් වියදම් කර සිදු කිරීමට නියමිත මහව - ඕමන්තය මාර්ග නවීකරණය ව්‍යාපෘතිය පිටුපස මහාපරිමාණ වංචා හා දුෂණ සිදු කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චමීර සිළුමිණට අනාවරණය කළේය.
මෙම ව්‍යාපෘතිය හරහා උතුරු මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස වැඩි දියුණු කිරීමට හැකියාව පැවතිය ද ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරිය විසින් ලාබ ලබාගැනීමේ අරමුණු පදනම් කර ගනිමින් එම ව්‍යාපෘතිය තනි මාර්ගයක් ලෙසම පවත්වාගෙන යාමට උත්සාහ කරන බවත්; මේ සම්බන්ධයෙන් අප සංගමය අදාළ සියලුම අංශ දැනුම්වත් කළ ද ඊට නිසි විසඳුම් ලබා නොදී එම ව්‍යාපෘතිය මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.
අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ වෙත යොමු කර මෙය ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් බවට පත් කිරීමට තම සංගමයේ බලාපොරොත්තුව බව හෙතෙම පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් සිළුමිණ ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කළේ, ඇතැමුන් සත්‍ය දැන දැනත් ජනප්‍රිය වීමට කරුණු විකෘති කර ප්‍රචාරය කරන බවයි. දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ කාර්යය වන්නේ දුම්රිය ස්ථාන හොඳින් පවත්වාගෙන යමින් මඟී ජනතාවට හොඳ සේවයක් සැපයීම අරමුණ විය යුතු බවයි. නමුත් අපට හැම දුම්රිස්ථානයක්ම එලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. එසේ තමන්ගේ වගකීම හා කාර්යභාර්ය පිළිබඳ තැකීමක් නැති අය අනෙක් අයගේ කාර්ය භාර්ය පිළිබඳ කතා කිරීමට ඉදිරිපත් වීම ගැටලු සහගත බවයි.
ඉන්දියානු ණය ආධාර යටතේ මහව - ඕමන්තේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත බවත්; ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු සියලු කාර්යයන් ඉතාම විධිමත් සැලැස්මකට අනුව සිදු කරන බවත්; මාස පහකින් පමණ මෙම ඉදිකිරීම් අවසන් කර මාර්ග පද්ධතියට එක් කිරීමට බලාපොරෝතුවන බවත්; මේ වනවිට කිලෝ මීටර් හතළිහ - හැට දක්වා පවතින වේග සීමා මෙම මාර්ගය ඉදිකිරීමෙන් අනතුරු කිලෝ මීටර් සීයක දක්වා වැඩි කළ හැකි බවත්; මෙනිසා යාපනට යන දුම්රියේ මිනිත්තු හතළිහක පමණ කාලයක් ඉතිරිවන බවත්; හෙතෙම පවසති. මෙවැනි මාර්ගයක් වසර හතළිහක පනහක කාලයක් නඩත්තු කර පවත්වාගෙන යා හැකි බවත් දුම්රිය සමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙයි.
මෙම කරුණු නිවැරදි කර ගැනීම සඳහා සිළුමිණ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු ධාවන බල කේ.ජී.එස්. බණ්ඩාරගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු කියා සිටියේ, මේ වනවිට ගෙන්වන ලද එන්ජින් දහයෙන් හතක් සේවයට යොදවා ඇති බවයි. එසේම මැදිරි සංකීර්ණ හැට හතරක් පමණ සේවයට යොදවා ඇති බවත්, ඉතිරිය අනෙකුත් අවශ්‍යතා සඳහා යොදාගැනීමට උපදෙස් ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව ප්‍රීමා පිටි ප්‍රවාහනය සඳහා එන්ජින් දෙකක්, යාල් දේවී දුම්රිය සඳහා එන්ජින් දෙකක්, හික්කඩුව නයනා කුමාරි දුම්රියට එන්ජින් එකක්, පොල්ගවෙල සිට පැමිණෙන දුම්රිය සඳහා එන්ජින් එකක් සහ නඩත්තු කටයුතු සඳහා එන්ජින් එකක් වශයෙන් එන්ජීන් හතක් ධාවනයට එක්කර තිබේ.
මේ කරුණු පිළිබඳ සත්‍ය අසත්‍ය විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සමඟ දෙමටගොඩ දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරකාවක නිරත වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඇතැමුන් පැවසූ ආකාරයට ප්‍රමිතියෙන් අඩු, මළ බැඳුණු පාවිච්චි කළ නොහැකි දිරාගිය මට්ටමේ කිසිදු දුම්රිය මැදිරියක් හෝ එන්ජිමක් තම ඇස නොගැටුණ බවත්; ඉදිරියේදී මේවා භාවිතයට යොදවන අතරම යම් වැරැද්දක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවයි.