
රඹුක්කන,දැලිවල කොටවෙහෙර ශ්‍රී ලංකාවේ ඉදිකළ ස්ථූපයන් අතර වෙනත් කිසිම පෙදෙසකින් හමු නොවූ ආකාරයේ ස්ථූපයකි. 1892 වර්ෂයේදී ලියන ලද එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු වාර්තාවේ දැලිවල කොටවෙහෙරෙහි වට ප්‍රමාණය අඩි 640ක් ද, බෑවුමේ දිග අඩි 112 ක් ද ලෙස සඳහන්ය.
1957 පෙබරවාරි 04 වැනි දින මෙම දාගැබේ කැණීම්වලින් හමුවූ රන් කරඬුව සාංචි ස්ථූපයේ ආකෘතියකි. මෙම වෙහෙර මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි දේවානම් පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ඇතිව රජුගේ බාල සෙහොයුරකු වූ මෙම ප්‍රදේශය පාලනය කළ ‘තිස්ස කීර්ති’ යුව රජු විසින් කරවන ලද බව සැලකේ. මෙම දාගැබට නුඳුරින් පිහිටා ඇති පදවිගම්පල කන්දේ ගල්ලෙනක ‘’තිස කිතස ලෙන අගත අනගත චතුදිස සගස දිනෙ’’ යනුවෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් සඳහන් කර ඇති ශිලා ලේඛනය අනුව තිස්ස කීර්ති නමින් ජනප්‍රධානියෙක් සිටි බව තහවුරු කරයි. කොටවෙහෙර දාගැබේ පාදම අසලින් හමුවූ ගඩොල්වල ද බ්‍රාහ්මී අක්ෂර දක්නට ඇතත්, සෙල් ලිපියක් හෝ වෙනත් ලේඛනයක් චෛත්‍යය කැණීමේදී හමුවී නැත.
![]() |
චෛත්‍යයෙන් හමුවූ රන් කරඬු බහා තිබූ ශෛලමය කරඬුවක් |
1957 වසරේදී චෛත්‍යයේ කැණීම්වලින් හමුවූ දඹරන් රන්කරඬුව පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එවකට පුරාවිද්‍යා කොමසාරිස් සද්ධාමංගල කරුණාරත්න තම නිගමනයේදී 1956 ජූනි 26 වැනි දින ‘දිනමිණ’ පත්‍රයේ පළවූ ‘’හතර කෝරලේ මිහිඳු ලෙන’’ නමැති ලිපියෙන් දැලිවල පණ්ඩිත පොඩිනිලමේ විජයසූරිය දැලිවල කොටවෙහෙරේ නිධන් උත්සවය අලළා පළකර තිබූ තොරතුරු අනුව මෙම ස්ථූපය දේවානම් පියතිස්ස රජ කාලයේදී කරවූ බවට 1957 පෙබරවාරි 12 වැනි දින අනුමාන කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 2001 වසරේදී සිදු කළ කොටවෙහෙර චෛත්‍යයේ කැණීම්වලින් තවත් රන් කරඬු කීපයක් හා නටබුන් රැසක් හමුවිය. මෙම සියලුම කරඬු දඹදිව සාංචි ස්ථූපයේ හැඩයට නිමවා තිබිණි. මෙම රන් කරඬු ලෝහමය කරඬුවක බහා තිබූ අතර,එම ලෝහමය කරඬුව ආවරණය කළ රෙදිකඩක කොටසක් ද එහිදී දැකගත හැකි විය. මෙම රෙදිකඩ විද්‍යාත්මකව කාල නිර්ණය කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයට යැවුණු අතර, මෙම සළුව ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් සේද රෙදිකඩක් බවට විද්‍යාත්මක කාල නිර්ණයේදී තහවුරු විය. ශ්‍රී ලංකාවේ ඉපැරණි චෛත්‍යවල කළ කැණීම්වලදී මෙවැනි පෞරාණික වටිනාකමින් යුත් නිධන් වස්තු රෙදි කඩකින් ඔතා තිබියදී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව එවකට පුරා විද්‍යා අධ්‍යක්ෂ (කැණීම්)ආචාර්ය ඩබ්ලිව්.විජේපාල පවසා ඇත.
පුරාවිද්‍යා මතයට අනුව සාංචි ස්ථූපයට සමාන අනුරූ දැනට ලංකාවේ හමුව ඇත්තේ තුනකි. ඒ රුවන්වැලි මහා සෑයෙන්,මිහිඳු මහා සෑයෙන් හා දැලිවල කොටවෙහෙරෙන් හමුවූ රන් කරඬුය.මෙම කරඬු තුනෙන් සාංචි ස්ථූපයට වඩාත් සමීපවන්නේ දැලිවල කොටවෙහෙරෙන් ලද කරඬුව වීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් 1957 වර්ෂයේ පෙබරවාරි 04 වැනිදා හමුවූ දඹරන් කරඬුව ඇතුළු 2000 වර්ෂයේදී හමුවූ රන් කරඬු කීපයක් පසුගිය සිකුරාදා (11) කිසිවකු විසින් සොරාගෙන ඇත. ලංකා ද්වීපය ධර්ම ද්වීපයක් බවට පත්වූවේ මිහිඳු මාහිමියන් වැඩම කර මෙහි බුදුදහම ප්‍රචලිත කිරීමෙන් අනතුරුවය. මිහිඳු හිමියන් මෙරටට ගෙන ආ බවට සැලකෙන දඹරන් කරඬුව ද අදවන විට සොරාගන්නා තැනට මේ රට පත්වීම සැබවින්ම අභාග්‍යයකි.
තම විහාරස්ථානයේ සිදුවූ මෙම සොරකම පිළිබඳ අදහස් දක්වන රඹුක්කන දැලිවල කොටවෙහෙර පුරාණ විහාරාධිපති පුස්සැල්ලේ අරියවංශ හිමියෝ:
‘‘1957 වර්ෂයේ දැලිවල කොටවෙහෙරේ සිදුකළ කැණීම්වලින් දඹරන් කරඬුවට අමතරව අග්‍රශ්‍රාවකයන් වහන්සේ සිහිගන්වන වර්ණවත් පළිඟු කරඬු දෙකක්,තවත් පළිඟු කරඬු 168 ක් සහ ශිලාමය කරඬු කීපයක්ද හමුවූවා. 2001 වසරේ හමුවූ රන් කරඬු හතක් බහාලූ ලෝහ කරඬුව වටා දවටා තිබූ සේද සළුව වසර 2200ක් පැරැණි බව සනාථ වූවේ 2009 වසරේදී. මෙම සේද සළුව ආසියාවෙන් හමුවූ පළමු හා පැරැණිම සේද සළුවයි.මෙය ලෝකයේ පැරැණිම සළු අතර සිවුවැනි ස්ථානයේ රැඳෙන බව සළුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජූඩිත් කැමරන් මහත්මිය ප්‍රකාශකර තිබෙනවා. 2002 වර්ෂයේදී මෙම චෛත්‍යයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ දහ අටක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන්වූවා. ඊට පසුව එහි ඉදිකිරීම් හෝ සංරක්ෂණ කටයුතු පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමුවී නැහැ. 2017 වර්ෂයේදී ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැතියත් ඒ අවස්ථාවේදී හෝ මෙම ඵෙතිහාසික වටිනාකමින් යුක්ත දැලිවල කොටවෙහෙර සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම කනගාටුදායක කරුණක්.
මේ සිදුවීම පසුගිය 11 වෙනිදා රාත්‍රී සිදුව තිබෙනවා. මම එදා විහාරස්ථානයේ වැඩ සිටියේ නැහැ. නුවරඑළියේ විහාරස්ථානයකට වැඩියා. සෙනසුරාදා උදේ පහ හමාරට විතර තේවා කටයුතු සඳහා තේවා භාරකරු ධාතු මන්දිරයට යනවිටයි එහි අගුළු කඩා ඇති බව දැක කෑගසා තිබෙන්නේ. එවිට විහාරස්ථානයේ වැඩසිටි කිවුල්පනේ හාමුදුරුවෝ 119 අමතා පොලිසියට දැනුම්දී තිබෙනවා.ඒ අනුව රඹුක්කන පොලිසිය ඇවිත් පරීක්ෂණ සිදු කළා. කෑගල්ල අපරාධ අංශයේ නිලධාරින් හා පොලිස් නිල සුනඛ අංශයෙන් පැමිණ පරීක්ෂණ සිදු කළා.මේ වනවිට මෙම පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ද සම්බන්ධකර තිබෙනවා. ධාතු මන්දිරයේ තිබූ 1957 වසරේ කැණීම්වලින් සොයාගත් දඹරන් කරඩුව හා 2000 වසරේ කැණීම්වලින් හමුවූ රන් කරඬු ඇතුළු රන් කරඬු හයක් හා පළිඟු කරඩු තුනක් සොරුන් විසින් මෙලෙස ගෙනගොස් තිබෙනවා.”
කොටවෙහෙර චෛත්‍යයේ කැණීම්වලට සහභාගි වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ස්ථාන භාර තාක්ෂණ නිලධාරි එස්.එම්.ඒ.කේ සමරප්පෙරුම පවසන්නේ මෙබන්දකි. ”මෙම චෛත්‍යයේ පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ පුරාවස්තු තැන්පත් කිරීමට අපි ආරක්ෂිත සේප්පු ලබාදුන්නා.කිසිම අවස්ථාවක සේප්පුවේ යතුරු එක් අයකු ළඟ තබා නොගන්නා ලෙසයි අපි උපදෙස් දුන්නේ. මේ පුරාවස්තු එළියට ගන්නවානම් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ පමණක් එළියට ගන්නා ලෙසයි අපි අවධාරණයෙන්ම දායක සභාවට කීවේ. ඒ මේ මිල කළ නොහැකි පුරාවස්තු කවුරුන් හෝ පැහැරගනීවී කියන සැකය නිසා.
මේ පුරාවස්තු තැන්පත් කිරීමට දැලිවල කෞතුකාගාරයක් හදන්න යෝජනා වූවා. ඒ සඳහා එවකට අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා අතින් මුල්ගල් තැබුවා.කෞතුකාගාරය හදන භූමි කොටස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ඉටුවුණේ නැහැ. නිත්‍යානුකලව ඉඩම් කොටසක් පවරා නොදුන් නිසා කෞතුකාගාරය හදන්න බැරි වුණා.ඔප්පුවකින් නැතිනම් ලිඛිතව පවරා දෙන්න කීවත් එය ඉටුවුණේ නැහැ. ඒ නිසා අවුරුදු දෙදහස් තුන්සියයක් පොළව යට ආරක්ෂාකාරීව තිබූ පුරාවස්තු ගොඩ ගත්තාට පස්සේ අවුරුදු පනහක්වත් රැකගන්න නොහැකිව තිබෙනවා.අප මේ පුරාවස්තු මුලින්ම ප්‍රදර්ශනය කළේ කැණීම්වලින් හමුවූ පිළිවෙළ අනුව යම් පිළිගත් ක්‍රමවේදයකටයි.නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිසි උපදෙස් නොලබා පසුව ඒවා ප්‍රදර්ශනයට තබා තිබෙනවා.”
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා ගෙන් ද අප දැලිවල කොටවෙහෙරේ පුරාවස්තු පිළිබඳෙ විමසා සිටියේ එහි කැණීම්වලට ඔහුද කලක් සම්බන්ධව සිටි බැවිනි.
“ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ස්ථාන අතර දැලිවලට ප්‍රධාන ස්ථානයක් හිමිවෙනවා.2000 වර්ෂයේදී මෙම ස්ථානයේ චෛත්‍ය සංරක්ෂණය කිරීමට එවකට කැණීම් අධ්‍යක්ෂ ඩබ්ලිව්.විජේපාල මහතා සමඟ මමත් සම්බන්ධ වුණා.1957 වර්ෂයේදී දැලිවල කොටවෙහෙරෙන් හමුවූ දඹරන් කරඬුව ඉතාමත්ම වැදගත් පුරා වස්තුවක්.අපේ රටේ බෞද්ධ සංස්කෘතියේත්,පුරා විද්‍යා උරුමයේත් මුදුන් මල්කඩක් ලෙස මේ කරඬුව හඳුන්වන්න පුළුවන්. මේ කරඬුවේ වැදගත්කම ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ කාලයේ ඉදිකළ සාංචි ස්ථූපයේ ආකෘතියට මේ කරඬුව බොහෝදුරට සමානවීමයි.මේ කරඬුව ඒ කාලයේදී මෙරටට ලැබුණු තෑග්ගක්ද විය හැකියි. මෙය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විරල සොයාගැනීමක් නිසා මිල කළ නොහැකියි.
![]() |
රන් කරඬු බහා තිබූ සොරුන් විසින් බිඳ දමා ඇති වීදුරු මංජුසාව |
2000 වර්ෂයේදී රන් කරඬු සමඟ හමුවූ ලෝහ කරඬුව සේද රෙදිවලින් ඔතා තිබුණා. මම ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරන කාලයේදී රෙදි පිළිබඳ මහාචාර්ය ජූඩිත් කැමරන්ට මේ ගැන දන්වලා ඇය ලංකාවට කැඳවා ගත්තා. විද්‍යාත්මකව සිදු කළ පර්යේෂණවලින් එම සේද රෙදිකඩත් ක්‍රිස්තු පූර්ව දෙසිය පනහ කාලයේ කියලා තහවුරු වුණා. ලංකාවේ පුරාවස්තු අතර විරල පුරාවස්තු තිබෙනවා. තාරා දේවි රූපය, වෙහෙරගලින් හමුවූ අවලෝකේශ්වරතිස්ස ප්‍රතිමාව මෙන්ම මේ දැලිවල දඹරන් කරඬුව විරල මිල කළ නොහැකි පුරාවස්තු. දැලිවල කොටවෙහෙර, තිස්සමහාරාමයේ සඳගිරි මහාසෑය, දෙමළ මහාසෑය වගේ චෛත්‍ය කීපයයි ලංකාවේ පැරණි යුගයට අයත්වන්නේ. කවුරුන් හෝ මෙම පුරාවස්තු ගෙනගියා නම් ඒවා ආපසු ලැබීමට සලස්වන ලෙස අප ආයාචනය කර සිටිනවා.”
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති,කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පින්නවල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති,කෑගලු විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, සතර කෝරළ මහදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක දුනුකේවත්තේ සීලවිමල හිමියෝ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.
“දැලිවල රඹුක්කන අපට පමණක් නොවේ දකුණු ආසියාවටම වැදගත් ඵෙතිහාසික ස්ථානයක්.චීනය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට සම්බන්ධතා තිබූ බවට තිබෙන හොඳම සාක්ෂිය මේ දැලිවල විහාරස්ථානයෙන් හමුවූ පුරාවස්තු.දඹදිව සාංචි ස්ථූපයේ අනුරුවට සාදා තිබූ දඹරන් කරඬුව සමඟ තවත් රන් කරඬු කීපයක් හා පළිඟු කරඬු මෙසේ සොරා ගෙන තිබෙනවා.මේ පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් යකඩ සේප්පුවල කාලයක් තැන්පත් කර තිබුණා.2019 වර්ෂයේ මෙම විහාරස්ථානයට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විශාල මුදලක් වියදම් කරලා ලබාදුන් වෙඩි නොවදින බව කියන විශේෂ වීදුරු ආවරණයක් සහිත මංජුසාවකයි පසුව මේ පුරාවස්තු සියල්ලම තැන්පත්කර තිබෙන්නේ. ඒ ආරක්ෂිත වීදුරු ආවරණය රසායනික ද්‍රව්‍ය වලින් හෝ උපකරණ වලින් කොටසක් කඩලා තමයි මේ පුරාවස්තු සොරා ගෙන තිබෙන්නේ.
කෙසේ වෙතත් පන්සලෙනුත් දායක සභාවෙනුත් මේ ලෝකයක් වටිනා පුරාවස්තුවලට ලැබී තිබූ ආරක්ෂාව ගැනනම් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. ආරක්ෂක කැමරා පද්ධතිය මාස
![]() |
සේද සළුවෙන් ඔතා තිබූ ලෝහමය කරඬුව හා රන් කරඬු |
ගණනක සිට අක්‍රිය වෙලා. ඒක දන්නේ පන්සලේ හාමුදුරුවෝ විතරයි. මේ ගැන දායක සභාව දැනුම්වත්ව නැහැ. අනෙකුත් අදාළ අංශ දැනුම්වත් කරලා නැහැ.මේ කැමරා පද්ධතිය අලුත්වැඩියා කරන්න ලොකු වියදමක් යන්නේ නැහැ. මේ දුර්වලතාත් අපි මෙහිදී දකිනවා.
මෙම පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් මහින්ද එස්.වීරසූරිය කෑගල්ල දිසාපතිවරයා මෙලෙසින් අදහස් දැක්වීය.
අනාගත පරපුරට මේ රටේ ඉතිහාසය පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සහ අපේ සශ්‍රීකත්වය සහ පුරාණ කර්මාන්ත ඇතුළු ආගමික සහජීවනයන් ගැන අවබෝධයක් ලබාගැනීමට මේ ස්ථාන ඉතාම වැදගත්.දැනට අපට තිබෙන තර්ජනය මේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට වන විවිධ හානි.විශේෂයෙන්ම නිධන් හෑරීම හා වටිනා පුරාවස්තු සොරගැනීම්. පුරාවිද්‍යාත්මක ස්ථානවලට මෙන්ම වෙහෙර විහාරස්ථානවලටත් ඒවායෙහි වැඩවසන ස්වාමින්වහන්සේටත් මේවා ආරක්ෂාකර ගැනීම ගැටලුවක්. දැනටමත් දැදිගම වැනි සමහර ඵෙතිහාසික ස්ථානවලට ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවත් සමහර ස්ථානවලට කිසිම ආරක්ෂක වැඩපිළිවෙළක් නැහැ. ඒ විහාරස්ථානවල දායක සභාව තමයි බොහෝදුරට ඒවා ආරක්ෂා කරගැනීමට කටයුතු සිදුකරන්නේ. එවැනි ශක්තියක් නොමැති ස්ථානත් අපි හඳුනාගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් ප්‍රාදේශීය ලේකම්වරුත් සම්බන්ධ කරගනිමින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, මෙම ස්ථාන සංරක්ෂණය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
දැනටමත් උපාධිධාරින් ලෙස අප වෙත අනුයුක්ත කර තිබෙන පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ උපාධිධාරින් මෙම මධ්‍යස්ථානවල සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා.ඊටත් අමතරව මේවායේ ආරක්ෂාව සම්බන්ධව බහුකාර්ය දෙපාර්තමේන්තුව යටතේ බඳවාගත් ආරක්ෂක සහායකයන් යොදවා ගැනීමට අප කළ ඉල්ලීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ ලැබී තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරු යටතේ පුරාවිද්‍යාත්මකව නම්කළ ස්ථාන සඳහා ඔවුන් අනුයුක්ත කිරීමට ඉදිරියේදී අවස්ථාව ලැබේවි. විශේෂයෙන්ම ශාසනාරක්ෂක බලමණ්ඩල අපගේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ විශාල සේවා රැසක් දැනටමත් ඉටුවෙනවා. මෙවැනි කටයුතු වලදීත් විශාල කාර්යභාරයක් ඒවාටත් පැවරෙනවා.”
![]() |
1957 වසරේ හමුවූ සාංචි ස්ථූපයේ හැඩය ගත් රන් කරඬුව |
මේ වන විට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. විහාරාධිපති හිමියන් ඇතුළු පුද්ගලයන් දස දෙනකුට අධික ප්‍රමාණයකගේ ප්‍රකාශ ලබාගෙන තිබේ.මෙම කරඬු බහා තිබූ විශේෂ වීදුරු මංජුසාව කඩා ඒ තුළට අත දැමීමේදී ඒවා සොරාගත් පුද්ගලයාගේ අතේ තිබූ රෝම හතරක් මංජුසාවේ ඇලවී තිබී හමුවූ බව පරීක්ෂණයට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවසීය. එම රෝම සම්බන්ධයෙන් ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද හෙතෙම කීය. නිල සුනඛයකු ගෙන්වා සිදු කළ පරීක්ෂාවේදී එම නිල සුනඛයා විහාරස්ථානයේ ආවාස ගෙය වෙත ගොස් ප්‍රධාන මාර්ගයට පැමිණ ඇත. ඒ අනුව සොරාගත් අය වාහනයකින් පලායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.මෙම සිද්ධිය සිදුවූ 11 දින අලුයම් කාලයේ සිට 12 වැනිදා දහවල් දක්වා කාලය තුළ විහාර පරිශ්‍රයේ සිදුවූ දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තාවක්ද කැඳවා ඇති අතර එයින් යම් වැදගත් හෝඩුවාවක් ලබාගත හැකිවෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි. විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය මාස දෙකක් තිස්සේ අක්‍රියව පැවැති බව විමර්ශනවලදී හෙළිවී ඇති අතර, මෙම පුරාවස්තු සොරාගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටි අයකු බවටද සැක කෙරේ.
දැලිවල කොටවෙහෙර කැණීම්වලින් හමුවූ පුරාවස්තු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිකිරීමට යෝජිතව තිබූ කෞතුකාගාරයේ ඉදිකිරීම් මුල්ගලට පමණක් සීමා විය. හිටපු අගමැතිවරයා විසින් තැබූ මුල්ගල වෙනුවෙන් වූ සමරුඵලකය ද මේ වනවිට පසෙක දමා ඇත.
කැණීම්වලින් හමුවන පුරාවස්තු, පුරාවිද්‍යා කෞතුකාගාර වෙත ගෙනයාමට එහි හිමිකරුවන් අකමැති වන අවස්ථාවල ඒවා අදාල ස්ථානයේ තබා ආරක්ෂාව සැලසීමේ සම්ප්‍රදායක් පවතින බව මේ සම්බන්ධයෙන් විමසීමේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පැවසීය.
එසේම 2001 වසරේ දැලිවල කොටවෙහෙරේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ මෙම රන් කරඬු බහා තිබූ සේද රෙදි කඩකින් ඔතා තිබූ ලෝහමය කරඬුව පමණක් සොරුන් විසින් ගෙනගොස් නැති බව ද මහාචාර්ය මනතුංග කියා සිටියේය.
![]() |
පොලිස් නිල සුනඛ “ඔලී“ පරීක්ෂණයට එක්වෙමින් |