
ශ්‍රී ලංකාවේ වෘත්තිය සමිති ඉතිහාසය විමසීමේදී මෙරට ආරම්භ වූ පළමු වෘත්තීය සමිතිය ලෙස සැලකෙන්නේ 1891 අප්‍රේල් 18 දා මිනුවන්ගොඩදී ආරම්භ වූ ගුරු සංගමයයි. එදා මෙදාතුර කම්කරු නායකයන්ගේ අභීත නායකත්වයෙන් සහ කම්කරුවන්ගේ ලේ දහදියෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට ආ ලංකාවේ කම්කරු සහ වෘත්තීය සටන් ව්‍යාපාරයට හෙද සේවාව එක්වන්නේ 1960 දශකයේ දෙවැනි අර්ධයේදීය. එය තවත් සුවිශේෂී වන්නේ එම සංගමයට අනුශාසකත්වය දක්වන්නේ භික්ෂුවක් වීම නිසාය. මෙරට සටන්කාමී භික්ෂු ඉතිහාසය තුළ අලුත් පරිච්ඡේදයක් ලිවීමට සමත් වූ ඒ නිර්භීත යතිවරයා අන් කිසිවකු නොව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ය.
උන්වහන්සේගේ නම සඳහන් කළ පමණින් ඕනෑම අයකුට සිහිපත් වන්නේ මෙරට රෝහල් හෙද සේවාවයි. හෙද සේවයත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නාමයත් අතර ඇත්තේ අවියෝජනීය සබැඳියාවකි. දශක පහකට අධික කාලයක් තුළ විවිධාකාර හැලහැප්පීම්වලට ලක්වෙමින් අභියෝග රැසකට මුහුණ දෙමින් මේ දක්වා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරය හොබවයි. මෙරට වත්මන් හෙද සේවාව හෙදියන් 38,321ක් පමණ සංඛ්‍යාවකින් සමන්විත වන අතර, ඉන් 28,000කට අධික පිරිසක් සාමාජිකත්වය දරනු ලබන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේය. හෙද සේවාවේ ගුණාත්මක භාවය මෙන්ම එහි උන්නතිය වෙනුවෙන් නිබඳ ඇපකැපවී සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සුවහසක් හෙද හෙදියන්ගේ ‘දුක්ගන්නාරාල’ කෙනකු බවට පත්වි ඇති බව, තම අනේකවිධ ගැටලුවලට විසඳුම් පතා දිනපතා කොළඹ, නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණෙන්නෝ නිහඬව සාක්ෂි දරති. අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් ආගමික මෙන්ම සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන උන්වහන්සේගේ වෘත්තීය සමිති ක්‍රියාකාරී චරිතය පිළිබඳ ආවර්ජනය කරන්නට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අප හා එක්වූයේ අවිවේකී බව අතර මඳ ඉසිඹුවක් ලබමිනි.
“1966 අවුරුද්දේ මම එවකට කොළඹ මහ රෝහලේ 28 වාට්ටුවේ නතර වෙලා ප්‍රතිකාර ලබමින් සිටියා. ඒ කාලෙත් මම නිතර පොත්පත් කියවනවා. විවේකී වෙලාවට වාට්ටුවේ මිසීලා ඇවිත් මගේ ළඟ තියෙන පත්තර කියවනවා. දවසක් මම මිසී කෙනෙක්ගෙන් ඇහුවා, උදේ හතට වැඩට ආව කෙනා හවස හතටත් ඉන්නවා. ඔය ළමයින්ගේ රාජකාරී වෙලාව කොච්චරක්ද කියලා. එතකොට ඒ මිසී කිව්වා, අපි උදේ හතට ඇවිත් හවස හතට ඕෆ් වෙන්නෙ. දවල්ට පොඩි විවේකයක් ලැබෙනවා, ඒත් ඕෆ් වෙලා ගෙදර යන්න බැහැ, ඒකත් මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒ කාලේ භික්ෂු වාට්ටුවේ නෙල්සන් කරුණාගම කියලා හෙද නිලධාරියෙක් හිටියා. ඔහු කලාකාරයෙක්. මම ඔහුව ගෙන්වලා පොඩි සාකච්ඡාවක් කළා හෙද සේවයේ තියෙන ප්‍රශ්න ගැන. පසුව ඔහු මගෙන් ඉල්ලීමක් කළා ඔබවහන්සේට පුළුවන්ට අපිට උපකාර කරන්න, අපි වහල් යුගයේ වගේ සේවයටම කැපවෙලා ඉන්නවා විතරයි, අපි ගැන බලන්න කවුරුත් නැහැ කියලා. ඒ කාලේ හෙද වැටුපත් ගොඩක් අඩු මට්ටමක තිබුණේ. මම ඇහුවා ඔවුන්ගෙන් ඔයාලා ගැන බලන්න සමිතියක් නැද්ද කියලා. නාමික සමිති නම් තියෙනවා, නමුත් අපි ගැන බලන්න කෙනෙක් නැහැ කියලා ඔවුන් කිව්වා. ඔවුන්ගේ ඉල්ලීම අනුව කරුණාගම මහත්මයාගේ ප්‍රධානත්වයෙන් 1966 මාර්තු 24 වැනිදා පොදු හෙද සේවා සංගමය නමින් කුඩා සංගමයක් පිහිටුවා ගත්තේ ඒ අනුවයි. එහි අනුශාසක ලෙස පත්වූ මම හෙද සේවකයන් මුහුණ දෙන සියලුම ගැටලු ගැන හොඳින් අධ්‍යයනය කළා.
ඒ වෙද්දි හෙද සේවකයන් සඳහා තවත් හෙද සංගම් 4ක් ක්‍රියාත්මක වෙමින් තිබුණත් ඒ කිසිම සංගමයකින් හෙද සේවකයන්ට සෙතක් සැලසුණේ නැහැ. අපේ සංගමය පක්ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක වූ නිසා වැඩි කාලයක් ගතවීමට පෙරම අපේ බලය වඩාත් හොඳින් තහවුරු වුණා. ඒ වෙද්දි පිරිසකට අවශ්‍ය වුණා සංගමය දෙකඩ කරලා තවත් සංගමයක් ගොඩනඟන්න. ඒ තත්ත්වය තුළ මම සංගමයෙන් ඉවත් වෙලා ඉන්නකොට තමයි වැඩිදෙනාගේ ඉල්ලීම මත නැවත සංගමයක් පිහිටුවන්න මුල් වුණේ. 1969 නොවැම්බර් 5 වැනිදා අභයාරාමයේදී සාමාජිකයන් 13 දෙනකුගේ සහභාගීත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළේ එහෙමයි. අපේ සංගමයේ බලය වැඩිවෙද්දි අර කලින් තිබුණු සංගම් සේරම දියවෙලා ගියා. අප හෙද සේවයට අවශ්‍ය සියලුම අයිතිවාසිකම් දිනාගත්තා. එදාමෙදාතුර පත්වුණු හැම ආණ්ඩුවකටම අපි කිව්වේ එකම සටන් පාඨයයි,“අපිට සලකනකොට අපි සලකනවා, අපිට හරහට හිටියොත් අපිත් හරහට හිටිනවා.”
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවේ වචනයේ බලය අවිය කරගනිමින් දිනූ වෘත්තීය සටන් ගැන සිහිකරමිනි. 1976 මැයි 11 වැනිදා දියත් වූ මෙරට ප්‍රථම හෙද සේවා වර්ජනය මඟින් දින එකහමාරකින් සිය ඉල්ලීම් දිනාගත්තේ වසර 102 ක් පැරණි වහල් සේවා වැඩ මුරය ඉවත් කරමිනි. එතැන් සිට මේ දක්වා හෙද සේවය වෙනුවෙන් උන්වහන්සේගේ නායකත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හෙද සේවකයන්ට හිමිකර දුන් ජයග්‍රහණ රාශියකි. ඒ අතරින් විධායක බලය හිතුමතේ පාවිච්චි කරමින් වෘත්තීය සමිති සංගම් පාලනය කළ ජනාධිපති ජේ.ආර් ගේ ආණ්ඩුව දණ ගැස්වීම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සටන්කාමී චරිතය ප්‍රභාවත් කළ සුවිශේෂී සිදුවීමකි.
“ජේ.ආර්. කියන්නේ මේ රටේ පහළ වූ දාර්ශනියකයෙක්. එතුමා කිව්වා මේ රටේ මට මෙල්ල කරගන්න බැරිවුණේ පුද්ගලයෝ දෙන්නයි. එක්කෙනෙක් දින 21ක වතු කම්කරු වැඩවර්ජනය කළ තොණ්ඩමන්. අනිත් පුද්ගලයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවො. එතුමා එහෙම කිව්වේ අපේ මහා හෙද වර්ජනය මෙල්ල කරන්න ගත්තු හැම උත්සාහයකින්ම එදා ආණ්ඩුව පැරදුණු නිසයි.”
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ අතීතය සිහි කරන්නේ අභිමානයෙනි.
1977දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන 1978දී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත්වූයේ එකී බලයෙන් උදම් වෙමිනි. විධායක ජනාධිපතිවරයාට කළ නොහැක්කේ මිනිසකු ගැහැනියක බවට පත්කිරීම පමණකැයි හෙතෙම වරක් ප්‍රකාශ කර තිබුණේ සිය බලපරාක්‍රමය පිළිබඳ තිබූ අසීමිත විශ්වාසය නිසා වන්නට ඇත. රාජ්‍ය සේවකයන් රුපියල් 300ක වැටුප් වැඩිවීමක් ඉල්ලා 1980 ජුලි මාසයේදී දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වුවද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිල වශයෙන් ඊට සහභාගි නොවුණේ රෝගීන්ට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙනය. එහෙත් එතෙක් දින 14ක් පැවැති රාත්‍රී රාජකාරී මුරය රජය මඟින් එක් දිනක් දක්වා අඩුකරන ලද්දේ එම සංගමයේ ඉල්ලීමක් අනුවය. ඊට අමතරව රාත්‍රී රාජකාරි මුරයේ දිනකට පැය 2ක රාත්‍රී විවේකයක් නීත්‍යානුකූලව ලබාගැනීමට හැකිවීම මෙන්ම වර්ෂයකට කාර්ය වියුක්ත නිවාඩු දින 52ක් සහ අතිරේක වැටුප් වර්ධන 3ක් ලබාගැනීමට 1984දී හැකිවීමත් සංගමය ලැබූ විශේෂ ජයග්‍රහණයන්ය. එහෙත් එවක රජය දිගින් දිගටම විවිධ අයුරින් රටේ වැඩකරන ජනතාව තළාපෙළා දමද්දී ඊට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ද තම ඉල්ලීම් දිනාගැනීමට සංවිධානය විය.
“දැන් නම් ගොඩක් අය මුලින්ම කරන්නේ ඉල්ලීම් දිනාගන්න පාරට බහින එකයි. නමුත් අපි මුලින් කළේ කළු පටි පැලඳ සේවයේ නිරත වීම, අකුරට වැඩ කිරීම, අතිකාල සේවාවන්හි නොයෙදීම වැනි සාමකාමී විරෝධතා පමණයි. ඒ කිසිවකට එදා රජය කන්නොදුන් නිසයි ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙදියන් 1986 මාර්තු 18, 19 ලෙඩ නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගත්තේ. මාර්තු 19 රජය නිවේදනයක් නිකුත් කරමින් ලෙඩ නිවාඩු දැමූ හෙදියෝ සේවය අතහැර ගියා සේ සලකන බව පැවසුවා. ඒ වගේම ජනපති ජේ. ආර්. මොනව කරුණක් ගැනවත් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය කැඳවන්නට එපා යැයි සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීන්ට උපදෙස් දී තිබුණු නිසා ඒ වර්ජනය දින 26ක අඛණ්ඩ වැඩවර්ජනයක් බවට පත්වුණා. ජනාධිපති ජේ. ආර් විසින් හදිසි නීති බලතල යටතේ එක්සත් රාජ්‍ය සේවා හෙද සංගමය තහනම් කර 1986 අප්‍රේල් 2 වැනිදා අභයාරාමයේ පවත්වාගෙන ගිය සංගම් මූලස්ථානයට සීල් තැබුවා. සංගමයේ බැංකු ගිණුම තහනම් කර, හෙදි නේවාසිකාගාරවල විදුලි බලය විසන්ධි කර සහ ජල සැපයුම ද අත්හිටුවා එක රැයින් කොළඹ සහ පිටපළාත්වල හෙදියන් දහස් ගණනක් පොලිසිය යොදා නේවාසිකාගාරවලින් එළියට දැමීමටත් කටයුතු කළා. නමුත් අපි පසුබැස්සේ නැහැ. අභයාරාමයේ ‘සුජාතා කුලඟන සමිතිය’ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන විවිධ උපාය මාර්ග තුළින් සටන දිගටම ගෙන ගියා. 1986 මාර්තු 18 ආරම්භ කළ වර්ජනය අප්‍රේල් 17 වැනිදා ජයග්‍රාහීව අවසන් කරන්න අපට හැකිවුණා.”
වරෙක හික්ෂුන් වහන්සේ නමක් හෙද සංගමයේ සභාපති කරන්නේ මන්දැයි ජනපති ජේ. ආර් ප්‍රශ්න කළ අතර, ඊට විරුද්ධව බටපොළ අනොමදස්සී නාහිමිගේ නායකත්වයෙන් පා ගමනින් ජනාධිපති මන්දිරයට ගිය භික්ෂූන් සිය ගණනකට පොලිස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඊට විරුද්ධව තෙදිනකට පසු භික්ෂූන් හත් නමක් තුන්මුල්ලේ 1986 ඔක්තෝබර් 10 මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, දෙවැනි දිනයේදී රාත්‍රී 11. 20 ට කොළඹ දකුණ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගෆූර් එහි සිටි ගලගම ධම්මරංසි, පුංචි බොරැල්ලේ සරණතිස්ස, රාජගිරියේ වජිරවංස, කිතලගම පඥ්ඥාසාර, අගුණකොළ පැලැස්සේ නාභිත, නාරංදෙනියේ නාලක, නාවිමන ධර්මපාල ආදී හිමිවරු ඇතුළු භික්ෂුන් සියලු දෙනා ට්‍රක් රථයක බලහත්කාරයෙන් දමා ගෙන මොරටුව සහ දෙහිවල සොහොනට ගෙන ගොස් දැමීමට කටයුතු කර තිබිණ. එපමණක් නොව 1986 හෙදි වර්ජනය පැවතෙන අතර අභයාරාමයට පැමිණි මැර පිරිසක් ආනන්ද හිමිට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කළේය. ඉන් කිසිවකුට හානියක් නොවූවද ඉන් නොනැවතුණු ආණ්ඩුව 1987 අගෝස්තු 1වැනිදා අභයාරාමයට පොලිස් කණ්ඩායමක් එවා ආනන්ද හිමි අත්අඩංගුවට ගැනීමට තැත් කළද අභයාරාමයට රැස්වී සිටි මැල්වත්ත සහ මහවත්තේ තරුණයෝ සහ වැඩිහිටියෝ එය වැළැක්වීය. පසුව ආනන්ද හිමි ප්‍රින්ස් ගුණසේකර මඟින් පොලිසියට බාර වූ අතර ආණ්ඩුව දින 40ක් වරාය පොලිසිය හා වැලිකඩ බන්ධනාගාරවල ආනන්ද හිමි රඳවා තැබීය. ඊට එරෙහිව වෘත්තීය සමිති නායක බාලතම්පො ජාත්‍යන්තරව ගෙන ගිය විරෝධය නිසා ආනන්ද හිමි නිදහස් කිරීමට ආණ්ඩුවට සිදු විය.
“මම හැමවෙලාවෙම කියන්නේ හෙද වෘත්තිය කියන්නේ රස්සාවක් නෙවෙයි, සේවාවක්. එක් එක් සංවිධාන දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් හෙදියෝ පාරට බස්සනවා මිසක් ඔවුන්ට ලබාදෙන දෙයක් නැහැ. නමුත් මම හැමවෙලාවෙම හෙදියන්ට කියන්නේ ඔබ රෝගීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල නොපිරිහෙළා ඉටු කරන්න. අයිතිවාසිකම් ගැන අපි මැදහත් වෙලා කටයුතු කරනවා. “තම යුතුකම් ඉටුකොට අයිතීන් දිනමු”, අපේ සංගමයේ තේමා පාඨය වගේම ආදර්ශ පාඨයත් එයමයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එසේ පැවසුවේ හෙද සේවයේ නිරත වූවන්ට තම වගකීම් පිළිබඳ යළි යළිත් අවධාරණය කරමිනි.
1943 ජනවාරි මස 26 වැනි දින කෑගල්ලේ, මුරුත්තෙට්ටුව ග්‍රාමයේ එරත්න පතිරන්නැහැලාගේ ඒබ්‍රහම් සිංඤෝ හා අලුත් ගමරාලලාගේ පොඩිමැණිකේ යුවළගේ සිවුවැනි දරුවා ලෙස උපත ලැබූ ආනන්ද හිමියෝ පැවිදි දිවියට ඇතුළත් වන්නේ වයස අවුරුදු නවයේදීය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලබා 1958 ජූලි මස 07 වැනිදා කෝට්ටේ රජමහා විහාරයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ, සසුන්ගත වූ දින පටන් නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරයේ වැඩවාසය කරමින් විහාරස්ථානයේ දහම් පාසල් පිහිටුවා අවට ගම්වාසී දරුවන් සමඟ එක්ව ධම්මාලෝක ළමා සමාජය ද පිහිටුවනු ලැබීය.
එදා මෙදාතුර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සිදුවූ ආගමික, සමාජ සහ දේශපාලන මෙහෙවර මෙවැනි සටනකට ලඝු කිරීම අසීරුය. රට විපතට පත් වූ සෑම අවස්ථාවකදීම පෙරට පැමිණෙන යතිවරයකු වන උන්වහන්සේ දිනපතා හිමිදිරි පාන්දර අවදි වී ආගමික හා සමාජයීය කටයුතු රැසක නියැළුණද ඒ කිසිවකින් විඩාවට පත්නොවෙයි. පිළිසරණක් පතා අභයාරාමයට යන කිසිවකුගේ සිත නොරිදවන උන්වහන්සේගේ මුවග ඇදෙන සුහද සිනහව මෙන්ම ළෙන්ගතු කතාබහ ඕනෑම අයකුගේ හදවතට සහන් සුවයක් ගෙනදෙන්නකි. උපේක්ෂා සහගතව අභියෝගවලට මුහුණ දෙන උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණ වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී චිත්ත ධෛර්යය අහිමි කර නොගැනීම සහ බාධාවන්හි අපේක්ෂා සුන්කර නොගැනීමය. එමෙන්ම ජනතාව මතවාදීව හැඩ ගැස්වීමේ ලා උන්වහන්සේ දැක්වූ දායකත්වය හා නායකත්වය තීරණාත්මකය;අසමසමය.
“මල් පාවඩ මතින් වගේම කටු අකුල්, ගල් මුල් උඩින් ගිහිල්ලත් තියෙනවා. අපි හැමවෙලාවෙම කළේ පුහු සටන් හෝ බොරු සටන් නෙවෙයි හරි සටන්. රෝගියා පීඩාවට පත්කරමින් කරන වැඩවර්ජන වෙනුවට රෝගියාට සාත්තු කරමින් වෙනත් උපක්‍රම භාවිත කරමිනුයි අපි වැඩ වර්ජන කළේ. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගැනීමත් හෙද සේවයේ වගකීමක්. වර්තමානයේ වරද තිබෙන්නේ හෙද හෙදියන් තුළ නෙවෙයි. ඔවුන්ට උපදෙස් දෙන පුද්ගලයන් නිසයි ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. අපි සටන් කළ යුත්තේ සටන් නොකර බැරිම තැනයි. අපි සත්‍යවාදීව කතා කරන නිසා ඇතැමුන් අපි පාවාදෙන්නන් ලෙස චෝදනා කරනවා. එය පාවාදීමක් නෙවෙයි, රෝගියාගේ අවශ්‍යතා ඉටු කිරීම අපේ පරම වගකීමයි”
උන්වහන්සේ පවසන්නේ උපේක්ෂා ගුණය පෙරදැරිවය. අවසාන වශයෙන් ජීවිතයේ පරමාදර්ශී චරිතය පිළිබඳව ද උන්වහන්සේ විමසීමි.
“මම ගුරුකොට ගත්තේ බුදුන් වහන්සේයි. බහුජන හිතාය බහුජන සුඛාය ලෙස උන්වහන්සේ දේශනා කළේ ජනතාවගේ හිතසුව පිණිස වැඩ කරන්න කියලයි. උන්වහන්සේත් ගිලනුන්ට විවිධ අයුරින් උපස්ථාන කර තිබෙනවා. ඒ බෞද්ධ දර්ශනය අනුව අනුන්ට උපකාර කිරීම මගේ ජීවිතයේ පරම සතුටයි. ඒ අරමුණම තමයි මගේ සමාජ සේවයටත් පදනම් වුණේ.”
ඒ හඬ එදා මෙන්ම අදත් ඡවසම්පන්නය.
ඡායාරූපය - රුවන් ද සිල්වා