
පුවරු අතින් ගත් පිරිසකි. සමහරු සැරයටියට වාරු දී එක් අතක සටන්පාඨ සහිත වැකි සඳහන් බෝඩ් ඔසවාගෙන සිටිති. ඒ අතර දෙපයින් නැඟී සිටීමට තවත් කෙනෙකුගේ වාරු ගත් අයද වෙති. " ජාතියේ පෙරගමන්කරුවා - විශ්‍රාම යාමෙන් පසු මහ පාරේ " -" විශ්‍රාමික අපට බීසි පෙරේරා කොමිසමේ වැටුප් විෂමතාව අහිමිද " බලධරයිනි සාධාරණය ඉටු කරනු." 1997 සිට අහිමි වූ අපේ අහිංසක ඉල්ලීම ඉටු නොකර සිටීම යුක්තිසහගත ද.? වැනි සටන් පාඨවලින් රත්නපුර නගරය ගිගුම් දෙයි. නගරයේ විවිධ කටයුතුවලට පැමිණි පිරිස් සිදු වන දේ දෙස වික්ෂිප්ත ව බලාසිටී.
පසුගිය සෙනසුරාදා උදෑසන රත්නපුර ඔරලෝසු කණුව අසලින් නැඟුණු මේ හඬ විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම අපේක්ෂාවෙන් රජයට බලකරන වීදි බැසීමක් පිළිබඳ සංඥාවක් විය.
මේ සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශ්‍රාමික ගුරු සහ විදුහල්පතිවරුන් පිරිස දෙසීයකට අධික පිරිසකි. එහිදී ඔවුන් පැවසුවේ ලංකාව පුරා මෙම අසාධාරණයට ලක්වූ හතළිස් දහසකට අධික පිරිසක් එක ධජයක් යටතේ පෙළ ගැසීමේ මංගල පියවර මෙය බවයි.
දීර්ඝකාලයක් තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිට විශ්‍රාම ගත් නිලධාරීන් වන තමන් 1997 සිට බලපැවැත්වුණු වැටුප් විෂමතාවෙන් උපරිම ලෙස බැට කෑ බව විෂමතාවට ලක් වූ විශ්‍රාමික ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු වසන්ත ධර්මසිරි මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මසිරි පැවසුවේ ‘මෑත කාලීනව ගුරු විදුහල්පතිවරුන් කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස සමස්ත විෂමතාවෙන් කොටසක් දිනා ගැනීමට සමත් වුණා. එහෙත් ඊට අදාළව නිකුත් කළ චක්‍රලේඛය අනුව 2022/1/1 දිනට පෙර විශ්‍රාම ගිය කිසිවකුට එය අදාළ කර නැහැ. චක්‍රලේඛය නිකුත් කරන්නේම ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමටයි. ඒක හදලා තියෙන්නෙත් 2018 වෘත්තීය සමිති සමඟ එකඟතාව අනුව සකස් කළ වැටුප් යෝජනාවක් අනුවයි.එම එකඟතාවය ඇතිවුණේ 1997 සිට පවතින විෂමතාව මුල් කරගෙනයි. නමුත් මේ කරුණු පදනම් ව වෙනත් අයුරකින් ඉදිරිපත් කළ 2019 ඔක්තෝම්බර් මාසයේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ අතුරු වැටුප් යෝජනාව වන්නේ ද එයමයි.ඒ අනුව සැබෑ වැටුප් විෂමතාව ආරම්භ වන්නේ 1997 /1/ 1 දින සිටයි.එසේනම් එදා සිට මේ දක්වා විශ්‍රාම ගිය සෑම විදුහල්පතිවරයකුටම සේම සෑම ගුරුවරයෙකුටමත් මේ විෂමතාවය බල පැවැත්වෙනවා. එය එසේ විය යුතුමයි. අපට කිසිම දේශපාලන පක්ෂයක් පාටක් නැහැ. අපේ අයිතිය දිනා ගැනීම සඳහා රට පුරා හතළිස් පන්දහසකට අධික අපේ සාමාජිකයන් සමඟ දැවැන්ත සටනක් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ සත්‍යග්‍රහයක් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීමට නියමිත සංදේශයක් සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට බාර දීමේ වැඩ පිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරනවා.
මෙහිදී අදහස් දැක්වූ නිවිතිගල අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික ගුරුවරියක වන වීරකෝන් මැණිකේ මෙසේ පැවසුවාය.
‘අපේ රටේ පැවති සෑම රජයක්ම විශ්‍රාමිකයා නොසලකා හැර තිබෙනවා. අපට ශක්තිය තියෙන කාලේ රටේ අනාගතය වෙනුවෙන් ගුණවත් නැණවත් පරපුරක් තැනීමේ වගකීම අපි ඉටු කළා.
දැන් ඔවුන් වගකිවයුත්තන් බවට පත් වුණාම තමන්ට උගන්වපු ගුරුවරයාව පාසලේ විදුහල්පතිවරයා ව තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මෙම සටන අපි නතර කරන්න සූදානම් නැති බව අවධාරණය කරන්න කැමතියි.
මාවනැල්ල විශ්‍රාමලත් ගුරු උපදේශක ඒ.ජී.නජිමුදීම් මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
‘1984 ගුරු සේවය පිහිටුවූවා. ඊට පස්සේ කිසිම වැටුප් වැඩිවීමක් සිදු කළේ නෑ. මේ වෙනුවෙන් අපි දිගටම අරගල කළා. 1997 බී. සී පෙරේරා කොමිසම මඟින් රාජ්‍ය සේවයට වැටුප් වැඩි කිරීමේ දී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අමතක කළා. දැන් අපට වෙන කරන්න දෙයක් නෑ.
ඉතිරි ජීවිත කාලය මහ මඟ මැරිල හරි වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම සඳහා දැවැන්ත සටනක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පිරිස් බලය හතළිස් දහසකට වැඩියි. පත්වන සෑම ආණ්ඩුවකටම අපි මේ බව පෙන්වා දීලා තියෙනවා. නමුත් ඒක බීරි අලින්ට වීණා ගහනව වගේ වුණා. ඇමතිවරු එනවා; යෝජනාව අලුත් වෙනවා.විසඳුමක් නෑ. ආණ්ඩුව පරාදයි. නැවත එන එකත් එහෙමයි. අපිව ඇපයට තියල ඉතිහාසයේ ආණ්ඩුබලය ලබා ගත් හැමෝම මේ ක්‍රීඩාව තමයි කළේ. මෙදා අපි මේ සටන ජයග්‍රහණය කරල මිසක පසු බසින්නේ නැහැ.
කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ විශ්‍රාමික උප ගුරු ජේ.පී.කමලා ජයවීර මෙසේ අදහස් දැක්වීය.
අද අපි ගොඩක් ප්‍රශ්න වලින් බැට කන පිරිසක්. බඩු මිලත් එක්ක අසීරුතා රැසකට මුහුණ දෙනවා. මාසයකට ලැබෙන විශ්‍රාම වැටුප අඩුගානේ බෙහෙත් ටික ගන්නවත් ප්‍රමාණවත් නැහැ. අපේ වැටුප් විෂමතාව ඉවත් කළොත් විශාල සහනයක් සැලසෙනවා. අපේ වයසත් එක්ක මේ වගේ විරෝධතාවලට එන එකත් ඉතා අවධානමක්. දරුවො අපි මේවට එනවට කැමති නෑ. ඒත් කරන්න දෙයක් නෑ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිවෙක් පෙනී සිටින්නෙ නැහැ.අපිව දැන් සලකන්නෙ නිසරු බිම් කඩක් වගේ. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අප විශ්වාස කරනවා අපේ සටන ජයග්‍රහණයකින් කෙළවර වෙන බව.
පේරාදෙණිය දෙනුවර අධ්‍යාපන කලාපයේ ජී.එස්.ජයසුන්දර කියන්නේ මෙවැන්නකි.
‘මම පළමුවැනි ශ්‍රේණියේ විශ්‍රාමික ගුරුවරයෙක්. අපේ වැටුප විෂමතාව ඉවත් කර දැනට තියෙන වැටුප් පියවර දෙන්න. අපි ඒකට අයත්. 1997 ඉඳලා නියම විදිහට අපේ හිඟ වැටුප් ඉල්ලුවොත් එක ගුරුවරයෙකු ට රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් ගෙවන්න වෙනවා. අපි ඒවා ඉල්ලන්නෙ නෑ. කොච්චර සාධාරණ ද.?
මේක තේරුම් ගන්න අපේ රටේ දේශපාලකයන්ටවත් පරිපාලන නිලධාරීන්ටවත් නොතේරෙන එක තමයි දුක. නමුත් ඔය රජයේ අද සිටින නිලධාරීන් කවදාහරි විශ්‍රාම ගිය දවසක තමයි මේක හරියට තේරුම් ගන්නෙ. ඒ නිසා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මහ මඟ හිඟාකන තත්ත්වය ට නොදමා සාධාරණයක් ඉටු කර දෙන්න‘
රත්නපුර ඔරලෝසු කනුව මන්සන්දියේ සිට සිය ඉල්ලීම් සහිත පූවරු අතැතිව බණ්ඩාරනායක මාවත ඔස්සේ ගමන් කර ෆර්ගසන් විද්‍යාලය අසල දී සිය සාමාජිකයින් දැනුවත් කිරීමෙන් පසුව පිරිස සාමකාමීව පිටව ගියේය.
වෙනත් උද්ඝෝෂණ වලට වඩා මෙහි සාමකාමී ගතියක් ඉස්මතු වී පෙණුනි.එනම් අතොරක් නැතිව දෙඩවිල්ලක් නැත. නහර පුප්පාගෙන දැඟලුවේ ද නැත.
විශ්‍රාමිකයා ගේ ගෞරවය නොකෙලෙසන අයුරින් සිය අහිංසක ඉල්ලීම ප්‍රබල ලෙස නඟන බවක් කාහටත් වැටහුණු බව පෙණුනි. රට වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් ගත සිත සවිය ඇතිදා කළ කැපකිරීම් වෙනුවෙන් සාධාරණයක් ඉටු වන තෙක් තවත් කොතෙක් කල් බලා සිටීම ට සිදුවේද..?