
1982 පෙබරවාරි මාසයේ තම ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට මෑතක ටෙස්ට් වරම් හිමිකර ගත් අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය සමග තවමත් ටෙස්ට් තරගවලට සහභාගි වී නොමැති නමුත්
අනික් සෑම ටෙස්ට් රටකට ම එරෙහිව එම රටවල දී මෙන්ම ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග වෙනුවෙන් සහභාගි වී ජයග්‍රහණ ද අත්කරගෙන ඇත. එනමුත් තවමත් ඔස්ට්‍රේලියාවේ දී හා ඉන්දියාවේ දී ටෙස්ට් ජයග්‍රහණ වාර්තා කර නොමැත.
මෙවර ඉන්දියාවේ සහභාගි වන තරග දෙකකින් සමන්විත තරගාවලිය ජගත් ටෙස්ට් ශුරතාවට අදාළව පැවැත්වෙන බැවින් දැනට සියයට සියයේ අනුපාතයක් වාර්තා කර අංක එක ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තම ස්ථානය තව දුරටත් රඳවා ගැනීමට නම් තරගාවලිය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබේ.නමුත් ඉතිහාසය දෙස බලන විට මෙය වඩාත් අසීරුතම අවස්ථාවක් වුව ද මේ වන විට ශ්‍රී ලංකාව පසු වන්නේ ඉතිහාසය වෙනස් කළ යුතු අවස්ථාවකය.
විශේෂයෙන්ම අතීතයේ ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ එහි දී පරාජය වීමට හේතු වූයේ ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් හට උචිත ලෙස සකස් කළ තණතීරු මත පිතිකරුවන් අසාර්ථක වීම ය.එමෙන්ම මෙම තරග අඩු දින ගණනකින් නිමා වූ අවස්ථා ද දැක ගැනීමට හැකි විණි. මධ්‍යස්ථ විනිසුරුවන් මෙන්ම විනිසුරු තීරණ නැවත විමර්ශනය කිරීම හඳුන්වා දීමට පෙර පිතිකරුවන් හට බොහෝ විට සිදු වුණේ කඩුල්ලට වඩා තම පා ආවරණයේ පන්දුව වැදීමෙන් ගැලවීමට ය.මන් ද එවන් අවස්ථාවක දැවී යාමක් සටහන් කිරීමට එදා තරග විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉන්දීය විනිසුරුවෝ කිසිසේත් මැළි නොවූ හ.
කෙසේ නමුත් මෙවර ටෙස්ට් තරගාවලිය සඳහා රෝහිත් ශර්මා ගේ නායකත්වයෙන් නම් කළ ඉන්දීය කණඩායමට අජින්කේ රෙහෙනේ, චෙස්ටේශ්වර් පුජාරා, ඉෂාන්ට් ෂර්මා, රිද්මන් ෂා යන ක්‍රීඩකයින් ඇතුළත් නොවේ. අදාළ තීරණය සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති හිටපු ක්‍රීඩක චේතාන් ෂර්මා මෙසේ පවසා තිබිණි. “දකුණු අප්‍රිකා තරගාවලියෙන් පසු මා ඔවුන් දැනුවත් කළා. ඒ තමයි මෙම තරගාවලිය සඳහා ඔවුන් තෝරා නොගන්නා බව.” එහෙයින් තමා ඔවුනට ඉන්දීය ප්‍රධාන දේශීය ක්‍රිකට් තරගාවලිය වන රංජි ශුරතා තරගවලට සහභාගි වන ලෙස උපදෙස් දුන් බව ද ඔහු පවසයි. තවද ඔවුනට තම දස්කම් මත නැවත කණ්ඩායමට පැමිණිය හැකි බව ද ඔහු පවසා ඇත.
”රෝහිත් කියන්නේ අපේ රටේ සිටින අංක එකේ ක්‍රීඩකයා. ඔහු තරග රටා තුනටම ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. " රෝහිත් ෂර්මා නායකත්වයට පත් කිරීම ගැනද අදහස් දක්වමින් ෂර්මා පවසා තිබේ. නමුත් හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් ගේ අදහස මීට වෙනස්ය. ඔහු පවසන්නේ පුජාරා හා රෙහෙනේ මේ වන විට තම 30 වැනි වියේ මැදට පැමිණ ඇති බැවින් යළි කණ්ඩායමට පැමිණීම අපහසු බවය.
“මෙම දෙදෙනාගේ ස්ථාන තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ලබා දුන් පසු ඔවුන් එම අවස්ථාව දෝතින් වැළඳ ගනීවි. මේ නිසා ඔවුනට යළි කණ්ඩායමට පැමිණීම අසීරුයි.” ඒ ගවස්කාර් දරණ මතය ය.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වඩාත් තර්ජනයක් විය හැක්කේ ඉන්දීය දඟ පන්දු යවන්නන් බව සැකයෙන් තොරව පැවසිය හැක. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ අංක එකේ තර්ජනය බවට පත්වන්නේ රවිචන්ද්‍රන් අශ්වින් බව ද නිසැකය. ඔහුට අමතරව රවින්ද්‍ර ජඩේජා,කුල්දිප් යදාව්,ජයන්ත් යදාව් මෙන්ම ටෙස්ට් වරම් ලැබීමේ දොරටුව අභියස සිටින ශාවුරබ් කුමාර් යන දඟ පන්දු යවන්නන් ද සංචිතයේ සිටිති. අනිවාර්යයෙන්ම ඉන්දියාව දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරගාවලියට පිවිසීමට ඉඩ තිබේ.
මේ අතර දිමුත් කරුණාරත්න ගේ නායකත්වයෙන් නම් කර ඇති 19 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා නවකයකු වශයෙන් පිට දඟ පන්දු යවන අශේන් බණ්ඩාර කැඳවා තිබීම විශේෂයකි. ඔහුට අමතරව දකුණත් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ මෙන්ම පළපුරුදු වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය ද මෙම සංචිතයට ඇතුළත් වෙති. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ දී තුවාල ලැබූ රමේෂ් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා සංචිතයට එක්කර ඇත.
පිතිකරුවන් වශයෙන් ළහිරු තිරිමාන්න මෙන්ම තම දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මුල්වරට නිරෝෂන් දික්වැල්ල පළපුරුදු පිතිකරුවන් ලෙස ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සමඟින් චරිත් අසලංක පිතිකරුවන් ලෙස සංචිතයේ සිටිති.
එසේම පසුගිය දා ඕස්ට්‍රේලියාවේ වේගවත් හා ඉපිලෙන තණ තීරු මත සාර්ථක වූ පැතුම් නිශ්ශංක ඉන්දියාවේ දඟ කැවෙන තණ තීරු මත පිත්ත හසුරුවන ආකාරය ජගත් විචාරකයින් දැනටමත් අවධානයට ලක්කර තිබේ. තම අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් ඇතුළුව දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර,විශ්ව ප්‍රනාන්දු,චාමික කරුණාරත්න සංචිතයේ සිටින වේග පන්දු යවන්නෝය.
මොහාලි තරගය
මෙවර මුල් ටෙස්ට් තරගය පැවැත්වෙන මොහාලි ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාව 1997-98 ටෙස්ට් තරගයකට මුහුණ දුන් අතර මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය. ඒ තරගයේ ඉන්දීය පිලේ දඟ පන්දු යවන්නන් හට වඩා වේග පන්දු යවන්නන් කැපී පෙනිණි. මෙවර දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන බැංග්ලොර් හි දී ශ්‍රී ලංකාව 1993-94 පැවති ටෙස්ට් තරගය ඉනිමකින් පරාජය විය.මෙහි මුල් ඉනිමේදී ඉන්දීය වේග පන්දු යවන්නන් ද දෙවැනි ඉනිමේ වෙන්කතිපති රාජු,අනිල් කුම්බ්ලේ,රාජේශ් චෞහාන් වැනි ඉන්දීය දඟ පන්දු යවන්නන් අතර ද ශ්‍රී ලංකා කඩුලු බෙදී ගොස් තිබුණේ ය.
දෙරට අතර 1982-83 පැවති ප්‍රථම තරගය හැරුණු විට ඉන්දියාවේ දී ශ්‍රී ලංකාව ජය පරාජයෙන් තොරව නිමා කරගෙන ඇත්තේ 1997-98 තරගාවලිය පමණි. මේ අනුව එහි පැවත්වී ඇති අනෙකුත් සෑම තරගාවලියකම ජය අත්වී ඇත්තේ ඉන්දියාවට ය. තවද අවසන් වරට 2015 ගාල්ලේ පැවති තරගයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජයට පත් කර නොමැති අතර එතැන් සිට පැවති තරග අටෙන් හයක් ඉන්දියාව ජයගෙන තිබේ. ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති තරග සංඛ්‍යාව දෙකකි.
සමස්ත තරගාවලියේ වැඩිම ලකුණු මෙන්ම ශතක වාර්තා කර ඇත්තේ සුපිරි ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඒ ශතක නවයක් සමග ලකුණු 1995 කි.එහි සාමාන්‍ය 60.45 කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ජයවර්ධන ශතක හයක් සමග ලකුණු 1822 ක් වාර්තා කර ඇත්තේ 67.48 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
සචින්,මහේල,ඩ්‍රාවිඩ්,සංගක්කාර,අරවින්ද,ෂෙවාග්,අසරුදීන්,ගංගුලි හා විරාත් කෝලි සමස්ත තරගාවලියේ ලකුණු දහස ඉක්මවා ඇති
අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 957 ක් රැස් කර තිබේ.
2009-10 මහේල ජයවර්ධන ඉන්දියාවේ අහමදාබාද් හි දී ලැබූ ලකුණු 275 මෙරට පිතිකරුවෙකු දෙරට අතර ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගයක ඉනිමක ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.
සමස්ත තරගාවලියේ මේ වනවිට කඩුලු 105 ක් දවා ඇති මුරලිදරන් දෙරට අතර ටෙස්ට් තරගාවලියේ දී කඩුලු සියය ඉක්මවා දවා ඇති එකම පන්දු යවන්නා ය. ඉන්දීය පාර්ශ්වයෙන් අනිල් කුම්බ්ලේ කඩුලු 74 ක් දවාගෙන ඇත.
ඉන්දියාවේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක ලබා ඇති අඩුම ලකුණු සංඛ්‍යාව 1990-91 චන්දිගාර් හි දී වාර්තා විය. ඒ ලකුණු 82 කි. එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ටෙස්ට් ඉනිමක වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 760/07 කි. ඒ 2009-10 අහමදාබාද් හි දී ය.
ටෙස්ට් තරග කාලසටහන
පළමු ටෙස්ට් තරගය මාර්තු 04 -08 - බින්දාර් ක්‍රීඩාංගණය - මොහාලි
දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 -16 - බැංගලෝර් හි චින්නස්වාමී ක්‍රීඩාංගණය