අත නොහැරි සටනක ප්‍රභාව විඳින කොමියුනිස්ට් පක්ෂය | සිළුමිණ

අත නොහැරි සටනක ප්‍රභාව විඳින කොමියුනිස්ට් පක්ෂය

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භය මෙරට කම්කරු පන්ති සටන් සහ අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් සටනට විශාල වශයෙන් බලපෑම් කළ වාමාංශික ව්‍යාපාරය හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොරවක් කෝරලය නියෝජනය කරමින් තේරී පත් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මෙරට සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමි නායකයකු විය. ලංකාවේ මුල්ම වාමාංශික පක්ෂය ලෙස ලංකා සම සමාජ පක්ෂය 1935 දෛසැම්බර් 18 දා බිහි වන විට දොස්තර වික්‍රමසිංහ එහි ආරම්භක නායකයකු විය. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ 1938-39 වකවානුවේ මතුව තිබූ දෘෂ්ටිමය මතභේද 1939 වන විට උග්‍ර වූයේ දෙවැනි මහා ලෝක යුද්ධය ඇරඹීමත් සමඟය. මෙම මතගැටුම් ලංකා සමසමාජ පක්ෂයට ද බලපෑ අතර, 1940 අප්‍රේල් 18 වැනිදා සමසමාජ පක්ෂයෙන් ඉවත් වූ දොස්තර වික්‍රමසිංහ ඇතුළු කොමියුනිස්ට්වාදීන් විසින් 1943 ජූලි 3 වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිහි කළහ. 

මෙරට කොමියුනිස්ට් පක්ෂයේ නිල ආරම්භය එසේ වුවද කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භය 1930 දශකය දක්වා ඈතට දිවෙන්නකි. සූරියමල් ව්‍යාපාරය(1933), කොළඹ කම්කරු සමාජය(1940), සමාජවාදී එක්සත් පක්ෂය(1940) ලෙස අවධි කිහිපයක් පසුකරමින් ඉදිරියට ආ කොමියුනිස්ට් ව්‍යාපාරය වසර 2016දී දේශපාලන පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වසර 49ක්ද, ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු 3ක් යටතේ වසර 24ක් ද කටයුතු කර ඇත. පරාජයන්, පසුබැසීම් ඇතුළු විවිධාකාර අභියෝග අතරින් මහජනතාවගේ හදවතට සමීප වූ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන්නේ ද ජාතික සහ ගෝලීය අභියෝග රැසකට රට මුහුණ දෙමින් තිබෙන පසුබිමකදීය. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ලෝකයම බරපතළ අර්බුදයකට ඇද දමා තිබෙන කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසර තුනකට වරක් පැවැත්වෙන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනය පැවැත්වීම ද මේ දක්වා ප්‍රමාද විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනය පෙබරවාරි 25, 26 සහ 27 යන දිනවලදී මාලබේ, තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

“ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තීරණ ගන්නා අවස්ථාව මෙම ජාතික සම්මේලනයයි. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වෙනවා. මේ සම්මේලනයේදී අප විසින් ගනු ලබන තීරණ ඊළඟ සම්මේලනය දක්වා ක්‍රියාත්මක වනවා. මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කිරීම සහ රහස් ඡන්දයෙන් පක්ෂයේ නායකත්වය තෝරා ගැනීම යන මූලික කරුණු දෙක සිදුවෙනවා. ඊට අමතරව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න සහ දේශපාලන කාරණා සම්බන්ධයෙන් යෝජනා සම්මත කරගැනීමක් සිදුවෙනවා. පක්ෂයේ දේශපාලන ගමන් මඟ සකස් කිරීම පහසු කරුණක් නොවෙයි. ඒ සඳහා මේ සම්මේලනයට අප විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන, සංවිධාන සහ ස්වයං විවේචන යන අංශ 3ක් සහිත වාර්තාව පදනම් කරගනු ලබනවා. එකී ස්වයං විවේචන වාර්තාවෙන් පසුගිය අවුරුදු කිහිපය තුළ පක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තිබෙන අඩුපාඩු, වැරදි සහ ඒවා නිවැරදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සඳහන් වෙනවා. දේශපාලන වාර්තාව පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් අඩුමතරමින් 15 වරක් රැස්වී පැය ගණනාවක් රැස්වී සාකච්ඡා කොට, මධ්‍යම කාරක සභාව ලෙසත් දින කිහිපයක් රැස්වී සාකච්චා කර සකස් කරනු ලැබූ ලියවිල්ලක්. ජාතික සම්මේලනය පැවැත්වීමට සති 6කට පෙර එය අපේ පාක්ෂිකයන් අතට පත්කරනු ලබනවා. සිංහල සහ ද්‍රවිඩ භාෂාවෙන් සකස් කරනු ලැබූ එම ලියවිල්ල සති 6ක් පුරා පක්ෂයේ සහෝදරවරුන් විසින් පක්ෂ ශාඛා තුළ සාකච්ඡාවට ලක්වෙනවා. ඉන්පසු පක්ෂ නායකත්වය දිස්ත්‍රික් ශාඛාවලට ගොස් ඔවුන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. එවැනි සූදානමක් ඇතිවයි ඒ නියෝජිතයන් සියලු දෙනා මෙම ජාතික සම්මේලනයට සහභාගි වන්නේ. මෙවර 25 වැනිදා දහවල් ආරම්භ කොට 27 වැනිදා දහවල් දක්වා පැවැත්වෙන සංවෘත සැසියේදී ඉහත කී වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර, වාද විවාද කර, තවදුරටත් පෝෂණය කොට එම වාර්තාව සම්මත කරගනු ලබනවා. ඉදිරි තෙවසර සඳහා පක්ෂයේ ගමන්මඟට බලපාන ප්‍රකාශනය බවට පත්වන්නේ එම වාර්තාවයි. ” 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ ජාතික සම්මේලනයේ වැදගත්කම පැහැදිලි කළේ එලෙසිනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්වරුන් ඔවුන්ගේ 22 වැනි ජාතික සම්මේලනය හරසරින් සමරනු ලැබුවේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සහ දේශපාලන පක්ෂ රැසක සුබපැතුම් ලබමිනි. චීනය, කියුබාව, වියට්නාමය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය ආදී රටවල් මෙන්ම රුසියානු කොමියුනිස්ට් පක්ෂය, උතුරු කොරියානු කම්කරු පක්ෂය, ජර්මන් කම්කරු පක්ෂය එසේ සුබපැතුම් පිරිනැමූවන් අතර වේ. මෙම සම්මේලනය පිළිබඳ අදහස් දක්වන ප්‍රකට දේශපාලන සහ සමාජ විචාරකයන් බහුතරයකගේ අදහස වන්නේ මේ වන විට රටත් ලෝකයත් මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවැනි සම්මේලනයක් ඉතා වැදගත් බවයි.

ප්‍රකට දේශපාලන විචාරක, මහාචාර්ය ගාමිණි සමරනායක පවසන්නේ මාක්ස්වාදය පමණක් නොව ජාතිකත්වය ද සැලකූ දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සිය දේශපාලන කටයුතුවලදී සියලු වාමාංශිකයන් සහ ප්‍රගතශීලීන් අතර සන්ධානයක්, මිත්‍රත්වයක් සහ සහෝදරත්වයක් ගොඩනැඟීමට කටයුතු කිරීම සුවිශේෂී ලක්ෂණයක් බවයි.

“ඒ තුළින් රටේ සමාජ, දේශපාලන සහ ආර්ථික සංවර්ධනයට දායක වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ඍජුවම තමන්ගේ ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවද රටේ යහපත ප්‍රාර්ථනා කරන දේශපාලන පක්ෂ සමඟ එකතු වී පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කළා. ඔවුන් මෙන් මමත් විශ්වාස කරන්නේ තවත් කාලාන්තරයක් විවිධාකාර ගැටලුවලට විසඳුම් සෙවීමට සිදුවී තිබෙන රටක් ලෙස නව ලිබරල්වාදය අපේ රටට උචිත නොවන බවයි. අද වන විට විශාල පක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව නොලැබුණත් ප්‍රතිපත්තිමය වශයෙන් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අත්දැකීම්, පරිණත භාවය ඉතා විශිෂ්ටයි.”

ජාතික නිදහස ලබාගැනීම සහ සමාජවාදය ස්ථාපිත කිරීම මූලික අරමුණු කොට ගනිමින් බිහිවූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එදා සිට මේ දක්වා රටටත් මහජනතාවටත් ලබාදුන් වරප්‍රසාද බොහෝය. නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය සේවා පිළිබඳ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් රට තුළ ජනමතයක් නිර්මාණය කිරීමට කටයුතු කළේ කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකත්වය, දොස්තර වික්‍රමසිංහ ය. 1945, 1946, 1947 මහා වැඩවර්ජනවලට කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ නායකත්වය දුන් අතර, මෙම අරගල හරහා පූර්ණ නිදහස පිළිබඳ ඉල්ලීම් ඉදිරියට ගෙන යනු ලැබිණ. පැය 08 වැඩ දිනය, විශ්‍රාම වැටුප, නිවාඩු හා අතිකාල දීමනා වැනි අයිතීන් මෙම වර්ජන රැලි හරහා වැඩකරන ජනතාවට දිනාදුන්නේය. කම්කරු පන්ති ව්‍යාපාරයේ ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල නායකත්වයෙන් සිදු කෙරුණු 1953 හර්තාලය මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ මහා අරගලයක් විය. 1956දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය පිහිටුවීමට මඟ පෑදුණේ එකී පසුබිම තුළිනි. 1957/58 වකවානුවේ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායකත්වයෙන් පෞද්ගලික අංශයේ සිදුවූ වර්ජනවල ඉල්ලීම වූයේ අර්ථසාධක ක්‍රමයක් පිහිටුවීමයි. එම සටන්වල ප්‍රතිඵලයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල පිහිටුවනු ලැබුණු අතර, ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂය පුරෝගාමී විය. 

“රටේ වත්මන් ආණ්ඩුව ගොඩනැඟීම සඳහා ඇතිවූ සන්ධානයේ ප්‍රබල පාර්ශ්වකරුවකු බවට පත්වූ කොමියුනිස්ට් පක්ෂයේ මෙවර ජාතික සම්මේලනය ජාතික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන අවස්ථාවක්. විශේෂයෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වයන් තුළ රට ආපස්සට යාමට ඉඩ නොදී ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් රටේ වාමාංශික දේශපාලන බලවේගවල ඊළඟ භූමිකාව පිළිබඳවත් අදහසක් ලබාගැනීමට මෙම සම්මේලනය වැදගත් වෙනවා. විශේෂයෙන් ලංකාවේ නව ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැඟීමට ඉටුවන කාර්යභාරය සුවිශේෂියි.” මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එසේ පැවසුවේ කොමියුනිස්ට්වරුන්ගෙන් රටට ඉටුවූ සේවය ද ඇගයීමට ලක්කරමිනි.

ඉකුත් සියවස් කිහිපය තුළ මිනිසුන් විසින් සමාජ සංවර්ධනය පිළිබඳ අත්හදා බලන ලද ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය සහ ජාතික වාදය යන ප්‍රධාන දෘෂ්ටිවාද තුන තරගකාරී ස්වරූපයෙන් ලෝකයේ සමාජ, ආර්ථික සහ දේශපාලන වර්ධනය කෙරෙහි සුවිශාල දායකත්වයක් සැපයුවද මේ, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මානව සමාජ සංවර්ධනයේ යම්කිසි තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබෙන අවස්ථාවක් බව ආචාර්ය ටියුඩර් වීරසිංහ සඳහන් කළේය.

“2008-2009 වනවිට නව ලිබරල්වාදී මුල්‍ය වාදය මහා අර්බුදයකට ගමන් කිරීමත් සමඟ ඒ ආර්ථික ක්‍රමය තුළ ගමන් කරන සියලු ආර්ථිකයන් බිඳ වැටෙනවා. ඒ බිඳවැටීමේ උණුසුම පහවීමටත් පෙර 2020දී කොවිඩ් 19 මතුවෙන්නේ ගෝලීය ලිබරල්වාදයේම ප්‍රතිඵලයක් ලෙසටයි. දැන් පවතින්නේ කිසිම රටකට නිශ්චිතව තමන්ගේ සමාජ, ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් නැති අවස්ථාවක්. බොහෝ රටවල රාජ්‍ය නායකයන්ටත් පැරණි දේශපාලන පක්ෂවලටත් මේ අර්බුදවලින් ගොඩඒම පිළිබඳ ජනතාවට පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මෙවර ජාතික සම්මේලනය ජාතික වශයෙන් තීරණාත්මක අවස්ථාවක්. 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයට සියවසක් සපිරුණා. එයත් සුවිශේෂී ගෝලීය සංධිස්ථානයක් ලෙස සැලකෙනවා.

ආරම්භයේ සිටම කොමියුනිස්ට් පක්ෂයට රට අර්බුදයට ගිය හැම අවස්ථාවකදීම ඒ පිළිබඳ නිවැරදි විග්‍රහයක් වගේම ඒවායින් ගොඩඒමට ගත යුතු තියුණු සංවර්ධන උපායමාර්ග පිළිබඳ හෙළි කළා. කොමියුනිස්ට් පක්ෂයේ තත්කාලීන දේශපාලන දෘෂ්ටිය පිළිබඳ ලොකු විශ්වාසයක් ජනතාව තුළ තිබුණා. මේ අවස්ථාවේත් ජනතාව බලාපොරොත්තු වන්නේ මේ අර්බුදවලින් ගොඩඒම සඳහා පවතින අරාජිකත්වය සහ ව්‍යාකූලත්වය පිළිබඳ නිවැරදි විග්‍රහයක්. ඒ අර්බුදවලින් ගෙඩඒම සඳහා ඉදිරියට කුමන ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ යුතු ද යන කාරණාව පිළිබඳ තවමත් බොහෝ දේශපාලන පක්ෂවලට පැහැදිලි දැක්මක් නැහැ. විශේෂයෙන් මාධ්‍ය තුළ පවා මේ පිළිබඳ ජනතාවට නිවැරදි විග්‍රහයක් ලබාදෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ රික්තය තුළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට විශාල අවස්ථාවක් තිබෙනවා ඒ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට. විශ්වාසනීය සහ ලාංකික සන්දර්භයට ගැළපෙන ආකාරයේ සංවර්ධන මොඩලයක්,වැඩපිළිවෙළක් එහෙමත් නැත්නම් යම් ආකාරයට දෘෂ්ටියක් කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වෙයි කියලා මේ අවස්ථාවේදී සමස්ත ජනතාවම බලාපොරොත්තු වෙනවා. ”

වැඩිදුරටත් එසේ අදහස් දැක්වූ ආචාර්ය ටියුඩර් වීරසිංහ, මේ අර්බුදය පිළිබඳ විශිෂ්ට අදහස් නොමැති වීම විශාල දරිද්‍රතාවක් බවත් කොමියුනිස්ට් පක්ෂයට මිනිසුන්ගේ බුද්ධියට ඇමතීමේ හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හැකි නම්, පක්ෂ භේදයකින් තොරව සියලුදෙනාගේම සහයෝගය ඊට ලැබෙන බවත් සඳහන් කළේය. පක්ෂයක් ලෙස මේ අවස්ථාවේ වඩාත් යෝග්‍ය යන්නේ සටන් පාඨ ඉදිරිපත් කිරීම නොව පවතින තත්ත්වය හොඳින් විග්‍රහ කොට ඉන් එහාට යා හැකි යථාර්ථවාදී වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය වන දෘෂ්ටිවාදයක් ගොඩනැඟීම බවත් ඒ සඳහා සියලු දෙනා ඒකරාශි කිරීම මේ සම්මේලනයේ ප්‍රධාන අරුත විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනයේදී මූලික වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳ සාකච්ඡාවට ලක්වන බවත් මේ වන විට ක්‍රමානුකූලව ලෝකයේ රටවල් වාමාංශික සමාජවාදයට හිතකර තත්ත්වයක් වර්ධනය වෙමින් තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ පැවසීය. නව ලිබරල්වාදය කොතරම් අදක්ෂ, බෙලහීන හා හානිදායක වැඩපිළිවෙළක් ද යන්න කොවිඩ් 19 වසංගතය විසින් නිර්දය ලෙස ලෝකයට අනාවරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

“ආර්ථිකය සුවිශේෂී කාරණාවක් වන්නේ එය රටේ දේශපාලන, සමාජ ආදී සියල්ල තීරණය කරන පදනම් සාධකය බවට පත්වන නිසයි. ආර්ථිකය අර්බුදයට යෑම තුළ තවත් විශාල අර්බුද රාශියක් ඇතිවනවා. ඒ මහා අර්බුදය බරපතළ පුපුරා යෑමකට ගමන් කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා අපේ පක්ෂයේ විශ්වාසය තවදුරටත් මේ ආර්ථික ක්‍රමය තුළ නොරැඳී වහාම ඉන් ඉවත් විය යුතු බවයි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අප සකස් කරමින් සිටිනවා. මේ වන විට එහි වැඩකටයුතු සියයට 75ක් පමණ අවසන් වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එය අවසන් කිරීමට නියමිතයි. ණය උගුලක් ගැන බොහෝදෙනා කතා කළත් ණය උගුල කියන්නේ ඒ විනාශකාරී නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයේ ලක්ෂණ රැසක් අතර එක් ලක්ෂණයක් පමණයි. ඒ නිසා අවශ්‍ය වන්නේ ණය උගුලෙන් නොව ලිබරල්වාදී ආර්ථික මර උගුලෙන් රට ගලවා ගැනීමේ අවශ්‍යතාවක්. ඒ සඳහා සියලු දේශපාලන බලවේගවල පෙළගැස්මක් අත්‍යවශ්‍යයි.”

පහළොස් වැනි වියේ සිට ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කොට 1967දී 18 හැවිරිදි තරුණයකු ලෙස කොමියුනිස්ට් පක්ෂයට එක්වූ එම්.පී. චන්ද්‍රපාල, මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කරයි. ගතවූ කාලය පුරාවට විවිධ අර්බුද, හැලහැප්පීම්වලට ලක්වුවද වමේ ව්‍යාපාරය තුළ සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විසින් කම්කරු පන්තියට ලබා දුන් අයිතිවාසිකම් පිළිබඳ මෙන්ම 1971 කැරැල්ල සහ 1988-1989 භීෂණ කාලය තුළ පක්ෂයට සම්බන්ධ ප්‍රධාන නායකයන් ඇතුළු 43 දෙනකු ඝාතනය වීම ආදී මතක ඔහු ආවර්ජන කළේ කොමියුනිස්ට්වරයකු වීම පිළිබඳ අභිමානයෙනි.

“1979-1980 දක්වා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයටයි. ඒ කාලේ මිනිස්සුන්ගේ මතවලට විශ්වවිද්‍යාල තුළ හොඳ තැනක් තිබුණා. හොඳ මතවලට ගරු කළා වගේම ඒ මතවාදයන් ප්‍රචාරය කිරීමත් කළා. නමුත් අද විශ්වවිද්‍යාල තුළ අලුත් මතවාදයන්ට ඉඩ නැහැ. අලුත් මත ආවත් ඒවා ප්‍රතික්ෂේප කරලා ඉදිරිපත් කළ අයටත් තර්ජනය කරන යුගයක් අද තියෙන්නෙ. ඒ නිසාම රටේ ප්‍රශ්න දෙස යථාර්ථවාදීව බැලිය හැකි, නිවැරදිව ඒවා තක්සේරු කළ හැකි බුද්ධිමත් පරම්පරාවක් මෑතකාලයේ අපේ රටේ බිහිවුණේ නැහැ. එදා අපි කිසිම දවසක ජනතාව ප්‍රාණ ඇපකාරයෝ කරගෙන වැඩවර්ජන කළේ නැහැ. එහෙම ඉතිහාසයක් අපට තිබුණා. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ සංස්කෘතිය, පැවැත්ම විනාශ වුණා. එවැනි තත්ත්වයක් තුළ වමේ ව්‍යාපාරයට විශාල අභියෝගයක් තිබෙනවා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම සම්බන්ධයෙන්. ඒ වැඩපිළිවෙළ මේ සම්මේලනයෙන් ආරම්භ කර ජනතාව අතරට ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා.”


Comments