
රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින්නේ දැඩි අභියෝගකාරී වාතාවරණයකට වුවද ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වා මෙන්, 2021 වසරේ වෙළෙඳ භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කළ මුදල, 2020 වර්ෂයට සාපේක්ෂව 26.6% ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා වාර්තා කර තිබිණි.
• රජය තවමත් තෙල් නිකුත් කරන්නේ දැවැන්ත පාඩු පිට
• නැව් ගාස්තු 160%කට වඩා ඉහළ ගියා
• මේ වෙලාවේ මිදි, ඇපල්, රූපවාහිනි රෙදි සෝදන යන්ත්‍ර රටට ඕනෑ නෑ
එසේ වුවද, පසු ගිය 2021 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් 63% ක් වූ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වර්ගීකරණ දහයක් සඳහා ශක්තිමත් අපනයන කාර්ය සාධනයක් ද වාර්තා වී තිබිණි.
එසේම,2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන ගමනාන්තයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයට කරන ලද අපනයන, 2020 එම කාල සීමාවට සාපේක්ෂව 22.4% කින් එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 3,068.8 දක්වා වැඩි වූ බව වාර්තා විය.
ඇඟලුම් සහ රෙදිපිළි (17.89%), රබර් ආශ්‍රිත නිෂ්පාදන (වායු සහ ප්‍රතිශෝධනය කරන ලද රබර් ටයර් සහ ටියුබ් (47.62%), රබර් කාර්මික සහ ශල්‍ය අත්වැසුම් (40.47%)), සක්‍රිය කාබන් (40.29%) සහ කුරුඳු (17.18%), මෝටර් රථ වාහන අමතර කොටස් (151.34.%) ඉහළ යාම, මෙම සාධනීය වෙනසට හේතු විය.
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, දෙවැනි විශාලතම ගැනුම්කරුවකු වන එක්සත් රාජධානිය වෙත සිදු කරන ලද අපනයන පෙර වසර හා සසඳන විට, 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 933.72 දක්වා 2.55%ක වර්ධනයක් වාර්තා වී තිබිණි.
මෙම තත්ත්වය පිළිබඳ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැහැදිලි කළේ මෙලෙසිනි.
" ගිය වසරේ මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති එකී අනවශ්‍ය ආනයන තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.2ක වාහනද තිබූ බව ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණත් එය වැරැදි ප්‍රකාශයක්. වරායේ මෙතෙක් සිර වී තිබෙන වාහන නිදහස් කර ගැනීමට යම් අවසරයක් දුන් බව මුදල් අමාත්‍යතුමා අයවැයේ දී කීවා. ඒ හැරෙන්නට වාහන ගෙන්වීමට රජය අවසර දී නැහැ. නමුත් වාහන ප්‍රති අපනයනය කිරීමක් සිදු වනවා. එය කළ හැකි දෙයක්.
කෙසේ වෙතත් රජයේ ආර්ථික උපදේශක ලෙස, අත්‍යවශ්‍ය නොවන සහ අනවශ්‍යය භාණ්ඩ ආනයනයේදී අමතර බද්දක් අය කරන ලෙස අපි රජයට උපදෙස් දී තිබෙනවා. නමුත් රජය තවමත් එය ක්‍රියාත්මක කර නැහැ.
අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවලට බදු පැනවූවා නම්, මේ වෙලාවේ යම් ආකාරයකට ඒ ඉල්ලුම පහත යනවා. එය අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අවස්ථාවක රජය තවමත් තෙල් නිකුත් කරන්නේ දැවැන්ත පාඩුවක් පිට. ඒ පාඩුව තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව සහ මහජන බැංකුව වැනි ආයතනවලට දැඩිව විඳින්නට සිද්ධ වෙනවා. තෙල් මිල වැඩි නොකළොත් ලංකාවටම ඉදිරියේ දී එහි අනිසි විපාක විඳින්නට සිදු වේවි.
මේ තත්ත්වයට වගකිව යුත්තන් සොයනවාට වඩා, මෙම තත්ත්වය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමයි මේ වෙලාවේ වැදගත්. හැබැයි, ඒ සඳහා රජය අප යෝජනා කරන මෙම ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතුයි. පාවිච්චි කළ යුතුයි.
මහ බැංකුව විදියට අපි රජයට උපදෙස් දී තිබෙන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල වැඩිකළ යුතුයි. අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වැඩිපුර බද්දක් පැනවිය යුතුයි. සීමාවන් පැනවීම තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. වාහන ආනයනය කරනවා නම් ඒ සඳහා වන බදු සියල්ලම විදේශ විනිමය මඟින් පමණක් ගෙවීම් කළ යුතුයි. (එවිට රජයට ආදායමක් එන අතර විදේශ විනිමය රටට ලැබෙනවා. ) කියන යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි. මේ තමයි අපිට තිබෙන මෙවලම්. මේ වෙලාවේ මේ මෙවලම් පාවිච්චි කළොත් පමණක් මේ තත්ත්වයෙන් ගොඩ එන්න රටක් විදියට අපිට පුළුවන්.
ඒ වගේම රටක් විදියට ජනතාවත් පිරිමැසීම සඳහා ඔවුන්ගේ හැසිරීම හැඩගස්වා ගත යුතුයි. විදුලි භාවිතය අවම කරන්න කියන ඉල්ලීම, ජනතාව සුළුවට නොතකා බරපතළ ලෙස සිතට ගත යුතුයි. හැමදේම ඉස්සර සිද්ද වූ ආකාරයට කරගෙන යන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙවෙයි, අපි මේ ගෙවමින් සිටින්නේ.
ඇපල්, මිදි, දොඩම්, ටෙලිවිෂන්, වොෂින් මැෂින්... වගේ අත්‍යවශ්‍ය නොවන ආහාර සහ භාණ්ඩ ගේන අයට තවමත් ප්‍රශ්නයක් නැහැ. මේවා වෙළෙඳපොළේ ඕනෑ තරම් තිබෙනවා.හැබැයි මේවා මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ නෙවෙයි. ඒ නිසා වහාම රජය මේවාට වැඩිපුර බද්දක් අය කළ යුතුයි. මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඉදිරියේදී ගෑස් ටික, තෙල් ටික ගේන්න බැරි තත්ත්වයක් රටට උදා වනවා.ඒ නිසා, ගිය වසරේ සිදු වූ දේ මේ වසරේ සිද්ධ නොවිය යුතුයි..."
මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියන්ග දුනුසිංහ දැක්වූයේ මෙවැනි අදහසකි.
" අපේ රටේ සෑම වසරකම ආනයන අපනයන වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් මිලියන 8-10 ක් අතර පවතිනවා. මේ වසරේ විශේෂත්වය තමයි රජය අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ තහනම් කිරීම. විශේෂයෙන් රථ වාහන. මෙහිදී වැදගත් වන කාරණය තමයි, අපනයන සහ ආනයන ගණන් හදන ආකාරය. අපනයනවල ගණන් හදන්නේ, FOB කියන සංකල්පයේ සිට. ඒ තුළ, විශේෂයෙන් අපනයන වලට අදාළ රක්ෂණ හා නැව් ගාස්තු ඇතුළත් වන්නේ නැහැ.
ආනයනවලට අදාළ වන්නේ, CIF කියන සංකල්පය. ඒ තුළ රක්ෂණ සහ ප්‍රවාහන වියදම් ඇතුළත්. පසු ගිය වසරේ නැව් ගාස්තු විශාල ලෙස ඉහළ ගියා. මෙම ආනයනයේ දී සිදු වූ නැව් ගාස්තු ඉහළ යෑම හේතු කොට ගෙන ඇති වූ මිල ගණන් ඉහළ යෑම, ආනයන භාණ්ඩවල වටිනාකම ඉහළ යන්න ප්‍රබල හේතුවක් වුණා.
මේ විදියට ආනයන පරතරය ඉහළ යන්නට එක හේතුවක් තමයි, පාලනයක් තිබෙන අවස්ථාවක දී වුණත්, ලෝකයේ ම ප්‍රවාහනයට අදාළ නැව් ගාස්තු 160%කට වඩා ඉහළ යෑම.
දෙවැනි හේතුව තමයි, වසංගතයට මාස දෙක තුනකට පෙර පටන් ලෝකයේ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ගණන් ඉහළ යන්නට පටන් ගෙන තිබීම. වසංගතයේ ආරම්භයත් සමඟ සැපයුම් ජාලයේ බිඳ වැටීමත් සමඟ ලෝකය පුරා භාණ්ඩ මිල ඉහළ යන්නට පටන් ගත්තා. ඊට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
ලංකාවේ ආනයන සංයුතියෙන් පාරිභෝගික භාණ්ඩ ලෙස ගැනෙන්නේ, 20% ක විතර ප්‍රමාණයක්. 40%ක්ම තිබෙන්නේ අන්තර් භාණ්ඩ. ඉතිරි 40% අයත් වන්නේ ආයෝජන භාණ්ඩ ගනයට. අන්තර් සහ ආයෝජන භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රවාහන වියදම විශාල ලෙස බලපානවා. ඒ හරහා ආනයන වියදම ඉහළ ගියා. ලෝකයේ ම ආහාරවල මිල ගණන් ඉහළ යෑමත් මේක තමයි එකතු වුණා. අපේ රටේ ආනයන පාලනයක් තිබෙන වෙලාවක වුණත් මේ කරුණු තමයි, සමස්ත ආනයන වියදම ඩොලර් බිලියන විස්සක් දක්වා ඉහළ යන්නට බලපෑවේ.
අනික් කාරණය තමයි, ආනයන අපනයන ගණන් හදන ආකාරය අනුව, ප්‍රවාහන මිල ඉහළ යෑම සෘජුවම ආනයන තුළ අන්තර්ගතව තිබෙනවා. නමුත් ඊට සාපේක්ෂව අපනයනය තුළ එය ඇතුළත් වන්නේ නැහැ. ලෝකයේ 'භාණ්ඩවල මිල ඉහළ යෑම...' කියන හේතුව ආනයන සහ අපනයන කියන කාරණා දෙක තුළම අන්තර්ගතයි. නමුත් ආනයනවලදී එය දැඩි ලෙස බලපා තිබෙනවා.
ඔය කරුණු දෙක තමයි, පසුගිය වර්ෂයට වඩා ආනයනය සඳහා වියදම් කිරීමට රටක් ලෙස අපිට බලපෑ මූලිකම හේතු වූයේ.
ඒ වගේම, පෙර වර්ෂයේ නොතිබුණු ඇන්ටිජන් කට්ටල සහ එන්නත් ගෙන්වීම යන කාරණාත්, ඒ වසරේ ආනයනය තුළ තිබුණේ නැහැ. නමුත් 2021 තුළ ඒවා ඇතුළත් වුණා.
ඒ වගේම, සංචාරක කර්මාන්තය හරහා රටට ආ විදේශ ආදායම සහ විදේශ ශ්‍රමිකයන් රටට එවූ විදේශ විනිමය නතර වීමත් ප්‍රබල ලෙස බලපෑ අනෙක් කාරණා. ඒ අනුව, ආනයනය සීමා කිරීමට ඉතාමත් අහිතකර ලෙස බලපෑ කාරණය වන්නේ, මේ වසංගතය.
විදේශ ශ්‍රමිකයන් යළි විදේශ විනිමය එවන්නට ගත්තොත් යම් දුරකට ආනයන සම්බන්ධයෙන් තිබෙන මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වන්නට පුළුවන්. නමුත් ඩොලරයේ වටිනාකම මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ අගයක පැවතීම නම්, ශ්‍රී ලංකාවට හිතකර තත්ත්වයක් නෙවෙයි..."