ඖෂධ ගැටලුවට මිල සූත්‍රයක් | Page 3 | සිළුමිණ

ඖෂධ ගැටලුවට මිල සූත්‍රයක්

කොවිඩ් වයිරසය දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ පවා නිෂ්පාදනයන් අතරමග නතර කිරීමට සිදු වුණේ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ වනවිට රටේ ඖෂධ හිඟයක් පවතින බව සත්‍යයක්. එසේ පැවසීමෙන් සියලුම ඖෂධ හිඟයක් ඇති බව මින් අදහස් නොවේ. සමහර ඖෂධ යම් කාලයකට හිඟ වුවත් නැවත ලබා ගැනීමට හැකි වනවා. කල් ගතවන විට මෙම තත්ත්ව වඩාත් නරක අතට ගමන් කිරීමට හැකියාව පවතිනවා. මෙම හිඟ කාල වකවානු දීර්ඝ වන අතර වැඩි වශයෙන් නිෂ්පාදනවලට බලපායි.

රටට ගෙන්වන සෑම ඖෂධයකටම ගෙවීම් සිදු කරන්නේ ඇමෙරිකානු ඩොලර්වලින් නිසා ඖෂධ ආනයනය කිරීමට විවෘත කරන ණයවර ලිපිවලට අවනත වීමට බැංකුවලට නොහැති තත්ත්වයක් ඇති වී තිබෙනවා. තමන්ට ප්‍රමාණවත් තරම් ඩොලර් ලැබෙන තුරු බැංකු ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රටේ අවශ්‍යතාවට අනුව ඖෂධ ගෙන්වීම සැලසුම් නොකර පවතින ඩොලර් ප්‍රමාණයට ඖෂධ ආනයනය කිරීමයි.

කොවිඩ් වසංගත තත්වය සියලුම නිෂ්පාදකයන්ට සහ සැපයුම්දාමයට සිදු කර ඇති දැවැන්ත බලපෑම නිසා සුපුරුදු සැපයුම් මට්ටම පවත්වා ගැනීමට දුෂ්කර වීමද රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට බලපෑ තවත් කාරණයක් වෙනවා. ගෙවීම් ප්‍රමාදවීම් හේතුවෙන් සැපයුම් අඩාළ වීමද මෙහිදී සිදුවන තමත් කාරණයක්.

ශ්‍රී ලංකාවේ ඖෂධ වෙ‍ෙළඳාම නියාමනය සහ පාලනය සිදු කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්. විවිධ හේතු නිසා විශේෂයෙන්ම මෙම වසංගතය හේතුවේ සෞඛ්‍ය අංශ පනවා ඇති සීමා කිරීම් මෙන්ම සේවකයන් සේවය කැඳවීමේදී ඇතිවන කාර්යමණ්ඩල හිඟකම නිසා ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු මේ වන විට ඇණහිට තිබෙනවා. මෙයද ඖෂධ හිඟයකට බලපාන ප්‍රධානතම හේතුවක්.

මේ වන විට රටේ උද්ගතව ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස ඖෂධවල මිල වැඩිවීමක් සිදුවනවාද යන්න පෙන්වා දෙන්න පුළුවන්. මෙයට සරල පිළිතුර නම් මිල වැඩි නොකරන්නේ නම් ඖෂධ නොමැති වනු ඇති බවයි. ඖෂධවල උපරිම සිල්ලර මිල හුවමාරු උච්ඡාවචනයට අනුකූලව සකස් කිරීමට ඉඩ නොදෙන්නේ නම් අනාගතයේදී ඖෂධ ආනයනය කිරීමට නොහැකි වනු ඇත.

ඖෂධ ආනයනය කරන පිරිස් වසංගත තත්ත්වයේදී අසාධාරණ ලෙස ලාබ ලැබූ බවට පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබවට ලක් වූ මාතෘකාවක් වූණා. මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන කාරණය නම් එසේ අනිසි ලෙස ලාබ නොගත් බවයි. මෙම වසංගත කාලයේදී ඖෂධ ආනයනකරුවන් පෙර සඳහන් කළ ගැටලුවලට අමතරව තවත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වු අතර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රෝහලකට පවා යාමට නොහැකි වූයේ රටේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා වේ.

ශ්‍රී ලංකාවේ පවතින්නේ මිශ්‍ර සෞඛ්‍ය සේවා පද්ධතියකි. එය සුවිශේෂී තත්ත්වයක් ද වේ. ලොව දියුණු රටවල පවා මෙවැනි සෞඛ්‍ය සේවාවක් නැහැ. සියලු ඖෂධ මුදල් ගෙවා ලබාගත යුතු අතර නොමිලේ සෞඛ්‍ය සේවාවන් සැපයීමක් ද දක්නට නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වෙනස් බව පැවසිය යුතුයි. සෑම පුද්ගලයකුටම ප්‍රවේශ විය හැකි ඉතා කාර්යක්ෂම මහජන සෞඛ්‍ය පද්ධතියක් අප සතුව ඇත.

සමාජයේ කතාබහට ලක්වන තවත් කාරණාවක් වන්නේ රට තුළ ඖෂධ මාෆියාවක් පවතින බවයි. නියාමනය කරන ලද පුද්ගලික වෙ‍ෙළඳපොළක පැහැදිලිවම මාෆියාවක් තිබිය නොහැකියි. කෙසේ වෙතත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමය වංචනික ක්‍රියා පාලනය කිරීම වෙනුවෙන්ම පවතින්නා වූ ක්‍රමවේදයකි. නමුත් මෙම ක්‍රමවේදයන් පැවතියද ඇතැම් රාජ්‍යයන් බලයට පැමිණි විට මෙම ක්‍රමවේදයන් වංචනික ලෙස හසුරවමින් සමහර ඖෂධ සමාගම් බලය සියතට ගෙන කටයුතු කරනු දක්නට ලැබෙනවා.ඖෂධ මාෆියාවක් පවතින්නේ නම් ඉන් දැඩි හානියක් සිදුවන්නේ මහජනතාවටයි. නමුත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින නියාමනයන් සහ ක්‍රමවේදයන් නිසා මේ වන විට වෙ‍ෙළඳපොළ තුළ ඖෂධ මාෆියාවක් දක්නට නොලැබේ.

ස්ථාවර මිල සූත්‍රයක් පැවතීම මෙම ඖෂධ ගැටලුවට ඇති එකම සහ ස්ථීරසාර විසඳුම වනවා. මිල සූත්‍රයෙන් පාරිභෝගිකයා , ඖෂධ නිෂ්පාදකයා සහ වෙළෙන්දා යන පාර්ශ්ව තුනටම වාසි ලැබෙනවා.විශේෂයෙන්ම මිල සූත්‍රය හරහා වාසිය ලැබෙන්නේ රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගන්නා පිරිසට වඩා පෞද්ගලික අංශයෙන් ඖෂධ ලබා ගන්නා පිරිසටයි. රජයේ වෛද්‍යවරුන් ඖෂධයක වෙ‍ෙළඳනාමය සටහන් කරන්නේ අත්‍යවශ්‍යම කාරණයකදී පමණයි. නමුත් පෞද්ගලික රෝහලක තත්ත්වය මීට වෙනස්.

රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් නම් ඉන් ඇඟවෙන්නේ පුද්ගලයා සෞඛ්‍යාරක්ෂිත බවයි. විශේෂයෙන්ම මෙම පසුකරමින් යන කොවිඩ් වසංගත කාලය තුළ රජය සහ සෞඛ්‍ය සේවය ඉටු කරන ලද නිහඬ සේවය නොවන්නට මේ වින විට අපේ රටත් විශාලා මහනුවරක් වනු නොඅනුමානයි.

දේවිකා සිරිවර්ධන

Comments