
විදෙස් සංචාරකයන් මෙරට සංචාරයට පැමිණීමේ වර්ධනීය තත්ත්වය සංචාරක සංවර්ධන අධිකාරිය නවතම සංඛ්‍යාලේඛන අනුව තහවුරු වන අතර 2022 ජනවාරි මාසයේදී පමණක් 82,327ක විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. එහිදී වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 13,478 ක පිරිසකි.එසේම ඉන්දියාවෙන් 11,751 ක්, යුක්‍රේනයෙන් 7,774 ක්,එක්සත් රාජධානියෙන් 7,442 ක් සහ ජර්මනියෙන් 5,339 ක් වශයෙන් ජනවාරි මාසය තුළ දී සංචාරකයන් මෙරටට පැමිණ ඇත.
මෙරට සංචාරක කර්මාන්තය යළිත් සුබදායී ගමන් මාර්ගයක් වෙත මෙලෙස ප්‍රවේශ වීම ආරම්භ වී තිබියදී ඉතාම කනගාටුදායක පුවතක්ද පසුගියදා වාර්තා විය. ඒ මෙරට සංචාරයට පැමිණුනු චෙක් ජාතික තරුණයකු ඉතාම අවාසනාවන්ත ලෙස මිය යෑමයි. ජෙකොබ් සිදා නම් 28 හැවිරිදි තරුණ සංචාරකයකු මෙලෙස මරණයට පත් වුණු අතර ඇල්ල නගරයේ සංචාරක හෝටලයකදී මිතුරන් සමඟ මත්පැන් බොමින් විනෝද වෙමින් සිටියදී ඒ හෝටලයේ ඉහළ මහලේ සිට බිමට ඇද වැටීමෙන් ඔහු අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් විය.
මෙම චෙක් ජාතික තරුණයා ඉකුත් පෙබරවාරි මස 12 වැනි දින සිය මිතුරන් තිදෙනකු සමඟ මෙරට සංචාරය සදහා පැමිණ තිබුණු අතර ඔහු තම මිතුරන් තිදෙනාද සමඟ පළමුව පැමිණ තිබුණේ දකුණු පළාතේ මිරිස්ස ප්‍රදේශයටයි.
ඒ ප්‍රදේශයේ සුන්දරත්වය විඳිමින් දින කීපයක් ගත කළ ඔවුන් පෙබරවාරි මස 19 වැනි දා දහවල් යතුරුපැදි වලින් ඇල්ල නගරයට පැමිණ තිබුණු අතර ඇල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක් සිය නවාතැන ලෙස තෝරා ගත්හ.
ඇල්ල ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ඉතාම සුවිශේෂී සංචාරක පුරවරයක් ලෙස නම් දරා ඇති අතර ජෙකොබ් සිදා සිය මිතුරන්ද සමඟ ඇල්ල ප්‍රදේශයේ සිය සංචාරය ආරම්භ කරන ලදී. මේ සංචාරය නිසා ඔවුන් සියලුම දෙනා ඉතාමත් ප්‍රබෝධයට පත්ව සිටි අතර එදින රාත්‍රියේදී ඔවුන් සියලුම දෙනා එක්වී නවාතැන් ගත් හෝටලයේදී මත්පැන් සාදයක්ද පවත්වන ලදී. මෙලෙස විනෝද වෙමින් සිටින අතරතුර අලුයම 1.00ට පමණ ඔහුව ඒ හෝටලයේ දෙවන මහලෙන් පහල මාලයට ඇද වැටුණු අතර එම ඇද වැටීමෙන් බරපතළ තුවාල ලැබූ මේ චෙක් ජාතික තරුණයාව හැකි ඉක්මනින්ම දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඒ හෝටලයේ කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබුණි.
සිදුවූ තුවාල බරපතළ ඒවා වීම හේතුවෙන් ජෙකොබ් සිදා නැමැති මෙම චෙක් ජාතික තරුණයා දෙමෝදර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් සිට ඇත්තේ ජීවිතයත්, මරණයත් අතර දැඩි සටනකය. වහාම ක්‍රියාත්මක වූ ඒ රෝහලේ වෛද්‍යවරු හා සුව සේවා කාර්ය මණ්ඩලය ඔහුගේ ජීවිතය බේරා ගැනීම සදහා උපරිම පරිශ්‍රමයක් දැරුවද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් මේ තරුණයා මරණයට පත් විය.
ඉන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්.ඇම්.සෙනෙවිරත්න වීරසිංහ මහතා මෙම අනතුර සිදු වූ එම සංචාරක හෝටලයට ගොස් අදාළ නිරීක්ෂණ සටහන් කර ගත් අතර සංචාරක තරුණයාගේ මළසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් සිදු කර මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
ඒ අනුව මෙම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඇම්.කේ.බී.විජේතුංග විසින් පසුගිය පෙබරවාරි මස 22 වැනි දින බදුල්ල මහ රෝහලේ දී සිදු කරන ලද අතර ඇල්ල නගරයේ සංචාරක හෝටලයක මිතුරන් පිරිසක් සමඟ මත්පැන් බොමින් විනෝද වන අතරතුර එහි ඉහළ මහලේ සිට බිමට ඇද වැටීමෙන් හිසට, සිරුරට සහ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදු වූ බරපතළ තුවාල හානි හේතුවෙන් මේ අවාසනාවන්ත අකල් මරණය සිදු වී ඇති බවට ඔහු විසින් නිගමනය කරන ලදී.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. ජේ අපොන්සු ,බණ්ඩාරවෙල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් කුමාර යන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්.අබේගුණවර්ධන ඇතුළු නිලධාරීන් මෙම හදිසි අනතුර හා ඒ හේතුවෙන් සිදුවූ අවාසනාවන්ත මරණය පිළිබදව වැඩිදුර පරික්ෂණ පැවැත්වූ අතර මෙම තරුණයාගේ මළසිරුර චෙක් රාජ්‍යය වෙත යැවීම සදහා මෙරට තානාපති කාර්යාලයට බාර දීමට කටයුතු සිදු කරන බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. කේ. යු. ඩබ්ලිව්. අබේගුණවර්ධන සඳහන් කර සිටියේය.
විදේශිකයන් මෙරට සංචාරයන් සදහා පැමිණෙන අවස්ථාවන්හීදී සිදු වන මෙවැනි හදිසි අනතුරු හා මරණ පිළිබඳවත් එවැනි අවස්ථාවන්හීදී එලෙස ආපදාවට පත් වන එම සංචාරකයන් හා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහගෙන් අපි කරුණු විමසුවෙමු. එහිදී අදහස් දක්වා සිටි ඇය ප්‍රකාශ කර සිටියේ විදේශ සංචාරයක් සඳහා යන ඕනෑම සංචාරකයකු එලෙස සංචාරය කරන රටින් රටවලින් රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු බවයි.
පසුගිය කාල සීමාවන්හීදී ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණුනු විදේශීය සංචාරකයන් සදහා මෙලෙස රක්ෂණය වීම අනිවාර්ය වී නොතිබුණත් කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අප රටට පැමිණෙන සියලුම සංචාරකයන් රක්ෂණය වීම අනිවාර්ය කර ඇති බවද අනාවරණය කළ ඇය මෙම අවාසනාවන්ත සිදු වීමේදී අදාළ සංචාරක හෝටලයෙන් කිසියම් වරදක් සිදු වී ඇති බව තහවුරු වුවහොත් මිය ගිය එම සංචාරකයා වෙනුවෙන් එම හෝටලය විසින් කිසියම් වන්දියක් ගෙවිය යුතු බවද අවධාරණය කළාය.
"අපි හෝටල් ලියාපදිංචි කරන කොට සංචාරකයන්ගේ ආරක්ෂාව සුවපහසුව ඒ අයගේ රක්ෂණ හා වෙනත් ආවරණ පිළිබඳව සොයා බලලා තමයි අනුමැතිය ලබා දෙන්නේ. කෙසේ වුවත් මේ බීමත්කම නිසා සිදු වූ අනතුරක්. ඒ වගේම අධික බීමත්කම එම අනතුරට හා මරණයට හේතුවක් වී ඇති බවත් පේනවා. තවම පරීක්ෂණ අවසන් වී නැති නිසා මොකුත් කියන්න බැහැ. රටක් වශයෙන් අපෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් එය නිවැරදි කරන්න අපි බැඳිලා ඉන්නවා." යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර ඇල්ල ප්‍රදේශයේ කුඩා අවන්හල්වල සුරාබදු වැටලීම් සඳහා විශේෂ විමර්ශනයක් සිදු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පසුගියදා සඳහන් කර තිබුණි. ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන රැසක නිසි සුරාබදු අවසරයකින් තොරව මත්පැන් අලෙවිය සිදු වන බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ හා සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් සුරාබදු කොමසාරිස්වරයකු යටතේ විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර අති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මීට අමතරව ඇල්ල ඇතුළු සංචාරක නගරවල කුඩා අවන්හල්වල මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදීමේ නව ක්‍රමවේදයක් මුදල් අමාත්‍යාංශ උපදෙස් මත සකස් කරන බවද ඔහු සඳහන් කර ඇත.
• පසුබිම් වාර්තා
සොරණාතොට සමුහ සී.ගමගේ