
- රාත්‍රී වන විට මරණ 137ක්
නැඟෙනහිර යුක්රේනයේ හමුදා මෙහෙයවීමක් සිදුකරන බව පසුගිය බ්‍රහස්පතින්දා දිනයෙදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේය. ඒ සමඟින් ඔහු නැෙඟනහිර යුක්රේනයේ රුසියානු දේශසීමාව ආසන්නේ සිටින රුසියානු හමුදා සොල්දාදුවන්ට පවසා සිටියේ අවි බිම තබා නැවත තම ගම් බිම් කරා පිටත්ව යන ලෙසයි. ඔහු එසේ පවසන විටත් රුසියානු හමුදා රුසියානු දේශසීමාව පසුකර නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වීම අරඹා තිබුණි. ඩොන්ට්ස්ක් සහ ලුහාන්ස්ක් පළාත් දෙක තුළ ස්වාධීනතා ප්‍රකාශයකට පත් කළ ඩොන්බාස් සටන්කාමීන්ට සහය දැක්වීමක් වශයෙන් රුසියානු හමුදා මේ ප්‍රදේශ වෙත මෙහෙයවූ බව අන්තර්ජාතික මාධ්‍ය රුසියානු පාර්ශ්වය නියෝජනය කරමින් වාර්තා කර තිබිණි.
යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති සොලෙන්ස්කි කටයුතු කළ අතර තම රට වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල කරන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර බ්‍රහස්පතින්දා උදෑසන වන විට නැඟෙනහිර පෙදෙසින් විශාල පිපිරීම් ශබ්ද දෙකක් ඇසුණු බව යුක්රේනයේ සිටින සීඑන්එන් මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි. කිව් අගනුවර සිටින මේ මාධ්‍යවේදීන් පවසා තිබුණේ මේ පිපිරීම් විනාඩි තුනක් ඇතුළත සිදුවූ බවයි.
මේ අතර තවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ නැෙඟනහිර යුක්රේනයෙන් පමණක් නොව ඊශානදිග ප්‍රදේශයෙන්ද පිපිරීම් ඇසෙන බවයි.
තමන් යුක්රේනය කරා හමුදා මෙහෙය වන බවත් එයට එරෙහිවන කිනම් පාර්ශ්වයකට වුවද ප්‍රතිඋත්තර දීමට තමන් පසුබට නොවන බවත් රුසියානු නායකයා වැඩිදුරටත් පවසා තිබිණි. මේ අතර යුක්රේන විදේශ අමාත්‍යවරයා වහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ඉල්ලා සිටියේ මේ මහා පරිමාණ යුදමය වාතාවරණය වෙනස් කිරිමට කළ හැකි සියල්ල කරන ලෙසයි. ඔහු පෙන්වා දුන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීම මඟීන් රුසියාව මහා පරිමාණ යුද්ධයකට මුල පුරා ඇති බවයි.
මේ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස රටවල් රැසක් රුසියාවට සම්බාධක දැමීමට කටයතු කළ ද, එය දැවැන්ත හමුදා ශක්තියක් සහිත රුසියාවට කළ විහිළුවක් මෙන් විය. යුක්රේනය සෙස් ලෝකයෙන් ඉල්ලා සිටියේ සම්බාධක පැනවීම ප්‍රමාණවත් නොවන බවත්, වඩාත් ප්‍රබල ප්‍රතිචාර දක්වන ලෙසත්ය. එහෙත් සිතූ තරම් බටහිර ලෝකයෙන් සහයක් යුක්රේනයට ලැබෙන බව පෙනෙන්නට නැත.
මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඇතිවෙමින් පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ රුසියාව ජිවිත රැසක් විනාශ කිරීමට මුල පුරා ඇති බවයි. එමෙන්ම එහි ප්‍රතිඵලවලට රුසියාවට ද මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේය. ඒ කෙසේවුවද දැනට පෙනී යන්නේ යුක්රේනය ඔවුන් බලාපොරොත්තු වන තරමේ සහයක් ලබාදීමට යුරෝපය මෙන්ම ඇමරිකාවද සූදානම් නැති බවයි. මේ අවස්ථාවේදී රුසියාව සමඟ යුද්ධයකට පැටලීම ආර්ථික වශයෙන් තමන්ට ඉතාමත් අහිතකර බව ජර්මනිය සහ ප්‍රංශය ප්‍රධාන සෙසු යුරෝපා රටවල් හොඳින් වටහාගෙන සිටින බැවින් යුක්රේනයට වාචික සහය ලබාදෙමින් ඔවුන්ගේ යුද මානසිකත්වය ඉහළ නැංවීමට කටයුතු කළ ද යුක්රේනය වෙත හමුදා එවමින් යුද්ධයක පැටලීමට යුරෝපය තරමක් පසුගාමී වන බවක් දැකගත හැකිය.
එහෙත් තවමත් යුක්රේනයේ මානසික ශක්තිය වර්ධනය කරමින් නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටොලිටෙන්බර්ග් පවසා සිටියේ ඕනෑම වාතාවරණයක් යටතේ ‘එක පොකුරක් ලෙස‘ නේටෝ රටවල් යුක්රේනය සමඟ සිටින බවයි. එහෙත් මීට පෙර යුදමය වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ සෑම අවස්ථාවකදීම රුසියානු හමුදා මෙහෙයුම් සිදුවුවහොත් එය යුරෝපා මහාද්වීපය තුළ සිදුවන මහා පරිමාණ යුද්ධයක් වනු ඇති බව යුක්රේන ජනාධිපති සොලෙන්ස්කි පවසා සිටියද මෙවර ඔහු ජනතාව අමතමින් පවසා සිටියේ අප විසින් අප ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවයි. මේ ප්‍රකාශය මඟින් යුක්රේන ජනාධිපතිවරයා තමන් මීට බලාපොරොත්තු වූ තරම් සහයක් යුරෝපයෙන් තමන් වෙත නොලැබෙන බවට සිදු කළ ඉඟියක් ලෙස ද හඳුනාගත හැකිය. එහෙත් ලැබෙන තොරතුරු අනුව රුසියානු හමුදා ඉදිරියට පැමිණියද මේ දක්වා යුරෝපයේ සෙසු රටවලින් හෝ ඇමරිකාවෙන් යුක්රේන හමුදා සහයට තවත් හමුදා භට කණ්ඩායම් පැමිණි බවට වාර්තා වී නොමැත.
මේ අතර රුසියානු හමුදා මෙහෙයුම් අරඹන බවට රුසියානු ජනධිපති පුටින්ගේ නිල ප්‍රකාශය වාර්තා වීමත් සමඟම වසර හතකට පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 පසු කර ගිය බව වාර්තා විය. මේ අනවශ්‍ය යුද්ධය කොරෝනාවෙන් පීඩාවට පත්වූ ලෝකය මත අනවශ්‍ය බරක් පටවන බවට නම් කිසිඳු සැකයක් නැත. වසර දෙකක් පුරාවට සමස්ත ලෝකයේ ආර්ථික කටයුතු අඩපණ වූ අතර එය යළි සාමාන්‍ය අතට පත්වී තවමත් සය මසක් හෝ ගත වී නොමැත. මේ අතරට අනවශ්‍ය යුද බරක් ලෝකය මත පැටවෙන්නේ නම් එයින් දුක් විඳින්නේ සමස්ත ජනතාවම විය හැකිය. මේ තත්ත්වය සැබවින්ම සමාන කළ හැකි වන්නේ අදින් හරියටම වසර සියයකට පෙර සමස්ත ලෝකය මුහුණ දුන් තත්ත්වයටය. ඒ කොවිඩ් වසංගතයට පෙර අවසන් වරට ලෝකය පුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ වසංගතය අවසානයේ දෙවැනි ලෝක යුද්ධය හට ගත් අන්දම මතකයට නැඟිම වැළැක්විය නොහැකිය.
ඒ කෙසේ වුවද යුක්රේනයට සහය දක්වමින් වහසි බස් දෙඩුවද රුසියාවට එරෙහිව යුරෝපා රටවල් හමුදා මෙහෙයුම් සිදු කරාවිය යන්න තවමත් විශ්වාසය තැබිය නොහැකිය. එසේ වුවහොත් වන්නේ රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශය ඩොන්බාස් කැරලිකරුවන් හෙවත් රුසියානු හිතවාදීන් අතට පත් කර යළිත් පෙරළා රුසියාවට යන අන්දම බලා සිටීමට යුරෝපා නායකයන්ට සිදුවීමය. බොහෝවිට පුටින් ඩොන්බාස් පමණක් අත්පත් කර ගැනීමෙන් නතරවනු ඇතැයි සිතිය හැකිය. ඒ මන්දයත් උපායමාර්ගික ලෙස ඩොන්බාස් ප්‍රදේශය පමණක් හෝ රුසියානු හිතවාදීන් අතට පත්ව තිබීම රුසියාවට ප්‍රමාණවත් වන නිසාවෙනි.
යුරෝපා රටවල් කෙලෙස පැවසුවද යුරෝපා මහාද්වීපයේම බලශක්තිය රැඳී ඇත්තේ රුසියාව මතය. රුසියාව ගෑස් සැපයුම අඩාළ කළ හොත් සමස්ත යුරෝපයටම එක මොහොතක තම කර්මාන්ත නවතා දැමීමට සිදුවනු ඇත. රුසියාව සමඟ යුද වැදීම යුරෝපයට කොතරම් අවධානම්ද යන්න වටහා ගැනීමට මේ සරල උදාහරණය පමණක් ප්‍රමාණවත්ය. අනික් අතට නේටෝ හමුදා යුක්රේනය කරා ගමන් කර රුසියානු හමුදා සමඟ ගැටුම් ඇති කර ගත හොත්, නේටෝ හමුදා සහයට ඇමරිකාව හමුදා මෙහෙයුම් සිදු කළ හොත් චීනයද රුසියාවේ සහයට හමුදා මෙහෙයවනු ඇති බව අනුමාන කළ හැකිය. එසේ වුවහොත් මුළු ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයක් කරා ගමන් ගැනීම වැළැක්විය නොහැකි වනු ඇත.
දැනට පවතින තත්ත්වය මෙසේ වුවද පැවසිය යුතු එක් දෙයක් තිබේ. ඒ යුද්ධය තරම් අසුන්දර දෙයක් මේ ලොව තවත් නොපවතින බවය. සටන් ආරම්භ කෙරුණූ බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට යුක්රේන වාර්තා අනුව මියගිය සංඛ්‍යාව 137ක් විය. ඒ අතරට සොල්දාදුවන් මෙන්ම යුක්රේන සිවිල් වැසියන්ද අයත් විය. රුසියා ඇමරිකා සීතල යුද්ධය රුසියානු සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟ අවසන් වූ බව පැවසුනද මේ යුක්රේනය අද මුහුණ දෙන තත්ත්වය වුවද ඇතිවී තිබෙන්නේ රුසියා ඇමරිකා සීතල යුද්ධය හේතුවෙන්ම බව පැවසිය හැකිය. මේ මොහොතේ මේ බලවතුන් දෙදෙනාගේ කඹ ඇදීමට මැදිවී ඉතා කනගාටුදායක වාතාවරණයකට මුහුණ දෙන යුක්රේන වැසියන් කෙරෙහි සමස්ත ලෝකයේ අවධානය යොමු විය යුතුය. යුක්රේනය තවත් ඉරාකයක්, ඇෆ්ගනිස්ථානයක් නොවීමට වගබලා ගත යුතුය. වඩාත්ම අවධානය යොමු විය යුතු කරුණ වන්නේ මේ යුද්ධයට විරෝධය දක්වමින් දහස් ගණන් රුසියානුවන් ද වීථි බැස විරෝධතා දැක්වීමය. රුසියානු බලධාරීන් අවම තරමින් තම ජනතාවට ඇහුම්කන් දීමට කාරුණික විය යුතුය.
අති උතුම් පාප් වහන්සේ පසුගිය බදාදා දිනයේදී යුක්රේනය සම්බන්ධව තම අවධානය යොමු කරමින් පවසා සිටියේ ‘යුක්රේනයේ පවතින වාතාවරණය තම හද දවන‘ බවයි. යුද්ධයට අකමැති ලොව සියලුම සාමාන්‍ය වැසියෝ පාප් වහන්සේගේ අදහස සමඟ එකඟ වනු ඇති බවට කිසිඳු සැකයක් නැත. යුද ගිනි දැල් නිවී සාමය ලොව රජ වේවා යන්න අපගේද පැතුමය.