පියානෝව ඉස්සුවේ රත්තරන් ගන්නද? | සිළුමිණ

පියානෝව ඉස්සුවේ රත්තරන් ගන්නද?

පේ දේශීය සංස්කෘතිය, ජාතිකත්වය, ආගම, සදාචාරය මේ සියල්ල එකට කැටි කරමින් ජනතාවට ගුවනින් පැමිණෙන එකම ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ගුවන් විදුලි සංස්ථාව සතුව ඉපැරැණි ගීත, පටිගත කළ නාට්‍ය, සංගීත මෙන්ම තවත් බොහෝ සම්පත් ඇත. ඒ සම්පත් අතර මිල කළ නොහැකි භාණ්ඩ රැසකි. ඒ අතර ද සංගීත භාණ්ඩ ප්‍රධානය.

ඒ සංගීත භාණ්ඩ අතීතයේ සිට රැකගෙන ආවේ සමස්ත ජාතියේම වස්තූන් නිසාය. ඒවා අලුත්වැඩියාව පවා සිදු කෙරෙන්නේ කිහිප දෙනකුගේ අධීක්ෂණය යටතේය. ඒ, එම භාණ්ඩවල ඇති පෞරාණිකත්වය, අමිල වටිනාකම ගැන දන්නා නිසාය.

එහෙත් පසුගිය දිනක අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු එවන් අධික වටිනාකමකින් යුත් පෞරාණික පියානෝවක් අස්ථානගතවීමක් සම්බන්ධ කනගාටුදායක පුවතකි. තවදුරටත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ පියානෝ 3ක්ම අස්ථානගතව ඇති බවයි. මේ අවනඩුවේ ගැන අලුත්ම තත්ත්වය ගැන අපි කරුණු සොයා බැලුවෙමු.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. 

විශාල සංගීත භාණ්ඩයක් වන පියානෝවක් ගිටාරයක්, වයලීනයක් මෙන් පහසුවෙන් එහා මෙහා ගෙන හා නොහැකිය. මිල කළ නොහැකි අමිල වටිනාකමකින් යුක්ත බව කියන මේ පියානෝවේ දිග අඩි 5ක් පමණ වේ. උසින් අඩි 3 ¾ කි. පළලින් අඩි 2 ¾කි. සාමාන්‍යයෙන් එය ඔසවාගෙන යෑමට නම් පුද්ගලයන් 10ක් පමණ අවශ්‍ය වේ. එහෙත් අපට වාර්තා වන අන්දමට ගුවන් විදුලි සංස්ථාවේ පමණක් නොව බොහෝ ආයතනවල මෙවන් විශාල ප්‍රමාණයේ පියානෝ අලුත්වැඩියාවට මෙන්ම සුසර කිරීමට (ටියුන් කිරීමට) එහා මෙහා ගෙන යන්නේ නැත. පියානෝවක් සුසර කිරීමේදී (ටියුන් කිරීමට) අදාළ භූමිය ද බලපෑම ඊට හේතුවයි. එම නිසා පියානෝවක් අලුත්වැඩියා කර සුසර කිරීම සිදු කරනු ලබන්නේ පියානෝව රඳවා ඇති ස්ථානයේදීමය. එය රැගෙන යාමේදී ඇති වන භෞතික හා ප්‍රායෝගික වශයෙන් ඇති වන අපහසුතාවන්ට වඩා එය පුම්‍රඛ හේතුවකි. පියානෝව තබා ඇති ස්ථානයේ භූමියේ සමතුලිත භාවය හා භූමියේ ස්වභාවය ද පියානෝවේ සුසරතාවයට බලපාන බව සංගීත විශේෂඥයන්ගේ මතයයි.

ගුවන් විදුලි සංස්ථාවේ ද කාලාන්තරයක් තිස්සේ පියානෝ අලුත්වැඩියා කර ඇත්තේ හා සුසර කර ඇත්තේ ඒ ලෙසිනි. එමෙන්ම ඒ කාර්යය ඉතා සියුම්ව සිදු කළ යුතු නිසා තාක්ෂණික ශිල්පීන් එම ස්ථානයට ගෙන්වා අදාළ කටයුතු සිදු කරනු ලැබේ.

ගුවන් විදුලි සංස්ථාවේදී 5 වැනි මැදිරිය, 6 වැනි මැදිරිය හා 10 වැනි මැදිරියේ එවන් වටිනා පියානෝ තිබෙන අතර, සෙසු මැදිරිවල ද එවන් පියානෝ ඇතුළු සංගීත භාණ්ඩ රැසක් තිබේ. එහෙත් පසුගිය 2020 වසරේ දෙවෙනි කොරෝනා රැල්ල මිනුවන්ගොඩින් හා පෑලියගොඩින් මතුව ආ කාල සීමාවේදී එනම් 2020 වසරේ සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාලයන්ට ආසන්න දිනවලදී දෙවැනි කොරෝනා රැල්ලත් සමඟ ගුවන් විදුලි සංස්ථාවේ 6 වැනි මැදිරියේ තිබුණු මිල කළ නොහැකි වටිනා පියානෝව අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් සංස්ථාවෙන් බැහැරට ගෙන ගොස් ඇත. එවකට සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහයන් ය.

ඕනෑම ආයතනයක භාණ්ඩ ලේඛනයේ ඇතුළත් භාණ්ඩයක් ආයතනයෙන් බැහැරට ගෙන යෑමේ ක්‍රමවේදයක් ඇත.

එහෙත් 6 වැන මැදිරියේ තිබී අස්ථානගතව ඇති මේ පියානෝව සම්බන්ධයෙන් සංගීත අධ්‍යක්ෂවරයා හෝ ගබඩා පාලකවරයා එවන් දැනුම් දීමක් කර නොමැත. එය බැහැරට ගෙන යෑම වෙනුවෙන් අනුමැතියක් ද ලබා ගෙන නැත. අනුමැතියක් දුන් අයෙක් ද නැත. මේ අනුව අදාළ පියානෝව බැහැර ගෙන යෑම වෙනුවෙන් අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනගත ලියැවිල්ලක් නොමැති බවට ගුවන් විදුලි සංස්ථාවෙන් දැන ගන්නට ඇත. මෙහිදී සංගීත අධ්‍යක්ෂ හා ප්‍රකාශන තනතුර දරන්නාට විශාල වගකීමක් තිබේ. ඔහු යටතේ ඇති මෙවන් භාණ්ඩයක් අස්ථාන ගත වූ හෝ එය බැහැරට ගෙන යන්නේ නම් අනිවාර්යෙන්ම එය ඔහුගේ අනුමැතියට යටත් විය යුතුය.

එසේ අනුමැතියක් නොමැතිව යම් හෝ අයුරකින් එය ආයතන පරිශ්‍රයෙන් බැහැරට ගෙන යන්නේ නම් සංස්ථාවේ ආරක්ෂක අංශයෙන් ඒ ගැන විමසා බැලිය යුතුය. අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් ලොග් සටහනක් හෝ යෙදිය යුතුය. ගුවන් විදුලි සංස්ථාවේ 6 වැනි මැදිරිය පිහිටා ඇත්තේ කොරිඩෝවක අවසානයට වන්නට වන අතර, එහි දෙපසින්ම සීසීටීවී කැමරා ඇත. එම කැමරා අධීක්ෂණය කළේ නම් පියානෝව ගෙන ගියේ කවුරුන්ද? යන්න පැහැදිලිව තේරුම් ගත හැකි වනු ඇත.

පිළිගැනීමේ කවුන්ටරය හරහා එය ගෙන ගියේ නම් එතැනද සීසීටීවී කැමරා රැසක් ඇත. ප්‍රවෘත්ති කාමරය හරහා ගෙන ගියේ නම් එතැන ද එසේමය. ඍජුව වාහනයක් කරා ගෙන ගියේ නම් එතැන ද ආරක්ෂක අංශ සහිත කැමරා රැසක් ඇත.

පියානෝව රැගෙන යෑමට අනිවාර්යෙන්ම වාහනයක් භාවිත කළ යුතු අතර, එය සංස්ථාවේ වාහනයක් නොවන්නේ නම් වාහනය සංස්ථා පරිශ්‍රයට පැමිණි බවට අනිවාර්යෙන්ම ආරක්ෂක අංශයේ ලේඛනගත විය යුතුය. සංස්ථාවේ වාහනයක් නම් වාහනය ගියේ කොහේටද ? එහි භාරකරු වශයෙන් ගමන් කෙළේ කවුරුන්ද? වාහනයේ ගමනාන්තය කුමක්ද? යනාදී සියලු කරුණු ලේඛන ගත විය යුතුය.

අදාළ පියානෝවේ අභ්‍යන්තරයේ රත්තරන් බෝල ඇති බවට ද මේ වන විට වාර්තා වේ. එසේනම් ඒ සියල්ල ලබා ගැනීමේ අරමුණක් කවුරුන් හෝ තුළ තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකිය.

2020 වසරේදී අස්ථානගත වූ මේ පියානෝව ගැන දැන ගන්නට ලැබෙන්නේ 2021 වසර මැද භාගයේදීය. ඒ, සභාපති ධුරයට ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද පැමිණි අවස්ථාවේදීය.

දැනට වාර්තා වී ඇති අන්දමට 5 වැනි මැදිරියේ හා 10 වැනි මැදිරියේ පියානෝ ද අතුරුදන්ය. 6 වැනි මැදිරියේ තිබී අතුරුදන් වූ පියානෝව වෙනුවට එම පියානෝව බව පෙන්වමින් මේ වන විට වෙනත් පියානෝවක් ගෙනවිත් තබා ඇතත් එය පැරැණි පියානෝව නොවන බවට පියානෝව ගැන දන්නා සංස්ථාවේ සේවකයෝ පවසති.

අදාළ පියානෝව වත්තල ප්‍රදේශය කරා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. එම පියානෝව අලුත්වැඩියාවට බාරගත් තැනැත්තා යැයි පැවසෙන අයෙක් ජගත් වික්‍රමසිංහගෙන් පසුව පැමිණි ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සභාපතිවරයාගෙන් අලුත්වැඩියාවට ගෙවීමට ඇති ඉතිරි මුදල් ඉල්ලා ඇති නමුත් එහිදී ගෙවීමක් කර නැත්තේ විධිමත් ක්‍රම වේදයක් යටතේ කටයුතු සිදු නොවූ නිසා බව වාර්තා වේ.

ඕනෑම රාජ්‍ය ආයතනයක තොරතුරු ලිපි ගොනු වසර 5ක් සුරක්ෂිතව තබා ගත යුතු අතර, එය ගුවන් විදුලි සංස්ථාවට ද පොදුය. ඒ අනුව ආරක්ෂක අංශයේ ලේඛන මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයාගේ ලේඛන ද මේ අවස්ථාවේ ඉදිරිපත් කළ යුතුය. නමුත් එවැනි ලේඛන කිසිවක් නොමැති වීමෙන් අපට සිතන්නට කියන්නට බොහෝ දේ තිබේ.

ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මේ සම්බන්ධයෙන් පැවසුවේ පියානෝව අතුරුදන් වීම සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණු වහාම ඒ පිළිබඳව නීතිමය පියවර ගත් බවත් ජනාධිපතිවරයාගේ අවධානය ද මේ සම්බන්ධව යොමුව ඇති බවත්ය. පියානෝව අතුරුදන් වීම සම්බන්ධයෙන් එය අතුරුදන් වූ කාලයේ ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය එයට වගකිව යුතු බවත් අදාළ සිද්ධියට සම්බන්ධ යැයි අනුමාන කරන පිරිස් තවමත් ආයතනයේ සේවය කරන බවත් ඔහු කීවේය.

පියානෝව අතුරුදන් කාලයේ සංස්ථාවේ සභාපති ධුරය දැරූ ජගත් වික්‍රමසිංහගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ නිලධාරීන් කිහිප දෙනකුගේ ක්‍රියා කලාපයන්ට එකඟ නොවීම හේතුවෙන් තමා 2021 මාර්තු මස 15 වැනිදා සභාපති ධුරයෙන් ඉවත් වූ බවයි.

“නිලධාරීන් කිහිප දෙනෙක් නීතිය, මුදල්, පරිපාලනය වැනි කරුණු කෙරෙහි අනිසි ලෙසින් කටයුතු කරන බව පෙනුණා. මම ඒ ගැන ලේකම්වරයා හා ඇමතිතුමාටත් දැනුම් දීමෙන් පසු ඒ නිලධාරීන් අස්වුණා. මම ඉල්ලා අස්වීමෙන් පසුව ඔවුන් යළිත් ආයතනයේ සේවයට පැමිණ තිබෙනවා. සංගීත භාණ්ඩ පටිගත කිරීමේ උපකරණ ඒ ඒ අධ්‍යක්ෂවරුන් යටතේ තියෙන්නෙ. ඒවා අලුත්වැඩියා කිරීම් කරද්දි සැපයිම් අංශය හරහා කටයුතු කළ යුතුයි. එතැන විගණන නිලධාරියකුත් ඉන්නවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහි ප්‍රධාන වගකිව යුත්තෙක්. පියානෝව අතුරුදන් බව දැන ගත්තානම් වහාම පොලිසියට පැමිණිලි කරන්න තිබුණානෙ.

සංගීත භාණ්ඩ හදන්න පහසුකම් ඇතුළෙ නැහැ. ඒ නිසා බාහිර ආයතනවලින් ඒවා අලුත්වැඩියා කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න සිටින නිලධාරීන් ඒ ගැන සොයා බලා කටයුතු කළ යුතුයි. මම ඉවත් වෙලා ගියාට පස්සෙ මට මඩ ගහන්න මේ ක්‍රියාව යොදා ගෙන තියෙනවා.”

Comments