
1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස යුරෝපා සංගමය මෙරටට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?
2. යුරෝපා සංගමය ලබා දී ඇති ජී එස් පී සහනය තීරණය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සම්බන්ධව සකස්කර ඇති වාර්තාව මත පදනම්ව බව වාර්තා සඳහන්වේ. එය රටේ ආර්ථිකයට කෙබඳු බලපෑමක් කරයි ද.?
3. රටේ පවතින තෙල් අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේද.?
4. දැනට පවතින කඩදාසි හිඟය පියවා ගැනීමට සහන ලබාදීමට ඔබේ යෝජනා කෙබඳුද ?
5. මතුවෙමින් පවතින කොවිඩ් රැල්ල මර්දනයට සියලු පාර්ශ්වයන්ගේ වගකීම් නිසි ලෙස ඉටුවන්නේද?
මේ සියල්ලටම හේතුව රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයයි
- සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
1 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පනත 70 දශකයේ අග භාගයේ ගෙන එන ලද එක්තරා කාලයකට පමණක් අදාළ වූ යල් පැනගිය පනතක්. නමුත් පසුකාලීන සියලුම රජයන් මෙය පවත්වාගෙන ගියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණක් නොවෙයි අපේ රටේ බොහෝ පනත් කාලනුරූපිව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ඒ වෙනුවට නව පනත් කෙටුම්පත් ගෙන ඒමට පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂත් පාර්ලිමේන්තුවේ පිටතත් දේශපාලන පක්ෂවල පුළුල් සාකච්ජාවක් ඇතිවිය යුතුයි. යුරෝපා සංගමය කියන කාරණා කෙසේ වෙතත් අපේ රට පැත්තෙන් හිතන විට මම හිතන්නේ සමස්ත පනත් සහ ආඥාපනත් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න අවශ්‍යයි. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් අදාළයි.
2 රටේ මානව හිමිකම් හා යහපාලනය මූලධර්ම පිළිබඳ කාරණයේ වගකීම ආණ්ඩු පක්ෂයට බරපතළ ලෙස පැවරී තියනවා. විදේශයන්ගෙන් සිදුවන අතපෙවීම්, අවවාද කිරීම්, මැදිහත්වීම් හා බලපෑම් වශයෙන් කවරාකාරයෙන් ගත්තත් රටට බලපෑමක් සිදු නොවීමට රජය පැත්තෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි. එසේ නොවුණහොත් මේ රටේ ඇති ආර්ථික ප්‍රශ්න පවා දෙගුණ තෙගුණ වෙනවා. එය එසේ නොවන්න කටයුතු කිරීම රජයේ වගකීමක්. මෙහිදී විපක්ෂය විදිහට අපේ ස්ථාවරයක් පවතිනවා. ඒ තුළ කිසිදු ජාත්‍යන්තර ආයතනයකට හෝ සංවිධානයකට වැරදි චිත්‍රයක් රට පිළිබඳව පෙන්වීම හෝ කේලාම් කීම අපි සිදු කරන්නේ නැහැ. විපක්ෂයක් ලෙස අපි වගකීමෙන් කටයුතු කරනවා. අපේ පීතෘභුමිය අංක එකේ තියාගෙන අපි කටයුතු කරනවා. රජය විහින් වළවල්වල වැටෙනවා රජයේ කනගාටු දායක ඉරණම්වලට අපිට මැදිහත් වෙන්න බැහැ. අද ආණ්ඩුවේ සිටින ඇතැම් උදවිය විපක්ෂයේ ඉදිද්දී ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිහින් පෙන්වූ ආකාරයේ නාට්‍ය අපි අද පෙන්වන්නේ නෑ.
3තෙල් අර්බුදය සඳහා ඩොලර් සමඟ බැඳුණු ස්ථිර විසඳුමක් සොයාගත යුතුයි. රජය වතාවක ඉන්දියාවෙන් ණයක් ගන්නවා. එය පියවීමට නැවත තවත් රටකට ණය වෙනවා. රටක් පාලනය කිරීම ගෙදරක කටයුතු සිදුවෙන ආකාරයට සිදු කළ නොහැකියි. මේ හරහා විදුලි අර්බුදයක් තුළින් සෑම ක්ෂේත්‍රයකම දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී පවතිනවා. මේ සියල්ලටම හේතුව නම් රජයේ ඇති අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයයි.
4 මෙම ගැටලුවේ පළමු වැනි පියවර තමයි ආනයනික කඩදාසි සඳහා පනවන ලද බද්ද ඉවත් කිරීම. ඇඹිලිපිටිය හා වාලච්චේන කර්මාන්ත ශාලා වැසී ගියා. එය සිදුවුණේ 2010-2014 වකවානුවේ. යහපාලන සමයේ නොවෙයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි දේශීය කර්මාන්ත වැසී ගියේ. වර්තමානයේ මේ යථාර්ථය තුළ සියලුම ආයතනික කටයුතු පවා බිඳවැටෙන තත්ත්වයක් උදාවී පවතිනවා. ඊට අමතරව පුවත්පත්, ලිපි ලේඛන, වාර්තා වගේම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේදී පවා ගැටලු පැන නඟිනවා. එම නිසා රජය මෙම තත්ත්වයට වහාම මැදිහත් විය යුතුයි.
5 මෙහිදී අද වනවිට පෙනී යන කරුණ නම් කොවිඩ් රැල්ල මර්දනයට එන්නත්කරණය හැරුණු කොට සමාජ දුරස්ථභාවය හා අනෙකුත් වෛද්‍ය නියාමනයන් යන ක්‍රමවේදයන් ගැන රජයේ ඉහළම තැන සිට පහළම තැන වන මහජනතාව දක්වා සංවේදී නැතිවීමයි. මේ නිසා කොවිඩ් පාලනය සඳහා සෑම පාර්ශ්වයක්ම ඉතා විධිමත් ව ප්‍රායෝගික මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි මගේ මතය. උදාහරණයක් ලෙස පීසීආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සැපයිය යුතුයි. එහෙත් අද එවැන්නක් සිදුවන්නේ නැහැ. ඒ වගේම එන්නත්කරණය ගත්තත් දිගුකාලීන වැඩපිළිවෙළක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. බූස්ටර් එන්නතෙන් පසුව තවත් මාත්‍රාවක් ලබාදීමට වෙනවා නම් එයට අපි සුදානම් විය යුතුයි. මට පේන්නේ නැහැ එහෙම දිගුකාලීන දැක්මක් සහ එක ගමනක් යනවා කියලා. වෛද්‍ය උපදෙස් අනුව සැලසුමක් සකස් කළ යුතුයි. එහෙත් එවැන්නක් අද දක්නට නැහැ.
අපිට අර්බුද කළමනාකරණය කරගැනීමට හැකියාව තිබිය යුතුයි
- ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ
1 ඇත්තටම මේ රට තුළ පමණක් නොවෙයි; මෙරටේ ත්‍රස්ත්‍රවාදය සම්බන්ධයෙන් වූ අමිහිරි අත්දැකීම් පිළිබඳව ජාත්‍යන්තරය පවා දන්නා කරුණක්. ජාත්‍යන්තරයේ සහ අන්තවාදී සංවිධානවල හැසිරීම් සමඟ අපිට එකඟ වෙන්න බැහැ. මේ අයගේ ක්‍රියාකලාපයන් නවත්වා ගැනීමට, ඒවා විමර්ශනය කිරීමට, ඒ සඳහා පියවර ගැනීම මේ පනත අහෝසි කිරීමෙන් කොතෙක් දුරට හැකිවෙයිද යන්න පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ වැනි අවස්ථාවකදී රට මුහුණ දෙන්නේ බරපතළ තත්ත්වයකටයි; අපි දන්නවා රටක් විදිහට 2005 වන තෙක් තිබුණ අභියෝග. ඒ බරපතළ යුද්ධය අපි අවසන් කළා. ඒ අවස්ථාවේදී ත්‍රස්ත්‍රවාදය මර්දනය කළේ මේ අණපනත් උපයෝගි කරගනිමිනුයි. ඉන්පසුව අපිට තිබුණ අභියෝගය රට සංවර්ධනය කරා ගෙන යාමයි. පසුගිය කාලයේ නැවතත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඉස්මතු වූ නිසා සංවර්ධනය කරගත් රට කඩාවැටීම සිදු වුණා.මෙවැනි මුලාරම්භ නැවත වරක් ඒ තත්ත්වය නිර්මාණය කිරීමට සමත් වෙනවා. අපට මෙන්ම කලාපිය රටවල්වල ඒ අවධානම තියෙනවා. ලෝකයේ නොයෙක් තැන්වල ඒ අභියෝගය තිබියදී අපි ත්‍රස්තවාදය නැහැ කියලා මාවාපාලා කටයුතු කිරීම වගකිම් විරහිත දෙයක්. එයට අපි එකඟ නැහැ.
2 මානව හිමිකම් සම්බන්ධයෙන් රටක් ලෙස අපි සැලකිය යුතු හොඳ ස්ථාවරයක ඉන්නවා. මානව හිමිකම් සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් ගන්නා ක්‍රියාකලාපය සහ වෘත්තිකයන් ගන්න ක්‍රියාමාර්ග වුවත් ඒ අයගේ නිදහසේ සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒත් මර්දනය කරන්න රාජ්‍ය කැරලි මර්දනය වැනි දේවල් පාවිචිචි කරන්නේ නැහැ. ඒවාට ජනාධිපතිවරයා ඉඩ දීලා තියෙනවා. අන්තවාදීව රට තුළ හැසිරෙන පිරිස් සිටින වාතාවරණක් තුළ ජාත්‍යන්තරයේ සමුළු සහ සම්මේලනයන් පවත්වමින් විවේචනය කරන අය තීන්දු කරන්න අවශ්‍යයි; රටේ එවැනි මර්දනයන් වෙනවාද කියලා. පසුගිය කාලයේ වුවත් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ඒ අය දුටුවා. මානව හිමිකම් කඩවෙලා තියෙනවා ද කියන්න ඒ අය දන්නවා. ඒ අය තීන්දු කරන්න අවශ්‍යයි; සාධාරණව එසේ මානව හිමිකම් කඩවෙනවාද කියලා. කෙසේවුවත් ජීඑස්පි සහනය අපගේ රට වැනි රටවල්වලට ගොඩක් වටිනවා. ජිඑස්පි සහනය වගේම රටක් ලෙස අනාගතයේදී අපේ පරපුරට සුරක්ෂිතතාවක් අවශ්‍යයි. රටේ සුරක්ෂිතතාව පවත්වාගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට අනුකුලවයි විය යුත්තේ. අපේ විදෙස් කටයුතු අමාත්‍යාංශයත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරාවි. කලාපිය සහයෝගීතාව අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒනිසා යුරෝපා සංගමයට ඒ තුළින් යම් පණිවුඩයක් ලබා දෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ. අපේ රටට මෙවැනි සිල්ලර චෝදනා කරමින් ජිඑස් පි සහනය අහිමි කළහොත් එයට මුහුණ දෙන්න රටක් ලෙස අපිට ශක්තිමත් භාවයක් තිබිය යුතුයි.
3 තෙල් වැනි දෙයක් අපේ රටේ නිෂ්පාදනය නොවෙන නිසා පවතින අර්බුදය සම්බන්ධයෙන් කළමනාකාරිත්වය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. අදාළ ඇමැතිවරුන්ට බලය දීලා තියෙනවා. අදාළ විෂය සම්බන්ධයෙන් අනාගතය දෙස බලලා ඒවා අනාගතයට ගළපා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපේ රටේ ඉදිරියේදී ඇතිවිය හැකි සිමෙන්ති හිඟයට අවශ්‍ය නිෂ්පාදනය කිරීමට අපි ඉදිකිරීම් අමාත්‍යාංශය විදිහට පෙර සුදානමක් ඇතිව සිටිනවා. ඒ සඳහා කර්මාන්ත ශාලාවක් වසර දෙකකට පෙර ස්ථාපිත කරලා තියෙනවා. එහිදි අවශ්‍ය ප්‍රමාණයට සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ එකහමාරක් නිෂ්පාදනය කරගැනීමට හැකියාවක් තියෙනවා. එලෙස අපිට මේ අර්බුදයන් කළමනාකරණය කරගැනීමට හැකියාව තිබිය යුතුයි. තෙල් සම්බන්ධයෙන් වුවද බලශක්ති අමාත්‍යාංශය පෙර සුදානමක් හදා ගන්න අවශ්‍යයි; එයට අවශ්‍ය මුල්‍ය කළමනාකරණයන් ආදේශකයන් වියදම් අඩු කරගැනීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. ඩොලර් නැතිවුණ හොත් අපි යායුතු වන්නේ කොතැනකටද වැනි වැඩපිළිවෙළක් අපි සකස් කරගත යුතුයි.
4 අපිට මේ සම්බන්ධයෙන් අපි යායුතු වන්නේ තාක්ෂණික වැඩපිළිවෙළක් නොව ප්‍රායෝගික තළයේ වැඩපිළිවෙළකටයි. අපේ රටේ යම් ප්‍රමාණයක් කඩදාසි නිර්මාණය කරනවා. ඒ නිෂ්පාදන පුවත්පත්වලට සහ අනෙකුත් අවශ්‍යතාවන්ට සරිලනවාද යන්න අපි දන්නේ නැහැ. නමුත් අපිට කඩදාසි නිෂ්පාදනය කළ හැකි අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රට තුළ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අමුද්‍රව්‍ය යොදාගෙන අපේ රටට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයක කර ගන්නවා නම් එය කාලීනයි. නිෂ්පාදන ආර්ථිකයට රට ගන්නා ආකාරය පිළිබඳයි සෞභාග්‍යයේ දැක්මේ තියෙන්නේ. අලුත් තාක්ෂණය අනුව මාර්ගගත ක්‍රමවේදයන් ප්‍රගුණ කළ යුතුයි. අපේ බොහෝ රජයේ කාර්යාලයන්වල ගතානුගතික ක්‍රමවේදවලට අනුව කරන ලිපිලේඛන තවමත් ක්‍රියාත්මකයි. පුවත්පත් වුවත් ඊ පුවත්පත් බවට පත් කළ හැකියි.
5. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ ආරක්ෂක අංශවලට තිබූ වැඩි අවධානම අඩු වෙලා තියෙනවා. ව්‍යාප්තිය වැඩිවුවත් අවධානම අඩු වෙලා තියෙනවා. ඒත් ව්‍යාප්තිය අඩු කළ යුතුයි. අපේ ආරක්ෂාව අපි සලසා ගැනීම වඩා වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා.
ජනතාව දන්නවා කොවිඩ් දේශපාලන ක්‍රීඩාවක් කියලා
- ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
1 ජනතා විමුක්ති පෙරමුණ විදියට පැහැදිලිව කියන්නේ මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අපි මුලසිටම හිටපු ස්ථාවරය තමයි මෙය සම්පුර්ණයෙන්ම අහෝසි විය යුතුයි යන්න. මේ පිළිබඳ ව යුරෝපා සංගමයේ ස්ථාවරයට පෙර අවුරුදු හතළිහක සිටයි අපි ඒ මතවාදයේ හිටියේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් වැළැක්වූ ත්‍රස්තවාදයක් නැහැ. මෙයින් ත්‍රස්තවාදය ඇති වීමයි සිදුවුණේ. මෙය උපයෝගී කරගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක වූ සාමාන්‍ය නීතිය තමන්ට අවශ්‍ය ආකාරයෙන් අත්තනෝමතික ලෙස හැසිරවීමේ ඉඩකඩ ලබා ගැනීමයි. ත්‍රස්තවාදය වැළැක්වීම කෙසේ වෙතත් ඇතිවීම මේ නිසා සිදුවුවා යැයි කීවොත් නිවැරදියි. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට යෑම පාලකයන් විසින්ම උල්ලංඝනය කිරීමයි සිදුවුණේ. ඒනිසා මෙම පනත රටේ ආරක්ෂාවට හා සාමයට තර්ජනයක්. පවතින සාමාන්‍ය අපරාධ නීතිය රටට ප්‍රමාණවත්. ඒ නිසා මෙම පනත අනිවාර්යෙන් අහෝසි විය යුතුයි.
2 මෙම gsp+ බදු සහනය නිසා රටට යම් ආර්ථිකමය වාසියක් ඇති වෙනවා. නමුත් අපේ පණනල රැකී තියෙන්නේ ජීඑස් පී ප්ලස් එක නිසා නොවෙයි. මේ වෙලාවේ විදෙස් විනිමය අර්බුදය එනම් ඩොලර් අර්බුදය නිසා අපනයනයන් සිදුකිරීමෙන් යම් කිසි ආර්ථික වාසියක් තියෙනවා. අපේ රටේ පාලකයන් මානව හිමිකම් කඩකිරීම පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපි දකින දෙයක්. මේ රටේ පාලකයන් නීතිය හා නීතියේ ආයතන අමු අමුවේ අව භාවිත කිරීමක් දක්නට ලැබෙනවා. මේ හේතුව නිසා ලංකාවට එරෙහි හා හිතවත් සියලුදෙනාට මානව හිමිකම් උල්ලංඝනය පැත්තෙන් චෝදනා ගොනු කිරීමේ වටපිටාව ආණ්ඩුව විසින්ම නිර්මාණය කරදී තිබෙනවා. යුරෝපා සංගමය හෝ මානව හිමිකම් කොමිසම හරහා බාහිර ප්‍රශ්න කිරීම් නොවෙයි අපි අදාළ කරගත යුත්තේ. මෙරට ජනතාවගේ මානව හිමිකම් සුරැකීම පාලකයන්ගේ වගකීමක්.
3 වර්තමානය වන විට ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට පත්වී තිබෙනවා. ඒ ඇතුළේ තෙල් අර්බුදය පමණක් නොවෙයි; කිසිවක් ආණ්ඩුවට කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව පවතිනවා. තෙල් ගෙනෙන්නේ පිටරටින්. නමුත් රටේම කළමනාකරණය කරගත හැකි සහල් ප්‍රශ්නය වැනි දේ පවා ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා. හාල් හිඟයක් ඇතිවෙන්නේ ඉදිරියේ අස්වනු නෙළන මේ කන්නයේදියි. අප්‍රේල් හා මැයි මාස පසුවී තමයි හිඟයක් ඇතිවන්න පටන් ගන්නේ. නමුත් වර්තමානයේ සහල් හිඟයක් නිර්මාණය කර තිබෙනවා. පාලන මිල ඉවත් කිරීම තුළ නිදහසේ මිල තීරණය වන්නට ඉඩ ලබාදී තිබෙනවා. රටේ ඇති වී අස්වැන්න කළමනාකරණය කිරීමට නොහැකි අය තෙල් කළමනාකරණය කරන්නේ කොහොමද? සමහර ප්‍රශ්න තිබෙනවා දිගුකාලීන විසඳුම් නොසොයා සිටීම තුළ උග්‍ර පිළිකා බවට පත්වී තියෙනවා. මේ ප්‍රශ්නයත් එහි දිගුවක්. වර්තමාන සහල් හිඟය සහ මිල ඉහළ නැංවීම මේ රටේ කළුකඩ හිමිකරුවන්ගේ ජාවාරමක්. එය පාලනයට වත්මන් ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. එයට ඩොලර් බලපෑමක් කොහෙත්ම නෑ. තෙල් කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ.
4 මෙම ගැටලුව කොපි පොතේ සිට අච්චු පොත දක්වාම බලපා තිබෙනවා. ලේඛන කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහාත් මේ තත්ත්වය විශාල බලපෑමක් ඇති කරනවා. අද වනවිට කඩදාසි අධ්‍යාපන කටයුතුවල සිට බොහෝ ක්ෂේත්‍රවලට අවශ්‍යයි. ලේඛන කටයුතුවලට පමණක් නොවෙයි මේවායේ අවශ්‍යතාව තියෙන්නේ. රටේ ආයතන විශාල සංඛ්‍යාවක් ආනයනය කර තිබුණත් එය සමාගම් තුනක් දක්වා අද අඩුවෙලා තියෙනවා. හිතුමනාපයට විකිණීකමක් තියෙනවා. කඩදාසි ආනයනයන්ට අවශ්‍ය සහන ලබා දිය යුතුයි. කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ සිටින ආයතනයන් කිහිපයකට හෝ යම් කිසි කෝටාවකට දිය යුතුයි. මේ කර්මාන්තයේ නියැළිලා සිටි අයටවත් එය ලබා දිය යුතුයි. මෙය ආශීර්වාදයක් කරගෙන මෙරට කඩදාසි නිෂ්පාදනය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි.
5 ඇත්තටම මේ වනවිට ආණ්ඩුවෙන් කොවිඩ් දේශපාලනික කාරණාවක් බවට පත් කරලා ඉවරයි. එන්නත්කරණය වෙනුවට පැණි සහ මුට්ටි පස්සේ දිවුවා. රට ආණ්ඩුවට ඕන වෙලාවට වහන්න අරින්න ගත්තා. රට ඇරීම වැසීම අද වනවිට ආණ්ඩුවේ ආරාජිකත්වයට බලපාලා තියෙනවා.
හැමදේටම දැන් අවුරුදු දෙකක්. මේ ප්‍රශ්නයෙන් ජනතාවත් හෙම්බත් වුණා. කොවිඩ්වලට අදාළව නිසි මාර්ගෝපදේශයක් නැහැ. අද වනවිට ඉතුරු වෙලා තියෙන්න මාස්ක් පාවිච්චිය විතරයි. එහෙත් ජනතාව රැස්කරලා කරන සියලු දේවල් අදවනවිට කරන්න ඉඩ දීලා තියෙනවා. රැස්වීම් පැවැත්වීම් සහ දේශපාලන රැලි සහ සංගීත සංදර්ශනවලට ආණ්ඩුව ඉඩදිලා තියෙනවා. වගකීම සහ අවධානය අද වනවිට බිඳ වැටිලා තියෙනවා. විශාල වශයෙන් අවධානය සහ වගකීම් බිඳවැටිලා තියෙනවා. විද්‍යානුකූලව මෙහි ඇති බලපෑම ඔමික්‍රොන් එකේ ඇති අවධානය සම්බන්ධයෙන් අඩුද වැඩිද කියලා ජනතාව දැනුම්වත් කිරිම් සිදු කළ යුතුයි. ජනතාව දන්නවා කොවිඩ් දේශපාලන ක්‍රීඩාවක් කියලා.
ඇන්ටිජන් සඳහා පරික්ෂණ අඩු වුණාට පස්සේ ජනතාව මේ රෝගයේ දේවල් ගණන් ගන්නේ නැති තත්ත්වයට පත්වෙලා. මරණ පරීක්ෂණයෙත් අද වනවිට පීසීආර් නොකරන තත්ත්වයට පත්වෙලා තියනවා. ජනතාවටත් ඒ නිසා මේ ගැන වගකීමක් නැති වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාවට, ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒවගේම පුද්ගලික වගකීමක්, පවුලේ වගකීමක් තියෙනවා.