
මේ වනවිට වෙල්ලස්සේ ඉඩම් විදේශීය සමාගමකට බදුදීම සම්බන්ධයෙන් මාතෘකාව උණුසුම් වෙමින් තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙනිගම සහ ඇකිරියන්කුඹුර යන වසම් දෙකට අයත් ඉඩම් අක්කර 65,000ක බිම් ප්‍රමාණයක් බහුජාතික සමාගමකට ලබාදෙන බවට වූ කතාවට එම ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධය එල්ලවී තිබීම ඊට හේතුවයි. ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් පුරා මේ ඉඩම්වල වගා කටයුතු සිදුකර තිබෙන අතර මෙම ඉඩම බහුජාතික සමාගමකට විකිණීමෙන් සිය ජීවනෝපාය අහිමි වන බව එම ජනතාවගේ චෝදනාව වී තිබේ.
මේ පිළිබඳ කරුණු සොයා බැලීමට අප අදාළ ගොවිබිම් පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙනිගම සහ ඇකිරියන්කුඹුර ප්‍රදේශවල සංචාරයක නිරත විය.
අප එහි යන විටත් අප එන බව දැන බොහෝ පිරිසක් ඇකිරියන්කුඹුවර ග්‍රාමසේවා වසමේ රැස්ව සිටියෝය. එහිදී අප සමඟ අදහස් දැක්වූ ඇකිරියන්කුඹුර ශ්‍රී අශෝකාරාමය, දන්කුඹුර ගල්ලෙන් රජ මහ විහාරය සහ කණේගල මාළිගාතැන්න රජ මහ විහාරය යන උභය විහාරයන්හී අධිපති ඇකිරියන්කුඹුරේ සුමනරතන ස්වාමින් වහන්සේ පවසා සිටියේ " යෝජිත කර්මාන්ත ශාලාව ඉදි කෙරෙන්නේ ඇකිරියන්කුඹුර ශ්‍රී අශෝකාරමයට නුදුරුවයි. මෙම ව්‍යාපෘතිය මා හඳුනා ගන්නේ 2006 වර්ෂයේදී. ඒ කාලයේ මේ ව්‍යාපෘතිය සඳහා කිසිදු විරෝධයක් තිබුණේ නැහැ. පසුකාලීනව ගොනුවෙච්ච විරෝධතාවක් තමයි අද නොයෙක් විදියේ ගැටලු මතුකරමින් කර්මාන්ත ශාලාව මේ දක්වා ඉදිකිරීම ප්‍රමාද කර තිබෙන්නේ. මේ විරෝධතාවය දක්වන පිරිස් විසින් ප්‍රශ්න කරන ගැටලු පිළිබඳව කර්මාන්තශාලාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් සමඟ මා සාකච්ඡා කළා. මුලින්ම මා සාකච්ඡා කළේ මේ කියන අක්කර හැටපන්දාහ පිළිබඳවයි. අක්කර හැටපන්දාහක් කියන්නේ විශාල බිම් ප්‍රමාණයක්. බිබිල, මැදගම, පදියතලාව කියල ගත්තම මේ අක්කර හැටපන්දහට බිබිල නගරය පවා ඇතුළත්. අක්කර හැටපන්දාහක් චන්ද්‍රිකා තාක්ෂණයෙන් මැනලා ඒ භූමිය උක් වගාව වැනි අලුත් ප්‍රභේදවලට සුදුසුයි කියල ප්‍රකාශ කළා. එහෙම නැතුව මේ අක්කර හැටපන්දහම ගන්නව කියල කිව්වේ නැහැ. එහෙම ගන්න ඒ අයට හිතුණත් ගන්න ක්‍රමයක් ඒ අයට නැහැ. මීට කාලයකට පෙරාතුව මේ රිදීමාලියද්ද කොටස මහවැලිකලාපයක් කර තිබුණේ නැහැ. එහෙම කරන්න කලින් ඔවුන් කිව්වා තමන්ගෙ ඉඩම් තියෙනව නම් ඒවා මැනල ලිඛිතව ලබාදෙන්න කියලා. ඒකාලේ බොහෝදෙනෙක් ඒවට උනන්දු වුණේ නැහැ. පසුව ඒ ඉඩම් මැනලා මහවැලි කලාපයක් බවට පත් කළා. සමහරු මේක ගැන උනන්දු වෙලා බලපත්‍ර ලබාගෙන වගා කටයුතු කළා.
මේ ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සමඟ සාකච්ඡා කිරීමේදී කර්මාන්ත ශාලාව ඉදිකරන්න අක්කර 365ක පමණ ප්‍රදේශයක් යොදාගන්න බව මට දැනගන්න ලැබුණා. මේ අක්කර 365 ඇතුළේ කිසිම පුරාවිද්‍යා ස්ථානයක් ඇත්තේ නැහැ. එය ඉතා වගකීමෙන් පැවසිය හැකි බව උන්වහන්සේ පැහැදිලි කළේය.
මෙහිදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ ඇකිරියන්කුඹුර කොට්ඨාසය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී අයි.එච්.සී.එම් බණ්ඩාර පවසා සිටියේ "අද විශාල ප්‍රශ්නයකට තුඩුදී තිබෙන බිබිල සීනි සමාගමේ මෙම ව්‍යාපෘතිය එන්න ඕන කාලය; මේ කාලය නොවන බවයි. 2007 එන්න තිබුණු මේ ව්‍යාපෘතිය ඇති වී තිබුණු බොරු විරෝධතා නිසා පරක්කු කිරීම ගැන තමන් ඇතුළු පිරිස පසුතැවෙන බව හෙතෙම පවසයි. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් ජවිපෙ හැර අනෙක් සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එක හඬින් ඉල්ලා සිටින්නේ මේ ව්‍යාපෘතිය මේ ගමට ලබා දෙන්න කියලයි. මේ මිනිස්සු ගොවිතැන්බත් අසාර්ථක වෙලා කොයිතරම් අමාරුවෙන්ද; කොයිතරම් දරිද්‍රතාවයකින්ද ඉන්නේ. මේ අයට තියෙන අස්වැසිල්ල තමයි මෙවැනි කර්මාන්තශාලා මේ ප්‍රදේශයට එන එක. මේ ප්‍රදේශයේ තරුණයෝ බොහෝදෙනා කොළඹ ගිහින් සුළු රැකියාවල නිරත වෙලා ඒ ලැබෙන වැටුපෙන් කීයක් හරි ලැබීමෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ. සමහර තරුණයන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙනවා. ඒවා නැති කරන්න නම් මේ වගේ ව්‍යාපෘති ගම්වලට එන්න ඕන. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක ප්‍රකාශ කර තිබුණා මේ ඉදිකිරීම මඟින් පුරා විද්‍යාස්ථානවලට හානිකර බව; සුගලාදේවියගේ මමියට කළා වගේ මේ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා වාර්තාව අත්සන් කර ඇත්තේ එතුමා. එතුමට කුමන හේතුවක් නිසා හෝ තමන් මෙහි පුරාවිද්‍යා අධ්‍යයන වාර්තාව අනුමත කර අත්සන් කළ බව අමතක වී තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
බිම්තැන්න කාන්තා පෙරමුණේ ලේකම්, රිදීමාලියද්ද ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනි, ජස්ටින් පුංචිහේවාගෙන් අප ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය පවසා සිටියේ මෙවැන්නකි.
" මම දශක ගණනාවක සිටම බහු ජාතික සමාගම්වලට විරුද්ධව හඬ නැඟූ කෙනෙක්. නමුත් මේ කාලය පුරාම විරෝධ ප්‍රකාශ කරමින්, ප්‍රකාශ නිකුත් කරමින් සිටියට කිසිම දවසක අපේ ජනතාවට සෙතක් සැලසෙන්නේ නැති බව ස්ථීරෙටම අපට අවබෝධ වුණා. මොන ආණ්ඩුව ආවත් පීඩාවට පත්වන්නේ ජනතාව. විශේෂයෙන්ම කාන්තාවන්. ඒ අයට රාජ්‍ය ආයතනවලින් හෝ පුද්ගලික ආයතනවලින් හෝ අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. දැනට රිදීමාලියද්ද කොට්ඨාසයේ තිබෙන ගැමුණුපුර ඇඟලුම් කම්හලේ තමයි මේ අය සේවය කරන්නේ. කවුරු මොන දේ කිව්වත් මේ සමාගම් තුළින් අපේ කාන්තාවන්ගෙන් සීයට හැත්තෑපහකට වැඩිය ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලැබෙයි; ආදායම් උත්පාදන අවස්ථා ලැබෙයි; කියන දැඩි විශ්වාස අපි තුළ තිබෙනවා. ඕනම අයෙකුට විවිධ සංකල්ප ඉදිරිපත් කරන්න පුළුවන්, එකක් තමයි මේ ප්‍රදේශයේ ඇති ඓතිහාසික පසුබිම, මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව කරන ගවේෂණ, ඒ වගේම පරිසර හිතකාමීන් කරන ගවේෂණ. මේ රිදී මාලියද්ද කියන්නේ නිල්ල පිරිණු වනගහනයෙන් යුතු ඉතා හොඳ පරිසරයක්, මේක විශාල වශයෙන් ඩෝසර් කරල විනාශ කළොත් මින් ඇතිවන පරිසර හානිය බොහෝම බරපතළයි. අපි ඒ අයට මේ අවස්ථාව ලබා දෙන්නේ මේ ප්‍රදේශය විනාශ භංග කරන අදහසින් නෙමෙයි. මේ ප්‍රදේශයේ සභාපතිවරු මන්ත්‍රීවරු ඇමතිවරු පත්වෙලා හිටියත් රැකියා ප්‍රශ්නයට තාම විසඳුම් ලැබිලා නැහැ, මේ ප්‍රදේශයේ තිබෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන ස්වයං රැකියාවක් කරගෙන කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනඟලා නැහැ. හැබැයි ඒ අය සමෘද්ධිමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දුප්පත් ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට ගෙන එන්න පුළුවන් විකල්පයකට යන්න ඕන කියන අදහසින් තමයි මේ විදියට පාරට බැස්සේ"යැයි ඕ පෙන්වා දුන්නාය.
වසම් හතළිස් දෙකක වර්ග කිලෝමීටර් 395 පමණවන විශාල භූමි ප්‍රමාණයකින් යුතු රිදීමාලියද්ද කොටසේ පවුල් 18,000 පමණ ජීවත් වෙනවා. මේ ප්‍රදේශයේ බොහෝම දුගී දුප්පත් ජනතාවක් ඉන්නේ. කර්මාන්ත ශාලවක් විදියට තියෙන්නේ ගැමුණුපුර ඇඟලුම් කර්මාන්ත ශාලා තුන පමණයි. ඒ තුළින් පවුල් පන්දාහක් පමණ ජීවත් වෙනවා. ඒ හැරුණු කොට මේ ප්‍රදේශයට කර්මාන්ශාලාවක් නැහැ. 2007 මේ කර්මාන්තශාලාව ගැන ප්‍රාදේශීය සභාවට යෝජනාව ගේන කොට එදත් අපි මේකට කැමැත්ත ප්‍රකාශ කළා. හැමදාම විපක්ෂය කළේ දේශපාලන වාසිය තකා ආණ්ඩුව ගෙන එන හැමදේටම විරුද්ධ වෙන එකයි. නමුත් මේ වැඩේදී අපි හැමෝම එකතු වුණේ මේකෙන් ගමට යහපතක් වේවි කියන අරමුණින් බව සිළුමිණ ඇසූ පැනයට පිළිතුරු දෙමින් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ කෙසෙල්පත දකුණ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආර්.පී. නිමල් දසනායක ප්‍රකාශ කර සිටියේ ය.
අප සමඟ අදහස් දැක්වූ බොරපොළ පැරකුම් ගොවි සංවිධානයේ සභාපති එල්.එම් නිශ්ශංක පවසා සිටියේ “අපට අලුතෙන් හඳුන්වාදුන් උක්වගාව අක්කර හයක් පමණ මේවනවිට වගා කර තිබෙනවා. දැනට මාස පහක් පමණවෙනවා මේ වගාවට. ඇත්තෙන්ම සාර්ථකයි. වී, ඉරිඟු වගා කළාට හොඳ අස්වැන්නක් ගන්න අමාරුයි. නමුත් මේ වගාවෙන් දෙතුන් වතාවක් අස්වැන්න නෙළා ගන්න පුළුවන්. අක්කරයකින් ටෙන් 40-45 අතර ප්‍රමාණයක් අස්වැන්න ලැබෙනවා. මාසෙකට ලක්ෂ දෙකක් දෙකහමාරක් වගේ උපයන්න පුළුවන්. ඒක ගොවියෙකුට හොඳ ආදායමක්. මේවගේ කර්මාන්තශාලා ගමට එනවනම් අපිට මේ අස්වැන්න දෙන්න පුළුවන්.
පසුව අපි අදාළ සීනි කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත භූමිය පරික්ෂා කර බැලීමට එහි ගියෙමු. එහිදී ස්වාමින්වහන්සේලා තුන්දෙනකු පෙරටු කොටගත් ජනතාව මඟ හරස් කරමින් මෙහි සත්‍ය තතු පෙන්වීමට ඔවුන් සමඟ එන ලෙස පැවසීය. එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ කඩා දැමු පැල්පතක් හා කපා දැමූ ඉරිඟු වගාවකි. එහි සිටින වයෝවෘද්ධ කාන්තාවක අප දුටුවේ එවිටය. මේ භූමියේ පැලක් අටවාගෙන නිවසන ඇය වයස අවුරුදු හැටනවයක් වූ පී.වී සෝමවතීය. පසුගියදා තමන් මුහුණදුන් අත්දැකීම ඈ පැහැදිලි කළේ මෙලෙසිනි. "මම මේ වගාභූමියට ඉන්නකොට නිලධාරීන් පිරිසක් ඩොසරයක් එක්ක ආවා. ඒ අය කිව්වා මේ ඉඩම ඩෝසර් කරන්න උසාවි නියෝගයක් තියෙනවා කියලා. "මට ආයි ගෙවල් හදන්න බැහැ; මං විතරයි මෙතන ඉන්නේ; මේක කඩන්න එපා කියලා මං ඒ අයගෙන් බැගෑපත්ව ඉල්ලුවා". "කරුණාකරල පැලෙන් එළියට යන්න. ඔයාලට මේ ඉඩම් අයිති නෑ කියල අහක්වෙලා දරුවන්ගෙ බෙල්ල කපනව වගේ ඉරුඟු පැළ කැති ගාන්න පටන් ගත්තා. මං කිව්වා අනේ එහෙම කරන්න එපා; මට ඉන්න තැනක් නෑ කියලා. මගේ ඇස්වලට කඳුළු ආවා. ඇඟට පණ නැතිව ගියා. මං එහෙන්ම ඉඳ ගත්තා. පොලිස් කාන්තාවක් ඇවිත් නැඟිටින්න අම්මේ කියලා පෙරැත්ත කරලා මාව එහායින් වාඩි කළා. ඉන් පස්සේ ඒ අය මගේ ඇස් ඉස්සරහම ගේපැල පෙරළලා දැම්මා. මේ අවනඩුව අපි කාට කියන්නද? මං කාටවත් බරක් නොවී වගා කටයුතු කරගෙනයි ජීවත් වුණේ. මින් පස්සේ මං මොනවද කරන්නේ. දැන් ඉතින් තියෙන්නේ වහටිකක් කාල මැරිල යන එක විතරයි.
එහිදී මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරන ගොවිජනතාව අතර සිටි බෝධිරුක්ඛාරාමාධිපති දොඩංගොල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ "ගැසල් වෙන්චර්ස් පුද්ගලික සමාගමට සහ අයිඑම්එස් හෝලිඩින් සමාගමට මේ භූමියෙන් අක්කර පන්සිය හැත්තෑපහකට ආසන්න බිම් කඩක් කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා ලබාදීමට තීරණය කර ඇති බවත්; මුළු ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා භූමි ප්‍රමාණය අක්කර හැටපන්දාහක් බවයි.
"මේ සමාගමට මේවා දුන්නට පස්සේ නැවත මේවා ගොවියට බෙදලා දෙන බව මේ අය කියනවා. ඒ මහවැලි අධිකාරියයි, ගොවීනුයි, සමාගමයි කියන මේ තුන්දෙනා ත්‍රීපාර්ශ්වික ගිවිසුමකට එකඟවීමෙන්. මේ ගිවිසුම ගහලා වසර පහකට ගොවියට හෙක්ටයාර දෙක බැගින් උක් හිටුවන්න දෙනවා. ඒ දෙන්නේ පස් අවුරුදු වාණිජ බද්ධකට යටත්වයි. වසර ගණනාවක් තිස්සේ පාරම්පරිකව භූක්ති විඳි ඉඩම් බලාහත් කාරයෙන් අරගෙන වාණිජ බදු ගහල ඒ බද්ධ යටතේ වගාකරන්න දෙනවා. ඒ සඳහා මේ අය නිර්නායකත් ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ ඉඩම් ලබාදෙන්නේ උක්වගාව සඳහා පමණයි. ආයෙ ඉරුඟු ඇටයක්, කුරහන් ටිකක්, මංඤ්ඤොක්කා පැළයක් මේ මිනිස්සුන්ට හිටුවන්න වෙන්නේ නැහැ. මේ අවනඩුව වෙනුවෙන් අපි හැමෝම එකාවගේ පෙළගැසෙන බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.
මහවැලි අධිකාරියේ රිදීමාලියද්ද කොට්ඨාස කළමනාකාර කේ.එච් නිහාල්ගෙන් සිළුමිණ මේ පිළිබඳව විමසීමේදී හෙතෙම කියා සිටියේ මෙයට විරුද්ධ වන්නේ කරුණු නිවැරදිව අවබෝධ කර නොගෙන බවයි. මෙම ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 80, 000 ක් එනම් වාර්ෂික ජාතික අවශ්‍යතාවෙන් සියයට දාහතරක්, පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙගාවොට් 28ක් , සත්ත්ව ආහාර මෙගාවොට් 36,000ක් සහ කාබනික පොහොර මෙගාවොට් 12,000ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවත්, මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 152. 25ක ඍජු විදේශ ආයෝජනයක් මඟින් ක්‍රියාත්මක වන අතර, ව්‍යාපෘතියට අදාළ කර්මාන්ත ශාලා සංකීර්ණය (හෙක්ටයාර 149.28) බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. උක් සහ ග්ලිරිසීඩියා සැපයුම් දාමය බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද, පදියතලාව සහ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල 7,500 ක් පමණ වූ බාහිර ගොවීන්ගෙන් ලබාගැනීමට නියමිත බවය. එසේ නොමැතිව විරෝධතා කරුවන් පවසන ආකාරයට අක්කර හැටපන්දාහක් ලබා ගැනීමට කිසිදු සැලැස්මක් නැතිබව හෙතෙම පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දැනට ගොවීන් විසින් වගා කරනු ලබන මහවැලි ඉඩම් එක් ගොවිමහතෙකුට හෙක්ටයාර් දෙක බැගින් උක් වගාව සඳහා නියමානුකූල කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පහසුකම් සපයනා) සිංගප්පුරුවේ ගැසල් වෙන්චර්ස් පුද් සමාගම (විදේශීය ආයෝජකයා) සහ අයි. එම්. එස්. හෝල්ඩින්ග්ස් පුද් සමාගම ව්‍යාපෘති ප්‍රවර්ධකයා) අතර හවුල් ව්‍යාපාරයක් ලෙස සිදු කරනු ලබන අතර, ඉන් ගැසල් වෙන්වර්ස් පුද් සමාගමට 89% ක, අයි.එම්.එස්. හෝල්විස් පුද් සමාගමට 10% ක සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට 01% ක කොටස් ප්‍රමාණයක් හිමි වීමට නියමිතය. මීට අමතරව කම්හල මඟින් නිෂ්පාදනය කරනු ලබන සෑම සීනි කිලෝග්‍රෑමයක් සඳහාම ශත 0.25 ක ගෙවීමක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ලැබීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් ඍජු රැකියා අවස්ථා 1,000 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 100,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරිමට අපේක්ෂා කරන අතර, ව්‍යාපෘතියේ නිමැවුම් මඟින් විදේශ විනිමය ඉතුරුම් වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 72 . 93 ක් පමණ ඉක්මවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව උක් සහ ග්ලිරිසීඩියා සැපයීම මඟින් ගොවිමහතුන්ට වාර්ෂිකව රුපියල් බිලියන පහක පමණ වූ ගෙවීම් ව්‍යාපෘතිය මගීන් සිදු කිරීමට නියමිත බව කළමනාකාරවරයා පෙන්වා දුන්නේය.
රසික කොටුදුරගේ, වෙල්ලස්සේ සංචාරයක
ඡායාරූප - කැළුම් ලියනගේ