
ජීවිතයේ ප්‍රධාන ධර්මතා වූ කලී යෑම ඊමයි. සංයෝගය සහ වියෝගයයි. ප්‍රියයන්ගෙන් වියෝවීම ඉමහත් සංවේගයකි. මුද්‍රිත මාධ්‍යයේ ද පසුව විද්යුත් මාධ්‍යයේ ද සාධනීය - ඵලදායි මෙහෙවරක් කළා වූ සොඳුරු මිනිසකුගේ ජීවිතයේ අවසන් සමු ගැනීම අප හද සසල කරනුයේ හේතු ගණනාවක් නිසා ය. සෞන්දර්යයෙන්, කලාත්මක හැඟීමෙන්, දයාබරත්වයෙන් සපිරුණු සිතිවිලි, ආකල්ප හා කුසලතා දැක්වූ බන්දුල පද්මකුමාර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා අපෙන් කාය සාක්ෂි වශයෙන් සිට වෙන් වී යෑම හදිසි අනපේක්ෂිත සංසිද්ධියකි. බෞද්ධයන් හැටියට මරණය පිළිබඳ අපට ඇත්තේ සාමාන්‍යයෙන් යථාවබෝධයකි. රෝගාතුර බවින් මිදෙන්නට ජීවිත මිහිරියාවේ බලාපොරොත්තු දැල්වුණු මොහොතක ය. ඔහු අපගේ ජීවිතවලින් ඉවත් වූයේ. මරණයෙන් පළට වන අනිත්‍ය ස්වභාවය අපි වටහාගෙන ඇත්තෙමු. එහෙත් අපේ අතීත සැමරුම් අප ඇසට කඳුළු නැංවීම වැළැක්විය නොහැක්කකි.
එදා මෙදාතුර මා ඔහු ඇමතුවේ බන්දුල අයියා යනුවෙනි. ඔහු ද මට කතා කළේ මල්ලී යනුවෙනි. ප්‍රභාත්කුමාර, කුමුදු කුසුම්කුමාර, සුජිතසිරි කුමාර හා සොහොයුරියන් දෙදෙනෙක් ඔහු වට කොට සිටියහ. පියා මා දන්නා තරමට ගුරුවරයෙකි; විදුහල්පතිවරයෙකි. ගම මාතර කඹුරුපිටියේ යැයි අසා ඇත.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ හෙතෙම හා හා පුරා කියා පාසල් ළමයින් විසින් කරන ලද සිනමා කෘතියක් වූ නිම්වළල්ලට සිය ප්‍රතිභා පූර්ණ දායකත්වය ලබා දුන්නේ ය. රංජිත් ලාල්, ඒ. ඩී. රංජිත් කුමාර, සුනිල් මාධව ප්‍රේමතිලක, අශෝක ඩයස් වීරසිංහ, ලාල් දිසානායක, මහින්ද අල්ගම, සුනිල් ආරියරත්න, ඩිල්මන් ජයරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර මීට සහභාගී වූහ. තිස්ස අබේසේකර උපදෙස් ලබා දුන්නේ තරුණ ගැටවුන්ගේ ප්‍රතිභාව එළිදැක්වීමට උරදීමක් වශයෙනි.
ඒ.ඩී. රංජිත් කුමාරගේ කොස්ගස් හන්දිය, ගාමිණී වේරගමගේ දේශීය සිනමා වංශය, නුවන් නයනජිත් කුමාර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආතර් යූ. අමරසේන ලියූ කෘතීන් හි නිම්වළල්ල ගැන විමර්ශන පළ විණි. “ඔවුහු දේදුන්නක පාට අතර අතරමං වූහ. ඒ දේදුන්න පෑව්වේ පාළු වෙරළකදී ය. අහසේ සඳවත මියගිය සීතල රැයකදී පාළු වෙරළ මැද තනිවූ තීර්ථ යාත්‍රිකයන් කිහිපදෙනකුගේ කැකෑරෙන ආත්මයන් පිළිබඳ වෘත්තාන්තය. යොවුන් පරපුරේ සදාතනික පණිවුඩය - නිම්වළල්ල තේමා පාඨය විණි.
කුමුදු කුසුම්කුමාර හා ඒ. ඩී. රංජිත් කුමාර මුලින් සංස්කරණය කළ සමීප රූප සිනමා සඟරාව පසුව සැකසුවේ බන්දුල පද්මකුමාර ය. ගීතා සිනමා සංග්‍රහය ද ඔහුගේ සැකසුමකි. කිත්සිරි නිමල් ශාන්ත ඇතුළු බොහෝ දෙනෙක් කරළියට පැමිණියේ ඒ ඔස්සේ ය.
ඔහුගේ අත් අකුරු ඉතාමත් අලංකාර ය; කලාත්මක ය. මට ඔහු මුලින් ම මුණ ගැසුණේ 70 දශකයේ අග භාගයේ මගේ පාසල් කාලයේ ය. ඒ කුමරි - යොවුන් වියේ පාඨකයන් ඇමතූ පුවත්පතිනි. චන්ද්‍රා වීරසිංහ, උපාලි වීරවර්ධන, ගාමිණී මෙන්ඩිස්, නන්දනී ගාල්ලගේ, ධර්මරත්න පෙරේරා, කුමාර සිරිවර්ධන, පද්මි පිංදෙණිය, උපාලි බණ්ඩාර වීරසේකර හා මා ඇතුළු පිරිස ඔහුගේ සෙවණින් අතහිත දීමෙන් ජනමාධ්‍ය ලෝකයට මඩුබැස්සෝ වීමු. උපුල් ශාන්ත සන්නස්ගල, ප්‍රදීප් කුමාර බාලසූරිය, මයිකල් ඇන්ජිලෝ, ප්‍රනාන්දු, ජයන්ත කළුපහන කරළියට පැමිණියාහු බන්දුලගේ ආභාසයෙනි. කැමිලස් පෙරේරා, ආතර් යූ. අමරසේන වැන්නෝ බන්දුලට ආශිර්වාද කළහ. රැජින පුවත්පත කාන්තාවන් අරබයා ඔහු ආරම්භ කළේ නව නැඹුරුවකිනි. අරලිය තවත් සොඳුරු යොවුන් පුවත්පතකි.
ගීතය සංගීතය අරබයා ඔහු හාපුරා කියා සත්සර පුවත්පතක් ලෙස ඉදිරිපත් කළේ නැවුම් අපේක්ෂා දල්වමිනි. එහිදී ප්‍රබුද්ධ විදග්ධ සංස්කෘතිය මෙන් ම ජනකාන්ත සංස්කෘතිය ද කුළු ගැන්විණි. රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ සඟරාවක් මුතුහර නමින් පළ කළ අතර රටේ අදටත් දැඩි අවශ්‍යතාවක් වන ප්‍රජනක සෞඛ්‍ය විද්‍යාවට දැනුම ගෙනෙන පතිපතිනි සඟරාවත්, සෙනෙල් ඡායාරූප කලාවට, විලාසිතාවට මෙන් ම පසුකලෙක සංස්කරණය කළ අම්මී, සඟරාව ගැනත් මතක් කළ යුතු ය. බම්බලපිටියේ මෙන් ම ඩී.ආර්. විජේවර්ධන මාවතේත්, පිටකොටුවේ පොත්කඩ සාප්පු පීරා විවිධ පිටරට සඟරා පුවත්පත් පොත් මිලට ගෙන දැඩි වෙහෙසකින් තමන් සැකසූ පත්තර සඟරාවලට නව ආකෘති සකසා ගත් ඔහුගේ ප්‍රතිභා ශක්තිය අපූර්ව උල්පතක් වූයේ නිතැතිණි. අපට ද ඔහු ඒ මඟ පෙන්වීය.
ලක්බිම ඉරිදා පුවත්පත බිහිකිරීම එහිම රිද්ම ටැබ්ලොයිඩ් මාදිලියේ සුන්දර සමරුව ඔහුගේ අභිප්‍රාය කූටප්‍රාප්ත කිරීමකි. ඒ මෝස්තරය සිංහල පුවත්පත් කලාවේ අලුත් එළැඹුමක් විය. එය අතිශය ජනප්‍රිය වූවකි.
එම හපන්කම් පෙන්වීමට සුමති පුවත්පත් ආයතනය ඔහුට නිදහස ලබාදී තිබුණි.
සමන්මලී පද්මකුමාර ඔහුගේ ප්‍රිය බිරියයි. හිරු සහ මුතු දරුවෝ දෙදෙන වෙති. මුතු ඉංග්‍රීසි බසින් ලියූ කිවිඳියකි. සමන්මලී ළමා කවි, ගී කතා රචනා කරන ලේඛිකාවකි. තාගෝර් සංගමයේ ලේකම්වරියයි.
සිනමා, සංගීතා, නාට්‍ය, සාහිත්‍ය විචාර ලිපි විශාල සංඛ්‍යාවක් රචනා කළ බන්දුල සිනමා තිරනාටක දෙබස් ද රචනා කළ සිනමා අධ්‍යක්ෂවරයකු ද ලෙසින් සුළවත් හැකියා උද්දීප්ත කළ කලාකාමියෙකි. ප්‍රබල ලෙස වැඩ කළ පත්තර කතුවරයෙකි.
ඔහු විසින් සංස්කරණය කරමින් ඉදිරිපත් කළ ප්‍රධාන විද්යුත් මාධ්‍යයකින් එළිදුටු මුල් පිටුව හා ලෝක සිතියම අපේ කාලයේ නව පරිච්ඡේයක් උදා කළ හරවත් රසවත් ගෙත්තම් දෙකකි. ලෝක ව්‍යවහාරය ඔහු නිවෙසටම ගෙන ආවේ උදෑසනය.
කවි ගීත පරිවර්තන කීපයක් කළ බන්දුල අමරදේව ගැන ලෙස්ටර් පිළිබඳ ව පොත් ලියුවේ බැතියෙනි. වික්ටර් රත්නායක, ප්‍රේමසිරි කේමදාසට ඇලුම් කළේ ය. සහෘදයකු මිතුරකු ලෙසිනි. මෑතකදී ප්ලේබෝයි නමින් කෙටිකතා පොතක් ද පළ කළ බන්දුල මා ඇතුළු බොහෝ දෙනකුට ජීවිතයේ කඩයිම් සමතික්‍රමණය කිරීමට අත හිත දුන්නේ ගුණ මසුරු නොවෙමිනි.
බෙහෙවින් පිරිසුදුවට කඩවසම් ලෙස ඇඳුම් පැලඳුම් ඇඳීමට ප්‍රිය කළ ඔහු නිතර පොත්පත් කියැවූ බැව් මට මතකය. කුමරි පුවත්පතේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සොයා බලන්නට ඔහු මා යොමු කළ සැටි මට මතකය. අනුන්ගෙන් ඉල්ලාගත් පාපැදියක් පදිමින් ගාලු පාරේ, නුවර පාරේ, මීගමු පාරේ පත්තර තට්ටු, පොත් සාප්පුවලට එදවස මා පිටත්කැර හැරියේ ඉමහත් ධෛර්යයක් වීර්යයක් මා තුළ ගොඩනඟමිනි. මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ශිෂ්‍යාධාර නොලැබූ මා හට කුමරි සහාය සංස්කාරකවරයකු ලෙස ලබාදුන් වැටුප මතත් විපුල ප්‍රයෝජන මට අත් පත් කර දුන්නේ ය.
බන්දුලගේ ආශිර්වාදයෙන් එකල බිහිවුණු තරුණ කවීන්, පුවත්පත් ලේඛකයින්, ගී පද රචකයන්, ගායක ගායිකාවන්, සිනමාකරුවන්, නවකතා කෙටිකතා රචකයන් රාශියක් සිටිති. වර්තමානයේ විවිධ ක්ෂේත්‍රයන් හි එම බොහෝ ලේඛක ලේඛිකාවෝ ජය කෙහෙළි නංවති. භාරතී වීරසිංහ ද ඔහුට එකතු වූයේ ය. සමුදුර පුවත්පත අමුතු අපූරු පත්තරයකි. පුෂ්පා රෝහිණී රාජගිරිය, දන්ත වෛද්‍ය මඬලගම ජයසුන්දරගේ නිර්මාණ පාඨක අත පත් කිරීමට බන්දුල තම පුවත්පතින් ඉඩ ලබා දුන්නේ ය.
විජය කුමාරතුංග ලවා මට මතක විදිහට දුරු රටක සිට ආවා දෝ පුවත්පත් නවකතාවක් ලියැවූයේ ඔහු ය. මා හෝ වෙනත් කවරකු හෝ බොහෝ විට එම පිටපත ගෙනෙන්නට බස් රියෙන් ගිය විජය හමුවීමට ගමන් වාර ආස්වාද ජනක ය. දහවල් භෝජන අවස්ථාවේ සමන්මලී රසට ගුණට සකසාදෙන බත් පතින් අපට ද රසමසවුළු වෑංජන බෙදා දුන් මේ අපූරු සුළවතා ජීවිතයේ බොහෝ හැල හැප්පීම්, ගැටලු අවුල් වියවුල් ජය ගනිමින් ඉදිරියට ම ගියේ පසු නොබසිමිනි. ඔහු ජීවිතය රස වින්දේ සතුටිනි.
තිස්ස අබේසේකරයන් හට අසීමිත ආදරයක් පැවැති ඔහු තිස්ස වෙතින් මහත් ආභාසයක් ලැබුයේ යැයි සිතමි. සිනමා විචාරකයන් මෙන් සංගීත නාට්‍ය, සිනමා කලාකරුවෝ ඔහුට වඩාත් ළෙන්ගතු වූයේ ඔහුගේ මිත්‍ර සමාගමයේ පැවැති සුහදශීලී ගුණ හේතු කොට ගෙන ය. කතුර, කාබන් පෑන, උල්පත් පෑන කෙම්ෆික්ස් ගම් ගාගෙන පින්තූර කපා අලවා පිටු සකසමින් උපදෙස් දෙමින් පත්තර කලාව කළ මේ සොඳුරු මිනිසා පසු කලෙක කොම්පියුටරයෙන් සයිබර් අවකාශය තරණය කරමින් ශ්‍රී ලාංකික ජන සමාජයේ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතිය සුබ සිද්ධිය ගැන බොහෝ කටයුතු කළේ දිවා රෑ වෙහෙසෙමිනි.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර