
‘කිලිටි කලිසමක් සහ කෝට් එකක් හැඳ, ඉතා බාල ටයි පටියක් කරේ පැත්තකට යන ලෙස අවුල්ව බැඳ, කැන්වස් සපත්තු දෙකක් දෙපය ලාගත් මහාචාර්ය බරුවා දේශනය ආරම්භ කළේය. දිය ඇල්ලක් ඇද හැලෙන්නාක් මෙන් ඔහු අභිධර්මය ඇතුළත් කතාවක් පැවැත්වීය. ඇඳුමෙන් මිනිහකුගේ මොළය මැනිය නොහැකි ය. බාහිර පෙනීමෙන් මිනිහකුගේ දක්ෂතා මැනිය නොහැකි ය.
බණී මාධව බරුවා ගැන මා කෙතරම් පැහැදුණේ ද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවකු ලදහොත් මේ වියතා සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට මම අදිටන් කර ගතිමි. මා සිතූ පරිදිම 1944 මැයි 12 වැනිදා ශල්‍යකර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙකි. පෑ ගණනක් යන තුරු ඔහුට පණ නො ආවේය. ඔහුට පණදීම සඳහා අම්ල වායුව නහයට සම්බන්ධ කරන ලදී.
එසේ කියන්නේ කෘතස්ත සාහිත්‍යධරයෙකු වූ මීමන ප්‍රේමතිලකය. ඔහු විසින් ලියා 1965 වසරේ ප්‍රකාශිත “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය“ නම් සිය ජීවිත කතාව කෘතියේ එසේ සඳහන් වේ.
මීමන ඉතා දුකින් හඬමින්, වැළපෙමින් සොයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල සිටියේය. ඔහුට සුබ ආරංචියක් ලැබිණ. පෙර සඳහන් කළ දරුවා නම්, අමාරුවෙන් මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ 1944 මැයි 12 වැනිදාය.
ඉන් වසර 77 කට පසු මෙයට දින කිහිපයකට පෙර එනම් පෙබරවාරි 23 වැනිදා රාත්‍රියේ දැයක් හඬවා සමුගත්තේ මීමන එසේ සඳහන් කළ සුනිල් මාධව ප්‍රේමතිලකය. ලාංකේය පුවත්පත් කලාව උඩුයටිකුරු කළ සුනිල් මාධවයන් ජනහද හැඳිනූ විප්ලවකාරී පත්‍රකලාවේදියකු විය. රැඩිකල් මාධ්‍යකරණයේ ලාංකේය සලකුණ ඔහු බව අවිවාදිතය.
සුනිල් මාධව පුවත්පත් කලාවට පිවිසියේ 1964 ජූනි 01 වැනිදාය. එවිට ඔහුගේ වයස 20 කි. ලේක්හවුසියේ සරසවිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කිරීම ඔහුගේ වාර්තාගත පුවත්පත් කලා දිවියේ ආරම්භ විය. පරිවාස කාලය මාස 6 කි. මූලික මාසික වැටුප රු. 100 කි. ඒ වන විට ඔහුගේ පියා මීමන ප්‍රේමතිලක සිළුමිණ කතුවරයාය. සිළුමිණ කතුවරයා ලෙස මීමන 1961 සිට 1965 දක්වා සේවය කළේය. පුතු සුනිල්ගේ වෘත්තීය ජීවිතය ඉහළට එසවීමට මීමන කෙටි මාර්ග සොයා ගියේ නැත. සිවුවසරක් සිළුමිණ පුවත්පතට රස ගුලාවක් වන් මිහිරක් එක්කළ මීමන ප්‍රේමතිලක ලේක්හවුස් වංශ කතාව ඇතුළත සිටි කීර්තිමත් කතුවරයෙකි.
ලේක්හවුසියට පැමිණ වසරකට පමණ පසු එනම් 1965 ජූලි 01 වැනිදා සුනිල් මාධවට ජනතා පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස ස්ථාන මාරුවක් ලැබිණි. ඒ සිනමා රචනයට වඩා මිනිසුන් සමඟ වැඩ කිරීමට සුනිල් තුළ ඇති කැමැත්ත නිසාය. පසුව 1978 සැප්තැම්බර් 01 වැනිදා ජනතා පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් සුනිල්ට උසස්වීමක් ලැබිණි. අනතුරුව ජනතා පුවත්පතේම ප්‍රධාන උපකර්තෘ වූයේ 1980 ඔක්තෝබර් 05 වැනිදාය.
එවකට ජනතා පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූයේ කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ ඩී.එෆ්. කාරියකරවනය. ලේක්හවුස් ආයතනයේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වූ පසු එකල නීතියක් ද තිබිණි. ඒ මවුබිමට පක්ෂපාතී වන බවට දිවුරුමක් දීමය. සුනිල් මාධව ද 1978 ඔක්තෝබර් 09 වැනිදා එම ප්‍රතිඥාවට අත්සන් තැබුවේ සොම්නසිනි. ප්‍රවෘත්ති කලාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් ද බටහිර ජර්මනියේදී ඔහු හැදෑරුවේය.
දිනය 1981 අගෝස්තු 31 වැනිදාය. වේලාව පෙරවරු 9.00 ට ආසන්නය. ජනතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාරියකරවනයන් ඉදිරිපිට සිටියේ එහි ප්‍රධාන උපකර්තෘ සුනිල් මාධවය. එවකට ලේක්හවුසියේ සභාපති රණපාල බෝධිනාගොඩය. සභාපතිට කර්තෘ මඟින් යොමු කළ ලිපියක් සුනිල් මාධව කාරියකරවනට ඉදිරිපත් කළේය. ඒ වන විට සුනිල්ගේ මාසික වැටුප රු. 1050කි. එකල ජීවන වියදම අනුව එය සරිලන වැටුපකි. එහෙත් නිදහසේ අරුණලු සොයා යන්නට සුනිල් මාධව තීරණය කර තිබිණි.
සුනිල් දුන් එම ලිපියේ මෙසේ ද සඳහන් විය.
“1981 සැප්තැම්බර් 01 වැනිදා සිට ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව මින් කාරුණිකව දන්වා සිටිමි. කුඩා ළදරුවකු සිටි කාලයේ පටන් මෙම ආයතනයේ දුව පැන ඇවිද සිට පසුව වසර 19ක් එක දිගටම සේවය කොට අස්වීමට සිදුවීම කනගාටුවට කරුණක් වුවද ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නිසා එසේ කිරීමට සිදුවිය. මෙම තීරණය මසකට කලින් දැන්වීමට නොහැකි වූයේත් මෙතරම් පමා වූයේත් ඒ ගැන තීරණයක් මා ගත්තේ අවසන් මොහොතේ නිසාය. ලේක්හවුස් ආයතනය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවායි අවංකවම මම ප්‍රාර්ථනා කරමි“
ලේක්හවුසියෙන් ආ සුනිල් මාධව ඊට පසු දිනම එනම් 1981 සැප්තැම්බර් 01 වැනිදා දිවයිනට පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස නිල වශයෙන් සේවයට එක්විය. ඒ වන විටත් ලේක්හවුසිය ඇතුළු විවිධ පුවත්පත්වලින් කණ්ඩායම් කිහිපයක්ම අලුතින්ම ආරම්භ කරන දිවයිනට වරින්වර එක්වෙමින් තිබිණි. සුනිල්ගේ දිවයින ආරම්භක මාසික වැටුප රු. 1,500ක් විය.
ලේක්හවුසියෙන් දිවයින පුවත්පතට ගිය ප්‍රථම කණ්ඩායමේ සාමාජිකයන් අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු වූයේ සිළුමිණ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ, දයාරත්න රණසිංහ, දයාසේන ගුණසිංහ, නන්දසේන සූරියආරච්චි, උපාලි තෙන්නකෝන්, ධර්මරත්න විජේසුන්දර, ගාමිණී සුමනසේකර, සුනිල් මාධව ප්‍රේමතිලක, විමල් වීරසේකර ආදීහු ය. එයට අමතරව ඉරිදා දිවයින පුවත්පතේ ආරම්භය සනිටුහන් කළ කර්තෘ මණ්ඩලයේ එකොළොස්දෙනා අතර මෙරිල් පෙරේරා හා ශාන්ත කේ. හේරත් ද විය.
පසුව විවිධ පුවත්පත්වලින් මෙන්ම ආධුනිකයන් කිහිපදෙනෙක් ද දිවයිනට එක්වූහ. දිවයින පුවත්පතේ මංගල කලාපය නිකුත් වූයේ 1981 ඔක්තෝබර් 04 වැනිදාය. දිවයින දිනපතා පුවත්පත නිකුත් වූයේ 1982 පෙබරවාරි 04 වැනිදාය.
ලියුම්කරු දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1984 ජනවාරි පැමිණි විට දිවයින සමාරම්භකයකු වූ සුනිල් මාධව පාලන අධිකාරිය සමඟ 'ගෝරියක්' දාගෙන නික්ම ගොසිනි. ඔහු යළි 1985 අවසානයේ යළි දිවයින කර්තෘ මණ්ඩලයට එක් විය. දිවයින පුවත්පතේ ලියුම්කරු සේවය කළ වසර ගණනාවක් ඇතුළත ‘සුනිල් අයියා‘ සිටියේ මා වාඩිව සිටි මේසයේ සමීපතව පිහිටි දකුණු පස මේසයේ ය. වම් පස මේසයේ සිටියේ විමල් වීරසේකරය. ඉදිරිපස මේසයේ සිටියේ දයා ලංකාපුර සහ ගයිරික පේරුසිංහය.
සුනිල්ගේ දෙවැනි ගමන ඇරැඹුණේ 2 වැනි වරට දිවයිනට පැමිණීමත් සමඟය. පසුකලෙක යෝද වෘක්ෂයක් සේ ජන සමාජයේ පැළපදියම් වූ දලුලා සරුවට වැඩුණු ජනතාවාදී මාධ්‍යකරුවකුගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වූයේ මාධවයන් සංස්කරණය කළ දිවයින සිකුරාදා පුවත්පතේ 8 වැනි පිටුවෙනි. ඔහු විසින් ඒ පිටුවට ලියන ලද සත්‍යවාදියකු ගේ දිනපොත විටෙක වෙඩි උණ්ඩයක් සේ හිත් පසාරු කරගෙන යයි. සියලු දිය සීරාවන්ගෙන් පෝෂණය ලබන දියපහර ඉනික්බිතිව ගඟක්ම විය. එසේ මුත් උල්පතකින් හෝ දොළ පාරකින් ලත් උදවු උපකාර සුනිල් මාධව කිසිවිටෙකත් අමතක නොකළේය.
දිවයිනේ 8 වැනි පිටුවට නම තැබුවේ දයාසේන ගුණසිංහය. 8 වැනි පිටුව මුළුමනින්ම වාගේ නිල නොවන භාරකාරයා වූයේ එහි චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත්ය. ඒ ඉතිහාසය කිසිවකුටත් අමතක කළ හෝ අකාමකා දැමිය නොහැකිය.
සුනිල් මාධව සමඟ එදා සිට අද දක්වා ම දශක තුනකට අධික කාලයක් මම සමීපව ඇසුරු කළෙමි. සත්‍යය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔහු කළ සේවය සදානුස්මරණීයය. මාධවයන් ජවිපෙ 2වැනි කැරලි සමයේ පෙනී සිටියේ ආණ්ඩු විරෝධී මතය නියෝජනය කළ තරුණ පරපුර වෙනුවෙනි. කිසිදිනෙක ඔහු ජවිපෙ සාමාජිකයකු නොවීය.
අසූව දශකයේදී දිවයින පුවත්පතේ සියලුදෙනා ගතකළේ පුදුමාකාර කණ්ඩායම් හැඟීමකිනි. සුනිල් මාධව ඇතුළු සියලුදෙනා දිවයිනට ගෙනාවේ නව ජවයකි, පන්නරයකි. කර්තෘ මණ්ඩලයේ සැම පමණක් නොව බාහිර ලේඛකයන් ද, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද ඒ සමාගමේ සියලුදෙනා ද බොහෝ කැපකිරීම් කළහ. ගිරුවාපත්තුවේ සිට රජරට වන්නිකරයේ දරුවන්ගේ ද අනාගතය වෙනුවෙන් දිවයින පුවත්පතට පෙනී සිටීමට හැකිවූයේ එබැවිනි.
සුනිල් මාධව සිළුමිණ පුවත්පතේ සංස්කරණය කළ කවි පිටුව ඔහු ලේක්හවුසියේ සිටි කාලයේ ඉතාම ජනප්‍රිය විය. දිවයින 8 වැනි පිටුව ද පසු කාලයේ ජනප්‍රිය වූයේ සිනමාපටයක් මෙන් වාර්තා පිට වාර්තා තබමිනි. ඒ නිසාම තර්ජන, ගර්ජන පමණක් නොව මරණ තර්ජනවලට පවා සුනිල් මාධව ඇතුළු පිරිසකට මුහුණ දීමට සිදුවිය.
සුනිල් පත්තර කලාව තුළ පන්හිඳෙන් සටන් කළේය. උපාලි පුවත්පත් සමාගමේදී ඔහුගේ හොඳම මිතුරන් වූයේ දයාසේන ගුණසිංහ, අජිත් සමරනායක, චන්ද්‍ර වීරවර්ධන, දයාරත්න රණසිංහ ඇතුළු පිරිසකි. මිතුරෝ ඔහුට කීවේ සංගුරා කියාය. එහි අර්ථය කුමක්දැයි දැනගෙන සිටියේ ද කිහිපදෙනෙකි. තරුණ පුවත්පත් කලාවේදියකු ලෙස ද එකම පාසලේ අධ්‍යාපනය ලැබූ සිසුන් ලෙස ද සුනිල් සහ මා අතර ද පැවතියේ ළෙන්ගතු බවකි. එමෙන්ම සෑම දිනකම වාගේ රාත්‍රියේ වැඩ නිම වූ පසු මහරගම පදිංචි දයාසේන ගුණසිංහට හිමි වන ප්‍රවාහන පහසුකම් නිසා සුනිල් සමඟ මම ද එම නඩයට එක්වූයේ නිරායාසයෙනි.
සුනිල් දහවල පැය කිහිපයක් පත්තර මිතුරන් සමඟ ගත කළේ මර්සි අක්කාගේ කුඩා අවන්හලේය. බීම සමඟ කටගැස්මට තිබුණේ රුපියල් පහේ උම්බලකඩ පැකට්ටුවක් සහ මිරිස් කරලකි. සුනිල් මේ දෙකටම ප්‍රිය කළේය. කිමෝනාවක් හැඳගෙන මර්සි අක්කා අප සැමට සංග්‍රහ කළේ ළෙන්ගතුවය. අය කළ මුදල ද අසාධාරණ නැත. පත්තර කන්තෝරුවේ තාප්පය සහ ඒ අතර පිහිටි හෝටලය අසල අඩි පාරේ ගිය විට මර්සි අක්කාගේ නිවසේ එම නිල නොවන කුඩා අවන්හල පිහිටා තිබිණි.
සවස් වරුවට සුනිල් මාධව සොයා ගැනීමට හැකි වූයේ කුලේගේ මුද්‍රණාලයේ හෝ ලී මඩුව ඉදිරිපිට පිහිටි උපාලි අවන්හලේය. බොහෝවිට සුනිල් ඒවාට ගියේ ඇති තරම් මිනිසුන් සමඟ කතා කිරීමට ඉඩප්‍රස්ථාව විවර වන බැවිනි.
රාජකාරිය නිම වූ විට අප ද සුනිල් සමඟ එක්වීමු. ඒ රාත්‍රී මිත්‍ර සමාගම්හි සාමාජිකයන්ගෙන් ලත් අත්දැකීම් සහ ගුරුහරුකම් මගේ ජීවිතයට ද අත්වැලක් විය. එම ස්ථාන අතර බොරැල්ලේ ඩියුරෝව, කාසල් වීදියේ ක්‍රීඩා පිටිය, ඒ අසල පිහිටි මලල්ගොඩ බන්දුතිලකගේ නිවස, රාජගිරිය කුරේ මාවතේ ජනතා ලේඛක පෙරමුණේ කාර්යාලය, බෞද්ධාලෝක මාවතේ සුදර්ශි, නාරාහේන්පිට රන්දෝලි සහ නුගේගොඩ පුබුදු විය. ඒවා අසූව දශකයේ කලාකරුවන් අතර බෙහෙවින් සිත්ගත් ස්ථාන විය. එමෙන්ම ඉඳහිට නාරාහේන්පිට රජයේ සමාජ ශාලාව වෙත ගොස් බිලියඩ් ගැසීමට ද සුනිල් බෙහෙවින් ප්‍රිය කළේය.
බොහෝ දිනයන්හි සුනිල් මාධව සමඟ සඳ මෝදුවන වන විට සිටියේ රටේ ප්‍රවීණතම මාධ්‍යවේදීන් සහ කලාකරුවන්ය. ඒ අතර බී. ඒ. සිරිවර්ධන, දයාසේන ගුණසිංහ, සුරත් අම්බලන්ගොඩ හෙවත් ජයශීල ද සිල්වා, සිරිලාල් කොඩිකාර, අජිත් සමරනායක, ඩී. බී. පෙරමුණේතිලක, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, වජිර පැල්පිට ඇතුළු පිරිසක්ම විය. සුනිල් මාධව කිසි දිනෙක ලිපියක් ලිවීමට හෝ දැමීමට තුටු පඬුරක් ලබා ගත් අවස්ථාවක් මා අසා ඇත. ඔහු සමඟ සංලාපයේ යෙදෙන්නට බොහෝ දෙනා පැමිණියේ හිස් අතින් නොවේ.
සුනිල් වඩාත් සතුටු වූයේ මා දන්නා තරමින් 1989 නොවැම්බර් 09 වැනිදාය. ඒ ජර්මනියේ බර්ලින් තාප්පය කඩා බිඳ දැමූ දවසය. එදින අප එහි සතුට සිත්සේ වින්ඳෙමු. බර්ලින් පවුර 1961 අගෝස්තු 13 වැනිදා ඉදිකිරීම අමානුෂික ඓතිහාසික වැරැද්දක් බව ඔහු අවධාරණය කළේය. වසර 28 ක් දෙපසට බෙදන ලද ජර්මන් ජනතාව විසින් ශාප කළ එම අමානුෂික පවුර කඩා බිඳ දැමීම පිළිබඳව සුනිල් මාධවට තිබුණේ නිම්හිම් නැති ප්‍රීතියකි. තමා ජර්මනියේ පුවත්පත් කලාව ඉගෙනගත් අවදියේ එවකට එහි සිටි මාධ්‍යවේදීන්ගේ සිතුම් පැතුම් ද ඔහු මෙනෙහි කළේය. අත්දැකීම් බෙදා ගත්තේය.
පසු කලෙක ලක්මිණ, ලක්දිව, හිරු සහ ලක්ජන, ලක්දන පුවත්පත්වල කතුවරයා වූ සුනිල් මාධවයන් ආධුනිකයන්ට නොපැකිලිව අත දුන්නේය. ඔහු ගේ මඟපෙන්වීමෙන් ප්‍රගතිශීලි පුවත්පත් කලාවට අත්පොත් තැබූ පරපුරක ගමන් සඟයෝ බොහෝය. ඒ අතරවාරයේ ද අප හැකි සෑම විටෙකම හමුවූයෙමු. මාධ්‍ය පුහුණු වැඩසටහන්වලදී ඔහු මා සමඟ රට වටා සංචාරය කළේය.
සුනිල්ගේ දයාබර බිරිය වූයේ මනෝරා ප්‍රභාති තෙල්මාය. සෞන්දර්ය සරසවියේ උපාධිධාරිනියකු වූ ඇය සුනිල් හඳුනා ගත්තේ ඔහු ලක්දිව සමකර්තෘ වශයෙන් සිටියදීය. ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාවේ කලක් සහාය කතුවරියක වූ ඇය දැන් අරුණ පුවත්පතේ මාධ්‍යවේදිනියකි. සුනිල්ගේ පුතු වන්නේ නන්ජිත මාධවය. සුනිල් සමඟ මම මනෝරාගේ රක්වාන නිවසට ද ගොස් ඇත්තෙමි. ඒ අප දෙදෙනාම සිංහරාජයට ගොස් තෙදිනක් ගත කර එන අතරතුරේදීය.
සුනිල්ගේ සොයුරු සොහොයුරියන් අතර සරත්, රමණි සහ සඳුන් මගේ වෘත්තීය මිතුරන්ය. සරත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු ක්‍රීඩා පත්‍රයේ සමාරම්භක කර්තෘවරයාය. අකාලයේ ජීවිතයෙන් සමුගත් සඳුන් ක්‍රීඩා පුවත්පතේ සිටි උපකර්තෘවරයෙකි. රමණි ද ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක් වශයෙන් සිය දස්කම් මැනවින් විදහා පෑවාය. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරුවරියක් වන මිහිරි සරෝජිනී, සුනිල්ගේ බාල නැඟණියයි. මා ඇය හමුවී ඇත්තේ එකම එක වතාවක් පමණි. සමන් කුඩා කලදීම දිවියෙන් සමුගෙන තිබිණි.
ලාංකේය මාධ්‍ය කලාවේ රැඩිකල් සන්නාමය වූ සුනිල් මාධව ප්‍රේමතිලක සුළු දෙයටත් සංවේදී අයෙකි. පොඩි දෙයටත් කඳුළු සලන අයෙකි. ආදරවන්ත සැමියෙකි. සෙනෙහෙබර පියෙකි. ළෙන්ගතු සොයුරෙකි. සමාජයේ සියලු දෙනාටම සම මෙත් දැක්වූ උදාර මිනිසෙකි. අද ඔහු දැයෙන් සමුගෙන ඇත. එහෙත් ඔහුගේ පෑනෙන් පෑ වික්‍රමයත් සිනහවත් සැමදා ජීවමාන බව කිව යුතුම ය.