
- කොස්තාපල්ගේ ඝාතනයෙන් කුපිත වූ පිරිසක් ප්‍රධාන සැකකරුගේ හෝටලයට සහ සැකකාරියගේ නිවෙසට ගිනි තබයි
- කලකට පෙර සිදුවූ ආරවුලකට කළ පළිගැනීමක්
- ඝාතනයට ලක්වූ චතුරංග තුන් හැවිරිදි සිඟිති දියණිකගේ පියෙක්
මිනිස් සිත තුළ ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, වෛරය, කුහකත්වය, වංචාව ආදී හැඟීම් නිදන්ව පවතින ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගත් පුද්ගලයා එකී හැඟීම් නුවණින් හසුරුවා ගනිද්දී එසේ නොවන පුද්ගලයන් තම සිත් තුළ යටපත්ව ඇති හැඟීම් මුඳුන් පමුණුවා ගැනීමට කටයුතු කරයි. තම පෞද්ගලික අභිමතාර්ථ මුඳුන්පත් කරගැනීමට දරන උත්සාහයේදී ඊට හරස්වන පුද්ගලයන් මුලිනුපුටා දැමිය යුතුය යන ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පුද්ගලයෙක් හෝ පිරිසක් පත්වන්නේ නම් එය කනගාටුවට කරුණකි. එපමණක් නොව එය දැඩි සමාජ පරිහානියකි. මෙතරම් බණ කියන, බණ අහන රටක ජීවත් වන මිනිසුන් ලෙස අයෙක් තවත් අයකුගේ ජීවත් වීමේ අයිතිය සාහසික උදුරා ගන්නට කටයුතු කරන අයුරු අසන්නට දකින්නට ලැබීම පවා අප කාගෙත් අවාසනාවකි.
තංගල්ල පොලිස් බලප්‍රදේශයට අයත් විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයෙන් ඉකුත් දා වාර්තා වූ මේ කතාව ද එවැනි අවාසනාවන්ත කතා පුවතකි.
තිස් හතර හැවිරිදි විදානගමගේ චතුරංග දිල්ෂාන්, පදිංචිව සිටියේ තංගල්ල, විතාරන්දෙණිය, තේනගම ප්‍රදේශයේය. ඒ, 33 හැවිරිදි සිය බිරිය සෙනුරි හිමායා රාජපක්ෂ හා තුන් හැවිරිදි දියණිය සමඟය. මීට වසර කිහිපයකට පෙරාතුව පොලිස් සේවයට එක්වූ චතුරංග දිල්ෂාන්, දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ අතර, අවසන්වරට ඔහු සේවය කරමින් සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ කසාගල අන්තර් හුවමාරුවේය.
පොලිස් කොස්තාපල් වතුරංග දිල්ෂාන් ජීවත් වූ නිවෙසට යාබදව ඉඩම් දෙකකි. එක් නිවෙසක කාන්තාවක් පදිංචිව සිටින අතර, අනෙක් ඉඩමෙහි ව්‍යාපාරිකයකු විසින් හෝටලයක් ඉදිකරමින් තිබේ. පොලිස් කොස්තාපල් චතුරංග සමඟ කලක සිට ඉහත කී දෙපාර්ශ්වයම පසු වූයේ දැඩි කෝපයකිනි. ඊට හේතුව ලෙස වාර්තා වන්නේ ඉතා සුළු සිදුවීමකි.
චතුරංගගේ ඉඩමට යාබදව ඉඩමේ ඉදිකරමින් පවතින හෝටලයේ සේවයට පැමිණි බව කියන පුද්ගලයකු ඊට යාබද නිවෙසේ ජීවත් වන කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇති වු ගැටලුවකදී පොලිස් කොස්තාපල් චතුරංගගේ පවුලේ උදවියද හා අසල්වැසි කාන්තාවත් අතර යම් බහින්බස්වීමක්, උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබුණේ මීට කලකට පෙරය. මේ හේතුව නිසා පොලිස් කොස්තාපල් චතුරංගගේ නිවෙසට යාබදව ජීවත් වූ කාන්තාව සහ හෝටලය ඉදිකරගෙන යන ස්ථානයේ පිරිස පසු වුයේ දැඩි කෝපයෙනි.
ඉකුත් 17 වැනිදා සුපුරුදු පරිදි සිය රාජකාරි අවසන් කළ පොලිස් කොස්තාපල් චතුරංග දිල්ෂාන් සිය නිවසට පැමිණියේය. එලෙස පැමිණි චතුරංග සිය දරුවා සුරතල් කරමින් කාලය ගතකොට රාත්‍රී 9ට පමණ ආහාර ගැනීමට සූදානම් විය. ඒ වන විට පොලිස් කොස්තාපල් චතුරංගගේ බිරිය හා දරුවාට අමතරව ඔහුගේ බාල සොහොයුරා වු කසුන් රාජිත ද එම නිවසේ සිටි අතර, දෙසොහොයුරන් රාත්‍රී ආහාරය ගන්නට පටන් ගත්හ. ඒ අවස්ථාව වන විට යාබද ඉඩමේ ඉදිකරගෙන යමින් තිබූ හෝටලය තුළ පිරිසක් සාදයක් පවත්වමින් සිටියහ. ඔවුහු මදුවිතෙන් සප්පායම් වෙමින් කෑකෝ ගසමින් විනෝද වෙමින් සිටියහ.
වැඩි වේලාවක් යෑමට පෙර සිය නිවෙස ඉදිරිපිට යමක් ඇද වැටෙනු චතුරංගට ඇසිණි. ඒ ඇදගෙන වැටුණේ තම යතුරු පැදිය විය යුතු යැයි සිතූ චතුරංග, අතේ තිබූ බත් පිඟාන ද පසෙකින් තබා නිවසේ වසා තිබූ දොර විවෘත කර එළියට බැස්සේ ශබ්දය කුමක්දැයි විපරම් කිරීමටය. ඒ පිටුපසින්ම ඔහුගේ සොහොයුරා හා දරුවා වඩාගත් චතුරංගගේ බිරිය ද ආහ. ඔවුන්ගේ නෙත ගැටුණේ වතුරංගගේ යතුරු පැදිය බිම පෙරළී තිබෙන අයුරුත් පහළොවකට පමණ ආසන්න පුද්ගලයන් පිරිසක් ඔවුන්ගේ නිවසේ මිදුලට පැමිණ සිටින අයුරුත්ය.
“ඇයි මොකද්ද ප්‍රශ්නෙ?” පොලිස් කොස්තාපල් චතුංරග ඔවුන්ගෙන් විමසීය. ඒ සමඟම “ප්‍රශ්නෙ......ප්‍රශ්නෙ තමයි උඹලා” කියමින් එහි සිටි පිරිසෙන් එක් අයකු අතෙහි වු පොල්ලකින් චතුරංගගේ හිස දෙසට වැරෙන් පහරක් එල්ල කළේය. ඒ පොලු පහරින් පොලිස් කොස්තාපල්වරයා බිම ඇද වැටෙද්දී ඔහු බේරා ගැනීමට චතුරංගගේ සහෝදරයා ද ඉදිරියට පැන්නේය. ඒ සමඟම සෙසු පුද්ගලයන් ද චතුංරගටත් ඔහු බේරා ගැනීමට ගිය මල්ලී කසුන්ටත් එකදිගට පහර දෙන්නට විය. ඔවුන්ගේ ගුටි බැට සහ පොලු මුගුරු ප්‍රහාරය හමුවේ අඩපණ වූ පොලිස් කොස්තාපල් චතුරංගත් ඔහුගේ සොහොයුරාත් බිම ඇද වැටෙද්දී එසේ බිම ඇද වැටුණු අයියා මලෝ දෙදෙනා ඔවුහු විසින් බිම දිගේ ඇදගෙන අසල වූ ඉදිකරගෙන යමින් තිබූ හෝටලය වෙත රැගෙන ගියහ. එසේ හෝටලය වෙත රැගෙන යෑමෙන් පසු ද පොලිස් කොස්තාපල් වරයාට හා ඔහුගේ සොහොයුරාට අමානුෂික ලෙස පහර දුන්හ. ටික වේලාවකට පසු එක් අයකු යළි චතුරංගගේ නිවෙසට පැමිණ “අන්න දෙන්නවම ඉවරයක් කළා, ගිහින් බලපන් ” යැයි චතුරංගගේ බිරියට පවසන්නට තරම් සාහසික වී තිබිණ.
ඒ අවාසනාවන්ත සිදුවී පිළිබඳ පොලිස් කොස්තාපල් වතුරංග ගේ බිරිය සෙනුරි හිමායා රාජපක්ෂ පැවසුවේ කඳුළු අතරිනි.
“මහත්තයා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් රාත්‍රී නවයට විතර බත් කමින් හිටියේ. ඒ වෙලාවේ එළියේ සද්දයක් ඇහිලා මහත්තයා දොර ඇරගෙන එළියට ගියා. මහත්තයා එක්ක බත් කකා හිටි මහත්තයගේ මල්ලි කසුනුත් මහත්තයාගේ පස්සෙන් එළියට ගියා. මමත් දරුවා වඩාගෙන එළියට බැස්සා මොකද්ද සද්දේ කියලා බලන්න. ඒ යනකොට පහළොවක් විතර පිරිසක් අපේ මිදුලේ හිටියා. මහත්තයා ඇහුවා ඇයි මොකද්ද ප්‍රශ්නය කියලා. ඒ එක්කම එතන හිටිය කට්ටිය ඇවිත් මහත්තයට පොලුවලින් ගහන්න ගත්තා. මහත්තයා බේරගන්න මල්ලිත් ගියා. එයාලා මල්ලිටත් ගැහුවා. මම අතේ දරුවා වඩාගෙන හිටියේ. දරුවා බය වෙන නිසා මම ගේ ඇතුළෙන් දරුවා තියලා ඇවිත් මහත්තයා වැටුණු තැනට යනකොට උන් මටත් ගැහුවා. මගේ සද්දයත් එක්ක දරුවා ගේ ඇතුළේ අඬනවා ඇහුණා. මම ගුටිකාගෙනම දරුවා ගන්න ගේ ඇතුළට ගියා. ඒ ගිහින් දරුවත් අරගෙන එළියට එනකොට උන් මහත්තයයි මල්ලියි දෙන්නවම හෝටලය තියෙන පැත්තට ඇදගෙන ගියා. ටික වේලාවකින් කිසි සද්ධයක් නැතිව ගියා. ඒත් එක්කම එක්කෙනෙක් ඇවිත් කිව්වා “අන්න දෙන්නම මරලා දාලා තියෙන්නෙ, ඇවිත් බලපන්” කියලා. මම එතනට දුවලා යනකොට මහත්තයාත් මහත්තයාගේ මල්ලිත් ලේ පෙරාගෙන බිම වැටිලා හිටියා. මම හයියෙන් කෑ කෝ ගහලා උදව් ඉල්ලනකොට අහලපහල කීපදෙනෙක් ඇවිත් මහත්තයයි මල්ලිවයි තංගල්ල රෝහලට අරන් ගියා. ඒත් මහත්තයාගේ ජීවිතය බේරාගන්න බැරි වුණා”
ඉන් එහාට වදන් ගොනුකර ගත නොහී ඇය නිහඬ වූයේ ඒ අවාසනාවන්ත ඉරණම ඇයටත් සිඟිති දරුවාටත් චතුරංගගේ ආදරයත් රැකවරණයත් සදහටම අහිමි කළ නිසාය. රෝහලට රැගෙන යනවිටත් පොලිස් කොස්තාපල් වතුරංග දිල්ෂාන් ජීවිතය අතහැර ගොස් සිටියේය. පහරකෑමෙන් බරපතළ තුවාල ලබා සිටි චතුරංගගේ බාල සොහොයුරා වන කසුන් රාජිත ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහුගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. චතුරංගට ඔහුගේ ජීවිතය අහිමි වන තුරුම සාහසික ලෙස පහර දුන්, ඔහුගේ සොහොයුරා ගේ ජීවිතය ද අවදානමකට ඇද දැමූ එම අමානුෂික පහරදීමට සම්බන්ධ සැකකරුවන් පිරිස ඒ අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර, ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල් චතුරංගගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද තංගල්ල පොලිසියට නියෝග කෙරුණි.
මේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි රත්නවීර එස්. අඩස්සූරිය යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හයක් විසින් පරීක්ෂණ ආරම්භ කෙරුණි.
එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආනන්ද වනිගාබදු, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් (28435) පො.සැරයන් සම්පත්, පො.සැරයන් (4732) ගුණසේකර, පො.සැරයන් (52721)සිරිවර්ධන, කාන්තා පොලිස් සැරයන් (1993) හර්ෂණී හා පොලිස් කොස්තාපල් (67059)ගයාන් යන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු හා එක් සැකකාරියක ඉකුත් 19 වැනිදා දින අත්අඩංගුවට ගනු ලැබිණ. අත්අඩංගුවට පත් සැකකරුවන් හා සැකකාරිය වලස්මුල්ල හා විතාරන්දෙණිය ප්‍රදේශවල පදිංචි කරුවන්ය. එම සැකකරුවන් තිදෙනා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් වන අතර, අත්අඩංගුවට පත් කාන්තාව මෙම අපරාධය සඳහා පැමිණි ප්‍රධාන සැකකරු ඇතුළු පිරිසකට නවාතැන් දීම, ආධාර අනුබල දිම හා ඔවුන්ට පලා යෑමට උපකාර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා හා සැකකාරිය තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර, මාර්තු 4 වැනි දින ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසට අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.
මියගිය පොලිස් කොස්තාපල් චතුරංග දිල්ශාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් 20 වැනිදා විතාරන්දෙණිය තේනගම දී සිදුකෙරුණු අතර, පොලිස් කොස්තාපල් වරයාගේ බිරිය හා තුන් හැවිරිදි දියණිය පදිංචිව සිටින නිවෙසට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පලා ගොස් සිටින අනිත් සැකකරුවන් අත්අංගුවට ගැනීම සඳහා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයෙන් කුපිත වූ පිරිසක් විසින් කොස්තාපල්වරයාගේ නිවෙස ආසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුට අයත් බව කියන හෝටලයට හා සිද්ධියට සම්බන්ධ කාන්තාව පදිංචිව සිටි නිවෙස ඉකුත් 18 වැනිදා ගිනි තබා විනාශ කර ඇත. එම ගින්නෙන් ප්‍රධාන සැකකරුට අයත් හෝටලයේ බිම් මහලේ දොර ජනෙල්, ශීතකරණ ඇතුළු බඩු බාහිරදියට අලාභ හානි සිදුව තිබු අතර, කාන්තාව පදිංචිව සිටි නිවෙසේ වහලයේ කොටසක් විනාශ වී තිබූ අතර, ගින්න නිවෙස ඇතුළට ද පැතිර ගොස් තිබූ බව වාර්තා විය.
නුවන් ජයසේකර, සටහන හා ඡායාරූප සූරියවැව විශේෂ