සුවිසල් අරුතකින් ජීවිතය සැරසූ මිනිසා | සිළුමිණ

සුවිසල් අරුතකින් ජීවිතය සැරසූ මිනිසා

ශ්‍රී ලංකා පුවත්පත් කොමිසමේ පැමිණිලි නිලධාරියකු ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනආරච්චි සිය දිවිසැරිය හදිසියේ නිම කිරීම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයේ විවිධ කුලකයන් මහත් කම්පනයකට පත් කළ සිදුවීමක් විය.

කොළඹ තර්ස්ටන් විදුහලේ දිප්තිමත් ආදි සිසුවකු වන කමල් ලියනආරච්චි ශ්‍රී ලංකා කොමිනියුනිට් පක්ෂයට සම්බන්ධව ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සමාජිකයකු ලෙස සිය පාසල් ජීවිතය හමාර කළේය. ඔහු ඒ සමයෙහි ජනප්‍රිය නොවන වාම දේශපාලන ධාරාවේ සාමාජිකයකු වන්නේ උඩුගම්බලා ගිය, ඔහුගේ සමස්ත ජීවන චාරිකාවේ පළමු පියවර තබමිනි. කමල්ට එහි මුල් අඩිතාලම වැටුණේ 1960 දශකයේ සිට වාමවාදි දේශපාලනයේ නිරත වූ ඩි.ඩී ලියනආරච්චි නම් සිය පියාගෙන් උරුම වූ දේශපාලනික නැඹුරුව විය හැකිය

‘ඇත්ත’පුවත්පත යනු මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ හැරවුම් පරිච්ඡේදයක් බව සුවිශේෂයෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කමල් ලියනආරච්චි සම්බන්ධ වන්නේ ඕපපාතික චරිතයක් ලෙස නොවේ.

තාරුණ්‍යයට හිමි විප්ලවවාදී රැඩිකල් මතවාදීමය හැඟීම් සමුදායන් සමඟින් එවක තරුණ කොටස් ජවිපෙ වටා කේන්ද්‍රගත වෙමින් තිබූ සමයකි. එකී ජනප්‍රිය ධාරාවෙන් පරිබාහිර දේශපාලනික නැමියාවක් තිබූ ඔහු නිවැරදි යැයි හැඟෙන වාමවාදී දේශපාලනික මතවාදය සමඟ ගමන් කරමින් එහි නිරතවීමට පෙලඹවීම ම කමල් ලියනආරච්චි නැමැති මාධ්‍යවේදියාගේ චින්තන පරිචයේ තිබූ සුවිශේෂ පුළුල් දෘෂ්ටිවාදී නැඹුරුව මැනවින් පිළිබිඹු කළේය.

අද බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගියද මෙරට එක්තරා භීතියකින් තැති ගැණුන යුගයක් තිබිණි. එදා මධ්‍යම රාත්‍රියේත් මහ ගිනි මද්දහනේත් හිටිගමන් තරුණයන් පැහැරගෙන ගිය, රට ම බියෙන් ඇළලී ගිය සමයක් අපි පසුකරමින් පැමිණ ඇත. එවක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දන කරන මුවාවෙන් සමස්ත විපක්ෂ ම නිහඬ කළ වියරු රාජ්‍ය පාලනය විසින් මිනි කඳු ගොඩගසමින් සිටියේය. කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මතවාදයේ නිරත වූ කමල් ලියනආරච්චි ද දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ඉලක්කයක් බවට පත් විය. හෙතෙම ඒ සකල විධ මර්දනයන්ට එරෙහිව නැඟී සිටි භූමිකාවක නිරතවූ බව ඔහුගේ සමකාලීන දේශපාලනික සගයන්ට රහසක් නොවේ.

භීෂණයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සම්බන්ධයෙන් එසමයෙහි විපක්ෂයේ රණහඬ බවට පත් වූයේ වත්මන් අග්‍රාමාත්‍ය එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂයන්ය. නීතිය වල් වැඳුණ යුගයක නීතියේ ආධිපත්‍ය පිහිටුවීම උදෙසා මහින්ද රාජපක්ෂයන් විසින් ගෙන ගිය අරගලය යථාර්ථයක් බවට පත් කිරිමට කමල් ලියනආරච්චි නැමැති තරුණ දේශපාලන ක්‍රියාධරයා පෙරමුණ ගත්තේය. කමල්ගේ මෙම භූමිකාව එවක ඔහුගේ දේශපාලන පස මිතුරෝ ද මැනවින් වටහා ගෙන සිටියහ. එම ප්‍රචණ්ඩ සමාජ වටපිටාව තුළ ඔහුගේ දිවි සුරැකුණේ අහම්බයකින් වන්නට ඇත.

" අසාධාරණයක් සිදු වන විට ඔබ අපක්ෂපාතීව සිටී නම් ඔබ තෝරා ගෙන ඇත්තේ පීඩිතයාගේ පැත්තයි. අලියකුගේ පය මීයකුගේ වලිගය මත ඇති විටක ඔබ අපක්ෂපාතීයැයි කිවහොත් ඔබේ අපක්ෂපාතී බව මීයාට නොවැටහෙනු ඇත" ඩෙස්මන්ඩ් ටුටු වරෙක පැවසුවේය.

මධ්‍යවේදී කමල් ලියනආරච්චි ‘ඇත්ත’ පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ‘යුක්තිය’ පුවත්පතට පැමිණ ස්වකීය මාධ්‍ය භූමිකාව තුළ පීඩිතයාගේ පාර්ශ්වය තෝරා ගැනීමේ ප්‍රතිත්තිය නියෝජනය කළේය. ජනවාර්ගිකයන් අතර ගිනි ඇවිළීම තම දේශපාලනය කරගත් දේශපාලනික කණ්ඩායම් සහ මාධ්‍ය භාවිතයක යෙදුණ ඇතැම් ජනප්‍රියවාදි මාධ්‍යකරුවන් අතර ඉන් වියුක්ත භූමිකාවක සිය පෑන හැසිර වූ කමල් ලියනආරච්චි ජාතින් අතර සාමය සහ සංහිඳියාවක ඇති අවශ්‍යතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.

ඔහු 1993 වසරේ ‘ඇත්ත’ පුවත්පතට සමුදීමෙන් අනතුරුව ‘යුක්තිය’ පුවත්පතට සම්බන්ධ වීමෙන් අනතුරුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් සමඟ සම්බන්ධ වී මාධ්‍ය නිදහස උදෙසා වූ අරගලයට ක්‍රියාකාරී මැදිහත් කරුවකු විය. ‘යුක්තිය’ පුවත්පත් කාර්යාලයේ බොහෝ රැය පහන් කරන ඔහුට රාත්‍රියේ සුව නින්දට හිස රඳවාගන්නා පංගුකාරයා ද ‘යුක්තිය’ පත්තර මිටියක් ම විය. ඔහු යුක්තියේ කටයුතු කරන සමයේ බොහෝ අපූර්ව සහ සංවේදී සිදුවීම් සහ අවස්ථා බොහෝමයක් විය.

කමල් ලියනආරච්චි පිළිබඳ දන්නා මාධ්‍ය සගයෝ ඔහුගේ සංවේදී චරිත ලක්ෂණ මැනවින් වටහාගෙන සිටියහ. එල්ටීටීඊ කුරිරු ත්‍රස්තවාදීන් විසින් දුම්රියක ඇටවූ බෝම්බයක් දෙහිවල දී පුපුරා ගිය අවස්ථාවේ ඔහු සේවය කරමින් සිටියේ ‘යුක්තිය’ පුවත්පතේ ය. මාධ්‍ය‌ෙව්දී කමල් එම සිදුවීම ආවරණය කිරීමට ගියේ කර්තෘවරයාගෙන් ලද උපදෙස් අනුවය. එම සිදුවීම දැනගත් මොහොතේ සිට කමල්ගේ මුහුණේ වෙනදා තිබූ ප්‍රසන්න සිනහව පහව ගියේය. අඳුරු ස්වභාවයකින් ඒ මුහුණ වැසී ගිය අයුරු ජායාරූප ශිල්පී ජනප්‍රිය සමරදිවාකරගේ ඇස් කාචයට හසු වී තිබිණි.

කර්තෘගේ පැවැරීම අනුව සිය මාධ්‍ය ආවරණ නිමවා යළි කාර්යාලයට පැමිණි පසු කමල්ගෙන් ඉරියව්වල ඇති වු වෙනස සම්බන්ධයෙන් ජනප්‍රිය මිතුරු කමල්ගෙන් විමසුවේය. ඊට පිළිතුරු දෙමින් ප්‍රාණවත් නොවූ හඬින් කමල් කියා තිබුණේ “අපේ අක්කා යන්නේත් ඔය කෝච්චියේ” කියාය. එහෙත් ඒ බවක් කලින් කර්තෘවරයාට නොකියා ඔහු තමාට පැවරුණු රාජකාරිය මැනවින් ඉටු කළේය. ඒ පිළිබඳ තවදුරටත් විමසූ ඡායාරූප ශිල්පී ජනප්‍රිය සමරදිවාකරට කමල් පවසා ඇත්තේ “ඔය කොච්චියෙ ගිය හැම කෙනෙක්ගෙම ගෙවල්වල මිනිස්සුන්ට දැනෙන්න ඇත්තේ මට දැණුන හැඟීමම නේ " යනුවෙනි. ඒ පිළිබඳ දැනගත් කතුවරයා වහාම තමන්ගේ යතුරු පැදිය ලබාදී කමල්ට එදින ගෙදර යෑමට අවසරය ලදින් කමල් ඉක්මන් ගමනින් නික්ම ගියේය. නිවෙසට ගොස් තතු විමසු කමල්ට දැනගැනීමට ලැබුණේ සිය සහෝදරිය එදින එම දුම්රියෙන් කොළඹ නොගිය බවයි. ඔහු සැනසුම් සුසුමක් හෙළා තිබුණේ ඉන් අනතුරුවය.

‘යුක්තිය’ පුවත්පත වසා දැමීමෙන් අනතුරු ව 2001 වසරේදී ඔහු විකල්ප ධාරාවේ මාධ්‍ය භූමිකාවෙන් ඉවත්ව ‘ලක්බිම’ ජාතික පුවත්පතට එක් විය.

නිහඬ, තැන්පත්, ආදරණීය ළෙන්ගතු වැඩිමහල් සහෝදරයකු බඳු වූ කමල් ලියනආරච්චිට පුවත්පතේ සියලු මාධ්‍ය සගයෝ ආදරේ කළහ.

එපමණක් නොව ඔහු කාර්යාලයේ සුළු සේවකයන්ගේ පවා ආදරය දිනා ගත්තේය. කමල් ලියනආරච්චි බොහෝ විට ලක්බිමේ මාධ්‍ය මිතුරන්ගේ ‘දුක්ගන්නාරාල’ විය. සියලු දෙනාගේ සිත් රිදීම්, සිත් බිඳීම් සමනය කිරීමත් ඔවුන්ගේ ගැටලුවලට හැකි අයුරින් උපදෙස් ලබාදී ඒවා නිරාකරණය කිරීමත් මාධ්‍ය වෘත්තියේ රාජකාරිවලට අමතර ඔහුට පැවරී තිබු වගකීම් විය.

වාම දේශපාලනය සහ සාහිත්‍ය කලාව පිළිබඳ විදග්ධ පරිචයක් ඔහුට විය. එම වියමනයන් කමල්ගේ මිත්‍ර සංවිධානයට හැර ඔහුගේ එම හැකියාවන් මාධ්‍ය භාවිතය සහ භූමිකාව තුළ විදහා පෑමට හැකි නොවුයේ ඔහුට පැවරී තිබූ වගකීම් තුළ එකි හැකියාවන්ට වේදිකාවක් නිර්මාණය නොවීම නිසාය.

ලක්බිම මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන සමයේ කමල් සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙස උසස්වීම් ලබන්නේය. එම ධූරයේ කටයුතු කරමින් සිටියදී, ඉන් ඉවත්ව 2006 වසරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට සම්බන්ධ වන්නේය. එහි සිංහල අංශයේ පැමිණිලි නිලධාරී ලෙස කටයුතු කළ ඔහු ඉන් අනතුරුව මෙරට මාධ්‍යවේදීන් අතර මාධ්‍ය ආචාර ධර්ම ප්‍රවර්ධන කිරීමෙහිලා ගුරුවරයෙකු ලෙස අනගි භවනීය සේවයක් ඉටු කළේය.

1969 අගෝස්තු මස 23වැනිදා කළුතර පයාගල උපත ලද කමල් ලියනආරච්චිගේ පියා වන ව්‍යාපාරික ඩී.ඩී. ලියනආරච්චි වාමවාදී දේශපාලනයේ නිතර වූවෙකි. මව නමින් ඒ. යු. කොඩිකාර වූ අතර, සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලේ තෙවැනියා ඔහුය. ‘ලංකාදීප’ සහ ‘දවස’ පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සිරිසෝම හෙට්ටිආරච්චි ගේ සහ සිරිමා හෙට්ටිආරච්චි ගේ දියණිය වන ‘ලක්බිම’ පුවත්පතේ සේවය කළ කමණි හෙට්ටි ආරච්චි මාධ්‍යවේදිනිය, කමල්ගේ දයාබර බිරිය විය.

කමල් ලියනආරච්චි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හදිසියේ අප අතරින් සදහටම සමුගන්නා විට ස්වකීය මාධ්‍ය භූමිකාවේ යුතුකම් සහ වගකීම් රාශියක් ඉටු කර තිබුණද කිත්නදී (11) සහ සිතුම්සා (06) දියණියන් දෙදෙනාට සහ බිරිය කමණි වෙනුවෙන් ඉටු කිරීමට බොහෝ යුතුකම් ඉතිරී වී තිබිණි. අවුරුදු 52ක් තරම් කෙටි ආයු කාලයක් ඔහු අප අතර රැදී සිටියද, කමල් ලියනආරච්චි යනු අප කාගේත් හදවතේ රැඳුණු මාධ්‍ය සහෘදයෙකි. සියලු අභියෝග ගැටලු ඉදිරියේ ඔහුගේ මුවඟ රැඳුණේ නිහඬ සිනහවකි. ඒ නොවෙනස් සිනහවෙන් ම ඔහු සියල්ල එක සේ දරාගත්තේය. පෞද්ගලික ජීවිතයේදී හෝ මාධ්‍ය භූමිකාවේදී කිසිදා ද්විත්ව රංගනයක නොයෙදුණ නිහතමානී, අව්‍යාජ මාධ්‍ය සගයාට සුබ ගමන් ප්‍රාර්ථනා කරමු!

Comments