සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පැහැදිලි හෙටක් | සිළුමිණ

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පැහැදිලි හෙටක්

මේ වන විට රටක් ලෙස අප මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය අර්බුදයයි.කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඇති වූ මෙම විදේශ මුදල් සංචිත අර්බුදය මෙරට ආර්ථිකයේ සියලු අංශ මේ වන විට යම් යම් ප්‍රමාණයන්ගෙන් අකර්මණ්‍යය කර දමා ඇති අතර ඒ හේතුව නිසාම කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කළ ආයතන රාශියක්ම මේ වන විටත් වැසී ගොස් තිබේ. තවත් කර්මාන්ත රාශියක්ම වැසී යාමේ අවදානමට මුහුණ දෙමින් තිබේ.

රටේ ආර්ථිකය ශක්තිමත් ලෙස හා ස්ථාවර ලෙස පවත්වා ගෙන යාමට ජීවය ලබා දුන් බොහොමයක් කර්මාන්ත මේ අර්බුදයට මුහුණ දී සිටින්නේ සිය කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතු වී ඇති දුෂ්කරතාවය නිසාය.එම අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකන් ඩොලර් සපයා ගැනීම අසීරු වී ඇති නිසා බොහොමයක් රාජ්‍ය හා පෞද්ගලික බැංකු එම ආනයනයන් සිදු කිරීම සඳහා ණය වර ලිපි විවෘත කිරීම මේ වන විටත් නවත්වා දමා ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට කර්මාන්තවලට අත් වී ඇති මෙම ඉරණම පිළිබදව සොයා බලමින් තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව පාර්ශ්ව කීපයකින්ම අප අදහස් විමසා සිටි අතර සුළු ආනයන හා අපනයන සංගමයේ ලේකම් කිත්සිරි විජේසූරියගෙන්ද අප මේ සම්බන්ධව විමසා සිටියෙමු.

එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කර සිටියේ තම සංගමයේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයන කරුවන් හා ආනයනකරුවන් මුහුණ දෙන වෙළෙඳපොළ ගැටලුවලට මැදිහත්ව එම ආනයන හා අපනයනකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගෙන ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් හා ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම බවයි.රටට අවශ්‍ය ආනයන හා අපනයන ප්‍රවර්ධනය සඳහා දස වසරක් පුරාවට තම සංගමය හා එහි සාමාජිකයින් ඉතාම සුවිශේෂී එමෙන්ම මාහැගි වැඩ කොටසක් ඉටු කරන බවද සඳහන් කර සිටි ඔහු පසුගිය කාලය තුළ තම සාමාජිකයන් සංකීර්ණ ගැටලු රාශියකට මුහුණ දුන් බවත් මේ වන විට ඇති වී තිබෙන ඩොලර් අර්බුදය හා අමුද්‍රව්‍ය හිඟකම ඒ අතරින් ප්‍රධාන සංකීර්ණ ගැටලුවක් වී ඇති බවත් අවධාරණය කළේය.

" බොහෝ කර්මාන්ත සඳහා තවමත් යොදා ගන්නේ 35% ක පමණ දේශීය අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පමණයි.ඉතිරිය විදේශ රටවලින් ගෙන්විය යුතුයි.විශේෂයෙන්ම සෙරෙප්පු,සපත්තු වගේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් විදේශ රටවලින් මෙරටට ආනයනය කරනවා.අමුද්‍රව්‍ය නැත්නම්.මෙම කර්මාන්ත තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ.ඉතාම පැහැදිලි සත්‍ය තමයි දේශීය වෙළෙඳපොළේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ.මේ අර්බුදය නිසා සුළු කර්මාන්තකරුවන් පමණක් නෙවෙයි මධ්‍ය පරිමාණ,මහා පරිමාණ සියලුම ක්ෂේත්‍රයන් වලට අයත් කර්මාන්තකරුවන් දුෂ්කරතාවයන් රැසකටම මුහුණ දී තිබෙනවා.

මේ වන විට රට පුරාම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා අතරින් 80% ක් පමණ අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මතු වී තිබෙන දුෂ්කරතා නිසා අකර්මණ්‍ය වී ගොස් තිබෙනවා.සමහර අවස්ථාවල අමුද්‍රව්‍ය තිබුණත් පැවැති මිල ගණන් වලට සාපේක්ෂව ඒවායේ මිල ගණන් 300% කින් පමණ මිල ඉහළ ගොස් තිබෙනවා.පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජය යම් යම් පියවර ගනිමින් තිබෙන බව අප කවුරුත් දන්නවා. කොහොම වුණත් ඩොලර් සංචිතය වැඩි කර ගැනීමකින් තොරව මේ ප්‍රශ්න වලින් ගොඩ ඒ යැයි සිතිය නොහැකියි.

2020 දෙසැම්බර් වන විට මිලියන 810 ක් ව පැවති විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණ මුදල් ප්‍රමාණය 2001 දෙසැම්බර් වන විට මිලියන 325 දක්වා අඩු වී තිබීමෙන් පෙනෙන්නේ විදේශ ශ්‍රමිකයන් ගෙන් බොහොමයක් මේ වන විට උණ්ඩියල් වැනි නිල නොවන ක්‍රම හරහා මෙරටට මුදල් එවන බවයි.මෙයට විසඳුමක් සෙවීමට නොපමාව කටයුතු කළ යුතු වන අතර එම විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් ඇතුළු විදේශ මුදල් සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ඉහළ ගෙවීමක් කළ යුතු වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආනයන කටයුතු සදහා අවශ්‍ය ඩොලර් කිසියම් ප්‍රමාණයකට හෝ බැංකු මඟින් නිකුත් කළ යුතුයි.

ඒ විතරක් නෙවෙයි කර්මාන්ත ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා ගෙන්වා ඇති මේ වන විට ඩොලර් නැතුව වරායේ හිරවී තිබෙන අමුද්‍රව්‍ය,යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස් හැකි ඉක්මනින් වෙළෙඳපොළ වෙත මුදා හැරීමටද පියවර ගත යුතුයි.

මේ වන විට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ උද්ධමනය 12% දක්වා ඉහළ ගිහිල්ලා. මේ තත්ත්වයත් නොපමාව පාලනය කළ යුතුයි. දැන් මෙරට බැංකු පද්ධතිය ව්‍යාපාරික ප්‍රජාව සඳහා අඩු පොලි ණය අනුපාත යටතේ ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය මුදල් ලබා දීම සිදු කරන අතර එය ඉතාමත් අගය කළ යුතු දෙයක්"

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායකගෙන්ද වත්මන් වාතාවරණය පිළිබඳව අප අදහස් විමසා සිටි අතර "රට වැටෙන සෑම අවස්ථාවකම මේ රට ගොඩ ගනු ලැබුවේ කර්මාන්තකරුවන්" යැයි ඔහු එහිදී සඳහන් කළේය.

මේ අවස්ථාවේදී කර්මාන්තකරුවන්ට ඇති ප්‍රධානම ගැටලුව වන්නේ අමුද්‍රව්‍ය හිගය බව අවධාරණය කළ හෙතෙම ඉතා ඉක්මනින් සුදුසු වැඩපිළි‍ෙවළක් ක්‍රියාත්මක කර එම ගැටලුව විසඳා දීම කළ යුතුම බවද අවධාරණය කළේය.

"මේ වෙලාවේ කළ යුතු වැදගත්ම දේ කර්මාන්තකරුවන් දිරි ගැන්වීමයි.ඒ සදහා එම කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගත යුතුයි.

විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය වැනි කර්මාන්ත බොහොමයක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් නොවෙයි සමහර යන්ත්‍ර සූත්‍රත්, ඒවායේ අමතර කොටසුත් විදේශයන්ගෙන් ආනයනය කිරීම සිදු වුණා.

නමුත් මෙම කර්මාන්තකරුවන් සඳහා දැන් ඒවා පිටරටින් ගෙන්වන්නට ඩොලර් නැහැ.මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යයි. අමුද්‍රව්‍ය ප්‍රශ්නය කඩිනමින් විසදිය යතු ප්‍රශ්නයක්. අප හැමෝගෙම බලාපොරොත්තුව ඉතා ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.කොහොම වුණත් පවතින වාතාවරණය තුළම ඇතැම් කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය,යන්ත්‍ර සූත්‍ර හා එම යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය අමතර කොටස් මෙටට තුළම නිපදවන වැඩපිළිවෙළක්ද කර්මාන්ත අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා.

එපමණක් නෙවෙයි රට පුරා සිටින කර්මාන්තකරුවන්ගේ නව නිෂ්පාදන හඳුන්වා දීමටත්,එම නව නිෂ්පාදන ජනතාව අතරට ගෙන යාමටත්, 

ඉතාම සුවිශේෂී කර්මාන්ත හා එම ව්‍යවසායකයින්ව ජාතික මට්ටමින් ඔවුන් අගයා සම්මාන ලබා දීමටත් අප කටයුතු කළ අතර ඉතාම දුෂ්කර හා අභියෝග පිරුණු කාල සීමාවක සංවිධානය කෙරුණු එම වැඩසටහන්ද සමඟ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබිදීමක් සිදු වනු ඇතැයිද අප අපේක්ෂා කරනවා."

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ අභියෝග මැද වුවද කර්මාන්තකරුවන් රැක ගැනීමේ හා දිරි ගැන්වීමේ වැඩපිළිවෙළ කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති බවයි.

"විවිධ ප්‍රශ්න තියෙනවා.නිරන්තරයෙන් අලුත් අභියෝග එල්ල වෙනවා.එවැනි ප්‍රශ්න,අභියෝග තිබියදීත් අලුතෙන් දේශීය නිෂ්පාදන රැසක් මෙරට තුළ අපි ආරම්භ කර තිබෙනවා.මේ රජය බලයට පත්වූ දා සිට මේ වෙනකන් විශාල ව්‍යවසායකයන් පිරිසක් රටට බිහි කරලා තියෙනවා. අලුත් කර්මාන්ත ආරම්භ කරලා අලුත් ව්‍යවසායකයින් රටට බිහි කරලා කර්මාන්ත අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තකරුවන් සඳහා අතහිත දීලා තියලා තියෙනවා.ඇත්ත වශයෙන්ම ඒක විශාල ජයග්‍රහණයක්.

ඒ විතරක් නෙවෙයි මේ වසර තුළ අලුතින් කර්මාන්තපුර හතළිහක් ආරම්භ කරන්නට කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අයවැයෙන් බිලියන 5 ක ටත් වඩා වැඩි මුදලක්ද වෙන් කර තිබෙනවා.ඒ වගේම කර්මාන්තකරුවන්ට අවශ්‍ය උදව් ලබා දෙන්න,කර්මාන්ත ක්ෂේත්‍රයේ නව දියුණුවක් ඇති කරන්න කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ ණය යෝජනා ක්‍රම දෙකක්ද ආරම්භ කර තියෙනවා.

අඩුපාඩු,දුෂ්කරතා මැද වුවත් දේශීය ආයෝජකයන්ට සහන රැසක් ලබා දීලා තිබෙන බවද කිව යුතුයි. අපි හැකි ඉක්මනින් මේ වන විට උද්ගත වී ඇති කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව විසඳීමටද පියවර ගන්නවා.කිසිදු කර්මාන්තකරුවෙක් අධෛර්ය විය යුතු නැහැ.

ඔවුන්ගේ කර්මාන්ත,ව්‍යාපාර කටයුතු කරදරයක් නැතුව කරගෙන යන්නට හැකි පරිසරයක් නිසැකවම ඉදිරියේදී නිර්මාණය වනු ඇති." කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක වැඩිදුරටත් එසේ සඳහන් කළේය.

Comments