‘කැන්ගරු - 05’ ධීවර බෝට්ටුවේ ස්කීපර්ට මොකද වුණේ? | සිළුමිණ

‘කැන්ගරු - 05’ ධීවර බෝට්ටුවේ ස්කීපර්ට මොකද වුණේ?

- දින 36කට පසු යාත්‍රාව ගාල්ල වරායට ආවේ ස්කීපර් නැතිවයි
- සිදුව ඇති සියල්ල තවමත් අභිරහසක් 
- ස්කීපර් සහ සගයන් අතර ඇතිවූ ගැටුමක් ගැන සැකයක්

මිරිස්ස ධීවර වරායෙන් ‘කැන්ගරු - 05’ ධීවර යාත්‍රාවෙන් ඉකුත් ජනවාරි 11 වැනිදා මුහුදු ගමන ආරම්භ කළේ අනේක ‍දුෂ්කරතා මැද වුවද මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීමේ අපේක්ෂාවෙනි.

මේ යාත්‍රාවේ ප්‍රධානියා හෙවත් මරක්කලහේ ඇතුළු 05 දෙනකු සිටියහ.

දෙවුන්දර පදිංචි පි.එච් .එම්. පී. කුමාර මරක්කලහේ ලෙස කටයුතු කළ අතර, ගාල්ල තල්පේ පදිංචි වල්ගම ප්‍රදීප් කුමාර (30), ජී. සඳුන් සමීර සංජීව (22) වී.එල්.සුසන්ත චාමර (34), එන්.එච්.ටී.රසික සුරංග (39) මෙකී ධීවර කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.

දින 60කට පමණ ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ද රැගෙන ඔවුන් පිටත් වූයේ ඇති තරම් මසුන් අල්ලා ගෙන නිරුපද්‍රිතව යළි ගොඩබිමට ඒමේ අපේක්ෂාවෙනි.

එහෙත් ඒ සියලු අපේක්ෂා සුන් වූයේ කිසිවකු නොසිතූ ඉරණමක් අත්කර දෙමිනි. ‘කැන්ගරු - 05’ ධීවර යාත්‍රාවේ හිමිකරු සුරේෂ් නලින්ද පැවසුවේ ජනවාරි 11 වැනි දා මුහුදු ගිය තම යාත්‍රාවෙන් අවසන් වරට පණිවිඩයක් ලැබුණේ පෙබරවාරි 07 වැනි දා සවස 2.00ට පමණ බවයි. ඒ පණිවිඩයෙන් කියවී ඇත්තේ යාත්‍රාවට කරදරයක් වී ඇති බවත් ධීවර කණ්ඩායමේ එක් අයකු වෙනත් ධීවර යාත්‍රාවක සිටින බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ යාත්‍රාවේ හිමිකරු මිරිස්ස ධීවර වරායට ගොස් තම යාත්‍රාවට පණිවිඩයක් ලබාදීමට උත්සාහ ගත්තද ඇමතුම් ගන්නා අය පරස්පර විරෝධී දේ පැවසූ බැවින් එදිනම රාත්‍රී වැලිගම පොලිසියට ගොස් තම යාත්‍රාවට කරදරයක් සිදුව ඇති බවට බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහු එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසුව ද යාත්‍රාවෙන් කිසිදු පණිවිඩයක් ලැබී තිබුණේ නැත. මේ අතර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද පෙබරවාරි 13 වැනි දා වැලිගම මූලස්ථාන පොලිසියට ගොස් තම ඥාතීන්ගෙන් පණිවිඩයක් නැතැයි පොලිසියට පැමිණිලි කළහ. ඒ සමඟ ධීවර යාත්‍රාව සොයා මෙහෙයුම් ආරම්භ වන්නට විය. ධීවර යාත්‍රාවෙන් තොරතුරක් නොලැබීම අතුරුදන්වීමක් ලෙස සලකන බැවින් මාධ්‍යවේදීහු ද ඒ ගැන උනන්දු වූහ. යාත්‍රාව ගැන ධීවර දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු කීවේ එම යාත්‍රාවේ ධීවරයන් අතර ගැටුමක් ඇති වී යාත්‍රාවේ ස්කීපර් හෙවත් මරක්කලහේ ලෙස කටයුතු කළ දෙවුන්දර පදිංචි පි.එච් .එම්. පී. කුමාර නමැති පුද්ගලයාට පහර දී මුහුදට තල්ලුකර ඇති බවයි.

ඔහු මුහුදේ පිහිනමින් සිට ඒ අසලින් ගිය වෙනත් ධීවර යාත්‍රාවකට ගොඩවී නිරුපද්‍රිතව සිටින බවත් එම යාත්‍රාව නියමිත දින ගණන අවසන් කර ගොඩබිමට පැමිණි පසු සියල්ල හෙළි කරන බවත් ඔහු ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ද දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කීහ. ධීවර යාත්‍රාවක් මුහුදට යන විට එහි භාරකරු සහ ප්‍රධානියා වන්නේ ස්කීපර් හෙවත් මරක්කලහේය. ඔහු තමන්ගේ අභිමතය පරිදි තම සහායක ධීවරයෝ තෝරාගනී. ඒ නිසා මේ යාත්‍රාවේ ගිය මරක්කලහේ හැර අනෙක් ධීවරයන් ගැන එහි හිමිකරු සුරේෂ් වැඩි යමක් දන්නේ නැත.

“මම පොලිසියේ පැමිණිල්ල දාලා තවත් මිතුරන්ගේ බෝට්ටු කිහිපයකටත් මේ ගැන දැනුම් දුන්නා හොයලා බලන්න කියලා. ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනත් දැනුම්වත් කළා. බෝට්ටුවේ සිටි කිසිම කෙනෙක් මට පණිවිඩයක් දුන්නේ නැහැ. නමුත් පසුගිය 16 වැනි දා දැනගත්තා ධීවර යාත්‍රාව ගාල්ල වරායට ඇවිත් කියලා. එහි ගොස් බලන විට ඒකේ මරක්කලහේ හිටියේ නැහැ. හිටපු අය කියනවා එයාලට පහර දීලා මරක්කලහේ වෙනත් බෝට්ටුවක නැගිලා පලා ගියා කියලා. නමුත් මට පණිවිඩයක් ලැබුණා මරක්කලහේ සිකුරාදා මිරිස්ස ධීවර වරායට එන බෝට්ටුවක නැගලා එනවා කියලා. මගේ බෝට්ටුවේ ආපු හතර දෙනා බොහොම අමාරු බවක් පෙන්වූ නිසා පොලිසිය ඔවුන් සියලු දෙනාම රෝහල්ගත කළා.”

ගාල්ල වරායට පැමිණි ඔවුන් බෝට්ටුවෙන් ගොඩට ගෙන තිබුණේ ගිලන්මැසිවල ආධාරයෙනි. ඥාතීන් කියා සිටියේ දින ගණනක් මහ මුහුදේ අතරමං වී හාමත් වීම නිසා ඔවුන් අසාධ්‍ය තත්වයේ සිටින බවයි. මේ නිසා 1990 ගිලන් රථයකින් ඔවුන් වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට යැවුණු අතර දැන් ඔවුහු සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටිති.

යාත්‍රාවේ හිමිකරු සුරේෂ් පවසන්නේ ඔවුන්ට ආහාර නොමැතිවීමෙන් රෝගී වූ බවක් කීවද බෝට්ටුව ගොඩබිමට එනවිටත් එහි තවත් දින ගණනකට ප්‍රමාණවත් ආහාර තිබෙනු තමන්ට නිරීක්ෂණය කළ හැකි වූ බවයි. කෙසේ වෙතත් යාත්‍රාවේ සන්නිවේදන උපකරණ විනාශ වී තිබිණි. හිමිකරු පැවසුවේ තමන්ට රුපියල් ‍ලක්ෂ 10කට වැඩි අලාභයක් මේ හේතුවෙන් සිදුවී ඇති බවකි. මේ යාත්‍රාවේ සිදුවූ බව කියන සිදුවීම බැලූ බැල්මටම අභිරහසකි. හොඳින් වැඩුණු නිරෝගී පුද්ගලයන් 04 දෙනකුට නැඟිට ගැනීමට බැරිවන තරමට පහර දී බෝට්ටුවේ සන්නිවේදන උපකරණ පවා විනාශ කර ස්කීපර්ට වෙනත් බෝට්ටුවකට නැග පලා යා හැකිද ? එසේ යෑමට ඔහුට තිබූ අවශතාව කුමක්ද ?ස්කීපර් 07 වැනි දා වෙනත් බෝට්ටුවක සිට දුන් ඇමතුමෙන් කියූ කරුණු සත්‍යයක් නම් මේ බෝට්ටුවේ ඉතිරි වූ 04 දෙනා කරන්නේ සැබැවින්ම රඟපෑමක් ද ?ස්කීපර් කියා ඇති ආකාරයට ඔහුට පහර දී මුහුදට තල්ලුකර දැමීමට තරම් ඔහුගේම සගයන්ට තිබූ වුවමනාව කුමක්ද ?07 වැනි දා සිට 16 වැනි දා ගොඩබිමට පැමිණෙනතුරු ඔවුන් වෙනත් ධීවර යාත්‍රාවක උපකාර පවා ලබාගත්තා නම් බෝට්ටුවේ හිමිකරුට කිසිම පණිවිඩයක් නොදුන්නේ ඇයි ?බෝට්ටුවේ ආහාර ඉතිරිව තිබියදී ද ඒවා අවසන් වූ බව පවසන්නේ කවර අවශ්‍යතාවකටද ?යන ප්‍රශ්න සියල්ලට විසඳුම් සෙවිය යුතුය.

බෝට්ටුවේ සිටි ස්කීපර් රැගත් යාත්‍රාව සිකුරාදා (18) සවස මිරිස්ස ධීවර වරායට පැමිණීමට නියමිතව තිබිණි. ඔහු පැමිණෙන තුරු මේ ගැන නිවැරදි තීරණයක් ගත නොහැකි වනු ඇත. බෝට්ටුවේ හිමිකරු පවසන්නේ මේ ගැටුම හේතුවෙන් පාඩු සිදුවන්නේ තමන්ට බවයි. බෝට්ටුවට සිදුවූ හානියත් අල්ලාගෙන ඇති මසුන් ප්‍රමාණය අඩු වීමත් පරීක්ෂණ අවසන්වන තුරු නැවත බෝට්ටුව මුහුදු ගමනකට පිටත් කර හැරීමට නොහැකිවීමත් හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ වන විට ධීවර දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂණ බලකාය, ගාල්ල වරාය පොලිසිය, වැලිගම මූලස්ථාන පොලිසිය මේ ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව මේ සිදුවීමේ සැබෑ තතු යථා කාලයේදී හෙළිවනු ඇත.


සිරංගිකා ලොකුකරවිට - ගාල්ල

Comments