අවුකන මගීන්ට අකැප දුම්රිය ගමන | සිළුමිණ

අවුකන මගීන්ට අකැප දුම්රිය ගමන

කොටුව සිට පොලොන්නරුව - මඩකළපුව බලා යන නගරාන්තර දුම්රිය දෙකක් වන ‘පුලතිසි’ සහ ‘මීනගයා’ ශීඝ්‍රගාමී දුම්රියන් කොවිඩ් වසංගතයෙන් පසුව යළි ධාවනය වේ. නමුත් කොවිඩ් වසංගතයට කලින් ‘පුලතිසි’ නගරාන්තර දුම්රිය අවුකන දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබූවත් මෑතක සිට එය නොනවත්වාම ධාවනය වේ.

එම නිසා කුරුණෑගලින් පසුව වැඩිම ආදායම් ලබන දුම්රිය ස්ථානය වන අවුකන දුම්රිය ස්ථානයෙන් කොළඹ සහ පොලොන්නරුව බලා යන මගීන්ට සිදුව ඇත්තේ දුම්රිය දෙස බලාගෙන සිටීම පමණි. මොරගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් අඩු ආදායමක් ලැබුවද, එවැනි ආදායමක්වත් නොලබන කලාවැව දුම්රිය ස්ථානයේ ද මෙම දුම්රිය දෙකම නතර කරනු ලබයි.

එහෙත් දුම්රිය හුවමාරු කිරීමට ඇති පහසුකම් මිස දෙපාර්තමේන්තුවට ආදායමක් නොලබන ස්ථානවලදී දුම්රිය නවත්වන නමුත් ආදායමක් ලබන ස්ථානයක මගීන්ගේ පහසුව තකා දුම්රිය නතර නොකිරීම මගීන්ට මහත් ප්‍රහේලිකාවකි.

විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ද අවුකන සහ කලාවැව ඉස්මත්තේ අලි ඇතුන්ගේ අසිරිය නැරැඹීමට ද මෙම දුම්රිය ස්ථානය ප්‍රයෝජනයට ගනිති. නමුත් කලාවැව දුම්රිය ස්ථානය අසලින් පොදු ප්‍රවාහන පහසුකමක් ලබාගැනීමට ද නොමැත. මොරගොල්ලාගම ද එවැනිම අවම පහසුකම් ඇති ස්ථානයකි.

තවද ගරු ජනාධිපතිතුමන් විසින් අවුකන රජමහා විහාරස්ථානයේ පිළිසකර කිරීම් සම්බන්ධව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් ජනපතිවරයාට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ විටදී දුම්රිය සාමාන්‍යාධිකාරිට උපදෙස් දී තිබුණේ පුලතිසි දුම්රිය, අවුකන දුම්රිය ස්ථානයේ නවත්වන ලෙසටයි. නමුත් එය මාස කිහිපයකට පමණක් සීමා කර කොවිඩ් වසංගතයට පසුව නැවත දුම්රිය නොනවත්වා ධාවනය කරයි.

සෑම මගියකුගේම මානුෂීය අයිතිවාසිකමක් වන පොදු ප්‍රවාහනය වැඩි ආදායමක් ලබන දුම්රිය ස්ථානය අතහැර, හුවමාරු කිරීමට සම්බන්ධ දුම්රිය ස්ථානවල පමණක් නවත්වා දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම මග හැර දුම්රිය ගමනාන්තයට ගමන් කරවීමෙන් පමණක් දෙපාර්තමේන්තුව දියුණු වේද?

දුම්රිය සාමාන්‍යාධිකාරිතුමනි, කරුණාකර ‘පුලතිසි’සහ ‘මීනගයා’ දුම්රිය දෙක වැඩි ආදායමක් ලබන අවුකන දුම්රිය ස්ථානයේ නැවැත්වීමට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස දන්වා සිටිමි.

• සනූජ් ලෝමිත, අවුකන

Comments