මුලතිව් කුරින්දි විහාරයේ පද්මාකාර කබොක් ස්තූපය යළි ගොඩනැඟෙයි | Page 2 | සිළුමිණ

මුලතිව් කුරින්දි විහාරයේ පද්මාකාර කබොක් ස්තූපය යළි ගොඩනැඟෙයි

කුරුන්දි ස්තූපයේ වැඩ කඩි­න­මින් සිදු කෙරෙන අයුරු

ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව උතුරු හා නැඟෙනහිර බොහෝ බෞද්ධ සිද්ධස්ථාන යළි ජනතා වන්දනාමානයට පාත්‍ර වුවද කාලාන්තරයක් වනගත වූ සිද්ධස්ථාන යළි වන්දනාමාන කිරීමට හා පුරාවිද්‍යා ස්මාරක ලෙසින් සංරක්ෂණය කිරීමට හෝ නොහැකි වූයේ ඒවා සම්බන්ධව මතුව ආ අර්බුදයන්ය. පොතුවිල් මුහුදු මහා විහාරය එයින් එකකි. එසේම මුලතිවු කුරින්දි විහාරය තවත් එකකි. කුරුන්දි විහාරයේ ඓතිහාසිකත්වය යළි ගොඩ නැංවීම පිණිස එහි තැන්පත් කිරීමට බුදු පිළිමයක් ගෙන ආ අවස්ථාවේදී මතු වූ විරෝධය නිසා බුදු පිළිමය පොලිසියේ තැන්පත් කර තබන්නට පවා සිදු විය. අවසානයේ මුලතිව් අධිකරණය දක්වා මේ ගැටලුව ඇදී ගියේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳු මලේ හෙවත් කුරින්දි විහාරය ගැන අවධානය වැඩි වශයෙන් යොමු විය. යුද කලබල නිසා කුරින්දි විහාරය වනගතව තිබුණද යුද්ධයෙන් පසුව එම සිද්ධස්ථානය ගැන අවධානය යොමු කරන්නට වූයේ වසර කිහිපයකට පසුවය. ඊට හේතු වූයේ යුද්ධයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩ නැංවීමේ භාරදූර කාර්යයක් තිබීමයි. එසේ වුවත් එහිදී වූ අභාග්‍ය සම්පන්න සිදුවීම නම් යුද්ධය අවසන් වීමෙන් වසර කීපයක් අවධානය යොමු නොවීම නිසා උතුරේ ඇතැම් දේශපාලකයන් සහ සංවිධාන විසින් එම බෞද්ධ සිද්ධස්ථාන කෝවිල් බවට හැඟවීමට උත්සාහ ගැනීමයි. කුරින්දි විහාරයටද වූයේ එයමය. අධිකරණය දක්වා ගැටලුව ඇදී ගියේ එහෙයිනි. 

එල්ලාවල මේධානන්ද හිමිගේ අප්‍රතිහගත ධෛර්යය අනුව මේ පුදබිම නිසි ලෙසින් හඳුනාගෙන සංරක්ෂණ කටයුතු පිළිබඳ අවශ්‍යතාවය සොයා බැලිණි.

ඒ සමඟම උතුරේ දේශපාලනයට සම්බන්ධ හා විවිධ සමිති යැයි කියාගන්නා පිරිස් පැමිණ එය ශිව ලිංග පූජාවක් පැවැත්වූ ස්ථානයක් බවටත් එය බෞද්ධ නොවන බවටත් තර්ක කළහ. ඒ වසර 2016 / 2017 වකවානුවේය. මුලතිව් අධිකරණය දක්වා එය ඇදී ගියේ එලෙසිනි. එහිදී අධිකරණයට මේ වෙනුවෙන් පෙනී සිටින්නට එවකට මේ සම්බන්ධයෙන් කටයුතු කළ ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන්ට හැකියාවක් නොවීය. එහෙත් බෞද්ධ මහා සම්මේලනයේ එවකට සභාපති ධුරය දැරූ ජගත් සුමතිපාලයන් විසින් ඒ බෞද්ධ උරුමය රැක ගනු පිණිස අවශ්‍ය නීති ආධාර ඒ වෙනුවෙන් සපයන ලදී. නඩුවේ තීන්දුව ලැබුණි. ඒ මේ ඓතිහාසික පුදබිම ක්‍රිස්තූ පූර්ව හෝ ක්‍රිස්තු වර්ෂ සමයේ සිට පැවතගෙන එන බෞද්ධ පුදබිමක් වශයෙනි. ඒ අනුව 2018/ 2019 වකවානුවේ එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුනද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුදල් ප්‍රතිපාදන ගැටලු මතු විය. ව්‍යාපෘතිය ඇණ හිටියේය. එහෙත් එහි ඇති වැදගත්කම එල්ලාවල මේධානන්ද හිමියන් විසින් වරින්වර කරළියට ගෙන එන ලදී. විශේෂයෙන්ම කබොක් ගලෙන් නිර්මාණය කරන ලද මෙවන් ස්තූපයක් ශ්‍රී ලංකාවේ වෙනත් තැනක දක්නට නොලැබෙන බවත් එවන් දාගැබක විශේෂත්වය ගැන උන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන්හ.

එය දුටු බෞද්ධ මහා සම්මේලනයේ එවකට සභාපති ධුරය දැරූ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාලයන් විසින් පෞද්ගලිකවම එම කැණීම් සඳහා ඇස්තමේන්තුගත කළ රුපියල් 15,44,000ක මුදල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.

ඒ අනුව කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. දැන් එහි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන නිසා අපි පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණෙමු.

මැදවච්චියේ සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගයේ ගොස් පුලියන්කුලමෙන් දකුණට හැරී නෙදුන්කර්නි හරහා මුලතිව් දක්වා ගොස් මුලතිව් - කෝකිලායි මාර්ගයේ කෝකිලායි දෙසට කිලෝ මීටර් 12 ක් අලම්පිල් දක්වා ගොස් එතැනින් දකුණට හැරී කුමුලමුනේ මාර්ගයේ ගොස් කිලෝ මීටර් 13 ක් ගමන් කරන විට වනගතව කදුමුදුනක පිහිටා ඇති කුරුඳුමලේ විහාරයට ළඟා විය හැකි ය.

කුරුඳුමලේ හෙවත් කුරින්දි විහාරස්ථ කඳු පාමුල කුරුඳු වැව දක්නට ඇත. එය අලංකාර වැවකි. මිනිස් ක්‍රියාකාරකම්වලින් තොර නිසා වැවේ ජලයේ මෙන්ම පාරිසරික සුන්දරත්වය තවමත් රැකී ඇත. වෙනත් වැව් අසල දක්නට නැති සමනලයින් බත්කූරන් ඇතුළු බොහෝ සතුන් මෙන්ම කුඩා පක්ෂීන්ද රැසකි. එමෙන්ම වැව ඉවුරේ හා එයින් බැහැරට වන්නට ඇති ගස්කොළන් පවා කියා පාන්නේ මිනිසාගේ ග්‍රහණයට තවමත් හසු නොවූ බවකි.

එතැන් සිට කඳුමුඳුනට පා ගමනින් දුෂ්කර ගමනක් යා යුතුය. කඳුමුදුනට ගමන් කළ අපට දැකගන්නට ලැබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනමින් වැඩ කටයුතු සිදු කෙරෙන කුරුඳු මලේ දාගැබ (කුරින්දි) සහ ප්‍රාකාරයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරනා ආකාරයයි. ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම යුද හමුදාවේත් සිවිල් ආරක්ෂක බළකායේත් සහාය ලැබී තිබේ.

මීට පෙර මෙරටින් හමුව නැති පද්මාකාර හැඩයෙන් යුත් කබොක් ගලින් නිමකරන ලද කුරුඳු විහාරයීය චෛත්‍යය මහා ගාම්භීර පෙනුමක් එක් නොකළත් එයින් විදහා දැක්වෙන අපේ හෙළ සංස්කෘතිය මහා ඉහළය.

වවුනියා ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ කාර්මික නිලධාරි කපිල සේනාධීර කුරුඳුමලේ භාරව සිටින ව්‍යාපෘති නිලධාරියාය. අපි ඔහුගෙන් කුරුඳුමලේ ස්තූපය ගැන කරුණු විමසුවෙමු.

‘‘ මේ වන විට කැණීම් සිදු කර මතු කර ගත් ස්තූප කොටස් එකතු කර අපි ස්තූපය ගොඩ නැංවීමේ කටයුතු සිදු කරනවා. පැරැණි කබොක් ගල් උපරිම ලෙසින් යොදා ගන්නවා. මේ වසරේ පොසොන් මාසය වන විට අපට වැඩ කටයුතු නිම කරන්නට පුළුවන් වේවි.

අක්කර 75ක් මේ සිද්ධස්ථානයට අයත් වනවා. ඒ වගේම පුරාවිද්‍යා හා වනජීවී දෙපාර්තමේන්තුවට කුරුඳු මලේ රක්ෂිතයේ අක්කර 400ක් වෙන්ව තිබෙනවා.

අඩි 68ක් දිග ප්‍රාකාරයේ පළල අඩි 64ක් වනවා චෛත්‍යයේ උස අඩි 45ක් වනවා. විෂ්කම්භය අඩි 42ක්. ඒ සියල්ල ඉපැරැණි දිග පළල අනුව තමයි අපි සිදු කරන්නේ.

මේ සිද්ධස්ථානයට පිළිම ගෙයක්, උපෝසථාගාරයක්, සඳකඩපහණ ආදිය ඇතුළත් වනවා. ඒ වගේම ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පහළින් පිහිටි වැවට අමතරව කඳු මුඳුනේ විශාල පොකුණක් තිබෙනවා.

ඒ වගේම කුරුඳුමලේ පුදබිම හා සම්බන්ධවයි මේ ප්‍රදේශයේ ඇති ලොකුම වැව වන තණ්ණිමුරුච්චි වැව රජකාලයේ ඉදි කර තිබෙන්නේ.

සිවුවන උදය රජතුමා විසින් මේ සම්බන්ධව සොයා බැලූ බවට පැරැණි සාධක තිබෙනවා. වෙනත් සිද්ධස්ථානවල දක්නට නැති යමක් මෙහිදී සොයා ගෙන තියෙනවා. එය රවුම් හැඩැති ශිලා පහණක් බවයි ඇතැම් පුරා විද්‍යාඥයන්ගේ මතය වන්නේ. එම ශිලා පහණේ ඇති වටරවුමේ ඇතුළට නෙරා ඇති දාරයේ තෙල් දමා පහන් තිර යොදා දැල්වීමට හැකි ලෙසින් සකස් කර ඇති බවයි ඔවුන්ගේ මතය වන්නේ. ඒ වගේම තවත් පිරිසකගේ මතය වන්නේ විශාල මුට්ටියක් වැනි යමක් එහි තැබීමට තිබූ දරණුවක් වැනි යමක් මේ ගල් පුවරුවේ ගිලා බස්වන්නට ඇති බවයි.

මෙහි උපෝසථාගාරයේ දොර දැවවලින් නිර්මාණය කර ඇති බවත් පෙනෙන්නට තියෙනවා. එහි සඳකඩපහණ ඇති ස්ථානය නිධන් හොරුන්ගේ ග්‍රහණයට අසුව තිබෙනවා. ස්තූපයේ කැණීම් පමණයි අප තවමත් සිදු කර ඇත්තේ අනෙක් ස්ථානවල කැණීම්වලින් බොහෝ දේ සොයා ගන්නට පුළුවන් වේවි‘‘ 

අපි කුරින්දි විහාරයේ ඓතිහාසික වටිනාකම ගැන පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විමසුවෙමු.

‘‘ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 හෝ 11 පමණ දක්වා සංවර්ධනය වෙමින් පැවති ආගමික ස්ථානයක් ලෙස කුරින්දි විහාරය හඳුන්වන්න පුළුවන්.

අටුවා ලියන කාලෙ කුරින්දි අටුවාව ලියූ ස්ථානය කුරින්දි විහාරය ලෙසින් හැඳින්වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. කුරඳුගම කියලත් මේ ප්‍රදේශය හඳුන්වා තියෙනවා. දෙමළ ජනතාව කිව්වේ කුරුන්දන්මලේ කියලා. මෙහි රහතන් වහන්සේ මෙන්ම ත්‍රිපිටකධර ස්වාමීන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බවට බොහෝ සාධක තියෙනවා.

කුරින්දි වෙල්ල විහාරයට අයත් කුරුඳු වැව කරවූ බව දැක්වෙන ශිලා ලේඛන තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද (මිහිදු) නම් රජ කෙනෙකු මහින්ද වැව නැමැති විශාල වැවක් මේ හා සම්බන්ධිතව ඉදි කළ බවත් එම වැව මේ පූජනීය ස්ථානයට සම්බන්ධ කළ බවත් කියැවෙනවා. සෙල් ලිපියේ පැහැදිලිව තියෙනවා එම රජු පසුව ඇති වුණු ආරාවුලකදී පවා වැව නිදහස් කර ලබා දුන් බවක්. උතුරේ පමණක් නෙමෙයි මේ රටේම තියෙන විශේෂිතම ඓතිහාසික ස්ථානයක් ලෙස කුරින්දිමලේ හෙවත් කුරින්දි විහාරය හඳුන්වන්න පුළුවන්.

මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේ එක් රැස් වූ ස්ථානයක් බවට දැනට හඳුනාගත් ලක්ෂණ වලින් පෙන්වා දෙන්න පුළුවන්. අවම වශයෙන් 500කටත් වඩා භික්ෂූන් එහි රැස්වෙන්න ඇති කියලා උපකල්පනය කරනවා.

අපි මේ සම්බන්ධයෙන් බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති හා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාලගෙන් කරුණු විමසුවෙමු.

‘‘ බෞද්ධ උරුමයන් රකින එක අපි කාගේත් යුතුකමක් ලෙසයි මම දකින්නේ. මම බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන කාලයේදීත් පුරා විද්‍යා ස්ථාන රැක ගැනීම පිණිස කමිටුවක් රැස් කරා. එමෙන්ම 2007 අවුරුද්දෙ අනුරාධපුරයේ මාස 6ක වැඩමුළුවක් පැවැත්වූවා පුරා විද්‍යා ස්ථාන හඳුනා ගැනීම හා ආරක්ෂා කිරීම යටතේ ස්වාමීන් වහන්සේ 40 නමක් උදෙසා ඒ වැඩමුළුව පැවැත්වූවා.

මම පුරාවිද්‍යා උපදේශක සභාවෙත් කටයුතු කළා. ඒ අනුව අපට එල්ලාවල හිමියගෙන් දැන ගන්නට ලැබුණා මේ කුරින්දි විහාරස්ථානය ගැන. එහි කැණීම් කිරීමේදී අර්බුද මතුව අධිකරණය දක්වා යන්නට ඒ ස්වාමීන් වහන්සේලාට සිදුවුණා. අපි බෞද්ධ උරුමය වෙනුවෙන් ඒ සියලු වියදම් දැරුවා.

නමුත් 2020න් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලොකු ගැටලුවක් මතු වුණා මුදල් නොමැතිකම නිසා මේ කටයුතු කරන්න බැරිවීමෙන්. පසුව අපි ඒ සම්බන්ධයෙන් රුපියල් 15,44,000ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගත්තා.

දැන් ස්තූපය ගොඩනංවනවා නමුත් ගැටලුවක් තියෙන්නෙ ඒ වෙනුවෙන් කබොක් ගල් සැපයීම සිදු කිරීමයි. එහි සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 55ක ඇස්තමේන්තුවක් කර තිබෙනවා. ඒ මුදල ලබා දෙන්නට මම සූදානමින් ඉන්නෙ. ඒත් කබොක් ගල් සැපයීමේ ප්‍රශ්නය තමයි අපට තියෙන්නෙ. වරකට කබොක් ගල් 1200කට අඩු ප්‍රමාණයක් තමයි අපට ප්‍රවාහනය කරන්න පුළුවන් වෙන්නෙ. හොරණ අවට පෙදෙස්වලින් තමයි කබොක් ගල් සපයා ගත යුතු වන්නෙ.

මෙවන් පද්මාකාර ස්තූපයක් මෙරටින් හමුව නැහැ. ඒ වගේම කබොක් ගලෙන් කරපු ස්තූපයක් වීමයි වැදගත් වන්නේ.

ස්තූපයේ පමණක් නෙමෙයි විහාර සංකීර්ණයේ සියලු කැණීම් කරන්න හා සංරක්ෂණය කරන්න අපි බෞද්ධයන් වශයෙන් දායකත්වය දක්වන්න සියලු කටයුතු සූදානම් කර තියෙන්නෙ. ‘‘

කුරින්දි විහාරය මේ ලෙසින් ගොඩ ගැනීමට කටයුතු කිරීම අප අගය කළ යුතු වේ. කුරුඳුමලේ විහාරය ලෙසත් මේ ස්ථානය හඳුන්වා තිබුණු අතර කුරුන්දම්මලේ හෙවත් “කුරුන්දවාශෝක විහාර” ලෙස හඳුන්වා ඇත්තේද මේ කුරින්දි විහාරයයි.

ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය ඇත. කුරුන්දවාශෝක විහාරය කුරුන්දපාසක විහාරය නමින්ද මහා වංශයේ සඳහන් වෙයි. පසුකලෙක පළවන අග්බෝ රජු හා පළවෙනි විජයබාහු රජු එහි සංවර්ධන කටයුතු සිදු කර තිබේ.

ජනප්‍රවාද වලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට ඇති බවද පැවසේ.

මනෝරථපූරණියේ සඳහන් ආකාරයට ඵුස්සමිත්ත නම් වූ තෙරුන් වහන්සේ නමක් කුරුන්දකවාසී යන නාමයෙන් ආමන්ත්‍රණය කොට තිබේ. ඒ අනුව උන් වහන්සේ කුරින්දි විහාරය හා සම්බන්ධිතව සිටින්නට ඇතැයි සැලකිය හැකිය.

අපේ සමාජයේ නිතර කියැවෙන වචන කිහිපයක් වන ‘වන් ඇන්ඩ් ඔන්ලි‘ යන්න කුරින්දි විහාරයට භාවිත කළ හැකිය. අපි කුරින්දි විහාරය සංරක්ෂණය කර රැක ගත යුත්තේ එහෙයිනි.

රාජ්‍ය මට්ටමින් එය රැක ගැනීම අපහසු තත්ත්වයක තිබුණු විට එය කල් නොයවා යළිත් අර්බුදයක් මතුවන්නට පෙර එය සකසන්නට කටයුතු කළ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාලයන්ටද සමස්ත බෞද්ධ ජනතාවගේ ස්තුතිය හිමිවිය යුත්තේ මීට පෙර එවන් කර්තව්‍යයක් කිසිවකුත් සිදුකර නොමැති හෙයිනි.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments