රටේ පොදු ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

රටේ පොදු ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. රුසියාව හා යුක්රේනය අතර ඇතිවී ඇති යුදමය තත්ත්වය මෙරට ආර්ථිකයට බලපෑමක් වෙයිද ? 
2. පවත්නා තෙල් ගෑස් හා විදුලිය යන අත්‍යවශ්‍ය සේවා සැපයුමේ ගැටලුව මේ යුදමය තත්ත්වය හමුවේ උග්‍රවිය හැකිද? 
3. තෙල් අර්බුදයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ගැටලු මතුවී ඇති අතර; එය විසඳීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද?
4. විදුලි කප්පාදුව නිසා උසස් පෙළ සහ මාර්ගගත අධ්‍යයනයන්ට වන බලපෑමට ගතයුතු පියවර කවරේද?
5. රජය යල කන්නය සඳහා නයිට්‍රජන් පොහොර මෙට්‍රික් ටොන් 38500ක් ආනයනය කිරීමට ගත් පියවර ගැන ඔබේ අදහස?

තෙල් අර්බුදය ඇතැමුන් විසින් නිර්මාණය කරන ලද අර්බුදයක්
- පොදු ජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්

1 ලංකාවට විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයෙන් විශාල බලපෑමක් තියෙනවා. අපිට ඍජු බලපෑමක් සිදුවන්නේ විශේෂයෙන් තේ අපනයන ආශ්‍රිතව සහ යුක්රේනය සහ රුසියානු සංචාරකයන් විශාල වශයෙන් ලංකාවට පැමිණීම යන සාධක හරහායි.

එහිදි විදෙස් විනිමය යම් ප්‍රමාණයක් අහිමිවීමට ඉඩ තියෙනවා. එසේම මෙරටින් අපනයනිත තේ කොළ සහ විවිධ අපනයනිකයන්ට හොඳ ඉල්ලුමක් එම රටවල්වලින් තිබුණා. ඉදිරියේදී එවැනි දේවල්වලට බලපෑම් ඇති කිරීමට ඇතැම් විට ඉඩ අවකාශ තිබිය හැකියි. කෙසේ වෙතත් දෙරටක් අතර යුදමය තත්ත්වයක් ඇති වුණාම එහි අතුරු ඵල අනෙක් රටවල්වලටත් බලපාන්න පුළුවන් එය සාමාන්‍ය දෙයක්.

2මම හිතන්නේ යුදමය තත්ත්වයට වඩා මේ වනවිට තෙල් සම්බන්ධයෙන් ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යෑම විශාල වශයෙන් බලපෑ හැකියි. තෙල් මිල සම්බන්ධව කතා කරන්නට වෙන්නේ ඉදිරියේදි ඇති වන තත්ත්වයන් අනුවයි. මේ තත්ත්වයන්ට අපි මුහුණ දිය යුතුයි. ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්ඡාවචනය සමඟ තෙල්මිල අර්බුදයත් මේ වනවිට සියලු රටවලට බලපෑම් කරනවා.

3 ඇත්ත වශයෙන්ම මේ රටේ තෙල් අර්බුදයකට වඩා යම් කිසි පිරිසක් විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් ද කියලා අපිට ගැටලුවක් තියෙනවා. හිටපු ඛණිජ තෙල් ඇමැතිවරයා අර්බුදයක් නිර්මාණය කරනවා රූපවාහිනිය ඉදිරියේ ප්‍රකාශනයක් කරමින්; තවත් දවස් හතරකට විතරයි තෙල් තියෙන්නේ කියලා. මේ කරන්නේ පවතින අර්බුදයට වඩා ලොකු අර්බුදයක් තියෙන්නේ කියලා නිර්මාණය කිරීමක්.

මෙය නිර්මාණය කරන ලද අර්බුදයක් බව ඉතා පැහැදිලියි. මේ වැනි අර්බුදයන් නිර්මාණය කරන පුද්ගලයන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට රජයක් ලෙස අපි ක්‍රියාකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් ලෙස විසඳුම් සෙවිය යුතුයි.

4 ආණ්ඩු පක්ෂය ලෙස අපි ඒ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. විදුලි කප්පාදුව නිසා සියල්ලට බාධා සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කඩිනම් පියවර ගන්න කටයුතු කරනවා. අර්බුදයක් නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් තමයි; මේ සියල්ලටම හේතුව වී තියෙන්නේ. මේ අර්බුදය ඇති කිරීමක් මිසක් මෙය මහපොළවේ තිබුණ අර්බුදයක් නොවෙයි. අපි රජයක් ලෙස මෙවැනි දේවල් සිදු කරන අය සම්බන්ධයෙන් විසඳුම්වලට එළඹිය යුතුයි. මේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදුලිබල ඇමැතිවරයා සමඟ කතා කරලා ප්‍රකාශයක් කළාම විදුලි බලය කප්පාදු කරන්නේ නැහැ. කොච්චර කිව්වත් ඩොලර් දුන්නේ නැති නම් අපි තෙල් දෙන්නේ නැහැ කියලා ඊට පැයකට පසු හිටපු බලශක්ති ඇමැතිවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා. මෙවැනි අවස්ථාවක වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්වල නිරත නොවිය යුතුයි. ඒ ගැනත් අපි තේරුම් ගෙන රජයක් ලෙස අපි ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර ගෙන තිබෙනවා. එසේ නොවන්නට සියලු දෙනාටම ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා.

5 අපි මේ රට සංවර්ධනය කරද්දි එය තාවකාලික වින්දනයක් ලබන සංවර්ධනයක් ද නැති නම් දිර්ඝකාලීන ප්‍රතිඵල ලබන සංවර්ධනයක්ද යන දේ තිරණය කළ යුතුයි. දිර්ඝකාලීනව සැලසුම් ඇති කාබනික කෘෂිකර්මාන්තයකට යොමු වෙන්නේ ඒ අනුවයි.

රජය මෙවැනි තීරණයක් ගත්තට පස්සේ කාබනික කෘෂිකර්මාන්තයෙන් ගොවින්ට හානියක් වුණොත් ඒ සඳහා වන්දියක් ලබාදීමට කටයුතු කරනවා කියලා පොරොන්දුවක් දුන්නා. රජය ගොවි ජනතාවට දුන්න පොරොන්දු මේ වනවිට ඉෂ්ට කරමින් තියෙනවා. හෙක්ටයාරයකට රුපියල් පනස්දහක් ගෙවිමත්, වී ඉතා ඉහළ මිලකට මිලදී ගැනීමත් සිදු කෙරෙනවා. ගොවියාට එහිදි විශාල සහනයක් ලබා දුන්නා.

මේ රටේ ජනතාවට සහ අනාගත පරපුරට තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීමටයි රජය මේ තීරණ ගනු ලැබුයේ. ජනතාවට වකුගඩු ආශ්‍රිත රෝග වැලඳෙන පරපුරක් බිහි කරන තාවකාලික විසඳුම් අපි සොයන්නේ නැහැ. ඒ නිසා නිරෝගි යහපත් අනාගත සුබදායි තත්ත්වයක් ඇති කරන්නයි අපිට අවශ්‍ය. මේ වැනි දේවල්වලින් දේශපාලන වාසි ලබාගන්න පිරිසක් ඉන්නවා. ගොවි ජනතාව පාරට බස්සලා රටට තිරසාර අනාගත සංවර්ධනයක් ඇති කරන ව්‍යාපෘතිවලින් පවා දේශපාලන වාසි ලබාගන්නයි ඒ අය උත්සාහ කරන්නේ. ඒ දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරන අයට මේ වනවිට නිසි පිළිතුර ලැබිලා තියෙනවා.

අපි කවදාවත් ගොවියා පාරට බස්සන්න සුදානම් ආණ්ඩුවක් නොවෙයි. වගාවක් හානි වුණා නම් එයට වන්දි ලබාදීලා ඒවගේ ම ලැබුණ අස්වැන්නට නිශ්චිත මිලක් ලබාදිලා ගොවි ජනතාව රැකගන්න අපි රජයක් ලෙස කටයුතු කරලා තියනවා. ගොවියෝ පාරට බස්සලා ලොකු හාල් හිඟයක් ඇති කරලා මාර්තු වෙනකොට රටේ කන්න නැතිවෙයි කියලා බොරු මතවාද සමාජගත කරලා ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න සමහර අය බලන් හිටියා. කෘෂිකාර්මික සංවර්ධනයන් දෙස බැලීමේදී, ඒ අය සමඟ සැසඳිමේදි අපිට පේනවා කාබනික කෘෂිකර්ම ක්‍රමවේදයන් වලට යොමුවෙන්නේ කොටස් වශයෙන් කියලා. අපේ වැනි රටවල්වල මේවා කරන්න ප්‍රායෝගිකව පහසු නැහැ. අපිට කරන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ කරලා තියෙන්නේ. මෙහි නිවැරදි ප්‍රතිඵල කන්න දෙකක් යනකොට පෙනෙයි.


සියලු අර්බුද ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසයි
- සමඟි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර

1 රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය නිසා ඇති වන සංකූලතාවයන් අපිට විතරක් නොවෙයි; සියලු රටවලට බලපෑම් කරනවා. තෙල් අර්බුදය අපිට ඇති වුණේ යුක්රේන සහ රුසියානු යුද්ධයක් නිසා නොවෙයි; එය ඇති වුණේ මෙ රටේ ඩොලර් අර්බුදය නිසා.

මේ තත්ත්වය ඇති වුණේ අපිට මේ ආණඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසයි. මීට පෙරත් තෙල් තියන රටවල යුදමය තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. මැදපෙරදිග ඉරාකය සහ කුවේට් වැනි තෙල් රටවල එවැනි අර්බුද ඇතිවුණා; නමුත් මේ වගේ අර්බුදයක් තිබුණේ නැහැ; ආණ්ඩුවේ අයහපත් කළමනාකරණය නිසා මේ තත්ත්වයන් උද්ගත වෙලා තියෙන්නේ.

මේ රටේ තෙල් විතරක් නොවෙයි; ඇමෙරිකන් ඩොලර් හිඟයක් වීම අත්‍යවශ්‍ය ආහාරයක්වත් ගේන්න බැරි තත්ත්වයට අද පත්වෙලා තියෙන්නේ අද මිනිසුන් මෙ දේවල් වලින් පීඩා විඳිනවා. පාර දිගේ කිලෝමිටර් ගානක් මිනිසුන් පෝලිමේ ඉන්නවා.

2 මේ සඳහා ආණ්ඩුව නිසි කළමනාකරණයක් කරන්න අවශ්‍යයි. මෙහෙම ශෝචනීය දෙයක් වුණේ. ආණ්ඩුව දේශපාලන තීන්දු ගත්තේ තමන්ගේ ගෝලබාලයන්ට ඕන විදිහට.

කොවිඩ් නිසා ප්‍රශ්න ඇති වුණ රටවල් ගොඩක් තිබුණා. උදාහරණයක් ලෙස පකිස්තානය වැනි රටවල්වල අර්බුද තිබුණාත් ඒවා කළමනාකරණය කර ගත්තා. අද අපේ රටට වෙලා තියන ආර්ථික අර්බුදය අස්සේ හොරකම් කරනවා.

අත්‍යවශ්‍ය ආහාර හිඟය, පොහොර, ගෑස්, හාල් හිඟය, තෙල් හිඟය අස්සෙත් වංචාව දුෂණය. තෙල් ඇමැති එකක් කියනවා; විදුලි බල ඇමැති තව එකක් කියලා මාධ්‍ය සංදර්ශන කරනවා.

නමුත් ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. එකිනෙකා පිට පටවලා අත පිහදාන්න බෑ. අද ලෝකය පුරා ගිහින් ආණ්ඩුවට ණය ඉල්ලන්න වෙලා. අපිට පහළින් හිටිය රටවල්වලින් ණය ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. අනවශ්‍ය ආයෝජනයන් කරලා ප්‍රතිලාභ නැති ව්‍යාපෘති ඇති කරලා ගිනි පොලියට ණය අරන් මේ ඩොලර් නැති වුණේ. ඒවා ගෙවන්න ගිහින් ආණ්ඩුව හිරවුණා.

3 අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනයට ධීවරයන්ට අවශ්‍ය තෙල් ටිකදෙන්න ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. අද කෘෂිකර්මාන්තය වගේම ධීවර කර්මාන්තය කඩා වැටිලා. මේවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට තෙල් ටික ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

රටේ මිනිසුන් මෙච්චර මහ පාරේ දුක් විඳිනවා. ඇමැතිවරු කියනවා තෙල් නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මේවා විහිළු කතා. ඩොලර් නැති වුණාට සල්ලි තියෙනවා කියන, හාල් ගේන්න දෙන්නේ නැහැ හාල් තියෙනවා කියන ඇමැතිවරු ඉන්නවා.

අන්තර් සම්බන්ධතා නැති සහයෝගයක් නැති පිරිසක් මේ ආණ්ඩුව. කොහෙද තෙල් තියෙන්න‍ෙ. විලිලැජ්ජාවක් නැතිව බොරු කියනවා. ජනතාව පාරටම ඇදලා දාලා; මේ අය බලයට ආවේ මේ අයගේ සාක්කු ටික පුරවගන්න කියලා අපි දන්නවා. රට ගැන හැඟීමක් නැහැ. තමන්ගේ සාක්කුව පුරවාගන්න විතරයි බලන්නේ.

අද වනවිට ගොවියෝ ධීවරයෝ ඒ වගේම පාරිභෝගිකයන් එළියට බහින තත්ත්වයකට පත්වෙලා. පාසල් දරුවන්ට යන්න වාහනයක් නැති වෙයි පාසල් ආරම්භ කළත්. මේ අර්බුදයෙන් රටම ඇණ හිටින තත්ත්වයකට පත්වෙලා. රටේ මිනිසුන්ට කන්න නැති කරලා තවත් මේ අය කයිවාරු ගහනවා.

4 විශ්වවිද්‍යාල වහලා තියන්නේ කොවිඩ් නිසා නොවෙයි. මේ දරුවෝ මේ පාලනයට එරෙහිව පාරට බහින නිසා. විශ්වවිද්‍යාලවල ළමයි මෙතෙක් අධ්‍යපනය ලැබුවේ මාර්ගගත ක්‍රමවේදය අනුවයි. මේ අයට අද වන විට විදුලි කප්පාදුව නිසා මාර්ගගත අධ්‍යාපනයත් නැහැ.

පාසල් වසර දෙකක් විතර වසාදමා තිබුණා. පාසල් විවෘත කළත් ළමයිට යන්න බැරි වෙනවා.

උසස් පෙළ ළමයිට පාඩම් කරන්න විදිහක් නැහැ. කොවිඩ් හොඳටම පාලනය කළා කියලා කිව්වත් අද රට වැටෙන්න ඕන පහතටම වැටිලා ඉවරයි. අද දරුවන්ට පාඩම් කරන්න බැහැ. ඉටිපන්දමෙන් පාඩම් කරන්න වෙලා. මේ ආණ්ඩුව සියලු අර්බුදවලට කොවිඩ් විකුණනවා.

කොවිඩ් විකුණද්දි ආසියාකරයේ වෙනත් රටවල ඩොලර් සංචිත වැඩි දියුණු වෙලා තියනවා.

අපි කොවිඩ් පාලනය කළා කියලා කයිවාරු ගැහුවත් අද ඩොලර් නැත්තටම නැතිවෙලා. ජනතාව රවටන්න බොරු කිව්වත් ජනතාව අද ඇත්ත දන්නවා. සියල්ල පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. ගැසට් ගහනවා; රිවස් කරනවා. කිසිදු පාලනයක් නැහැ.

බඩු මිල පාලනය කරන්නේ මේ රටේ කළු කඩ මුදලාලිලා ටික. බඩු මිල පාලනයකින් තොර වෙලා. තෙල්මිල පාලනය කරන්නේ ඉන්දියාවෙන්. මේ රට මේ තත්ත්වයට පත් කරපු ආණ්ඩුව මේ වෙන දේවල් වලට වග කියන්න ඕන. මේ රට දවසින් දවසට විනාශයට යනවා.

5 යල කන්නයට නයිට්‍රජන් ගෙනාවට වැඩක් නැහැ; ගොවියා ඉල්ලන්නේ ඒ අයට අවශ්‍ය කරන රසායනික පොහොර ටිකයි. නයිට්‍රජන් ගැන කියලා කාබනික ගැන කියලා වැඩක් නැහැ; දැන් එක කන්නයක් විනාශ කරලා ඉවරයි. දැන් නැවත වරක් නයිට්‍රජන් ගැන කියලා ඊළඟ කන්නයෙත් ගොවියා අමාරුවේ දැමීමටයි හදන්නේ. අපි එයට විරුද්ධයි.

මහ කන්නය වගේම යල කන්නයත් විනාශ වෙයි කියලයි අපිට කියන්න තියෙන්නේ. මේ රටේ ගොවි ජනතාවත් රටත් මේ අය විනාශ කරලා ඉවරයි.


ආණ්ඩුව ජනතාවට දුක කියන තත්ත්වයට පත්වෙලා
- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

1 ආණ්ඩුව උත්සාහ කරනවා රුසියානු යුක්රේන යුද්ධය පෙන්නලා තමන්ගේ බැරිකම වහගන්න. මේ යුද්ධය හරහා ඍජු බලපෑමක් නොවන බවක් ස්ථිරව කියන්නත් බැහැ. මොකද තෙල්මිල ඉහළ යාමක් විය හැකියි. එය සමස්තයට ම බලපාන දෙයක්. එක් පැත්තකින් අපේ තේ අපනයනය ක්ෂේත්‍රයන්ට බලපෑමක් වෙන්න පුළුවන්; ඒවගේම සංචාරකයන් මේ දෙරටින්ම ආවා. සංචාරකයන් පැමිණීම අඩුවෙන්න පුළුවන්. ඒවා විශාල අර්බුද නොවෙයි. මේ රටේ දැවැන්ත අර්බුදය ඩොලර් අර්බුදයයි.

අපිට විදෙස් සංචිත අහිමි වුණේ යුක්රේන් රුසියානු යුද්ධය නිසා නොවෙයි; මේ රටේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවුණේ මේ යුද්ධය පටන් ගන්න කලින්. මෙහිදී අවධාරණ කරන්න අවශ්‍ය කරුණ වෙන්නේ අපිට යුද්ධයේ යම් බලපෑමක් විය හැකි වුවත් සමස්ත කඩා වැටීමට බලපෑවේ මේ යුද්ධය නොවෙයි.

මෙරටේ එදාමෙදා තුර ඇතිවූ ආර්ථික කළමනාකරණයේදි අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙසයි; මේ තත්ත්වයට පත්වීමට සිදුවුණේ.

2 ලෝකයේ තෙල් හිඟයක් නැහැ. මිල වැඩිවීමක් පමණයි තියෙන්නේ. සල්ලි තියෙනවා නම් තෙල් ගේන්න පුළුවන්.‍ තෙල් ගෙනාවොත් විදුලිය දෙන්නත් පුළුවන්. විදෙස් විනිමය නැති අපේ රටේ තියෙන්නේ බරපතළ ආර්ථික මුල්‍ය අර්බුදයක්. ආණ්ඩුව ඩොලර් උපයන මාර්ගයන් වෙනුවට ණය මතමයි ජිවත් වෙන්නේ. මේ ආණ්ඩුවේ දූෂණ නාස්තිය විශාල වශයෙන් තියෙනවා. මේ නිසා මේ අර්බුදයෙන් ලේසියෙන් බේරීමට නොහැකියි.

මේ රට ගොඩගැනීමට සහ මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට නම් ඩොලර් හම්බ කරන මාර්ගයන් වලට යායුතුයි. ඩොලර් වලින් කරන හොරකම් නාස්තිය නවත්වන්න අවශ්‍යයි. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීම යම් කාලයට සිමා කළ යුතුයි. මේ සඳහා යම් සැලසුමක් තිබිය යුතුයි. දැන් තියෙන්නේ මේ ආණ්ඩුවේ කිසිදු කෙනෙක්; කිසිදු දේකට වග නොකියන අයාලේ යන තත්ත්වයක්. තෙල් ඇමැති එකක් කියනවා. ඛණිජ තෙල් ඇමැති තව එකක් කියනවා. විදුලි ඇමැති තව එකක් කියනවා. කෘෂිකර්ම ඇමැති තව එකක් කියනවා. ඒ අය අතර අන්තර් සම්බන්ධතා නැහැ. ඒ අය ආණ්ඩුවේ ඇමැතිවරුන් වගේ නොවෙයි කතා කරන්නේ.

ආණ්ඩුව කරන්නේ අපි වගේ තමයි ඒ අය කතා කරන්නේ. ආණ්ඩුව ජනතාවට දුක කියන තත්ත්වයට පත්වෙලා. අඩුම ගානේ දුරදිග දකින නායකයෝ නම් මේ අර්බුදය මේ වෙලාවේ එන බව දැකලා මුදල් ගෙවා තෙල් අරන් තියලා සූදානම් වෙන්න තිබුණා. අඩුම තරමින් විදුලිය නිපදවීමට ජල කළමනාකරණය කරන්න තිබුණා. දැන් ජලාශ හිදිලා ගිහින්. ජලාශවල ජලය ඉතුරු කර ගත්තා නම් මේ විදුලිය කැපිල්ල පැය දෙකකට සිමාකරන්න තිබුණා.

මේ අයට සැලසුම් නැති නිසා අනාගතයේ වෙන්න පුළුවන් අර්බුදයන්ට සුදානමක් නැතිව ආයාලයේ යන ආණ්ඩුවක් මේක. මේ බරපතළ අර්බුදය රටේ මේ වෙලාවේ ඇතිවෙලා තිබුණත්. මේ ප්‍රශ්නයට ආණ්ඩුවේ කිසිදු කෙනෙක් මැදිහත් වෙන බවක් අපිට පේන්නේ නැහැ.

3 තෙල් හිඟය සමස්ත රටේ ආර්ථික ක්‍රියාවලියටම බලපානවා. කෘෂිකර්මාන්තයට ධීවර කර්මාන්තයට නිෂ්පාදිත කර්මාන්තවලට බලපානවා. මේ සියලු ක්ෂේත්‍රයන්වලට මෙන්ම ප්‍රවාහනයට විශාල ලෙස බලපානවා. ප්‍රවාහනයන් විධිමත් නොවූවිට භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා. මිල වැඩිවෙනවා. ආණ්ඩුව මේ විශාල අර්බුදයේ දිග පළල හරියටම තේරුම් අරගන මැදිහත් වන ආකාරයක් පේන්න නැහැ.

තෙල් ටිකක් කොහොම හරි ගේනවා. ඒක බෙදලා දෙනවා. වෙන ස්ථිර විසඳුම් නැහැ. ප්‍රමුඛතා හඳුනා ගෙන තෙල් ගෙන ඒම වේගවත් කරන්න සහ විධිමත් කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවේ නැහැ.

4 ඇත්ත වශයෙන්ම මෙයට විකල්ප නැහැ. එකම විකල්පය විදුලිය සහ තෙල් ගෙනත් දෙන එකයි. අපේ රටේ තෙල් නැහැ. ආණ්ඩුව බලයට පත් කාලයේ විදුලිය නිපදවන්න විකල්ප පුනර්ජනනී බල ශක්ති ගැන කතා කළා..නමුත් තවමත් කිසිඳු වැඩපිළිවෙළක් නැහැ. විදුලිය නිපදවන්න අවශ්‍ය ස්ථිර ක්‍රමවේදයන් තවමත් නැහැ. අපේ රටේ හිරු එළිය පාවිචිචි කරන්න හැකියාව තිබුණත් තවමත් එය සිදු කර නැහැ. තවමත් රැඳී පවතින්නේ ජලවිදුලි බලාගාර හෝ ඩීසල් බලාගාර මතයි. ඒ නිසා විදුලිය සපයන එකයි ආණ්ඩුවේ වගකිම විභාග කරන පාසල් දරුවන්ටත් සහ ඔන්ලයින් අධ්‍ය­ාපනය ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් මෙහි ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා.

කොවිඩ් වලින් පසුව සමහර අය රැකියා කළේ ඔන්ලයින් මේ සියලු ක්ෂේත්‍රයන් වලට මේ විදුලි කප්පාදුව බලපානවා. බලශක්තිය කියන්නේ රටක ජීවනාලිය වගේ දෙයක්. එය අඩාළ වූ විට සියලු ක්ෂේත්‍රයන් බිඳ වැටෙනවා.

5 ආණ්ඩුව ඊළඟ යල කන්නයත් ගොවියාට නැති කරන්නයි මේ නයිට්‍රජන් පොහොර ගෙනත් තියෙන්නේ. ගොවියාට 50000 වන්දි දෙනකල් ඒ සල්ලිවලින් ජනතාවට පොහොර දුන්නා නම්; මේ රටේ ජනතාවට ප්‍රමාණවත් සහල් ටිකවත් තියෙනවා. ගොවියා අද පාරටම වැටුණා. ඒ මිනිසුන්ට ඒ පෝර දුන්නා නම් එදා වගාකරලා ජනතාවට අස්වැන්න දෙනවා.

වන්දි ගෙවන්නයි පිටරටින් හාල් ගේන්න අවශ්‍ය වන්නේ නැහැ; එදා ගොවියාට පොහොර ටික දුන්නා නම්. නයිට්‍රජන් ගෙනල්ලා මේක ගොඩදාන්න බැහැ. යල කන්නයේදී දැනට තියෙන තත්ත්වයට වඩා ලොකු අර්බුදයකට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍ර පත්වෙනවා.

කාබනික පොහොරවලින් මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනඟන්න පුළුවන් කියලා හිතනවා නම් අදාළ ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ මොළයේ ගැටලුවක්.

Comments