2021 අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව | සිළුමිණ

2021 අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව

කොවිඩ් වසංගතය හමුවේ 2022 පෙබරවාරි දක්වා කල් දැමූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොතබා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට ගත් උත්සාහයට ස්තුති කරමු. මේ වන විට උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී උත්තර පත්‍ර බැලීම ද නිම වීමට ආසන්නය.

එහෙත් ආර්ථික විද්‍යාව I (MCQ) හා II ප්‍රශ්න පත්‍ර තරමක් අවුල් සහගත වූ බව සිසුන් අප වෙත දැනුම් දුන් නිසාම ඒ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහයේ ප්‍රතිඵලය මෙසේ සටහන් කිරීම වැදගත් යැයි සිතමු. මෙවර උසස් පෙළ විභාගයට දරුවන් පෙනී සිටියේ, විදුලිය පැය ගණන් කපා දැමීම නිසා නිසි ලෙස අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි වීම, පාසල් කාලයක් තිස්සේ වසා දැමීම නිසා නිසි ලෙස අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි වීම, පාසල් කාලයක් තිස්සේ වසා සූම් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගැනීමේදී යම් යම් අපහසුතා මතුවීම ආදී අර්බුද රැසකට මුහුණ දෙමිනි. එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට විභාග ප්‍රශ්න පත්‍රයෙන් ද මතුවූ ගැටලුකාරී තත්ත්වය නිසා ඇතිවූ අසහනකාරී තත්ත්වයට යම් යම් සහනයක් ඉල්ලා සිටීමේ අරමුණින් ඊට අවශ්‍ය කරුණු විද්‍යාත්මකව ඔප්පු කිරීම උචිත යැයි මම අදහස් කළෙමි.

මෙහිදී මුලින්ම ආර්ථික විද්‍යාව I (MCQ) ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු ගැන සඳහන් කළහොත් එහි ප්‍රශ්න 50 න් ප්‍රශ්න අංක 33 ට නිවැරදි පිළිතුරක් නොතිබීම බරපතළ වරදකි. එය අපි මෙසේ සනාථ කරමු.

33 වැනි ප්‍රශ්නය - අයවැය ප්‍රාථමික ශේෂය යනු, දී තිබූ පිළිතුරු 5 මෙසේය. 1. ආණ්ඩුවේ මුළු වියදම් සහ මුළු පුනරාවර්තන වියදම් අතර වෙනස ය. 2. ආණ්ඩුවේ අයවැය හිඟය සහ ණය සේවා ගෙවීම් අතර වෙනස ය. 3. මුළු අධිභාරය සහ ණය සඳහා පොලී ගෙවීම් ඇතුළත් මුළු වියදම් අතර වෙනස ය. 4. දීමනා ඇතුළත් මුළු අධිභාරය සහ ණය සඳහා පොලී ගෙවීම් ඇතුළත් මුළු ප්‍රාග්ධන වියදම් අතර වෙනස ය. 5. දීමනා ඇතුළත් මුළු අධිභාරය සහ ණය සඳහා පොලී ගෙවීම් ඇතුළත් මුළු පුනරාවර්තන වියදම් අතර වෙනස ය.

මෙහි නිවැරදි පිළිතුර ලෙස 2 වැනි පිළිතුර සැලකිල්ලට ගෙන ලකුණු දීම සිදුකර ඇත. නමුත් එය වැරදිය. එහි “ණය සේවා ගෙවීම්” යන්නෙහි තේරුම “ණය වාරික + පොලී ගෙවීම්” ය. නිවැරදි පිළිතුර විය යුත්තේ ණය සඳහා පොළි ගෙවීම් පමණි. ණය සේවා ගෙවීම් = පොළී ගෙවීම් පමණක් යැයි පරීක්‍ෂකවරයා සිතන්නේ නම් එය වැරදිය.

එය හරි යැයි ඔහු සිතනවා නම් එම ප්‍රශ්නයේ ම (3) (4) (5) පිළිතුරුවල ද “පොලී ගෙවීම් ඇතුළත්” කොටසට ණය සේවා ගෙවීම් කියා යොදන්නට තිබුණි. මේ ගැන තවදුරටත් විමසීමට මවිසින් එම ආර්ථික විද්‍යා ENGLISH පළමු පත්‍රය (Paper 1) බැලුවෙමි. එහි සඳහන් වූයේ “Debit Service Payments” යනුවෙනි. ඊළඟට මා අධ්‍යයනය කළේ 2020 මහ බැංකුවේ ඉංග්‍රීසි හා සිංහල වාර්ෂික වාර්තා ය.

එහි “ණය සේවාකරණ ගෙවීම්” ප්‍රශ්න පත්‍රයේ “ණය සේවා ගෙවීම්” වලට සමාන ය. එහෙත් එය ‘පොලී ගෙවීම්’ බව පරීක්‍ෂකවරයා කියනවා නම් ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ Debt Service Payments කියා ඇතුළත් කළේ? මන්දැයි අපි විමසමු. එසේ නම් සිංහල හා ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍ර දෙකේම MCQ 33 ප්‍රශ්නයට පිළිතුරක් නැත. කරුණාකර දරුවන්ට ඒ ප්‍රශ්නයට BONUS ලකුණු ලබා දෙන ලෙස ඉල්ලමි.

තවද ප්‍රශ්න අංක 34ට ද නිසි පිළිතුරක් නොවිණි. එසේම ප්‍රශ්න අංක 37ද ගැටලුවක් ඇති කළ ප්‍රශ්නයකි. රටවල් පිළිබඳ ආර්ථික වර්ගීකරණයට අනුව ලෝක බැංකු විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක තත්ත්වයට පත් කරනු ලැබුවේ කවර වර්ෂයකදීද යන ප්‍රශ්න අංක 49 ද තරමක් අවුල් සහගත ප්‍රශ්නයක්ම විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අතිශයින් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් තුන වනුයේ යන අංක 50 ප්‍රශ්නය ද ඇසූ ආකාරය අනුව පිළිතුරක් නොතිබිණි.

II ප්‍රශ්න පත්‍රයේද ඇතැම් ප්‍රශ්නවල බොහෝ අවුල් සහගත තත්ත්වයන් මෙවර අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුන්ට මුහුණපෑමට සිදුව ඇති බව පෙන්වා දෙමි. ඒ අනුව මෙවර ආර්ථික විද්‍යා විෂය ධාරාවට පෙනී සිටි සිසුන්ට බෝනස් ලකුණු 20ක් පමණ දිය යුතුය යන්න මාගේ නිගමනය බව සඳහන් කරමි.

• ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක 
වින්සන් මර්වින් ප්‍රනාන්දු

Comments