
දකුණු කොරියාවේ ජනාධිපති ධූරය සඳහා නවතම මුහුණුවරකින් යුතු නවක තරගකරුවකු ඉදිරිපත් වී තිබේ. මේ නවක තරගකරුවා දකුණු කොරියානු දේශපාලනයේ වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහු සැබවින්ම දකුණු කොරියාවේ වැඩකරන ජනතාවගේ පැළැන්තියට අයත්ය. ලී ජේ- මයුන්ග් නම් වන ඔහුගේ මවුපියෝ වෘත්තියෙන් පිරිසිදු කරන්නන් ලෙස කටයුතු කළ කම්කරුවන්ය. ලී ද ළමා කම්කරුවකු ලෙස සේවය කර තිබේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව අහඹු ලෙස දේශපාලනයට ප්‍රවිෂ්ට වී ඇති ලී, පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නියමිතය.
දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වූ අතර, ලී මේ වන විටත් එරට ජනතාව අතර දැඩි ආකර්ෂණයක් දිනා ඇතැයි වාර්තා වේ. කම්කරු පන්තිය සමඟ වන ඔහුගේ ඥාතීත්වය එයට හේතුව ලෙස විචාරකයෝ දක්වා තිබේ.
ලී ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දියත් කළ තම දේශපාලන ප්‍රචාරක මාලාවන් හිදී ප්‍රකාශ කර සිටියේ දරිද්‍රතාවයෙන් තොර දකුණු කොරියාවක් බිහි කිරීම තම අරමුණ බවයි. අහස උසට ඉහළ ගොස් ඇති ඉඩම් මිල, ඉහළ අගයක් ගෙන ඇති තරුණ රැකියා වියුක්තිය මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධක වී ඇති අතර ලී එම සාධක සඳහා ඉතා දක්ෂ ලෙස පිළියම් යෝජනා කර ඇතැයි පැවසේ.
එහෙත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මඩ කන්දක් බවට පත්ව ඇති බවයි. ප්‍රධාන තරගකරුවන් කරට කර තරගයක නිරත බවට ලකුණු මේ දක්වා පෙනී යන අතර ජයග්‍රාහකයා පිළිබඳව නිශ්චිත අදහසක් දැක්වීම අසීරු වී තිබේ.
ළමා කම්කරුවකුගේ සිට ජනාධිපති අපේක්ෂකයා දක්වා පැමිණීමේදී ලී ජේ - මයුන්ග් උපයාගෙන ඇති අත්දැකීම් රාශියකි. දේශපාලන ගමනේදී ඔහු නගරාධිපති ධූරයක් මෙන්ම පළාත් ආණ්ඩුකාර ධූරයක් ද හොබවා තිබේ.
මෙවර මැතිවරණ සටනට පිවිසෙමින් ලී පවසන්නේ දුක්විඳින ජනතාවගේ දුක තමාට සැබවින්ම වැටහෙන බවයි. ඔහු පවසන්නේ රාත්‍රී සීතලේ වෙවුලමින් හිසට වහලක් නොමැතිව සිටින දුගියාගේ වේදනාව උණුසුම් කාමරවල සිටිමින් අනුමාන කළ නොහැකි බවයි. තමා ද එවැනි දුගී බව නොඅඩුව අත් විඳි පවුලක සාමාජිකයකු බැවින් දකුණු කොරියානු ජනතාවගේ දුගී බවට විසඳුම් සෙවීමට තමා තරම් සුදුස්සකු නොමැති බව ලී පවසා සිටී.
එහෙත් විපක්ෂය ලී ගේ ජනප්‍රියත්වයට සාර්ථක ලෙස පහර ගසමින් සිටින බව ද අමතක කළ යුතු නොවේ. ඔවුන් ලී ගේ බිරිය ද එල් වී ඇති මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීමේ චෝදනා යළිත් ඉස්මතු කරමින් සිටින අතර, එම චෝදනා මේ අවස්ථාවේදී ලී ට ඉතා අවාසි සහගත බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මේ අතර ලී ගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ලී අතීතයේදී වැරහැලි ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් සහ කොරියානු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ ඉතා සුඛෝපභෝගී පෙනුම සහිත ඡායාරූපයක් ජනතාව අතර බෙදාහරිමින් ලී ගේ කම්කරු අතීතය ඉතා සාර්ථක ලෙස ජනතා අවධානයට ලක් කිරීමට කටයුතු කළහ.
එසේ වුවද ලී ගේ දුගී අතීතය ඉස්මතු කරමින් ජනතා කැමැත්ත දිනා ගැනීමේ උත්සාහයන් සාර්ථක වේද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකිය. අතීතයේ මෙන් නොව බොහෝ රටවල ජනතාව මේ වන විට ඉතා දැනුම්වත් වන අතර ඔවුන් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවක් ද පෙනේ. ඒ අනුව දේශපාලනඥයන්ට සිදුව ඇත්තේ කිසිවකු නොසිතන අන්දමේ ගැටලු තමන්ම මතුකර තමන්ම ඒවාට විසඳුම් සමඟ පැමිණීමටය. දකුණු කොරියාවේදී මේ තත්ත්වය කෙසේ වේදැයි තවත් දින කිහිපයකින් දැක ගත හැකි වනු ඇත.