අවුරුදු 80 කට පසු මිනී වළක් හාරා රත්තරන් සෙවූ අරුම හොරු | Page 2 | සිළුමිණ

අවුරුදු 80 කට පසු මිනී වළක් හාරා රත්තරන් සෙවූ අරුම හොරු

රාණිගේ දේහය තැන්ප­ත්කර තිබු සොහොන

යාපනේ උපන් කේ. එම්. කනකතිපිල්ලේ මහනුවරට පැමිණ ව්‍යාපාර ආරම්භ කර තිබුණේ ඉංග්‍රීසි පාලන සමයේදීය. පිටවල ගෙදර රාණි සමඟ විවාහවීමෙන් කනකතිපිල්ලේට දාව ඇය දරුවන් තිදෙනකු මෙලොවට බිහි කළාය. දරුවන් කුඩා කාලයේදීම විසිහත්වන ජන්ම දිනය සමරන්නටත් පෙර ඇය මෙලොව හැර ගියේ උදරයේ ඇතිවූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා කළ සැත්කම් අතරතුරය.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මොලගොඩයාවත්ත ග්‍රාමසේවා වසමේ පිහිටි පිටවලවත්ත පවුලේ සුසාන භූමියේ රාණිගේ දේහය තැන්පත් කෙරුණේ මෙයට වසර 80 කට පමණ ඉහතදීය. මියගොස් අසූ වසරකට පසු යළිත් රාණි පිළිබඳ කතාබහක් පසුගියදා ඇතිවූයේ ඇගේ සොහොන කවුරුන් හෝ බිඳ ශරීර කොටස් පිටතට ගෙන තිබීම නිසාය. වසර අසූවකට ඉහතදී මියගිය පුද්ගලයකුගේ සොහොන ඇති ශරීර කොටස් පිටතට ගැනීම එතරම් අවධානය යොමුවිය යුතු කරුණක් නොවුණත් රාණිගේ මළ සිරුරේ කොටස් පිටතට ගැනීම වැඩි අවධානයක් දිනා ගන්නා ප්‍රවෘත්තියක් බවට පත්විය. ඒ පැලඳ සිටි රන් අභරණ ද සමඟ ඇය එදා මිහිදන් කර තිබීම හේතුවෙනි.

මාල, වළලු හා කරාබු සමඟ තම බිරිය වළ දමන්නට කනකතිපිල්ලේ සිතුවේ යළිත් කිසිදා විවාහයක් සිදුකර නොගන්නා බව සිතමිනි. බිරිය මොලොව හැරයාමෙන් පසු ව්‍යාපාර කටයුතු ද සමඟ දරුවන් තිදෙනා හදාවඩා ගැනීම දුෂ්කර වූ නිසා ඔහු යළි විවාහයක් කර ගත්තේය. බිරිය මියගොස් තෙවසරකට පසු කනකතිපිල්ලේ නිවසට කැඳවාගෙන ආවේ බිරියගේම නැඟණියවය. දරුවන්ට පණ මෙන් ආදරය කළ කනකතිපිල්ලේ දරුවන්ට මවක් විය හැක්කේ පුංචි අම්මාට පමණක් බව සිතන්නට ඇත. දෙවන විවාහයෙන් ඔහුට තවත් දරුවන් තිදෙනකු ලැබිණි. සොහොන බිඳ රාණිගේ ශරීර කොටස් පිටතට ඇද දමා තිබෙනු මුලින්ම දැක තිබෙන්නේ රාණිගේ මුනුපුරෙකි. ඔහුගේ තොරතුරුට අනුව කනකතිපිල්ලේගේ දරුවන් කටුගස්තොට පොලීසියට ගොස් පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබුණේ රාණි සමඟ වළදැමූ ඇගේ රන් අභරණ සොරා ගැනීම සඳහා කවුරුන් හෝ සොහොන බිඳ දමන්නට ඇති බවයි. පොලීසියෙන් ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානය බලන්නට අපිද ගියෙමු.අඩි හයක් පමණ ගැඹුරට කැණිම් කර වළේ තිබුණු ඇට කටු කිහිපයක් ගොඩදමා තිබිණි. මේ සම්බන්ධව රාණිගේ නැඟණියගේ දරුවෙකු වන 70 හැවිරිදි වියේ පසුවන පිටවල ගෙදර සතාසිවම් මෙසේ පැවසුවේය. ලොකු අම්මා රාණි සහ අපේ අම්මා එක කුස උපන් සහෝදරියෝ. අපේ අම්මා නැතිවුණේ අවුරුදු 99 දී. තාත්තා අවුරුදු 75 ක් ජීවත් වුණා. ලොකු අම්මා අකාලයේ මිය ගියාට පස්සේ අවුරුදු තුනකින් විතර තාත්තා අපේ අම්මා කසාද බැඳල තිබෙනවා. ලොකු අම්මාගේ දේහය අපේ වත්තේ තැන්පත් කරලා තියෙන්නේ එයා පැලඳගෙන හිටපු රන් භාණ්ඩත් එක්කමයි. වළ වටේ බැමි බැඳලා ගේට්ටුවකුත් දාලා තිබුණේ.පස්වලින් වළ බාගයක් විතර වහලා ඊට උඩින් විශාල ගල්කුට්ටි අතුරලා තියෙනවා. ඒවා මෙහේ හිටපු ගල්වඩුවකු ලවා තමයි තාත්තා හදවලා තිබෙන්නේ. ලොකු අම්මාගේ සොහොන ළඟම තමයි තාත්තාගේත් අම්මාගේත් සිරුරු තැන්පත් කළේ. ලොකු අම්මාගේ බාලපුතාගේ දුව බැඳල ඉන්න පුතා පසුගිය 03 වැනිදා අඹතැන්නට යන අතර මිනී වළ හාරලා තියෙනවා දැකල අපිට ඇවිත් කිව්වා.

වළ උඩින් අතුරලා තිබුණු ගල් කුට්ටි ටික කඩලා ඒවා ඉවත් කරලා වළ හාරලා. පස්සේ අපි ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කළා. කේ තංගරාණි (74) මෙසේ පැවසුවාය.

අපේ තාත්තයි අම්මයි දෙන්නම කියලා තියෙනවා ලොකු අම්මාගේ සිරුර භූමදානය කළේ එයා පැලඳගෙන හිටපු රන් අභරණත් එක්කයි කියලා. අපි හැම පෝයකටම තාත්තා,අම්මා සහ ලොකු අම්මා වළදමා තිබෙන තැනට ගොස් පහන් පත්තු කරනවා.

මේක කවුරු හරි කරලා තියෙන්නේ මේ ළඟදී දවසකයි.

කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන, පොලිස් පරීක්ෂක අරවින්ද ඇතුළු පිරිසක් සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන අතර මේවන තෙක් සිද්ධියට සම්බන්ධ කිසිවකුත් පිළිබඳ පොලීසියට තොරතුරු ලැබී නොමැත.

අසේල කුරුලුවංශ, නුවර 
කටුගස්තොට සමූහ එස්.ජී.විජේරත්න

Comments