
නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුව 2021 වර්ෂයේ විමර්ශනයට ලක් කෙරුණු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ය. විවිධ අක්‍රමිකා සිදුවූයේ යැයි අනුමාන කරමින් විමර්ශනය සිදුකළ රාජ්‍ය ව්‍යාපාර 12 ක වගතුග සියල්ල මේ වාර්තාවට අන්තර්ගත වීම විශේෂත්වයකි. මේ එහි සංක්ෂිප්තයකි.
ළමා පැමිණිලි විසඳුවේ 50% යි
- ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ලංකාවේ ළමා ආරක්ෂණය වෙනුවෙන් විශේෂ වගකීමක් දරන්නේ ළමා ආරක්ෂක අධිකාරියයි. කෝප් කමිටුව හමුවට කැඳවීමේදී මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අවධානයට යොමු කළ විශේෂ කරුණක් වූයේ ළමා අතවර සම්බන්ධයෙනි.
මහාධිකරණවල ගොනු කර ඇති නඩු සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු වුව ද, ඒ පිළිබඳ පසු විපරමක් නොකිරීම කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය.
වර්ෂ 2011 - 2020 දක්වා කාලය තුළ අධිකාරියට පැමිණිලි 89,405 ක් ලැබි තිබුණද ඒවායින් සමථයකට පත් කර තිබුණේ 50% ක ප්‍රමාණයක් බව හෙළි වූ අතර, අධිකාරිය පිහිටුවා වසර 20 ක් ගත වුවද, ළමා ගැටලු පිළිබඳ ජාතික දත්ත පද්ධතියක් නොපිහිටුවීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.
මේ හේතුවෙන් ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකයට ලැබෙන පැමිණිලි ඇසුරෙන් ඵලදායී දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරිම, දීර්ඝ කාලයක් ඇදෙමින් පැවතෙන නඩු ඉක්මනින් අවසන් කිරීම ළමා අපයෝජනය, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වැනි කරුණු අවම කිරීමේ අරමුණින් පාසල් ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම වැනි ගැටලු රැසකට කමිටුව විසින් නිර්දේශ ලබා දුණි.
මුදල් බැංකු ගිණුම්ගත කිරීමේ වංචා
- ලංකා ක්‍රිකට් ආයතනය
ජාත්‍යන්තර රූපවාහිනි විකාශන, ගුවන් විදුලි, අන්තර් ජාල විකාශන මෙන්ම අනුග්‍රාහකත්ව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය තුළ මතුවී ඇති කරුණු රැසක් කමිටුවේදී අවධාරණය විය. 2018 දකුණු අප්‍රිකා හා ශ්‍රි ලංකා සංචාරයේ රූපවාහිනි විකාශනයට අදාළව මිලියන ගණනක මුදල් වෙනත් බැංකු ගිණුම්වලට යැවීම ආන්දෝලනයට තුඩු දුන් කරුණු අතර විය.
මේ සඳහා පරිපාලනයේ ගැටලු මුල්වීම, ක්‍රිඩා සංගම් සම්බන්ධ විශාල ගැසට් ප්‍රමාණයක් නිකුත් කිරීම වෙනුවට එක් ගැසට්පත්‍රයක් පමණක් නිකුත් කිරිමට ද නියෝග විය. ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ ප්‍රමාදය වළක්වාලීමට කටයුතු කළ යුතු බවට කමිටුව අවධාරණය කළ අතර, මුදල් බැංකු ගිණුම්ගත කිරීමේදි සිදුවූ වංචා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග විය.
ප්ලාස්ටික් නීති ගැන දැනුවත්වීම් සිදුවී නැහැ
- ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය
කෝප් කමිටුව හමුවේ විමර්ශනය වූ මෙම විගණන වාර්තාවේදි ජාතික පාරිසරික පනතේ වර්තමාන තත්ත්වය, වැටලීම් හා විමර්ශන අංශ නිලධාරින්ගේ හිඟකම, ආහාර දවටනවල පැවැතිය යුතු ප්‍රමිතිය ක්‍රියාත්මක නොවීම, එම අමුද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, වෙළෙඳසැල්වලින් නොමිලයේ පොලිතින් බහාලුම් මලු ලබා දීම අධෛර්යමත් නොකිරීම, ප්ලාස්ටික් අඩංගු කසළ එළිමහනේ පිලිස්සීම පාලනය කිරිම සඳහා වූ නීති පිළිබඳව ජනතාව දැනුම්වත් කිරිම් සිදු නොකිරීම අවධාරණය කළ අතර නීති විරෝධි නිෂ්පාදන හා අලෙවි ආයතන සම්බන්ධව නඩු 1300 ක් පවරා ඇති බවත්, ඉන් නඩු 482 ක් අවසන් කර ඇති බවත්, 918 ක් මේ වන විටත් විභාග වෙමින් පවතින බවත් මෙහිදි වාර්තා විය.
මේ අතර ජාතික පාරිසරික පනත හැකි ඉක්මනින් සකස් කොට අවසන් කිරීමට ද නියෝග විය. අමතරව නීති විරෝධි පොලිතින් නිෂ්පාදන සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම කෙරෙහි අවධානය යොමු විය.
පරිපාලනය සිය වගකිම් පැහැර හැරලා
- සිමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය
2019 වසරේදී පවත්වා ඇති අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් ප්‍රමාණවත් නොවීම, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් අනුමත කර නොගැනීම, එහිදි ඉහළ පරිපාලනය සිය වගකිම් පැහැර හැරීම, 2016 නිව්යෝර්ක් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම, සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව උපදේශකවරුන් බඳවා ගැනීම, නිලධාරින් ඉවත් යාමේදී කාර්යාලයීය උපකරණ නැවත ලබා නොගැනීම, වසර 4 ක් තුළ සමාගම විශාල අලාභයක් ලැබීම යන කරුණු කාරණා අවධානයට ලක් කෙරුණු අතර මේ සම්බන්ධව වාර්තා ඉදිරිපත් කිරිමටද නියෝග විය.
කොවිඩ් සමයේ විපතට පත්වූවන් ගෙන්වා ගැනීමට අඩු අවධානයක් යොමු කරලා
- විදේශ රැකියා ක්ෂේත්රය
කොවිඩ් සමයේ විපතට පත්වූ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කාර්යාංශය දැක්වු අඩු අවධානය මෙහිදී නොසතුටට හේතු විය. විදේශ රැකියා තුළින් උපයන මුදල නිවැරදිව වාර්තා නොවීම හා මේ සම්බන්ධ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කිරීම, විදෙස් ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීමේ අවශ්‍යතා, විසඳුම් ලබා දීමට නොහැකි පැමිණිලි සඳහා විශේෂ විමර්ශන අංශය වෙත යොමු කිරීම අවධානයට යොමු විය. එසේම ගෙවි ගිය වසර 5 ක කාලය තුළ අතුරුදහන් වූ ශ්‍රමිකයන් පිළිබඳ විමර්ශනයක් කාර්යාංශය විසින් සිදු කර තිබේද යන්න සාකච්ඡාවට බඳුන් කළ අතර, වරදකරුවන් හුවමාරු කිරීමේ පනත සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්විය.
වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ
- සීමාසහිත රක්ෂණ සමාගම
මෙම සමාගම සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබීම, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් මෙන්ම ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම්හි විගණකාධිපතිගේ ව්‍යවස්ථාපිත විගණනයට ලක් කිරීම, මාලදිවයින් හා සී ෂෙල්ස් හි ශාඛා වසා දැමීම, 2017 අධ්යක්ෂ මණ්ඩල අවසරයකින් තොරව බොල් ණය ලෙස මුදල් කපා හැරීම ඇතුළු කරුණු කාරණා රැසක් කෝප් කමිටුව හමුවේ අවධානයට ලක්විය.
ඉදිකිරිම් සඳහා විශාල ලෙස මුදල් වෙන් කරලා
- පොල් සංවර්ධන අධිකාරිය
සම්මුඛ පරික්ෂණ සඳහා නොපැමිණි අය බඳවා ගැනීමේ අයිතියක් නැතත් එවන් කාර්යයක් සිදු කර ඇති බවත් එය සිදුවූයේ කෙසේද යන්න මෙහිදි විමර්ශනයට ලක් විය. පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනයේ නිත්‍ය පුරප්පාඩු නොපිරවීම අවධානයට ලක් වූ අතර ‘කොකෝ ගාර්ඩ්න් ‘ ව්‍යාපෘතිය අලාබ ලැබීමද කාරක සභාවේ අවධානයට ලක් වූ කරුණු විය. පූර්ව අනුමැතියකින් තොරව පොල් සංවර්ධන මණ්ඩලයේ ඉදිකිරීම් සඳහා විශාල මුදලක් වෙන් කිරීමද කාරක සභාවේ විමසිම්වලට හේතුවිය. මීගමුවේ බීජ ඒකකය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සඳහා උපදේශන සමාගමකට මුදල් වෙන් කර තිබුණද ඒ කටයුතු සිදු නොවීම දෝෂ දර්ශනයට හේතුවිය.
තෙල් ගෙන ඒමේ විද්‍යානුකූල අධ්‍යයනයක්, නැහැ
- ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදා හැරීම
ලොව විවිධ රටවල් අවශ්‍යතාව මත ගබඩා කිරීම් සිදු කරගෙන යන බවත්, ඛනිජ තෙල් අවශ්‍යතාව, මෙරටට ගෙන්වා ගැනීමට ගතවන කාලය වැනි කරුණු කාරණා පිළිබඳ විද්‍යානුකූල අධ්‍යයනයක් සිදු කළ යුතු වුවත් එවැනි සැලැස්මක් නැතිවිට වංචා දුෂණ වැඩිවීමේ ඉඩකඩ පවතින බව කාරක සභාව පෙන්වා දුන්නේය. එසේම පාරිසරික වාර්තා නොපමාව ලබා ගැනීම හා ඒවා කාරක සභාවට ඉදිරිපත් කිරීම, ඉන්ධන පිරවුම්හල් වැඩි කිරීමේදි විශේෂඥ වාර්තාවක් මත පදනම් ව අනුමැතිය ලබා දීමට කටයුතු කිරීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම , විශේෂ බද්ධ පැනවීමට පෙර ඉන්ධන මිල අඩු වීමේ වාසිය තුළින් ඛනිජ තෙල් සමාගම විසින් ලබා ගන්නා ලාභය පිළිබඳ වාර්තාවක් සකස් කිරීම මේ කාරක සභාවේදි අවධානය යොමු වු කරුණුය.
ගොවිපළ අලාභ රැසක්
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
වැටුප් පරිමාණයන්ගේ තිබෙන දිගු කාලින විෂමතාවන් නිසා වෛද්‍යවරුන් ලබා ගැනිමේ ගැටලු මෙන්ම ‘වෙලාඩ් ව්‍යාපාතිය‘ මුදල් කාර්යක්ෂමව භාවිත කර තිබේද යන්න මෙහිදි විශේෂ අවධානයට යොමු විය. මැණික් පාලම, මාරවිල, රිදියගම, බෝපත්තලාව, ඩයගම ගොවිපළවල සිදුව ඇති අලාභයන් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය. නමුත් අදාළ දෙපාර්තමේන්තුව පෙන්වා දි ඇත්තේ ගොවිපළ මූල්‍ය අලාභය අවම කිරීමට පියවර ගෙන ඇති බවයි.
සිතියම්කරණ කටයුතු අතරමග
- මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම
අධි අවදානම් කලාප හඳුනාගැනීම සඳහා වූ 1:10,000 සිතියම්කරණ කටයුතු අවසන් නොකිරීම, අධි අවදානම් ප්‍රදේශවල දත්ත පද්ධතියන් අවසන් කිරිමේ ප්‍රමාදය, මේ සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟවීම, අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචිය වැළැක්වීමේ නීතිමය විධි විධාන ප්‍රමාණවත් නොවීම මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට අදාළව හඳුනාගත් ප්‍රතිලාභින්ට සහන සැලසීමට නොහැකි වූ කාරණා මෙහිදී මතුවිය. මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කිරිමටත් එය කමිටුව හමුවේ වාර්තා කිරීමටත් නියෝග විය.
අඩු මිලට ටෙන්ඩර් කැඳවීම්
- ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්
මෙම ආයතනය සම්බන්ධයෙන් කමිටුව හමුවේ අවධානයට යොමු වූයේ ඛනිජ විකිණීම හා ගබඩා පහසුකම් සම්බන්ධයෙනි. නිෂ්පාදන ක්‍රියාවලිය අඩාළ වීම, විකිණුම් මට්ටම් පහත වැටීම, අඩු මිලට ටෙන්ඩර් කැඳවීමේදි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ අවධානයට යෙමු වූ අතර තෙවික්කල්ලු කැණිම් භූමියේ තත්ත්වයද අවධානයට ලක් විය. අමතරව මිලදි ගන්නා රු මිලියන 117 ක වටිනාකමින් යුතු යන්ත්‍ර 3 මේ වන තෙක් භාවිතයට නොගැනීම අවධානයට ලක් විය.
කෝටි 5ක මූල්‍ය වංචාවක්
- පේරාදෙණි විශ්වවිදයාලයට අනුබද්ධ පශ්චාද් විද්‍යා උපාධි ආයතනය
මෙහි විගණනයේදි හෙළිදරවු වූ ප්‍රධාන වංචාවක් වන්නේ මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ පවත්වා ගෙන ගිය ස්ථීර තැන්පතු 14 ක රු 93,287,025 ක මුදලින් රු 37,948,865 නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඉතිරි රුපියල් 50,338,160 ක මුදල ජංගම ගිණුමක තැන්පත් නොකර ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරි විසින් වංචනික ලෙස පෞද්ගලිකව මූල්‍ය වංචාවක් සිදු කොට තිබීමය. මේ සම්බන්ධ ආයතනික පරික්ෂණ ප්‍රමාණවත් නොවීම හා විමර්ශනයන්ගේ ප්‍රගතිය මාස 6 කට වරක් කාරක සභාවට දැනුම් දීම මෙන්ම පශ්චාද් විද්‍යා උපාධි ආයතන 9 තුළ මෙවැනි මූල්‍ය වංචා සිදු නොවීමේ ක්‍රමවේදයක් ඇති කිරිමට කමිටුවෙන් අවධාරණය විය.