කළමනාකරණ සේවා නිලධාරී 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ 2019 (2021) සීමිත තරග විභාගයෙන් ලකුණු 100 ඉක්මවා සමත් වු 1,470ක් පමණ අපේක්ෂකයන්ට උසස්වීම් පිරිනැමීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඊට අමතරව, මෙම තරග විභාගය සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් විෂයන් 2ටම ලකුණු 40ට වඩා ලබා ඇති අයදුම්කරුවන් සුළුතරයක් සිටින බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව පිළිබිඹු වේ. කෙසේ හෝ ලකුණු 100 ඉක්මවා ලකුණු ලබාගත් 1,470ක් පමණ අයදුම්කරුවන්ට පමණක් උසස්වීම් පිරිනැමීමට මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එහෙත් මීට පෙර අවස්ථා කීපයකදීම මෙම විභාගයට පෙනී සිට විෂයයන් දෙකටම ලකුණු 40 ඉක්මවා ලබාගත් කනිෂ්ඨ සේවක පිරිසට එකවර කළමනාකරණ සේවා නිලධාරීන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් උසස්වීම් ලබා දී ඇත.
මෙකී විභාගය 2021.03.27 වැනි දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද්දේ වසර 04ක් වැනි දිගු කලකට පසුවය. මෙම විභාගයට මුහුණ දුන් කනිෂ්ඨ සේවකයන්ට උසස්වීමක් ලබා ගැනීමට තිබෙන එකම නීත්‍යානුකූල ක්‍රමවේදය මෙම විභාගය සමත් වීම පමණකි.
කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු රාශියක් මේ වන විට රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු තුළ පවතින බැවින් විෂයයන් දෙකටම ලකුණු 40ට වඩා ලබා ගනිමින් විභාගය මෙවර සමත් වී ඇති සුළු සංඛ්‍යාවක් වන අයදුම්කරුවන්ට ද කළමනාකරණ සේවා නිලධාරී තනතුර පිරිනැමීම රජයට ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි තීරණයක් ලෙස අප දකිමු.
නව බඳවා ගැනීම් ලෙස කළමනාකරණ සේවා නිලධාරින් අලුතින් රාජ්‍ය සේවයට එක්කර ගැනීමට රජයට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, දැනටමත් අදාළ ක්ෂේත්රය පිළිබද මනා පළපුරුද්දක් හා අත්දැකීම් ලබා ඇති අප වැන්නන් එම කළමනාකරණ සේවා නිලධාරී තනතුරු සඳහා පත්කර ගැනීමෙන් රජයට පුහුණු නිලධාරී පිරිසක් මෙන්ම ඉතාම අල්ප පිරිවැයක් සහිතව වඩා කාර්යක්ෂම කළමනාකරණ සේවාවක් රාජ්‍ය සේවයට ලබා දිය හැකි බව ද කාරුණිකව අවධාරණය කර සිටිමු. එම නිසා අප වැනි සුළු පිරිසක් (විෂයන් දෙකටම ලකුණු 40ට වඩා ලබාගත් පිරිස) කළමනාකරණ නිලධාරීන් ලෙස උසස් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම රජයට එතරම් අපහසු හා දුෂ්කර කාරණයක් ලෙස අපට නොපෙනේ. එම නිසා ජනාධිපතිතුමනි, අග්රාමාත්යතුමනි, මුදල් ඇමතිතුමනි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමනි,
අප කෙරෙහි අනුකම්පාකොට වසර 05කට පමණ පසු පැවැත්වූ මෙකී විභාගයෙන් විෂයයන් දෙකටම ලකුණු 40 ඉක්මවා ලබමින්, තරග විභාගය සමත් වූ සියලු අයදුම්කරුවන්ට හට උසස්වීම් ලබා ගැනීමට හැකි වන පරිදි තීන්දු තීරණ ගෙන අපට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉතා ගෞරවයෙන් හා කරුණාවෙන් ආයාචනා කර සිටිමු. අගතියට පත් විභාගය සමත් අයදුම්කරුවන් වෙනුවෙන්,
එස්. එම්. විජයරත්න
කුලියාපිටිය